ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ මහෝත්සවය ලෙස සැලකෙන පාසල් ක්‍රිකට් සම්මාන රාත්‍රිය ඉකුත් 15 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදි. මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ අරවින්ද ද සිල්වා ය. හිටපු අධ්‍යාපන ඇමැතිවරයකු වූ වර්තමාන ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ලේක්හවුස් ආයතනයේ සභාපති සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මේ මහෝත්සවයේදී, වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ දුනිත් වෙල්ලාලගේ ද වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ගම්පහ රත්නාවලී බාලිකාවේ විශ්මි ගුණරත්න ශිෂ්‍යාව ද සම්මාන දිනා ගත්හ. ශ්‍රී ලංකාව තුළ සම්මාන උලෙළ රැසක් තිබේ. සාහිත්‍ය සම්මාන උලෙළ තුන හතරක් ද සිනමා සම්මාන උලෙළ එකකට වඩා ද, රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළ ද මේ රටේ ප්‍රමුඛ සම්මාන උලෙළ අතර දැකිය හැකිය. එමතු නොව වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ සම්මාන උලෙළක් ද තිබේ. වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තේරීමේ සම්මාන උලෙළ සුවිශේෂ වන්නේ එය දරුවකුගේ පාසල් විය ප්‍රමුඛ කරගත් විශ්වසනීය සම්මාන උලෙළක් වන බැවිනි. මේ උලෙළේදී පගාව දී සම්මාන ලබා ගත නොහැකිය. එසේම ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් අපහරණය කොට සම්මාන දීමේ ක්‍රියාවලියක් ද මෙහි නැත. වැඩි දුරටත් කිවහොත් මෙය රූප රාජිනි තරගයකින් සපුරා වෙනස් වන වැදගත් සම්මාන උලෙළකි. එවැනි සම්මාන උලෙළක් කඩාකප්පල් කිරීමට කිසිවකු තැත් කරත් ද ඒකා මී හරකකු හෝ බූරුවකු නොව කොටළුවකු ලෙස වර්ගීකරණය කළ හැකිය. කොටලුවා යනු බූරු පියකු සහ අශ්ව මවකගේ දරුවෙකි. කුඩා වියේදී බූරු පැටවාත් අශ්ව පැටවාත් යන දෙදෙනාම එක හා සමානය. එහෙත් ටිකින් ටික වයස යන විට අශ්ව පැටවා කදිම මස් පිඬු සහිත ජව සම්පන්න ප්‍රාණියකු ලෙස ද යම් ප්‍රමාණයක කල්පනා ශක්තියක් සහිත සතකු ලෙස ද ජීවත් වීමට පටන් ගනී. එහෙත් කොපමණ වයස ගියත් කොටළුවාට එසේ වීමට බැරිය. ඌ කල්පනා ශක්තියෙන් හීන, අඩි දෙකහමාරකට වඩා උස නොයන සතෙකි. මේ කතන්දරයේ ඉතුරු ටික පාසල් ක්‍රිකට් සම්මාන රාත්‍රිය සමඟ සම්බන්ධ වේ. ඒ කතන්දරය මෙසේය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ බලධාරියා වන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයයි. එසේම මේ රටේ පාසල් ක්‍රිකට්වල බලධාරියා හැටියට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මේලනය අපට හඳුනාගත හැකිය. මෙහි සභාපති වූ කලී නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවාය. පසුගියදා පැවති පාසල් ක්‍රිකට් සම්මාන රාත්‍රිය තිලක් වත්තුහේවා ඇතුළු පාසල් ක්‍රිකට් සම්මේලනයේ නිලධාරීන් විසින් වර්ජනය කරන ලදී. ශ්‍රී ලංකාවේ වර්ජනය යන වචනයට කිසිදු නිල තේරුමක් නැත. මේ රටේ ඇතැම් ජනයා රෑට හරියට නින්ද නොගියත් පහුවදා වැඩ වර්ජන කරති. අවුරුදු ගණනක් පාඩු සිදු වී වැලේ වැල් නැතිව සිටින විදුලි බල මණ්ඩලය මෙදා සැරේ සේවකයන්ට බෝනස් නොගෙවුවොත් වැඩ වර්ජනය කරන බව කියන යූනියන්කාරයන් කිහිප දෙනකු ගැන අපට අසන්නට ලැබිණ. රට දැය ගැන හෝ ආර්ථික අර්බුදය ගැන හෝ කිසිදු හැඟීමක් නැති අය සමඟ රට ඉදිරියට ගෙන යෑමට අපට සිදු වී තිබේ. අපට දැන ගැනීමට ඇති පරිදි පාසල් ක්‍රිකට් සම්මේලනයේ සභාපති වත්තුහේවා ඇතුළු කණ්ඩායම සම්මාන රාත්‍රිය වර්ජනය කළේ උත්සව ශාලාවේ පළමුවැනි පුටු පේළිය ඔවුන්ට නොදීම නිසාය. නමුත් වත්තුහේවා ඇතුළු එහි නිලධාරින්11 දෙනකු වෙනුවෙන් පළමු පේළියේ අසුන් වෙන්කර තිබුණු බව ද කිව යුතුය.
