සීයට පනහේ ආතල් කතාවක් | සිළුමිණ

සීයට පනහේ ආතල් කතාවක්

චීනයේ තිබෙන චීන හෝටල්වලට වැඩි සංඛ්‍යාවක් චීන හෝටල් ලංකාවේ තිබේ. කඩ කාමරවල ඉදිරියෙන් පැලැල්ලක් දමා රතු පාටින් ඒ මත මකරකු ඇඳ නූඩ්ල්ස් ටිකක් හෝ බත් ටිකක් තෙම්පරාදු කිරීම ශ්‍රී ලංකාවේ චීන හෝටල් බහුතරයක ලක්ෂණය වේ. හැබැයි අවසන් විග්‍රහයේදී මේ හෝටලය පැලැල්ලකින් වසන ලද නිකන්ම නිකන් කඩයකි. නියම චීනා මේ හෝටලයෙන් නූඩ්ල්ස් කන්නේ සැබෑ ශ්‍රී ලාංකික ආහාරයක් සේ සිතාගෙන මිස චීන කෑම කන මානසිකත්වයකින් නොවේ.

ඊජිප්තුවේ තිබෙනවාට වඩා පිරමීඩ සංඛ්‍යාවක් ලංකාවේ ඇත. ඊජිප්තුවේ පාරාවෝ හෙවත් ෆේරෝ රජ පරපුර විසින් මීට අවුරුදු 4,000 ට පෙර සාදන ලද යෝධ පිරමීඩ සහ ලංකාවේ පිරමීඩ අතර වෙනසක් ඇත. ලංකාවේ පිරමීඩ ද ඊජිප්තුවේ පිරමීඩවලටත් වඩා විශාල වන අතර ඒ සියල්ලම මුදල් වංචා කිරීම සඳහා සාදන ලද වංචනික ව්‍යාපෘති වේ. පසුගිය අවුරුදු 30 ක පමණ කාලය තුළ පිරමීඩ ක්‍රමය ලංකාව තුළ ක්‍රියාත්මක විය. ඒ හැම කාලයකම වංචනික පිරමීඩ ව්‍යාපෘතිවලින් ඈත්ව සිටින ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් මේ රටේ ජනතාව දැනුවත් කෙරුණු නමුදු ඒ හැම අවස්ථාවකදීම ජනතාව පිරමීඩ වෙත තව තවත් ඇලෙන්නට පටන්ගෙන අතේ තිබෙන සියලු මුදල්වල‍ට කෙලවා ගත්හ.

දඬුවම් මුදලාලි යනු ක්‍රිස්තු වර්ෂ 2000 න් පසු මේ රටේ පහළ වූ කදිම පිරමීඩකාරයෙකි. ඔහු වෘත්තීය ධීවරයකු වූ අතර මාළු දැල්වලට දඬුවම් ගැට දැමීමෙහි ප්‍රවීණයකු විය. ඔහු මුහුදුකරයේ ජීවත් වූ ජනතාව රවටා ඒ මිනිසුන්ගෙන් මුදල් තැන්පතු ලබා ගත්තේය. මේ තැන්පතු සඳහා ඔහු සමහරවිට මාසයකට 50% ක පොලියක් හෙවත් අවුරුද්දකට 600% ක පොලියක් ගෙවීය. එනම් ඔබ දඬුවම් මුදලාලිට රුපියල් ලක්ෂයක් දුන් විට මාසයක් සම්පූර්ණ වූ විට මුදලාලි රුපියල් 50,000 ක පොලියක් ඔබට ගෙවයි. මෙය ආරංචි වූ විට දස දහස් ගණන් මුදලාලි හමුවීමට පැමිණ මුදල් තැන්පත් කරන්නට පටන් ගත්හ. ඒ ආකාරයෙන් ඔහු රුපියල් බිලියනයක පමණ මුදලක් එකතු කරගෙන තිබිණ. ජනතාවගෙන් එකතු කරගත් තැන්පතු දඬුවම් මුදලාලි කිසිදු තැනක ආයෝජනය කළේ නැත. ඔහු තැන්පතුවලින්ම මුදල් ගෙන පොලී ගෙවමින් තව තවත් තැන්පතු එකතු කළේය. මෙය දීර්ඝ කාලීනව එක දිගට යා හැකි ගමනක් නොවේ. කිසියම් තැනකදී මුදල් සියල්ල ඉවර වන අතර එතැනින් පිරමීඩය නවතී. හැබැයි මෙවැනි වංචනික ව්‍යාපෘතිවල නිරත වන අය මිලියන දහසක් එකතු කරගත්තොත් එයින් මිලියන 500 ක් වත් ඉතිරි කරගනී.

