
අවුරුදු 2300 ක සිංහල රාජාවලිය අවසන් කරමින් 1815 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා ශ්‍රී ලංකාව අල්ලා ගන්නේ තමන් ලෝක ලෙඩකට කරගහන්නට යන බව කිසිසේත්ම දැනගෙන නොවේ. ශ්‍රී ලංකාව ලෝක ලෙඩක් වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා මේ රටේ හැසිරුණු විලාසය අනුවය. මේ රට හැකි උපරිමයෙන් සූරාකෑමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියාට අවශ්‍ය විය. ඒ උදෙසා සුදු සිතක් ඇති කළු සමක් තිබෙන සිංහලයන් බිහි කිරීමට බ්‍රිතාන්‍ය පාලකයෝ පටන් ගත්හ. මේ පිරිස නොම්බර එකේ පුරාජේරුකාර පැලැන්තියක් විය. සුද්දා 1815දී රට අල්ලාගෙන අවුරුදු 50 ක් ගත වෙද්දීම එතෙක් ගඩා ගෙඩි කකා සිටි මේ රටේ සිංහල සුද්දන්ට එංගලන්තයේ ඇපල් සහ මිදි නැතුවම බැරි විය. ඔවුන් පානය කළේ ප්‍රංශයෙන් ගෙන්වූ කලවම් නොකළ වයින් පමණි. විස්කි තෝරා ගැනීමේදී ඔවුහු මිල අධිකම විස්කි කෙරේ යොමු වූහ.
මෙය මෙතැනින් නොනවතී. ලන්ඩනයේ මැසූ ෆුල් සූට් ඇඳගෙන බෙල්ජියමේ හැදූ තොප්පි දමාගෙන ජර්මනියේ නිෂ්පාදනය කරන ලද හොඳම ලෙදර් සපත්තු දමාගෙන කෝට් එකට යටින් සහ කලිසමට උඩින් ට්විඩ් රෙද්දක් ඇඳගත් අපේ සිංහල ධනපතීන් එදා පෙනී සිටියේ විකට ඇඳුම් තරගවලට සහභාගී වන කෝලම්කාරයන් ලෙසය. මෙසේ අඳින අය රෙද්ද අස්සේ මහත්තයා ලෙස හඳුන්වන ලදී. මේ පුරාජේරු පන්තිය නඩත්තු කිරීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුවට විශාල මුදලක් වැය විය. අන්තිමේදී 1870දී පමණ ශ්‍රී ලංකාවේ පළවෙනි අය වැය ලේඛනය යටත් විජිත භාර මහ ලේකම් විසින් සාදන ලද බව කියනු ලැබේ. එවිට මේ රට බලවත් සේ පාඩු පිට දුවන යටත් විජිතයක් බව බ්‍රිතාන්‍යයට වැටහිණ. එහෙත් ඉන්දියාව සමඟ එකම ගිණුමක් යටතට දමා ලංකාව ද පාලනය කළ බැවින් මේ රට නඩත්තු කිරීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් බ්‍රිතාන්‍යයට තිබුණේ නැත. එහෙත් 1947දී බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාවට නිදහස දීමෙන් පසු ශ්‍රී ලංකාව වෙනම රටක් ලෙස පාලනය කරගෙන යාමට බැරි තරම් පාලන වියදම වැඩි නාස්තිකාර කොලනියක් බව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියාට වැටහිණි. මේ නිසා, ඇත්තම කතාව නම් බ්‍රිතාන්‍ය විසින් අපේ රටට නිදහස දෙන ලද්දේ සිය කැමැත්තෙන් බවය. මෙහිදී මේ රටේ නිදහස් ව්‍යාපාරය බාල්දු කිරීමේ අරමුණක් අප තුළ නැත. අප කිව්වේ ඇත්ත කතාවය.