කෙසේවෙතත් පළවැනි පුටු පේළියේ ආසන 20 ක් ඇතැයි සිතමු. විශේෂ ආරාධිතයන් 40 ට ආරාධනය කර ඇතැයි ද සිතමු. එවැනි විටෙක ආරාධිතයන් වෙනුවෙන් ආසන පැනවිය හැකි ක්‍රම දෙකක් තිබේ. ඉන් පළමුවැන්න නම් අාරාධිතයාගේ නිල බලයේ අනුපිළිවෙළට ආසන පැනවීමය. එසේ නැත්නම් ආරාධිතයනගේ උකුල උඩ අනෙක් ආරධිතයාට ඉඳ ගත හැකිය. මේ දෙවන ක්‍රමය ප්‍රායෝගික නැත. උදාහරණයක් වශයෙන් විශේෂ ආරාධිතයකුගේ උකුලෙ හි පාසල් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලොක්කෙකුට ඉඳ ගැනීමට සිදු වුවවොත් එය කිසිසේත්ම නොහොබී. ලේක්හවුස් සභාපතිවරයාගේ ඔඩොක්කුවෙහි පාසල් ක්‍රිකට් සම්මේලනයේ සභාපතිට ඉඳ ගැනීමට සිදු වුව හොත් එය ද නොහොබී. එවිට කළ යුත්තේ ධූරාවලියට අනුව පළමු ආරාධිතයන් 20 ට පළමුවැනි පේළිය ලබා දී ඊළඟ ආරාධිතයන්ට දෙවන පුටු පේළිය ලබා දීමය. එසේ නැතිව තමන් ඇතුළු පාසල් ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධානීන් පළමු පුටු පේළියෙහිම ඉඳගත යුතු බව මොවුන් කල්පනා කරන්නේ නම්, ඊළඟ පාසල් ක්‍රිකට් සම්මාන උලෙළේදී හොඳම පාසල් ක්‍රිකට් සම්මේලනයට සම්මානයක් දෙන ලෙස ඉල්ලා සිටියොත් එය ද කිරීමට සිදු වේ. අපට හිතෙන හැටියට මෙතැන තිබෙන ලොකුම ප්‍රශ්නය ක්‍රිකට් ක්‍රීඩාවේ විභවය සහ එහි හර පද්ධතිය නොදත් කොටළුවන් පාසල් ක්‍රිකට් සම්මේලනයේ ඉහළ තනතුරුවලට පත් වීමය. මෙවැනි සම්මාන උලෙළකදී එයට සහභාගී වන්නන් කල්පනා කළ යුත්තේ සම්මාන රාත්‍රියේදී තමන්ට සැප දීම ගැන නොව කුහකකමක් නැති මිනිසුන් ලෙස එම උලෙළට සහභාගී වී සතුට බෙදා ගැනීමය. අපගේ වැටහීමට අනුව ඔවුහු බැට් එකෙන් ක්‍රිකට් ගැසූ අය නොව විකට් පොල්ලෙන් ක්‍රිකට් ගැසූවෝ වෙති. ක්‍රිකට් ගැන දැනුමක් හෝ පළපුරුද්දක් නැති අයට තනතුරු අවශ්‍යම නම් ඔවුන් ග්‍රාම සංවර්ධන සමිතිවල හෝ අවමංගල්‍යාධාර සමිතිවල හෝ තනතුරුවලට පත් කර පාසල් ක්‍රිකට් සම්මේලනය බේරා දීමේ වගකීම ආණ්ඩුව සතුව ඇත. දැනට මේ රටේ තිබෙන බාලදක්ෂ සංගමය වැනි ආයතන තුළ ද මෙවැනි දූෂිත තත්ත්ව පවතී. අපගේ අප්‍රමාණ ඉල්ලීම වන්නේ මෙවැනි ආයතනවල තනතුරු සඳහා ප්‍රධානීන් පත් කරන විට එය නියාමනය කිරීමේ බලය රජය මඟින් අත්පත් කරගනු ලැබිය යුතු බවය. නැතහොත් කොටළුවාත්, අශ්වයාත් අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි වන අතර අශ්වයාට හිමි වැඩේ කොටළුවා කරන්නට යාමෙන් වැඩේ අල විය හැකිය.
පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීම වෙනුවෙන් පැවැත්වුණු ඉහළම සම්මාන උලෙළ වර්ජනය කළ සභාපති ඇතුළු කණ්ඩායම ගැන දැඩි ක්‍රියාමාර්ග ගැනීම අධ්‍යාපන අමාත්‍යවරයාට භාරය. ජාතියේ අනාගත ක්‍රිකට් තරුවල සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරනු වෙනුවට ඉඳගන්නා පුටුව මූලික කරගෙන තම පශ්චාත් භාගයේ සුබසෙත ගැන පමණක් සිතන්නවුන්ට නිලතල තාන්න මාන්න දීම තරම් අනුවණකමක් තවත් තිබිය නොහැකිය. එබැවින් මේ සම්මාන රාත්‍රියට ඉහඳ තැබූවන්ට එරෙහිව සාධාරණ පරීක්ෂණයක් සිදු විය යුත්තේමය.