දඬුවම් මුදලාලිට පොලී ගෙවා ගැනීමට බැරි වූ තැන දහස් සංඛ්‍යාත තැන්පතුකරුවෝ ඔහුගේ නිවෙස වට කළහ. පොලිස් පැමිණිලි දහසකට පමණ පසු අත්අඩංගුවට පත්වූ මුදලාලි ඇප පිට නිදහස් කරන ලදී. ඉන්පසු දඬුවම් මුදලාලි දැක ගැනීමට කවදාවත් කාටවත් බැරි විය. විරුද්ධකරුවන් ඔහු මරණ ලදැයි කට කතාවක් තිබේ. එසේම බලගතු දේශපාලනඥයකු විසින් දඬුවම් මුදලාලි සතුව තිබූ මුදලින් කොටසක් ලබාගෙන ඔහු ඉන්දියාවට ගොස් දමන ලදැයි ද තවත් කතාවක් තිබේ. ලංකාවේ රුපියල්වලින් ඉන්දියාවේ ජීවත් වීමට පුළුවන. එරට චෙන්නායි නගරයේ මහා බෝධිය අවට ඇති කඩවල් සිය ගණනක් ලංකාවේ මුදලින් ගනුදෙනු කරයි. ඒ නිසා ලංකාවේ මුදල් වැයකර ඉන්දියාවේ ජීවත්වීම ඒ තරම් ලොකු ගේමක් නොවේ.

දඬුවම් මුදලාලි වැනි සිය දහස් ගණනක් අපි පසුගිය අවුරුදු තිහ තුළදී දැක ඇත්තෙමු. ජනතාවගෙන් තැන්පතු භාරගෙන ඒවාට ලොකු පොලියක් ලබාදුන් ප්‍රමුඛ බැංකුවේ ලොක්කා දවසක අතුරුදන් විය. ඔහු ළඟ මුදල් තැන්පත් කළ අයගෙන් විශාල පිරිසක් සිය දිවි නසා ගත්හ. සෙලින්කෝ ව්‍යාපාරයට අයත්ව තිබූ ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගම ද මෙවැනිම ආයතනයකි. ඊට අමතරව එම සමාගම් සමූහයේ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් ආයතනය ද ජනතාවට ලොකු පොලියක් පොරොන්දුවී මුදල් තැන්පතු භාරගෙන රුපියල් මිලියන කිහිපයක පොල්ලක් තැබීය. ඉංගිරිසි බසෙහි කෙළ පැමිණි සක්විති රණසිංහ සූරිහු ද මේ කාරණයේදී අපි අමතක නොකරමු. පිරමීඩ වංචනිකයන් ගැන සහ ජනතාවට බොරු පොලී පෙන්නා මුදල් රැස්කරන හොරු ගැන ශ්‍රී ලංකා මහ බැංකුව මසකට කිහිප වරක්ම දැන්වීම් ප්‍රචාරය කරයි. එවැනි හොරුන්ට අහු නොවෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිතරම ජනතාවගෙන් ඉල්ලයි. එසේ ඉල්ලන සෑම විටකම අලුත් පිරමීඩකාරයෙක් මතුවන අතර ජනතාව දිව ගොස් ඔහු ළඟ මුදල් තැන්පත් කරයි.

