ගුරුවරියන්ගේ සාරිය හා සමාජවාදී ස්වප්න දෝෂය | සිළුමිණ

ගුරුවරියන්ගේ සාරිය හා සමාජවාදී ස්වප්න දෝෂය

තෙල් පෝලිම් හා ගෑස් පෝලිම් නැති නමුදු, පැය 12 ක විදුලිය කැපීම් නැති නමුදු මේ රට තවමත් තිබෙන්නේ දුෂ්කර තත්ත්වයකය. හරියාකාරව රට තුළට තවමත් ඩොලර් එන්නට පටන්ගෙන නැත. සංචාරකයන් එන්නට පටන්ගෙනද නැත. ආහාර පාන මිල, ලයිට් බිල් සහ වතුර බිල් ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති නමුදු මිනිස්සු ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබාගෙන නුදුරේදී රට හරියනු ඇති බවට විශ්වාස කරති. තත්ත්වය එසේ වුවද ජෝසෆ් ස්ටාලින්ගේ ලංකා ගුරු සංගමයට ඇති ලොකුම ප්‍රශ්නය ජීවන වියදම නොව වෙනත් එකකි. ස්ටාලින් "සහෝදරයාගේ" පරම වෑයම ගුරුවරියන්ගේ සාරිය ගැලවීමය. පහසු ඇඳුමක් ඇඳගෙන කාන්තාවන්ට රජයේ සේවයට වාර්තා කළ හැකි බව කොරෝනා කාලයේ නිකුත් වූ චක්‍ර ලේඛයකින් කියැවිණ. ඒ අනුව රජයේ ආයතනවල සේවය කළ කාන්තාවෝ වෙනදා ඇඳී සාරිය වෙනුවට කලිසම් හෝ ගවුම් ඇඳගෙන වැඩට එන්නට පටන් ගත්හ. මේ චක්‍ර ලේඛය පාසල්වලට අදාළ වූයේ නැත. එය නිකුත්වූ කාලයේදී මේ රටේ පාසල් සම්පූර්ණයෙන්ම වසා දමා තිබිණි. ඒ නිසා නිදහසේ ගෙවල්වලට වී වැඩක් පළක් කරගැනීමට ජෝසෆ් ස්ටාලින් සහෝදරයා ඇතුළු මේ රටේ ගුරුවරුන්ට ඉඩ ලැබිණ. කොරෝනා බිය පහව යෑමෙන් පසු රජයේ පාසල් වැඩි හරියක් පවත්වන ලද්දේ මාර්ගගත තාක්ෂණය හරහාය.

අප මේ කතා කරන්නේ සෝවියට් දේශයේ සිටි ඉතා බලසම්පන්න කොමියුනිස්ට් ආඥාදායකයකු වූ ජෝසෆ් ස්ටාලින් ගැන යැයි ඔබ හිතනවා ඇති. එහෙත් අප කතා කරන්නේ සෝවියට් දේශයේ ජෝසෆ් ස්ටාලින්ගේ නමින් මේ රටේ සිටින වෙනත් පුද්ගලයකු ගැනය. කාලයෙන් කාලයට විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වී දේශපාලනය කර දැනට සමගි ජනබලවේගයට එකතු වී සිටින මේ ජෝසෆ් ස්ටාලින් දේශපාලන ප්‍රතිපත්ති වශයෙන් ගත්කල සෝවියට් දේශයේ ස්ටාලින්ගේ මයිල් ගස් භාගයක්වත් නොවටී. එහෙත් ඔහුගේ හොඳ පැත්තක්ද තිබේ. කාගෙන්වත් තේ උගුරක්වත් නොබොන, ජරාව නොකන, සී. ටී. බී. බස් එකේ ගමන් බිමන් යන අවංක මිනිහකු වූ හෙතෙම කරන ලොකුම වරද නම් කිසි ප්‍රශ්නයක් නැති කාලයක වුවද ඔහේ සටන් කිරීමය. මෙවැනි සටන් කිරීම සඳහා බූරුවන් බහුල ඩෙල්ෆ්ට් දූපතේ වෙනම රාජ්‍යයක් පිහිටුවා එම දූපත ජෝසෆ් ස්ටාලින්ට භාර දෙන ලෙස අපි ආණ්ඩුවට යෝජනා කරමු. එවිට සාරි පමණක් නොව සිය කලිසමද ගැලවීමේ නිදහස ඔහුට ලැබෙනවා ඇත.