1815දී ශ්‍රී ලංකාව අත්පත් කරගත් එංගලන්තය විවිධ බදු වර්ග මෙරටට හඳුන්වා දුන්නේය. එය වංගෙඩි මෝල් ගස් වෙනුවෙන්ද මහ පාරේ ගමන් කිරීම වෙනුවෙන්ද, වැස්ස සහ අව්ව වෙනුවෙන්ද ගැහැනුන් ලය මඬල වසා ගැනීම සඳහා හැට්ට ඇඳීම වෙනුවෙන්ද යනාදී වශයෙන් පනවන ලද අභව්‍ය බදු ක්‍රමයකි. 1870දී පමණ ශ්‍රී ලංකාවට අරක්කු හඳුන්වා දීමෙන් පසු සුරා බද්ද මෙරටට හඳුන්වා දෙනු ලැබේ. ඊට අමතරව තැබෑරුම් පවත්වාගෙන ගිය රේන්දකාරයාගෙන් ද බද්දක් ගසන ලදී. එවිට රේන්දකාරයා එම බද්ද අරක්කු බෝතලයට එකතු කර එහි මිල වැඩි කළේය. මේ අනුව යටත් විජිත ශ්‍රී ලංකාවේ පළමුවන වක්‍ර බද්ද අරක්කු බද්ද ලෙසට මතයක් පවතී. ඊට අමතරව කුඹුරු හිමියන්ගෙන් ද, හේන් ගොවීන් ගෙන් ද, රෙදි වියන්නන්ගෙන් ද, ධීවරයන්ගෙන් ද විවිධ ඍජු බදු අයකර ගැනීම සිදු විය.
එහෙත් මේ හැම බද්දකින්ම පැන ගැනීමට ධනපතියන්ට හැකි විය. 1870දී සිදුවූ ඒ සිද්ධිය අදටත් එසේම පුනරුච්චාරණය වෙයි. අපේ රටට පුරුදු වී ඇත්තේ වක්‍ර බදු ගෙවීම පමණි. ඍජු බදුවලින් පැන යාම මිස ඒවා ගෙවීමේ පුරුද්දක් අප තුළ නැත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් කෙළසීමට පළමුව මේ රටේ සිටි ජනයා බදු ගෙවීම සම්බන්ධයෙන් වඩාත් අවංක ප්‍රතිපත්තියක සිටි බව දැන ගන්නට තිබේ. ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය පළමුවෙන්ම ආරම්භ වී ඇත්තේ ක්‍රි.පූ. තුන්වන සියවසේදීය. එම කාලයේදී වගා කටයුතු සඳහා වැව්වලින් වතුර ගැනීම වෙනුවෙන් ඍජු බද්දක් පනවා තිබිණ. ‘දකපති’ සහ ‘බොජකපති’ ලෙස එම බදු හඳුන්වන ලදී. මහනුවර යුගයේදී බදු අය කරන ලද්දේ ශ්‍රමයෙනි. රාජධානියේ වැසියා අවුරුද්දේ කිසියම් කාලයක් තුළ රජු වෙනුවෙන් නොමිලේ වැඩ කළ යුතු විය. මෙය ද ඍජු බද්දකි.ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වර්තමාන ආණ්ඩුව විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග කිහිපයක් හේතුවෙන් මේ රටේ වාමාංශික විපක්ෂය ද දක්ෂිණාංශික විපක්ෂය ද භීතියෙන් ඇළලී ගොස් ඇති බව පෙනේ. ආණ්ඩුව මෙවර උත්සාහ කර ඇත්තේ ඍජු බදු ප්‍රවර්ධනය කිරීම හෙවත් සරදියෙල්ගේ හා රොබින්හුඩ්ගේ පාට් එක ඇට් කිරීමය. ධනපතියන්ගෙන් ගාණක් කඩාගෙන දුප්පතුන් අතර බෙදා දීම සරදියෙල්ගේ සිරිත විය. එසේම එංගලන්ත රජුගේ බදු අය කරන්නන් විසින් දුප්පත් වැසියන් තලා, මරා, හඬවා, කඩා වඩා ගන්නා ලද බදු මුදල් මඟදී කොල්ලකා දුප්පතුන් අතර බෙදීම රොබින්හුඩ්ගේ ඇක්ෂන් එක විය. මේ දෙකම ධනපතියා ඉදිරියේදී ප්‍රතිගාමී කටයුතු වූ අතර, දුප්පතා ඉදිරියේ ප්‍රගතිශීලී කටයුතු බවට පත්විය.
