
ගිය අවුරුද්ද නිම වී මේ අවුරුද්ද උදාවී තිබේ. එනම් පරණ අවුරුද්ද අවසාන ය. ලබා ඇත්තේ අලුත් අවුරුද්දය. අවුරුද්ද නමැති සංකල්පය තුළ විශේෂත්වයක් තිබේ. ඒ විශේෂත්වය වූ කලී ගිය අවුරුද්ද යළි කවදාවත් ආපසු නොඒමය. ඒ අනුව 2022 යළි කවදාවත් එන්නේ නැත. 2023 ට අයත් මේ මොහොත යළි කවදාවත් එන්නේද නැත.
අවුරුද්දක් යනු සූර්යාගේ භ්‍රමණය සහ පරිභ්‍රමණය සැලකිල්ලට ගෙන සාදන ලද කාල මිම්මකි. විටෙක මේ කාල මිම්මට දවස් 365 ක් අයත්ය. තවත් විටෙකදී මේ කාල මිම්මට දවස් 366 ක් අයත්ය. දෙසැම්බර් 31 වැනිදායින් අවුරුද්දක් නිමාවට පත්වන බව මිනිසුන් විසින් කවදා සොයා ගත්තේ ද යන්න ගැන හරි වැටහීමක් නැත. එසේම විනාඩියකට තප්පර 60 ක් ද පැයකට විනාඩි 60 ක් ද දවසකට පැය 24 ක් ද තිබෙන ලෙස ගණන හරියටම සාදන ලද්දේ කෙසේද යන්න ද අදටත් පැහැදිලි නැත. මෙවැනි අනුපිළිවෙළවල් සෑදීම සඳහා ඉතා උසස් ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණක අවශ්‍යය. විනාඩියට තප්පර 60 ක් සහ පැයකට විනාඩි 60 ක් තිබෙන ආකාරයටත් දවසකට පැය 24 ක් තිබෙන ආකාරයටත් අවුරුද්දට දවස් 365 ක් තිබිය යුතු බවත් ගණනය කෙරුණු මීට අවුරුදු දහස් ගණනකට පෙර කාලයේදී පරිගණක තබා බෝල රාමුවත් තිබුණේ නැත.
මිනිසාට අවශ්‍යතාවක් තිබුණේ නම් දවස් දෙකක් එක දවසක් හැටියට ගෙන පැය 48 දවස්වලට බෙදා දවස් 182.5 ක් සහිත අවුරුද්දක් සෑදීමට ද හැකියාව තිබිණ. එබැවින් අප තේරුම් ගත යුත්තේ මේ සියලු සංකල්ප, න්‍යාය සහ ප්‍රවාද මනුෂ්‍යයා විසින්ම සාදන ලද බවය. දැනට තිබෙන විද්‍යාත්මක නිර්ණායකයන්ට අනුව පෘථිවියේ වයස බිලියන 4.54 කි. මීට අවුරුදු බිලියන 1.5 ට පෙර පෘථිවිය මත ජීවය හට ගත්තේය. තවත් වසර බිලියන 4 ක් ගත වූ තැන ලෝක විනාශය සිදු වේ. මෙය දෙයාකාරයකින් සිදුවිය හැකිය. එක්කෝ ලෝකයේ පවතින සියලුම ජීවීන් වඳ වී යා හැකිය. නොඑසේ නම් බුදුන් වහන්සේගේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රය මඟින්ද තහවුරු කෙරෙන පරිදි සූර්යයා ප්‍රසාරණය වී පුපුරා ගොස් සෞරග්‍රහ මණ්ඩලය සම්පූර්ණයෙන්ම පිලිස්සී යනවා ඇත. අද වැනි අලුත් අවුරුදු දවසක අනිත්‍යය සම්බන්ධයෙන් පාඩමක් කියාදීම ගැන වරදක් නොසිතන්න.
ඒ අනුව අද භෞතික විද්‍යාත්මකව අර්ථ නිරූපණය කෙරෙන්නා වූ ද මෙයට අවුරුදු 2500 ට පෙර බුදු රජාණන් වහන්සේ අධ්‍යාත්මික ශක්තියෙන් අර්ථ නිරූපණය කළා වූ ද අනිත්‍යය පිළිබඳ කතන්දරය අප හැම දෙනාම දැන සිටිය යුතුය. සියලු දේ නැතිවන බව අවබෝධ කරගෙන ජීවත් වන විට ජීවිතය වඩාත් පහසුය. අද අප අලුත් අවුරුද්ද සමරන නූතන ක්‍රිස්තු වර්ෂය පටන් ගන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් හය අවුරුද්දකට පසුවය. එහෙත් කැලැන්ඩර සාදන කට්ටිය එම හය අවුරුද්ද ද එකතු කර ක්‍රිස්තු වර්ෂ එකේ සිට ගණන් කළ හැකි කැලැන්ඩර සාදන ලදී. සමහරවිට ක්‍රිස්තුස් වහන්සේ හරියටම උපන් අවුරුද්ද අනුව ගණන් බැලුවොත් අද එළඹෙන්නේ 2017 අවුරුද්දය. එබැවින් අප යළිත් වරක් තේරුම් ගත යුත්තේ විශ්වය සහ සොබාදහම හැර අන් සියලුම දේ මනුෂ්‍යයා විසින් සාදන ලද බවය. ඒ අනුව විශ්වයද සොබාදහම ද හැර අන් සියලු දේ මනුෂ්‍යයාට පාලනය කළ හැකිය.
