
1971 දී ජනතා විමුක්ති පෙරමුණේ පළමුවැනි ත්‍රස්තවාදී මෙහෙයුම එවකට ගැමි රාජ්‍යයක්ව තිබූ ශ්‍රී ලංකාව තුළ ආරම්භ විය. එවිට යුද හමුදාව සහ පොලිසිය විසින් දහස් ගණන් තරුණයන් මරා දමන ලදී. දූෂණය කෙරුණු තරුණියන් පිළිබඳව අදටත් සංඛ්‍යාලේඛන නැත. එයට හේතුව ස්වකීය ආත්ම ගෞරවය වෙනුවෙන් කිසිවක් හෙළි නොකිරීමේ ප්‍රවණතාවක් දූෂණය වූ තරුණියන් තුළ තිබීමය. එය 1971 දීත් එහෙමය; අදත් එහෙමය. මේ කියන කාලයේදී මිනිස් අයිතිවාසිකම් සෙවීමෙන් සිය ජීවිතය පවත්වා ගෙන යන AMNESTY INTERNATIONAL සංවිධානය ලොව පහළ වී තිබුණු නමුදු ගංගාවල පවුණු මළ මිනීවල මිනිස් අයිතිවාසිකම් ගැන ඔවුන්ට වගේ වගක් තිබුණේ නැත. AMNESTY INTERNATIONAL සංවිධානය ලංකාවට එන්නේ ද 71 කැරැල්ල අවසන්වී තරුණ තරුණියන් දහස් ගණනක් හිර ගෙවල්වල ගාල් කර තිබියදී බ්‍රිතානයට ගොස් නීතිඥ ගුණසේකරගෙන් කළ ඉල්ලීම මතය. හැබැයි ගඟේ ගිය මළ මිනී ගැන කවුරුත් කතා කළේ නැත. සමහරවිට “මළ එකා මළාවේ - ඉන්න එකාගේ අයිතිවාසිකම් ගැන බලමු” යනුවෙන් සිතා AMNESTY INTERNATIONAL සංවිධානය කටයුතු කරන්නට ඇති.
71 කැරැල්ලට සහභාගී වූයේ යහපත් සමාජයක් හැදීමේ අරමුණ සහිතව ඉදිරියට පැමිණි ජවිපෙ විසිනි. එකල ජවීපෙයේ නායකත්වය කොයි මට්ටමක පැවතිය ද පහළ ස්ථරයේ තිබූ ජවිපෙ හොඳ යැයි කිව හැකි සංවිධානයක් විය. ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්රශ්නය ක්‍රමයෙන් ප්‍රබෝධවත් වී සල්ලි උල්පතක් බවටත් විදේශ ගමන් උල්පතක් බවටත් යාන වාහන උල්පතක් බවටත් පරිවර්තනය වීම 1971 න් පසු පටන් ගනී. මේ වන විට බටහිර ලෝකයේ Human Rights ව්‍යාපාරය ද බෙහෙවින් ලාබ ලබන ව්‍යාපාරයක් වීමට පටන් ගෙන තිබූ නිසා පිට රටෙන් පැමිණි මානව අයිතිවාසිකම් ව්‍යාපාරිකයෝ මී මැස්සන් මෙන් පියාඹමින් සිංහල සහ දෙමළ සමාජයේ පැණි උරන්නට පටන් ගත්තේය. මානව හිමිකම් යනු කොතරම් ලාභදායක සහ කොපමණ ආතල් එකක් දෙන වැඩපිළිවෙළක් ද යන්න දැනගත හැක්කේ එම ව්‍යාපාරයෙහි නිරත වෙමින් මිලියන ගණනින් උපයන එකාට පමණි.
අද වනවිට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන පෙනී සිටීම පිණිස අටවා ගත් පතෝල මැස්සවල් වැනි සංවිධාන සිය ගණනක් තිබේ. මේවායෙන් සෑහෙන ප්‍රමාණයක් අටවන ලද්දේ ගෝල්ෆේස් අරගල කාලයේදීය. එසමයෙහිදී එකී පිට්ටනිය තුළ පැල්පත් තිහ හතළිහක් තිබිණ. ඇතැම් පැල්පතක නොකළ යුතු දෑ ද වෙන ලදී. ඉතිරි පැල්පත් සියල්ලම මානව හිමිකම් සඳහා වූ සංවිධාන වලට වෙන්වී තිබිණ. ගෝල්ෆේස් අයිතිවාසිකම් සඳහා වූ ව්‍යාපාරය, ගෝඨාගේ ගෙදර ගේට්ටුව කැඩීම සඳහා වූ ව්‍යාපාරය යනාදී වශයෙන් විවිධ ව්‍යාපාර බිහි වීමට පටන්ගත් අතර ඒ සියල්ලම මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගත්හ.