මේ ආණ්ඩුව මේ දිනවල කරගෙන යන්නේ වක්‍ර බදු තුළ සැඟව සිට රට ජාතියට හෙණ ඉල්ලන ධනපතියන් සහ වැඩි ආදායම්ලාභීන් සොයා ගොස් ඔවුන්ගෙන් ඍජු බදු අය කිරීමය. ශ්‍රී ලංකාව තුළ දෙකෝටි විසිලක්ෂයක ජනගහනයක් වෙසෙති. එයින් එක්කෝටි විසිලක්ෂයක්ම බදු ගෙවීමට ශක්තියක් නැති අය ලෙස සලකා කපා හැරියොත් තවත් කෝටියක ජනගහනයක් ඉතිරි වේ. එම කෝටියෙනුත් ලක්ෂ පනහක් බදු ගෙවීමට බැරි අය ලෙස සලකා අත්හැර දැමුවොත් තවත් ලක්ෂ පනහක් ඉතිරි වේ. මේ පිරිසෙන් කිසියම් බද්දක් ලබා ගැනීමට හැකි වුවද මේ රටේ ඍජු බදු ගෙවන සංඛ්‍යාව වසර 2019 වන විටත් තිබුණේ පහළොස්ලක්ෂයක සීමාවේය. වසර 2020දී මේ බදු ගෙවන පිරිස මිලියනය දක්වා අඩු විය. 2021දී එම ගණන හාර ලක්ෂ දොළොස්දාහක් විය. මෙසේ බලාගෙන යනවිට 2030 පමණ වන විට මේ රටේ එකතුවත් ආදායම් බදු නොගෙවනවා ඇත.
සුරා බදු, අගය එකතු කල බදු, ආදායම් බදු, තීරු බදු යනුවෙන් බදු වර්ග කිහිපයක් මේ රටේ තිබේ. රට දුවවන්නේ මේ බදු මුදල්වලිනි. රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්නේත්, පොදු පහසුකම් සපයනු ලබන්නේත් මේ බදු මුදල් මඟිනි. කිසිදු දියුණු රටක ආණ්ඩුවක් බිස්නස් කරන්නේ නැත. එම ආණ්ඩු විසින් කරනු ලබන්නේ බිස්නස්කාරයන්ගෙන් බදු අය කර එම මුදලින් රට ක්‍රියාත්මක කිරීමය. අපේ රටේ ආණ්ඩුව ඉතිහාසයේ පටන්ම විවිධ බිස්නස් පටන්ගෙන තිබිණ. එය රටක දියුණුවට නොගැළපේ. ආණ්ඩුව බිස්නස් කරන්නට ගිය විට දූෂණය පැතිර යයි. මේ නිසා අපගේ වැටහීම වන්නේ ආණ්ඩුව තමන් කරන සියලු බිස්නස් නතර කර ඒවා බිස්නස් කළ හැකි අයට බාරදී එකී බිස්නස්කාරයන්ගෙන් සහ බදු ගෙවිය හැකි අයගෙන් බදු අයකර රට පවත්වාගෙන යා යුතු බවය. මාසිකව රුපියල් ලක්ෂයක ආදායම ඉක්ම වන අයගෙන් බද්දක් ගැනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ලොකු කලබලයක් වී තිබේ. එහෙත් ලංකාවේ ජනගහනයෙන් 30% ක් වත් මාසිකව රුපියල් ලක්ෂය ඉක්මවා ආදායම් ලබන්නේ නැත. ඒ නිසා වමේ විපක්ෂය සහ දකුණේ විපක්ෂය අමුතුවෙන් බිය විය යුතු නැත. බදු මුදලින් රට පවත්වාගෙන යන අතර, බිස්නස්කාරයන්ට වැඩි අවස්ථාවක් ලබාදී රටේ ඒක පුද්ගල ආදායම දියුණු කිරීම ආණ්ඩුවේ වගකීමය.