හරෝ හරා සහ ඔපෙරා (මව් කිරට අභියෝග කිරීමේ භයානකකම) | සිළුමිණ

හරෝ හරා සහ ඔපෙරා (මව් කිරට අභියෝග කිරීමේ භයානකකම)

මේ රටේ බිහි වූ හොඳම කඩ හඬවල් අතළොස්සෙන් එකක හිමිකාරිය වන උමාරා සිංහවංශ විසින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී අපේ ජාතික ගීය ගැයීමට ගොස් පසුගියදා පත්තු කරන ලද සංස්කෘතික ගින්න තවමත් සම්පූර්ණයෙන්ම නිවී ගොස් නැත. “ශ්‍රී ලංකා මාතා” යන්න “ශ්‍රී ලංකා මහතා” යනුවෙන් දෝෂ සහගත ලෙස උච්ඡාරණය කිරීමත් එම ගීතය සතුව පවත්නා සාම්ප්‍රදායික තාලය වෙනස් කිරීමත් පිළිබඳ පැමිණිලි කිහිපයක් පොලිසියට ලැබී තිබෙන බැවින් ඒ ගැන විභාග කෙරේ. ඊට අමතරව එල්.පී.එල් තරඟාවලිය සඳහා ජාතික ගීය ගැයීමට උමාරා සිංහවංශ තෝරා ගන්නා ලද්දේ කාගේ උවමනාවට දැයි සොයා බැලීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එක්කෝ ප්‍රශ්න කිරීමට යයි; නැත්නම් දැනටමත් ප්‍රශ්න කර ඇත. මෙය ඉතාම ගොන් ප්‍රශ්නයකි. එසේම කිසිසේත්ම අදාළ නොවන ප්‍රශ්නයකි.

මෙහිදී වැදගත් වන්නේ උමාරාට අඬ ගැසුවේ කවරෙක්ද යන්න නොව එල්.පී.එල්. සමාරම්භක උත්සවයේදී ජාතික ගීයට සිදු වුණේ කුමක්ද යන්න සොයා බැලීමය. ඇඟිල්ල දිගුකර හඳ පෙන්වන විට මෝඩයා බලන්නේ හඳ දෙස නොව ඇඟිල්ල දෙසය. ඒ ආකාරයට මේ ප්‍රශ්නය විසඳීමට ගියොත් දඬුවම් කිරීමට සිදුවන්නේ මේ සිද්ධියට වගකිව යුතු පාර්ශ්වවලට නොව Jacopo Peri නමැති ඉතාලි ජාතික සංගීතඥයාටය. එක්දහස් පන්සිය ගණන්වල උපන් ඔහු මේ වන විට මිය ගොසිනි. උමාරා සිංහවංශගේ ගායන සම්ප්‍රදාය ලෝකයේ මුල් වතාවට පරිහරණය කළ සංගීතඥයා ලෙස Jacopo Peri හඳුන්වාදිය හැකිය. මෙහිදී උමාරාගේ සංගීත විලාසිතාව සම්බන්ධයෙන් හටගෙන තිබෙන ඇතැම් දෝෂ සහගත මතවාද නිවැරදි කිරීම අපගේ අරමුණය.