මේ මිනිසුන් මේ මුදල් හොයාගන්නේ අතේ පයේ තිබෙන දෙයක් හෝ තමන් වාසය කරන නිවෙස උගස් තැබීමෙනි. සමහරු ජීවිත කාලයක් වැඩ කිරීමෙන් ලැබෙන EPF සල්ලි පිරමීඩය තුළ තැන්පත් කරයි. EPF පොලිය මසකට 3% ක් නම් පිරමීඩකාරයාගේ පොලිය කෙළින්ම 50% කි. එය EPF පොලිය හෝ බැංකු පොලිය විසි වරක් පමණ ඉක්මවන විශාල පොලියකි. ශ්‍රී ලංකා මහ බැංකුව පිරමීඩකාරයන් ගැන කට කැඩෙනකල් කීවද මිනිස්සු තිලිණි ප්‍රියමාලිට හසුවූහ. තිලිණි ප්‍රියමාලි කාගෙවත් පපුවට පිහියක් තබා සල්ලි ඉල්ලුවේ නැත. ඇය ළඟ මුදල් තැන්පත් කළ හැම කෙනෙක්ම ඒ කාර්යය සිය කැමැත්තෙන් සිදු කළෝය.

ඉහත සඳහන් වර්ගයේ මුදල් වංචා හඳුන්වනු ලබන්නේ Ponzi scheme ලෙසිනි. ඒ මේ වර්ගයේ වංචාවක් ලොවට හඳුන්වාදුන් ඉතාලියේ Charles Ponzi සිහි කිරීම පිණිසය. 1882 දී උපන් චාල්ස් පොන්සි සිය බිරියගේ දේපළ සියල්ල උගස් තබා සැලකිය යුතු මුදලක් හදාගෙන දකුණු ඇමරිකාවට ගොස් පොලියට දීමේ ව්‍යාපාරයක් පටන් ගත්තේය. ඔහුගේ පොලිය ඉතා අඩු විය. මේ අතර ඔහු තැන්පතු එකතු කරන්නට ද පටන් ගත්තේය. එම තැන්පතු මුදල තමා ළඟ දවස් 45 රඳවා තැබුවොත් 50% ක පොලියක්ද දවස් 100 රඳවා තැබුවොත් 100% ක පොලියක්ද දීමට පොන්සි තැන්පතුකරුවන්ට පොරොන්දු විය. ඔහු මෙය ලතින් ඇමෙරිකාවේ රටවල් කිහිපයක කරමින් ඩොලර් මිලියන 20 ක් පමණ සොයාගෙන අතුරුදන් විය. එකල ඩොලර් මිලියන 20 ක් යනු අද ඩොලර් මිලියන 285 ට සමාන මුදලකි. යමක් කමක් තිබුණු පවුලකින් පැවතෙන පොන්සි ඉතා හොඳට ඇඳ පැලඳගෙන සැප වාහනවල ගමන් කිරීමෙන්ද ඇමෙරිකාවේ Waldorf Astoria වැනි හෝටල්වල නවාතැන් ගැනීමෙන්ද ලොකු පාටි දැමීමෙන්ද ද ධනවත් සමාජය සිය සාක්කුවට දමා ගත්තේය. තිලිණි ප්‍රියමාලි යනු චාල්ස් පොන්සිගේ කුඩා පිටපතකි. අපේ ආර්ථිකය දෙස බලන විට තිලිණි ප්‍රියමාලිට වඩා ලොකු පොන්සි පිටපත් හටගැනීමට කිසිදු අවකාශයක් නැත. එසේ වුවද මසකට 50% පොලියට මුදල් ණයට දීමට කැමති අය අදත් මේ රටේ වෙසෙති.

Comments