
ශ්‍රී ලංකාවේ දුම්රිය කර්මාන්තය ව්‍යාපාරික ඒකකයක් වශයෙන් ගත් කල බඩගාන කර්මාන්තයකි. ශ්‍රී ලංකාවේ බස් කර්මාන්තය ව්‍යාපාරික ඒකකයක් වශයෙන් ගත් කල හොම්බෙන් යන කර්මාන්තයකි. බඩ සහ හොම්බ එකිනෙකට බෙහෙවින් සම්බන්ධය. හොම්බ දිගේ පහළට යන ආහාර නිසි ලෙස දිරවා ගැනීම සඳහා බඩ අත්‍යවශ්‍ය වේ. එහෙත් හොම්බත් බඩත් යන දෙකම හරියට වැඩ නොකරන විට ඉතාම කෘෂ ඉතාම නකුටු පංචස්කන්ධයක් බිහි වෙයි. වැඩක් හරියට කර ගැනීමට මේ පංචස්කන්ධයට බැරිය. රටක් ක්‍රියාශීලී මට්ටමෙන් පවත්වා ගෙන යාම පිණිස වඩාත්ම අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ප්‍රවාහනයයි. එහෙත් අපට ඇත්තේ නන්නත්තාර වූ ප්‍රවාහනයකි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයට අයත් ප්‍රවාහන කර්මාන්තය ජනසතු හුඹහෙන් එළියට ඇද නැවත වතාවක් පුද්ගලික අංශයට පවරා දිය යුතු බව රට වැසියෝම පවසති. මෙයට විරුද්ධ වන්නේ වෘත්තීය සමිති පමණි. මන්ද රටක් හරියට ක්‍රියාත්මක වන විට වෘත්තීය සමිති වලින් වැඩක් නැත. අද අපේ කතුවැකිය පටන් ගන්නේ මෙතැන් සිටය.
ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ඉන්දියාවේ නව දිල්ලියේ පිහිටි ප්‍රවාහන අමාත්‍යාංශයේදී එරට ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති ශ්‍රී නිතින් ගට්කාරි හමුවී ශ්‍රී ලංකාවේ ප්‍රවාහන කර්මාන්තය ගොඩගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටියේය. එහිදී මේ රටේ දුම්රිය මාර්ග පද්ධතිය හා එයට අනුයුක්ත යටිතල පහසුකම් ඉතා ඉක්මනින් වැඩි දියුණු කිරීමට උදව් කරන බව ගට්කාරී පවසා තිබේ. ඒ අතර විදුලි බලයෙන් දුවන බස් රථ ඉන්දියාවෙන් මෙරටට ලබා ගැනීම සඳහා ඇති හැකියාව පිළිබඳව ඇමති දෙපළ සාකච්ඡා කළහ. ඇමැතිවරුන් දෙදනකුගේ සාකච්ඡා පිළිබඳ තොරතුරු කියවීම හෝ එම සාකච්ඡා ශ්‍රවණය කිරීම අපේ රටේ සාමාන්‍ය පාඨකයාට මහත් නීරස අත්දැකීමක් ගෙන දෙනවා ඇත. එහෙත් ඇමැති බන්දුල සහ ඇමැති ගට්කාරී අතර ඇතිවූ සාකච්ඡා මේ රටේ ප්‍රවාහනය දියුණු කිරීමට අදාළ විය හැකි බැවින් කිසිසේත්ම සුළුකොට තැකීමට නොහැකිය. ශ්‍රී ලංකාවේ හැම තැනම පුද්ගලික වාහන තිබේ. එසේ වී යැයි කියා උදේට සහ සවසට බස්වල සෙනඟ අඩුවක් තිබේද? මිනිස්සු බස්වල ෆුට්බෝඩ් එකෙත්, පොල්ලෙත්, ජනෙල් වලත් එල්ලී ගමන් කරති. සමහරවිට බස් එකේ වම් පැත්තේ සිටින සෙනඟ ප්‍රමාණය කොතරම් වැඩිද යත් බස් එක මේ දැන් පෙරළෙතැයි අපට සිතේ.
එහෙත් සියලු ගුරුත්වාකර්ෂණ නියමවලට එරෙහිව යමින් දුප්පත් අහිංසක මගීන්ගේ ජීවිත විනාශ නොකර එම බස් රිය ගමනාන්තය දක්වා යයි. දුම්රියේ තත්ත්වයද එසේමය. ඉන්දියාවේ දුම්රියවල තත්ත්වය තරමටම නරක නැති වුවද උදේටත් සවසටත් මේ රටේ දුම්රිය පෙට්ටිවල බඳ පුපුරන තරමට සෙනඟ පිරී සිටිනු අපට පෙනේ. එහෙත් සියලු නොපෙෙනන බලවේගවල පිහිට ආශීර්වාදය සහිතව ද දුම්රිය මගීහු ගමනාන්තය කරා පණ පිටින් යති.