LPL සමාරම්භක උළෙලේදී උමාරා සිංහවංශ ඉදිරිපත් කළ ගායනය ඔපෙරා ගායනයක් යැයි මතයක් පවතී. අපගේ දැනුම නිවැරදි නම් ඔපෙරා ගායනය කියා දෙයක් මේ ලෝකයේ නැත. ඔපෙරා යනු ඉතාලි වචනයකි. එහි තේරුම ‘කාර්යය’ යන්නය. මේ කාර්යය නාට්‍යමය කාර්යයක් විය හැකිය. නොඑසේ නම් උත්සව කාර්යයක් විය හැකිය. එසේත් නැත්නම් ආගමික කාර්යයක් විය හැකිය. මෙයට අවුරුදු 500ට පමණ පෙර එවැනි කාර්යයකදී ගීත ගායනා කරන ලද්දේ බටහිර ශාස්ත්‍රීය සංගීත ක්‍රමයට අනුවය. නූතන ජනයා ඔපෙරා සංගීතය යනුවෙන් දෝෂ සහගත ලෙස හඳුන්වනු ලබන්නේ මේ කියන යුරෝපීය ශාස්ත්‍රීය සංගීතයයි. මේ කියන කාලයේදී ලෝකයේ කිසිම රටක පොප් සංගීතයක් තිබුණේ නැත. හින්දුස්ථාන් රාගධාරී සංගීතය ඉන්දියාවේ තිබූ අතර ඉතාම අසංවිධානාත්මක ජන ගී සම්ප්‍රදායක් ලංකාවේත් අප්‍රිකානු මහාද්වීපයේත් චීනය ඇතුළු ආසියාතික රටවලත් තිබිණ.

මේ කියන යුගය යුරෝපයේ අඳුරු යුගය ලෙස හඳුන්වනු ලැබේ. පූජකයන් විසින් රාජ්‍යය පාලනයට අත පෙවූ ඒ අඳුරු යුගයේදී යකුන් සහ භූතයන් කෙරෙහි යුරෝපීය ජනයා මහත් සේ විශ්වාසයක් තැබූහ. කිසියම් අසාමාන්‍ය ගති පැවතුම් ඇති පුද්ගලයකු සිටිත් නම් ඔහුට ය‍ෙකකු වැහුණු ලෙස සලකා පණ පිටින්ම පුළුස්සා මරණ ලදී. මේ කියන කාලයේදී ලංකාව ද අඳුරු වනගත රාජ්‍යයකි. එහෙත්, යුරෝපය මතවාදී වශයෙන් කොපමණ ඝන අන්ධකාරයක ගිලී තිබුණ ද එහි සංගීතය, කලා ශිල්ප යනාදියෙහි පුනරුදයක් හටගෙන තිබිණි. ඔපෙරා නමැති සංගීතමය හෝ නාට්‍යමය කලා සම්ප්‍රදාය බිහි වන්නේ මේ කියන කාලයේදීය. එම කලාත්මක කාර්යයේ ප්‍රධාන අංගය වූ යුරෝපීය ශාස්ත්‍රීය සංගීතය යනු, වේගවත් නොවන, එහෙත් ඉතා විශාල වශයෙන් හඬ උස් පහත් කරන, එමෙන්ම සංගීත භාණ්ඩ විශාල සංඛ්‍යාවක් පාවිච්චි කරන ලද ක්‍රියාවලියකි. එක්දහස් පන්සීය ගණන්වල සිට මේ දක්වාම එම සම්ප්‍රදාය වෙනස් වී නැත. Jacopo Peri පාවිච්චි කළ සංගීත සම්ප්‍රදාය ඒ විදිහටම එක්දහස් අටසිය ගණන්වලදී ජර්මනියේ රිචඩ් වැගනර් පාවිච්චි කළේය. රිචඩ් වැගනර් ගේ සම්ප්‍රදාය ඒ ආකාරයෙන්ම පසුගිය ශත වර්ෂය මැද භාගයේ ජීවත් වූ ඉතාලි සංගීතකරුවකු වූ ලුසියානෝ පැවරොට්ටි විසින් පාවිච්චි කරන ලද්දේය. බටහිර ශාස්ත්‍රීය සංගීතය සහ බටහිර පොප් සංගීතය යනු දෙකකි. මයිකල් ජැක්සන් ගේ විනාඩි 5 පොප් සින්දුවක් බටහිර ශාස්ත්‍රීය සංගීතය අනුව කිව්වොත් ඒ සඳහා විනාඩි 45ක් පමණ වැය වේ.