සාරිය යනු ක්‍රි.පූ. 2800 දී මල් ඵල ගැන්වුණු ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පලයක් ලෙස උපන් ඇඳුමකි. ලෝක ඉතිහාසයේ මුල් වරට ඉන්දියානු උප මහාද්වීපය තුළ කපු වවන ලදී. මේ කපු වලින් රෙදි වියන ලදී. ඉන්පසු එම රෙදි ඉන වටේ ඔතාගෙන එම රෙදි පොටෙන් ලැම වසා ගැනීමට ඉන්දියානු උප මහාද්වීපයේ කාන්තාවෝ පුරුදු වූහ. දෙමළ සාහිත්‍යයේ අති විශිෂ්ට චිරන්තන පොත් පහෙන් එකක් වූ සීලප්පදිකාරම් කවි පොතෙහි සාරිය ගැන මහත් වූ විස්තරයක් ඇත. වෘත්තීය සමිති සටන්වල නොයෙදෙන දවසක ලයිබ්‍රරියකට ගොස් මේ පොත හොයාගෙන කියවන ලෙසට අපි ජෝසෆ් ස්ටාලින් 'සහෝදරයාගෙන්' ඉල්ලමු. ස්ටාලින් 'සහෝදරයා' කියන්නේ මේ රටේ ගුරුවරියන් සාරිය නොවන වෙනත් ඇඳුමකට මාරුවිය යුතු බවය. සමහරවිට එය ඩෙනිමක් සහ ස්කිනියක් විය හැකිය. නැත්නම් ලෙගින් එකක් සහ ටී ෂර්ට් එකක් විය හැකිය. ටයිට් ස්කර්ට් එකක් හෝ ගවුමක් විය හැකිය. සාරිය නොවන වෙනත් ඇඳුමක් ලෙස ස්වීම් සූට් එක ද, කොට කලිසම සහ ජැකට් එක ද ගන්නට පුළුවන.

ස්ටාලින් ගුරුවරියන්ගේ සාරිය ගැලවීමට එරෙහිව අධ්‍යාත්මික විරෝධයක් මෙන්ම නිල මට්ටමේ විරෝධයක්ද ඉදිරිපත් විය. ආධ්‍යාත්මික විරෝධය පැමිණියේ මේ රටේ මහා සංඝරත්නය වෙතිනි. ඊට අමතරව හින්දු ආගමික ප්‍රධානියකු වූ ආචාර්ය රාමචන්ද්‍රම් කුරුක්කල් පූජකතුමා සහ ෆාරුක් මව්ලවිතුමාද වූහ. කොළඹ අන්තර් ආගමික පූජක එකමුතුවේ සභාපති නිශාන් කුරේ පියතුමාගේ අදහස වුණේ ගුරුවරිය යන පෞරුෂයට අදාළ ඇඳුම සාරිය බවය. ලංකාවට සාරිය ආවේ ඉන්දියානු රජවරුන් මෙහි සිහසුනට පත්වීමත් සමඟය. ඔවුන් සිය බිසෝවරුන් කැඳවාගෙන එන ලද්දේ ඉන්දියාවෙනි. ඒ අයගේ ඇඳුම වූයේ සාරියයි. ඔසරිය යනු සාරියේ උඩරට ස්වරූපයකි. ලංකාවේ අධ්‍යාපනය විධිමත් වීමත් සමඟම සියලු ගුරුවරියෝ සාරි අඳින්නට පටන් ගත්හ. මේ රටේ සිංහල බෞද්ධ අධ්‍යාපනයේ මුඳුන් මල් කඩක් වූ බ්‍රිතාන්‍ය ජාතික මාරි මියුසියස් හිඟින්ස් මැතිනිය අඳින ලද්දේ ද සාරියකි. ඒ අනුව සිංහල රජ කාලයේ අවසන් කොටසේ සිට මේ දක්වා අවුරුදු තුන්සීයක පමණ ඉතිහාසයක් ලංකාවේ සාරියට තිබේ. මේ සාරි ගැලවීමට ජෝසෆ් ස්ටාලින් සහෝදරයා හදිසියේම තීරණය කළේ සමාජවාදී ස්වප්න දෝෂයක් නිසාද යන්න අපට පැහැදිලි නැත. අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් කියන පරිදි මේ රටේ රජයේ පාසල්වල ගුරුවරියන්ගේ ඇඳුම වූ සාරිය වෙනුවට වෙනත් ඇඳුමක් ව්‍යවහාර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කවදාවත් ඉඩ දෙන්නේ නැත. එය නිල මට්ටමේ විරෝධයකි.

අපි නැවතත් මේ කතුවැකිය මුලදී සාකච්ඡා කළ පැනය දෙසට හැරෙමු. ඒ වූ කලී ගුරුවරියන්ගේ සාරිය ගැලවීමට ජෝසෆ් ස්ටාලින් හදිසියේම තීරණය කළේ ඇයි ද යන්නය. ඔහු මේ මොහොතේදී සිය වැඩපිළිවෙළ මඟින් රටට ලබා දෙන්නේ එසේ මෙසේ විනෝදයක්නොවේ. මෙය ගොන් පාට් එකක් ලෙස හැඳින්වීමටද නොහැකිය. මෙය පිටුපස සමාජය කඩාකප්පල් කිරීමේ කිසියම් වැඩපිළිවෙළක් තිබෙනවා විය හැකිය. නැත්නම් මෙතරම් කරදර තිබෙන මේ වෙලාවේ රට ගොඩ ගන්නා ක්‍රමයක් කල්පනා නොකර ගුරුවරියන්ගේ සාරි ගැලවීමට ඔහු උත්සුක වන්නේ නැත. සමහර විට ජෝසෆ් ස්ටාලින් 'සහෝදරයා' යනු පසුගිය කාලයේ පැවති වෘත්තීය සමිති ක්‍රියාකාරකම් සහ අරගලය හේතුවෙන් මොලේ විකාර වූ පුද්ගලයකු ලෙස කෙනෙක් හිතනවා ඇත. එසේ නම් ඔහු යැවිය යුත්තේ ඩෙල්ෆ්ට් දූපතට නොව මේ වර්ගයේ රෝගීන්ට ප්‍රතිකාර කරන වෙනත් තැනකටය.

Comments