මේ රටේ ජනයා විසින් සමරනු ලබන දුෂ්කරම අලුත් අවුරුද්ද මෙය විය හැකිය. 1948 න් පසු ශ්‍රී ලංකාවේ හටගත් ලොකුම ආර්ථික අර්බුදය මේ රටේ ජනයා විසින් මේ මොහොතේදී භුක්ති විඳිනු ලබමින් සිටින බව සහතිකය. මෙයට සමගාමීව මෙවර ලෝකයේ අන් රටවල ද නත්තල් සහ අලුත් අවුරුදු සැමරුම් බංකොලොත් වෙලාය. එයට හේතුව යම් ප්‍රමාණයක ආර්ථික අර්බුදයක් ලෝකයේ හැම රටකම තිබීමය. වැඩි දෙනා නොදන්නවාට චීන ජනගහනයෙන් මිලියන 5 ට වැඩි ප්‍රමාණයක් මේ මොහොතේදී කොරෝනාවෙන් පීඩා විඳිති. එම තත්ත්වය වර්ධනය වී මුළු චීනයටම කොරෝනා රෝගය වැලඳීම වැළැක්වීම සඳහා චීන රජය විසින් මේ දිනවල දැඩි සෞඛ්‍ය නීති රීති සහ ලොක්ඩවුන් තත්ත්වයන් තැන් තැන්වල පනවා ඇත. මෙයට එරෙහි වූ චීන ජනතාව මහ පාරට බැස සිටිති. ඔවුන් කියන්නේ මිනිසුන් උන්නත් මළත් ලොක්ඩවුන් තත්ත්වය නැති කළ යුතු බවය. චීනය දිගටම ලොක්ඩවුන් අනුගමනය කළොත් රටේ නිෂ්පාදනය අඩුවනු ඇත. එවිට ජනතාවගේ ඒක පුද්ගල ආදායම අඩු වේ. එහෙත් ආණ්ඩුව කියන පරිදි ඒක පුද්ගල ආදායම ගැන බලා ලොක්ඩවුන් තත්ත්වය ඇරියොත් චීනය පුරා කොරෝනා පැතිරී මිනිසුන් විශාල වශයෙන් මිය ගොස් රට බංකොලොත් විය හැකි බවය. මේ නිසා චීන රජය සහ සාමාන්‍ය ජනතාව අතර ගැටුමක් නිර්මාණය වී තිබේ.
අෙමරිකාව තුළ කොරෝනා නැතත් දරුණු ආර්ථික අවපාතයක් ඇත. ඒ සමඟම ප්‍රාන්ත ගණනාවක අධික හිම පතනය වීම නිසා විශාල පිරිසක් මිය ගොස් තිබේ.අමෙරිකාවේ සමහර ප්‍රාන්ත වලට පසුගිය මාසය පුරාම විදුලිය නැත. ශීත කාලයට ලයිට් නැති වීමෙන් ගෙවල් උණුසුම් කරගැනීමේ හීටර් පද්ධති ක්‍රියාත්මක කර ගැනීමට බැරිය. එවිට අධික සීතල හේතුවෙන් තව තවත් මිනිස්සු මැරෙති. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ නැගෙනහිර යුරෝපය අළු ගොඩක් බවට පත්ව තිබේ. රුසියාව යනු තෙල් හා ගෑස් බහුලව නිපද වන රටකි. යුක්‍රේනය යනු බඩ ඉරිඟු සහ තිරිඟු විශාල වශයෙන් නිපදවන රටකි. බටහිර යුරෝපයේ රටවල් වැඩි ගණනක් නැගෙනහිර යුරෝපයෙන් එන තිරිඟු ද රුසියාවේ ගෑස් ද පාවිච්චි කරති. රටවල් දෙක අතර පවතින යුද්ධය නිසා බටහිර යුරෝපය තුළ ද ගෑස් සහ ධාන්‍ය අර්බුද හටගෙන ඇත. මේ අනුව ලෝකයේ ප්‍රධාන කලාප සියල්ලම අනතුරට පත්වී ඇති බව පෙනී යයි. ඔවුන්ට නත්තල සමරන්නට සිදු වුණේත් අලුත් අවුරුද්ද සමරන්න සිදු වුණේත් මේ අන්තරාදායක තත්ත්වය තුළදීය.
යුක්‍රේනය සමඟ ගුටි කෙළ ගන්නා අතර වෙනත් බලවත් රටක් එයට හොට දැමුවොත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ස්ථිර වශයෙන්ම න්‍යෂ්ටික අවි ප්‍රහාර පටන් ගන්නවා ඇත. එතැනින් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි. ඒ අනුව ගිය අවුරුද්දේ තිබූ සියලු කරදර තොගය පිටින්ම මේ අවුරුද්දට ද ලැබී තිබේ. එවැනි තත්ත්වයක් තුළ අපේ ආර්ථිකය ජය ගැනීමට නම් අපේ රටට ස්ථිරසාර දේශපාලන ස්ථාවරයක් සහ අදූෂිත ප්‍රතිපත්තියක් තිබිය යුතුය. අපේ අවුරුදු ප්‍රාර්ථනය වන්නේ ඉහත සඳහන් වටිනා සාධක දෙක ලැබෙන ලෙසය.