ලංකාවේ දැනට පාවිච්චි වෙන හින්දුස්ථාන් රාගධාරී සංගීතය සහ සිංහල සරළ සංගීතය අතර ද මෙවැනිම වෙනස්කම් ඇත. බයිලා යනු මේ කිසිවකට නැති වෙනම විලාසිතාවකි. බටහිර ශාස්ත්‍රීය සංගීතයට හුරු වූ අය බටහිර පොප් සංගීතය ගණන ගන්නේ නැත. හින්දුස්ථාන් රාගධාරී සංගීතයට හුරුවූ අය බයිලා ගණන් ගන්නේ නැත. අප්‍රිකානු ගැමි සංගීතයට හුරු වූ අය ලෝකයේ වෙනත් කිසිදු සංගීත ක්‍රමයක් ගණන් ගන්නේ නැත. මෙයට අවුරුදු 500කට පෙර ලංකාවේ පැවති ජන සංගීතය ඉතාම සරල එකම විදියේ තාලයක් ඇති කවිවලින් සමන්විත විය. මේවා ඒක තානමය නිර්මාණ ලෙස හඳුන්වන ලදී. මේ කවි එකක් කිව්වත් සීයක් කිව්වත් ඒ සියල්ලටම තිබුණේ එකම එක තාලයක් පමණී. පාඨකයාගේ දැනගැනීම පිණිස තවත් කුඩා කාරණයක් සඳහන් කරමු. රුසියාවේ දැනට තිබෙන බල සම්පන්න වැගනර් කුලී හමුදාවේ අයිතිකාරයා වැඩියෙන්ම ප්‍රිය කරන සංගීතඥයා වන්නේ ජර්මනියේ රිචඩ් වැග්නර් ය. එම කුලී හමුදාවට වැග්නර් හමුදාව යන නම තබා ඇත්තේ රිචඩ් වැග්නර් සිහිවීම පිණිසය.

සංස්කෘතික උරුම යොදාගෙන පර්යේෂණ පැවැත්වීම ඉතා සුදුසුය. එහෙත් එම උරුමය කපා ඒ මැද ඇත්තේ කුමක්ද යන්න සොයා බැලීම ඉතා භයානකය. ලංකාවේ ජාතික ගීය යනු ජාතික උරුමයක් බවත් එම ගීතයේ තාලය වෙනස් කළ නොහැකි බවත් එම ගීතයේ පද වෙනස් නොකළ යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් එම ගීතය සුරක්ෂිත කර ඇති බවත් උමාරා සිංහවංශ දැනගත යුතුව තිබිණ. නීතිය නොදැනීම දඬුවම් නොලැබීමට හේතුවක් නොවේ.

අප මෙසේ කීමෙන් අපේක්ෂා කරන්නේ උමාරා සිංහවංශ දාහතර දවසකට රිමාන්ඩ් කර රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇයට ඇප දිය යුතු බව නොවේ. මේ රටේ කිසිදු කලාකරුවකුට එසේ විය යුතු නැත. හැබැයි කලාකාරයා සිය මොළේ පාවිච්චි කරන්නේ නැත්නම් සහ තමන් කියන දේ ගැන ඇයට හෝ ඔහුට දැනුමක් නැත්නම් ඒ කලකාරයාගෙන් වැඩි වැඩක් ගත නොහැකි අතර ඒ කලාකාරයාට ද වැඩිදුර ගමනක් නැත. කතරගම දේවාලය වන්දනා කරමින් හරෝ හරා යැයි කියන බැතිමතුන් වැඩිදෙනා එහි තේරුම දන්නේ නැත. එසේම ගිරිය පුප්පා බඩෙන් ගී ගයන ගායක ගායිකාවන් වැඩිදෙනා ඔපෙරා ගැන ද දන්නේ නැත. මව් කිරට අභියෝග කළ නොහැකිය. ලෝකයේ ඉහළම තැනක මවු කිරි පවතී. එය එළකිරිවලට සහ සෝයා කිරිවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයකි. සංස්කෘතියට ද අභියෝග කළ නොහැකිය. එසේ අභියෝග කරන විට අභියෝග කරන්නාගේ සකල ශරීරයම ගිනි ගනී.

Comments