ඉස්සරහින් එන්ජිමක් සහ පිටිපස්සෙන් ඇදී එන පෙට්ටි පෝලිමක් සහිත දුම්රිය නැමැති අපූරු වාහනය මෙලොව පහළ වන්නේ එක්දාස් පන්සිය පනහේදී ජර්මනියේදීය. මේ කෝච්චි එන්ජිම ඇද්දේ අශ්වයින් විසිනි. ඒවායේ පීලි ලීවලින් සාදා තිබිණ. එක අශ්ව කෝච්චියකට පෙට්ටි හය හතකට වඩා තිබුණේ නැත. ඒ සඳහා පීලි යොදා ගැනීමේ පරමාර්ථය වුණේ අශ්වයන් පෙළ වේගයෙන් දුවන විට පෙට්ටි ටික අයාලේ යෑම වළක්වා ගනු පිණිසය. ඉන්පසු දුම්රිය කර්මාන්තය ඉතා වේගයෙන් දියුණු වූ අතර ලොකු බඩු තොග ප්‍රවාහනය කිරීම සඳහා ඇති වඩාත්ම ලාබදායක ක්‍රමය ලෙස හඳුනා ගන්නා ලද්දේය. යකඩ වලින් සෑදු වාෂ්ප එන්ජින් සහිත දුම්රිය මෙයට අවුරුදු 200කට පෙර බිහි විය. ලෝකයේ වැඩිම වේගයකින් දුම්රිය කර්මාන්තය ව්‍යාප්ත කරන ලද්දේ අමෙරිකාව විසිනි. එරට මීට අවුරුදු දෙසීයකට පෙර මුල් වටයේදී හැතැක්ම 5000ක් දුරට පීලි එළා මගීන් සහ බඩු ප්‍රවාහනය කිරීම සඳහා නගරාන්තර දුම්රිය ඇති කළේය. ඉන් අවුරුදු කීපයකට පසු ස්වකීය දුම්රිය පද්ධතියේ දෙවන වටය ආරම්භ කළ අමෙරිකාව සැතපුම් හැත්තෑදාහක් දිගට රේල් පාරවල් තැනීය. දුම්රිය පාරවල් තැනීමේ පුරුද්ද ඇමෙරිකාවට එන්නේ එංගලන්තයෙනි. එයට හේතුව එංගලන්තයෙන් නැව් නැඟ ඇමෙරිකන් මහද්වීපයට ගිය බ්‍රිතාන්‍ය ජාතිකයන් පිරිසක් විසින් එම රට යුරෝපීය ජනාවාසයක් බවට පත් කරනු ලැබීමය. එංගලන්තයේ සිට පැමිණි හොරු ද, මංකොල්ලකාරයෝ ද, හිරකාරයෝ ද, විද්‍යාඥයෝ ද, කර්මාන්තකරුවෝ ද, කලාකාරයෝද එකට එක්ව අමරිකාව ගොඩනැඟූහ.
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන කර්මාන්තය දියුණු කරන ලද්දේ ද බ්‍රිතාන්‍ය ජාතිකයන් විසිනි. අප හැම තිස්සේම සුද්දන්ට හෙණ ඉල්ලුවද ඔවුන් නොසිටින්නට අපට තවමත් හරියාකාර මහා මාර්ග පද්ධතියක් හෝ දුම්රිය මාර්ග පද්ධතියක් නොමැත. සුදු ජාතිකයන් මේ රටේ මාර්ග පද්ධතිය දියුණු කළේ මේ රට සූරා කෑම සඳහා යොදාගත හැකි ක්‍රමවේදයක් ලෙසින් බව සැබවි. එහෙත් එහි අවසන් වාසිය හිමි වුණේ රටටය. සුද්දා ශ්‍රී ලංකාවෙන් නික්ම යන විට මහ පාරවල් ටික හෝ කෝච්චි පාරවල් ටික හෝ ඒවායේ ගමන් කළ දුම්රිය එන්ජින් කිසිවක් රැගෙන ගියේ නැත. අපට තිබුණේ මාර්ග පද්ධතිය හා ප්‍රවාහන පද්ධතිය දියුණු කර ගැනීම පමණි. එහෙත් අපේ රටේ දේශපාලනඥයන් කළේම ප්‍රවාහන පදධතිය කා දැමීමය. මේ නිසා මේ රටේ ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීමේ දැඩි අවශ්‍යතාවක් මතුව තිබේ. අපේ රටේ පාරවල් මොනතරම් ලොකු කළත්, හයිවේ හැදුවත්, ප්‍රවාහනයේ විශාල අඩුපාඩුවක් ඇත. ස්ටේෂන් එකට ගියෙවිට කෝච්චි නැත. පාරට බැස්ස විට බස් නැත. අපේ ජීවිතවල හැම දුෂ්කර අවස්ථාවකම අපට උදව් කරන ඉන්දියාව අපේ ප්‍රවාහන සේවය වැඩි දියුණු කිරීමට අපට උදව් කරන්නේ නම් එය විශිෂ්ට සේවයක් බව අපගේ වැටහීම වේ.