
ලංකාව කිසියම් අඳුරු දේශපාලන දිශානතියක් වෙත ගමන් කරමින් තිබෙන බව පෙනේ. 1988 - 89 භීෂණයේදී එකා පිට එකා මරා ටයර් දමා ගිනි තියද්දීත් ඊට එරෙහිව කිසිදු විරෝධයක් නොදක්වා ඇඳන් යටට රිංගා සිටි තරුණ පරම්පරාව වෙනුවට වඩාත් රැඩිකල්, වඩාත් වේගවත්, ඇඟ පුරා වඩාත් පච්ච ඇති, කන් පෙතිවල යෝධ අරුංගල් සහ ගෙලෙහි යෝධ රිදී මාල පැලඳගත් මොඩ්න් තරුණ පරම්පරාවක් ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් නටන්නට පටන්ගෙන සිටිති. නීතිය පිරිසිදු වන්නේ නඩු කී තරමට යැයි කතාවක් තිබේ. එසේම ප්‍රජාතන්ත්‍රවාදය පිරිසිදු වන්නේ අරගල කිරීමට ලැබෙන නිදහස පුළුල් වන තරමට යැයි මතයක් ගොඩනැඟෙමින් පවතී. මේ කතාව සත්‍යයකි.
එහෙත් මේ මතයේ සත්‍යතාව එහා මෙහා වන අවස්ථාවක් තිබේ. ඒ, අරගලය මෙහෙය වන හා අරගලයට සහභාගී වන පිරිස අසංස්කෘතික සහ අමනෝඥ පිරිසක් ලෙස කටයුතු කරන විටය. ගෝඨාභය ජනාධිපති ධුරයෙන් පහකර රට පාලනය කිරීම සඳහා අරගලකරුවන් විසින් මේ වනවිට වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබේ. මේ වැඩපිළිවෙළ හොඳ ශක්තියක් ඇති, හොඳ ප්‍රේක්ෂාවලියක් ඇති, හොඳ ක්‍රියාත්මක වීමක් තිබෙන උසස් සිහිනයක් බව පැහැදිලිය. එහෙත් ගෝඨාභය ජනාධිපති පදවිය අත්හැරියොත් මේ වැඩපිළිවෙළ කවරකු විසින් ක්‍රියාත්මක කරන්නේද යන්න ගාලු මුවදොර අරගලකරුවන් විසින් කිසිදු ආකාරයකින් දක්වා නැත. ඒ අනුව අපට හැඟෙන්නේ ගෝඨාභය ගියොත් රැට්ටා ජනාධිපති වී මෝටිවේෂන් අප්පොච්චි අගමැති වන බවය. රැට්ටා සහ මෝටිවේෂන් අප්පච්චි ස්ථිර වශයෙන්ම ඒ තනතුරු වලට පත්වේ යැයි අප මෙයින් අදහස් නොකරමු. අප කියන්නේ අරගලකරුවන් අතර සිටින බහුතරය පෙරකී මොඩලයේ සැහැල්ලු පොරවල් හෙයින් රැට්ටාගේ ආකෘතිය ජනාධිපති වී මොටිවේෂන් අප්පච්චිගේ ආකෘතිය අගමැතිවීමට ඉඩ තිබෙන බවය.
අරගල භූමිය ඉතා දරුණු ලෙස පරිහානියට පත්ව තිබේ. පොලිසියට අත්‍යවශ්‍යව සිටි ස්ත්‍රී දූෂකයෙක් අරගල භූමියේ සැඟව සිටියදී පසුගියදා අත්අඩංගුවට පත්විය. ඔහු පුරා මාස දෙකක් අරගලකරුවන් අතරට වැද තුන්වේල බඩ පිරෙන්නට කා අරගල භූමියේ ඇති පොදු වැසිකිළිවලට අපද්‍රව්‍ය පහ කරමින් ජීවත් විය. මෙවැනි පල් හොරුද මේ අරගල භූමිය තුළ සැඟව සිටියෝය. මෙය ලංකාවට පමණක් ආවේණික තත්ත්වයක් නොවේ. ජන පදනමක් නැති කුඩා කණ්ඩායම් සිදුකරන කිසිදු විප්ලවයකට වැඩි ආයුෂ නැත. 1971 කැරැල්ලටත් මෙයම සිදුවිය. 1988 - 89 භීෂණයටත් මෙයම සිදුවිය. චිලියේ ෂයිනින් පාත් ගරිල්ලන්ටද මෙයම සිදුවිය. එහෙත් ජන මූලික අරගලයක් වූ වියට්නාම් යුද්ධය උපරිම කාලයක් ඇදගෙන යාමට ගරිල්ලන්ට හැකිවිය. එම යුද්ධයේදී හෝ චිමිං ගේ නායකත්වය සහිත වියට් කොං ගරිල්ලා හමුදාව සමඟ ඒ රටේ පොදු ජනතාව එකතු විය. හෝ චිමිං ගේ අරගලයට එරෙහිව සටන් කිරීම සඳහා වියට්නාමයට පැමිණ සිටි ඇමරිකන් හමුදාව අවුරුදු 20 ට වැඩි දීර්ඝ යුද්ධයකින් පසු හෝ චිමිං ට සහ වියට් කොං හමුදාවට පැරදී ආපසු ඇමරිකාව බලා ගියහ. මේ යුද්ධයේදී මිය ගිය ඇමෙරිකන් හමුදා සෙබළුන් ගණන විසි දහස ඉක්මවයි.
