
හරියටම කාලයක් ප්‍රකාශ කළ නොහැකි කාලයක, හරියටම රට කුමක් දැයි කීමට නොහැකි වූ රටක ජීවත් වූ ගමරාල කෙනෙක් දුර ගමනක් යාම සඳහා මඟට බැස්සේය. ඒ වූ කලී අව්වත් නැති වැස්සත් නැති සෞම්‍ය සමයකි. ගමරාල ගමන පටන් ගෙන ස්වල්ප වේලාවකට පසු මිනිහෙක් කුඩ තොගයක් තබාගෙන පාර අයිනේ සිටිනු දක්නා ලදි. වැස්ස හෝ අව්ව නැති මේ සමයේදී කුඩ විකුණන්නේ මන්දැයි ගමරාල කුඩකාරයාගෙන් ප්‍රශ්න කළේය. මේ හරියේ වැස්ස නැතුවාට තවත් ගව් දෙක (සැතපුම් 14) ට එහා බරපතළ වැසි පවතින බවත් එතැන් සිට තවත් ගව් දෙකක් ගිය පසු ගිනි ගහන තරමට පායන බවත් කුඩ වෙළෙන්දා ගමරාලට කීවේය. එය ඇසු ගමරාළ මේ කුඩ තොගය මිලට ගත්තොත් තමන්ට හොඳ ගාණක් හොයාගත හැකි බව කල්පනා කර අතේ තිබුණු සියලුම මුදල් දී කුඩ තොගය අත්පත් කරගත්තේය. අන්තිමේදී කුඩ ටික කර තබාගත් ගමරාල ඉතා අමාරුවෙන් ඉදිරි ගව් දෙක පයින්ම ඇද්දේ අධික වැසි බලාපොරොත්තුවෙනි. එහෙත් ගව් දෙක නිමවන විට කිසිදු වැස්සක් නැති සෞම්‍ය කාලගුණයක් ඔහුට හමු විය.
කුඩකාරයාට හෙණ ඉල්ලමින් කුඩ තොගය තවදුරටත් කර තබාගත් ගමරාල ගිනි ගහන පෑවිල්ලක් ප්‍රාර්ථනා කරමින් තවත් ගව් දෙකක් ගියේය. එහිදී ද කිසිදු පෑවිල්ලක් නොතිබූ හෙයින් ගමරාලට එක කුඩයක්වත් විකුණා ගැනීමට නොහැකි විය. කුඩකාරයාට නැවත වතාවක් හෙණ ඉල්ලමින් කුඩ තොගය නැවත කරේ තබාගත් ගමරාල තවත් ගව් කිහිපයක් පයින් ගොස් තමන්ට අවශ්‍ය ගමනාන්තය දැක බලාගෙන ආපසු කුඩ තොගයද කරේ තබාගෙන ඒ විදිහටම ගෙදර ගියේය. ගමරාලගේ කුඩ කතාව කවර රටක සිදුවන්නට ඇත්දැයි දැන් ඔබට වැටහෙනවා ඇත.
ලංකාවේ මිනිස්සු උත්පත්තියෙන් මෝඩයෝ නොවෙති. හැබැයි ඔවුන්ගෙන් වැඩිදෙනා මෝඩ සූට් එක ඇඳගෙන රඟන්නට මහත් සේ කැමති වෙති. ඒ මෝඩ සූට් එක ඇඳගත් පසු ඔවුහු මෝඩ දේශපාලනඥයන්ගේ කරුමක්කාර පුරෝකථනවලට රැවටෙති. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආණ්ඩුව විසින් දවස් පහක් බැංකු වැසීම නිසා මේ රටේ මහජනතාවට කෙළවෙන බවට කපටි සහ බලලෝභී දේශපාලනඥයන් මේ දවස්වල ප්‍රචාරය කරන කතාව කුඩකාරයා විසින් ගමරාලට කුඩ විකිණීමේ කතාව හා සමානය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු කිසියම් රටක් ආර්ථික අර්බුදයක ගිලී සිටින විට මිනිසුන් බේරා ගැනීමට එන නැවකි. එය පිදුරු ගසක් නොවේ. ඒ නිසා අප ස්ථිර වශයෙන්ම මේ නැවට ගොඩවිය යුතුය. නැතහොත් රටත් ගිලී අපත් ගිලෙන අතර නැව වෙන දිහාවක් බලා ගමන් කරනු ඇත. චානක්‍යන්රාසමානික්කම් මන්ත්‍රී කෙනෙක් සිටී. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුන එක ලෙස කතා කරන මේ මනුස්සයා දෙමළ ජාතික සන්ධානයේ වන අතර ජනතාවට මෝඩ සූට් මැසීම සඳහා වාචික ටේලර් සාප්පුවක් පවත්වා ගෙන යන කෙනෙකි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සේවක අර්ථ සාධක අරමුදලට කෙළවෙන බවට ඔහු සැක පහළ කර ඇත. මෙවැනි සැකයක් ප්‍රචාරය කළ සැණින් අපේ ජනයා හිතන්නේ ආණ්ඩුව මහ රෑ ETF ගොඩනැගිල්ලට පැන ETF සල්ලි සියල්ල සුද්ද කරගෙන ඇති බවය. එහෙත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේදී සේවක අර්ථ සාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට අත නොතබන බව ජනාධිපතිතුමා පසුගියදා ප්‍රකාශ කළේය.