ප්‍රධාන මිනිස් අයිතිවාසිකම් කිහිපයක් මේ ලෝකයේ තිබේ. භාෂණයට ඇති අයිතිවාසිකම, හිංසනයට ලක් නොවීමට ඇති අයිතිවාසිකම, නිදහසේ ගමන් බිමන් යෑමට ඇති අයිතිවාසිකම, වහල් භාවයෙන් නිදහස් වීමට ඇති අයිතිවාසිකම, දේශපාලන ඉලක්කයක් බවට පත් නොවීමේ අයිතිවාසිකම යනාදී වශයෙන් තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම්වලට අමතරව තවත් පුංචි පුංචි අයිතිවාසිකම් දහස් ගණනක් මනුෂ්‍යයාට ඇත. මේ අයිතිවාසිකම් ප්‍රමාණය 1,100 නම් ඒ වෙනුවෙන් පෙනී සිටින සංවිධාන 1,500 ක් පමණ ශ්‍රී ලංකාවේ ඇත.
ඉහත සඳහන් සංවිධාන මඟින් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ තිබෙන විවිධ දේශපාලනික සහ මානුෂීය ගැටුම් පිටරටවලට අලෙවි කර ගාන කපා ගැනීමය. මිනිස් අයිතිවාසිකම් සුරකින ප්‍රධාන සංවිධාන ගණනාවක් මිහිමත තිබේ. විවිධ ආණ්ඩු, ධනපති සමාගම් සහ පරිත්‍යාගශීලීන් විසින් මෙම ආයතන වලට ඩොලර් කෝටි ගණනින් පොම්ප කරනු ලැබේ. පෙරකී ප්‍රධාන මිනිස් අයිතිවාසිකම් සංවිධාන ලංකාවේ තිබෙන කුඩා සංවිධාන සමූහය වෙත පෙරකී මුදල් වලින් කොටසක් එවති. මෙය සමාන වන්නේ පිට රට සංවිධාන මස් කෑල්ල අනුභව කිරීමටත් ලංකාවේ සංවිධානවලට කටු කැබලි වීසි කිරීමටත්ය. හැබැයි මේ කටු කැබලි ඩොලර්වලින් එන නිසා ඒවායේ විශාල වටිනාකමක් ඇත. එබැවින් ලංකාවේ හියුමන් රයිට්ස් සංවිධානවල අයිතිකාරයන් වැඩි දෙනා කාර්වල ගමන් කරති. ඔවුන් කන්නේ තරු පහේ හෝටල් වලිනි. මාසයකට සැරයක් පමණ තරු පහේ හෝටලයක කුඩා සමුළුවක් සංවිධානය කරන ඔවුහු මිනිස් අයිතිවාසිකම් සුරැකීම පිළිබඳ දේශන කිහිපයක් පවත්වා වැඩේට සහභාගී වූ අයට කන්නට දී ඒවායේ ලොකු පින්තූර ගෙන පිටරට යවති. මේ සංවිධානවල සිටින ප්‍රධානීන්ට හැම අවුරුද්දකම වාගේ පිට රට සංචාර සඳහා ටිකට් ලැබේ. රට ගිය විට හෝටල් පහසුකම් ලැබේ. හිතට සතුට ලැබේ. විස්කි බ්‍රැන්ඩි ද ලැබේ. ඇඟට සැප ද ලැබේ.
මෙය මිනිස් අයිතිවාසිකම් ජාවාරමේ එක පැත්තක් පමණි. පසුගියදා ගෝල්ෆේස් අරගලය පැවති අවස්ථාවේදී දේශපාලඥයන් විශාල පිරිසකගේ ගෙවල් ගිනි තබන ලදී. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කරන ලදී. දැනට ලංකාවේ ක්‍රියාත්මක වන මිනිස් අයිතිවාසිකම් සඳහා වූ කඩ සාප්පු එකක්වත් එම ගිනි තැබීම් සහ මිනී මැරුම් මිනිස් අයිතිවාසිකම් කඩවීම් ලෙස සලකන බවක් නොපෙනේ. ඇතැම් සංවිධාන ඉහත සඳහන් සිද්ධියේදී ලංකාවේ පවතින තත්ත්වය ගැන කනගාටු වන බව පමණක් කියමින් වැඩේ ෂේප් කරගත්තේය. මේ රටේ විශ්වවිද්‍යාලවල බලය අල්ලාගෙන සිටින අන්තවාදී කණ්ඩායම් නවකවදය මුවාවෙන් දහස් ගණන් සිසුන් අපයෝජනය කරති. එහෙත් මේ කිසිදු මිනිස් අයිතිවාසිකම් සංවිධානයක් ඊට විරුද්ධව වචනයක් කියා නැත. එහෙත් නවකවදකාරයන් අත්අඩංගුවට ගත්තොත් ඒ අයගේ මිනිස් අයිතිවාසිකම් කඩවන බව කියමින් පෙරකී සංවිධාන යකා නටති. වධකයා වෙනුවෙන් පෙනී සිටින්නේ යක්ෂයාය. යක්ෂයා යනු මේ රටේ ඉපැරණි ගෝත්‍රයක් වූ යක්ඛ ප්‍රජාව නොව බටහිර ලෝකයේ එන සාතන් බව මතක තබාගත යුතුය. දැනට අප්‍රිකාවේ රටවල් ගණනාවකම පාලනය මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන අතට පත් වී තිබේ. අප කරන මේ අනතුරු ඇඟවීම ගැන කල්පනාවෙන් සිටින ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලමු. දෙසැම්බර් 10 වැනිදාට යෙදුණු ජගත් මානව හිමිකම් දිනය අර්ථවත් කළ හැක්කේ එවිටය.