ඇණ ගැසීම සහ උල තැබීම | සිළුමිණ

ඇණ ගැසීම සහ උල තැබීම

2022 වන නත්තල අදට යෙදී තිබේ. එයින් අදහස් කෙරෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙයට අවුරුදු 2022 ට පෙර දෙසැම්බර් 25 දා උපන් බවය. කිතු උපත පිළිබඳ දිනය ස්ථිර නමුදු එම උපත සිදුවූ අවුරුද්ද පිළිබඳ මතභේදයක් අදටත් පවතී. බයිබලය පිළිබඳ විශේෂඥ දැනුම ඇති ඇතැමකුගේ මතය අනුව කිතු උපත සිදුවන්නේ ක්‍රිස්තු වර්ෂ 6 දීය. ඉතිහාසඥයන්ගේ මතය අනුව කිතු උපත සිදුවන්නේ ක්‍රි.ව 4 දී ය. ඒ අතර තවත් සමහරු ක්‍රි.ව 5 දීත් කිතු උපත වී යැයි කියති. මෙහිදී වැදගත් වන්නේ ක්‍රිස්තුස් වහන්සේ උපන් අවුරුද්ද, මාසය, දිනය හෝ වේලාව නොව උන්වහන්සේ උපන් බව පමණි. කිතු උපත සමරා උත්සව පවත්වන්නන්ට මාසය සහ දිනය වැදගත්ය. කිතු දහමේ දාර්ශනික අගය ඇසුරු කරන්නන්ට කිතු උපත කවර අවුරුද්දක, කවර මාසයක, කවර දවසක සිදු වුවත් එකය.

ශාස්තෘෘන් වහන්සේලා වැඩි දෙනකුගේ උපත පිළිබඳව මතභේද තිබේ. භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ ක්‍රි.පූ. 563දී උපන් බව ඇතැම් ඉතිහාසඥයෙක් කියයි. පුරාවිද්‍යාඥයන්ගේ මතයට අනුව උන්වහන්සේ ඉපිද ඇත්තේ ක්‍රි.පූ 483 දීය. සමහර රටවල් අදහන පරිදි බුද්ධෝත්පත්තිය සිදුවන්නේ මැයි 7 වන දාකය. බංග්ලාදේශය, භූතානය, කාම්බෝජය, මියන්මාරය, තායිලන්තය සහ තිබ්බතය කියන්නේ බුද්ධෝත්පත්තිය මැයි 19 දා සිදු වූ බවය. ඉන්දියාව, ඉන්දුනීසියාව, නේපාලය, මැලේසියාව, සිංගප්පූරුව යන රටවල බෞද්ධ නිකායන් අදහන පරිදි බුදු උපත මැයි 26 වන දාවක සිදු විය. ඒ අතර බහායි ආගම නමැති දර්ශනයක් පර්සියාව ආශ්‍රයෙහි තිබේ. මේ ආගමේ නායකයා වන්නේ බහාඋල්ලාතුමාය. එතුමාගේ උපත පිළිබඳ දිනය ද විටින් විට මාරු වේ. 1817 නොවැම්බර් 12 දා ඉරානයේ ටෙහෙරාන් නුවරදී එතුමෝ උපන්නා යැයි සැලකේ. එහෙත් 2021 එම උපන් දිනය සමරන ලද්දේ නොවැම්බර් 7 වනදාය. 2022 එම උපන් දිනය ඔක්තෝබර් 27 දා සමරන ලදි. එම දිනය කවරක් වුවද බහායි ආගමේ දර්ශනයට කිසිදු හානියක් වී නැත. නූතන පාරිභෝගික සමාජය තුළ නත්තල සහ වෙසක් යන දවස් බැතිමතුන්ගේ අාධ්‍යාත්මය සමඟ බැඳී තිබේ.

මේ දවස් දෙකේ බාහිර ස්වරූපය ව්‍යාපාරිකයන් සමඟ බැඳී තිබේ. නත්තල් සැරසිලි තනන්නෝත්, නත්තල් ගස් විකුණන්නෝත් බල්බ් වැල් අලෙවි කරන්නෝත් නත්තල් දවස්වල වෙනදාට වඩා ටිකක් හොඳට ජීවත් වෙති. වෙසක් සැරසිලිකාරයෝ වෙසක් දවස්වලදී වෙනදාට වඩා ටිකක් හොඳට ජීවත් වෙති. නත්තල ලබන විටත් අලුත් අවුරුද්ද ලබන විටත් රතිඤ්ඤා පත්තු කරනු ලැබේ. මේ දවස් දෙකේ පත්තු වන රතිඤ්ඤා ප්‍රමාණයේ වටිනාකම ශ්‍රී ලංකාව වැනි රටකදී නම් රුපියල් කෝටි ගණනක් ඉක්මවයි. යුරෝපයේ රටවල රතිඤ්ඤා පාවිච්චියක් නැති බැවින් නත්තල් දා රෑ 12 ටත් සිංහල අවුරුදු දා රෑ 12 ටත් තුවක්කු වලින් අහසට වෙඩි තබා නත්තල් උදාව සහ නව අවුරුදු උදාව සමරනු ලැබේ.

මේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ රතිඤ්ඤා කර්මාන්තකරුවන්ට සිදු වූ විශාල පාඩුවක් ගැන මෙහිදී සඳහන් කරමු. මේ රටේ රතිඤ්ඤා නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන්නේ කුලියාපිටියයි. පසුගියදාක මාලදිවයිනේ රුපියල් කෝටි ගණනක රතිඤ්ඤා ඇනවුමක් කුලියාපිටියට ලැබිණ. එහෙත් සතියකට පමණ පෙර එම ඕඩරය හදිසියේම කැන්සල් විය. මේ නිසා අපේ රතිඤ්ඤා නිෂ්පාදකයන් මහත් අමාරුවක වැටිණි. එය අමතර කාරණයකි. මේ මඟින් නත්තලේ ආධ්‍යාත්මික හරයට කිසිදු හානියක් සිදු නොවේ. එහෙත් මාලදිවයිනට රතිඤ්ඤා විකුණා ඒ මුදලින් නත්තල් කෑමට බලා සිටි සියලු දෙනා බිමටම සමතලා වීම ශෝකජනකය.

ජේසුස් ක්‍රිස්තුස් යනු දුකෙහිම ඉපිද, දුකෙහිම ගැලී ජීවත්වී, දුකෙන්ම මිය ගිය චරිතයකි. උන්වහන්සේ උපන්නේ ගව මඩුවකය. මැද පෙරදිග කටුක පරිසරයෙහි උන් වහන්සේ ඉතා දුෂ්කර ජීවිතයක් ගෙවූහ. ඉන්පසු එතෙක් පැවති සාම්ප්‍රදායික ඒකාධිපති යුදෙව් ආගම්වලට එරෙහි මතවාදයක් පළ කළ බැවින් කුරුසියක් මත තබා ඇණ ගසා උන්වහන්සේ මරණ ලදි. කුරුසියෙහි ඇණ ගසනු ලබන්නා සහ උල තබනු ලබන්නා යන දෙදෙනාගේම මරණය ඉතා ප්‍රමාදය. කුරුසියෙහි ඇණ ගැසීමේදී අත්වලට සහ කකුල්වලට ගසන ඇණ වලින් මරණීය තුවාල හටගන්නේ නැත. එබැවින් ඇණ ගසනු ලැබීමට පාත්‍ර වන්නා දින ගණනාවක් දුක් විඳ විජලනය වී මිය යයි. උල තැබීමේදී ඇතිවන තත්ත්වයද මෙයමය. කෙනකු උල තබන විට එම උල ශරීරයේ එක කොනකින් ඇතුළු වී අනෙක් කොනින් පිටවීමට සති ගණනක් ගත වේ. එවිට උල තැබීමට ලක්වූ තැනැත්තා විජලනය වී මිය යයි. මධ්‍යකාලීන යුගයේ රාජාණ්ඩු තමන්ට විශාල තර්ජනයක් විය හැකි ප්‍රගතිශීලී මතධාරීන් මර්දනය කිරීම සඳහා මේ දණ්ඩන ක්‍රම දෙක යොදා ගනු ලැබූහ.

මේ දවස්වල ලංකාවෙන් සෙනඟ පටවන රුමේනියාව නමැති රටක් තිබේ. ඒ රට ආශ්‍රයෙහි ට්‍රාන්සිල්වේනියාව නමැති ප්‍රදේශයක් ඇත. එක්දහස් හාරසිය ගණන්වලදී ට්‍රාන්සිල්වේනියාව චෞර රාජ්‍යයක් වූ අතර Vlad The Impaler නමැති මිනීමරු පාලකයකු විසින් මෙය පාලනය කරන ලදි. ව්ලැඩ් ඩ්රැකියුලා කිසියම් කතෝලික නිකායක් ප්‍රවර්ධනය කළ අතර ඒ නිකායේ නොවන සෙසු කතෝලික නිකායන් අදහන අය අල්ලා උල තැබීය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය ඉතා වේදනාකාරී එකකි. ජනතාව වෙනුවෙන් ධර්මය දේශනා කිරීම එකල පැවති රෝම රජය ඉක්මවා යෑමකි. එවැනි දෙයට හිමි දඬුවම මරණය වේ. එහෙත් මරණය අත ළඟ බව දැන දැනම උන් වහන්සේ සිය ධර්මය ප්‍රචාරය කළහ. එතෙක් කලක් අහසේ වැඩ සිටි දෙවියන් වහන්සේ පොළවෙහි ජීවත් වූ මනුෂ්‍යයාගේ හදවත තුළට ගෙනෙන ලද්දේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසිනි.

මේ රටේ කිතුනු ජනයාට මෙවර නත්තල සැමරීමට සිදුව ඇත්තේ දරුණු ආර්ථික අපහසුකම් මැදය. මෙවැනි භෞතික දුෂ්කරතා තිබෙන අවදිවලදී දෙවියෝ මනුෂ්‍යයාට වඩාත් ළං වෙතැයි කියමනක් පවතී. මේ නත්තල ඒ කියමන අරුත් ගන්වනවා ඇත.

Comments