මෙහිදී ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරමු. දේශීය වශයෙන් විකුණනු ලැබ ඇති බැඳුම්කර පමණක් ප්‍රතිව්‍යුහගත කිරීමට ලක් වෙයි. ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිදු වන්නේ අවුරුදු 5 කින් හෝ ගිවිස ගත් කාල සීමාවකින් බේරීමට නියමිත ගෙවිය යුතු බැඳුම්කර ස්වරූපයේ ණය ආපසු ගෙවීම සඳහා කල් ලබා ගැනීමය. රට ආර්ථික අර්බුදයක ගිලී තිබෙන මේ වැනි වෙලාවක ණය හිමියන්ගේ ණය වාෂ්ප නොකර ආපසු ගෙවීමට ඇති හොඳම ක්‍රමය ඒ සඳහා කල් ගැනීමය. IMF සංවිධානය සමඟ කරන ලද සාකච්ඡාවලින් පසු විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ද අපි වැඩපිළිවෙළක් සකස්කර ගත්තෙමු. විදේශීය ණය මුදල් පරක්කු කර ආපසු ගෙවනවා නම් දේශීය ණය ද පරක්කු කර ආර්ථික අර්බුදය අවසන් වූ පසු හෝ ආර්ථික අර්බුදය අවසන් වෙමින් පවතින අතර ගෙවීම සාමාන්‍යයෙන් පිළිගත් ප්‍රතිපත්තියක් වේ. මේ මඟින් දේශීය ආර්ථිකය සහ විදේශීය ආර්ථිකය යන දෙකම කිසියම් ප්‍රමාණයක සමබරතාවකට පත්වෙයි. එහෙත් මෝඩ සූට් ඇඳගත් විපක්ෂය ද ඇතැම් තකතීරු අර්ථ ශාස්ත්‍රඥයන් ද කියන්නේ බැංකු ටික වසා ණය ප්‍රතිව්‍යුහගත කරන විට සාමාන්‍ය ජනයාගේ තැන්පතු මුදල් සියල්ල ම මකබෑවී ඔවුන් හිඟමනට වැටෙන බවය. මෙබඳු කතා නොකීම දේශපාලනඥයන්ගේ යුතුකම වන අතර මෙවැනි කතා නොඇසීම සාමාන්‍ය ජනතාවගේ යුතුකම වේ.
එහෙත් වගකීම් සහ යුතුකම් සියල්ලම පැටලී සමාජය අලවී අල හොද්දක් ව පවත්නා මේ මොහොතේදී කට කතා බෝට්ටුවල නැඟී එම හොදි හැළියේ පාවෙන්නට දුෂ්ට දේශපාලන අරමුණු තිබෙන අය කැමැති වෙති. ඒ නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් කිසිදු පාඩුවක් සිදුනොවන බව සැඟවීමට එකී දුෂ්ට බලවේග විශාල ආයාසයක් දරති. තවත් වැදගත්ම දෙයක් කිව යුතුය. මේ අර්බුදය ඇති කරන ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොවේ. ඔහු කළේ ආර්ථික අර්බුදය නමැති කුණු කසළ වට්ටියට කරගැසීම පමණි. ඒ කර ගැහිල්ල සාර්ථක වෙමින් පවතී. එය දරා සිටීමට නොහැකි නිසා විපක්ෂයටත් ආණ්ඩු විරෝධී වෙනත් බලවේගවලටත් පිස්සු හැදී ඇත.
ආණ්ඩුව දවස් පහක් බැංකු වැහුවේ ඇයි? මෙහිදී සැබවින්ම ප්‍රයෝගික ලෙස බැංකු වැහීම සිදුවී ඇත්තේ එක දවසක් පමණි. ඒ 30 වන සිකුරාදා ය. ඊට පෙර දින පැවති හජ් උත්සවය නිසා බැංකු නිවාඩුවක් යෙදිණි. සෙනසුරාදා ද බැංකු සමඟ ගනුදෙනු කළ නොහැකිය. ඉරිදාට බැංකු කොහොමත් වසා තිබේ. සඳුදා පොහොය දිනයක් නිසා එදාට ද බැංකු වසා ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණයක් පවතින අවස්ථාවකදී බැංකු වහන්නේ එම ක්‍රියාවලිය තුළදී කොටස් වෙළඳපොළට විය හැකි බලපෑම සලකාය. ඇඳිරි නීතිය පවතින වෙලාවලදී කඩ ඇරීම තහනම්ය. එහෙත් කැමැති කෙනකුට කඩේ ඇර වෙළඳාම් කළ හැකිය; පොලිසියෙන් පැමිණ කඩකාරයා කුදලාගෙන ගොස් රිමාන්ඩ් කළොත් එහි පාඩුව කඩකාරයාටය. අපට ඇති ලොකුම ප්‍රශ්නය මේ තත්ත්වය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව සරල භාෂාවෙන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් නොතිබීමය.
ඇත්තම කතාව නම් අප දැනුම්වත් ජාතියක්ව සිටියේ නම් ආර්ථික අර්බුදය ඇතිවන්නේත් නැත. බැංකු වහන්නට සිදුවන්නේත් නැත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදු වන්නේත් නැත. ග්‍රීසියේ ආර්ථික අර්බුදය තිබූ මොහොතේදී ඒ රටේ බැංකු එක දිගට වසා තබන ලදී. මුල් කාලයේදී එමඟින් ජනතාවට හිරිහැර වී තිබූ නමුත් දැන් ග්‍රීසිය ගොඩ ගොස් ඇත.