දිගුකාලීන ජන අරගලයක් ජයග්‍රහණය කිරීමට නම් මුළු රටම අරගලකරුවන් විය යුතුය. කෙටිකාලීන ජන අරගලයක් ජය ගැනීමට නම් එයට ත්‍රිවිධ හමුදාව නම්මාගත යුතුය. එහෙත් ගෝල්ෆේස් අරගල බිමේ අරගලකාරයන්ගේ සැහැල්ලුවත් එය අර්ධ කානිවල් භූමියක් බවට පත්ව තිබීමත් ජාතික මට්ටමේ ජන පදනමක් එයට නොමැතිවීමත් නිසා වැඩි කලක් අදින්නට බැරිය. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මීට මාස කිහිපයකට පෙර ඇරඹුණු ගෝඨා ගෝ ගම්මානය අද වන විට බෙහෙවින් දිරාපත්ව ඇත්තේ ඉහත සඳහන් න්‍යායන්ට සාපේක්ෂවය. අද මේ ගමේ වැට දිරාගොස් තිබේ. තවදුරටත් මෙහි සූර පප්පලා නැත. මැජික් අරිෂ්ටයට කසිප්පු මිශ්‍රවීම නිසා එහි ගුණය අතුරුදන්ව ඇත.
පසුගියදා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට ඉඳගෙන ජනාධිපතිගෙන් ගෙදර යන ලෙස ඉල්ලා විලාප තබනු අපි දුටිමු. ඇය ගෝල්ෆේස් අරගල භූමියේ ආරම්භක න්‍යායික අනුග්‍රාහකත්වය හෝ එම අරගලයට මුල සිටම ආශිර්වාදය ලබාදුන් තරුණියක බව අපගේ වැටහීම වේ. ඇගේ දේශපාලනය කෙරෙහි මෙන්ම ඇගේ අභීතභාවයද කෙරෙහිද අප තුළ ගෞරවයක් තිබිණ. ඒ මීට දින කිහිපයකට පෙර ජනාධිපති මන්ධිරයේ ගේට්ටුව ඉදිරිපිට හිඳගත් ඇය ඉතා පහත් වචන යොදමින් ජනාධිපතිට බැණ වදින්නට වීය. ඉන්පසු පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගන්නා ලදී. තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වුණේ කවර හේතුවක් නිසාද යන්න ගැන ඇය පොලිසියෙන් ප්‍රශ්න කළ ද උත්තරයක් නොලැබිණැයි ඇප ලැබ එළියට පැමිණි ඇය විද්යුත් මාධ්‍ය ඉදිරිපිටදී කියා සිටියාය. හිරුණිකා යනු එංගලන්තයේදී නීතිය උගත් කාන්තාවකි. ඇය අත්අඩංගුවට ගන්නා ලද්දේ අධිආරක්ෂිත කලාපයක් වන ජනාධිපති මන්දිර පරිශ්‍රයට පැමිණ පහත් වචනයෙන් ජනාධිපතිට බැණ වැදීම නිසා බව ඇය දැනගත යුතුය. ඇය වහාම ස්වකීය නීති අධ්‍යාපනය නැවත අරඹා පැරණි පොත් කියවමින් නීතියේ අමතකව ගිය තැන් මෙනෙහි කරගත යුතු බව අප විශ්වාස කරමු. මේ රටේ අතීත දේශපාලනය තුළ ඉතා වේගවත් ලෙස දේශපාලනය කළ කාන්තාවෝ කිහිපදෙනෙක් වූහ. ඩොරීන් වික්‍රමසිංහ (කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක නායක දොස්තර එස්. ඒ. වික්‍රමසිංහගේ බිරිය), සිරිමාවෝ බණ්ඩාරනායක, විවියන් ගුණවර්ධන වැනි මන්ත්‍රීවරියන් කිසි කලෙකත් රාජ්‍ය නායකයාට අපහාස කරමින් තාර පාරේ පෙරළී පිස්සු නටා නැත. කෙතරම් වේගවත් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වුවද භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර (හිරුණිකාගේ පියා) ද මෙවැනි විගඩම් කර නැත. සටනට අරමුණක් තිබිය යුතුය. වේගයට ගැම්මක් තිබිය යුතුය. වචනවලට අර්ථයක් තිබිය යුතුය. මේ සියල්ල අනෙක් පැත්ත පෙරළා කරන අරගලය මළ ගෙදරක මිනී පෙට්ටි යට සිට බූරුවා ගැසීම හා සමානය.