
මේ ලෝකයේ පළමු වැනි විධිමත් අය වැය ලේඛනය කඩදාසිවල ලියා රාජ සභාවලට ඉදිරිපත් කිරීම එක් දහස් පන්සිය ගණන්වල සිට යුරෝපයේදී සිදු වූ නමුදු අය වැය ලේඛන සංකල්පය මුලින්ම පටන් ගන්නේ මීට අවුරුදු හයදාහකට පමණ පෙර ඊජිප්තුවේ පිරමීඩ කර්මාන්තයේදීය.
පිරමීඩයක් සෑදීමේදී ඒ සඳහා වැයවන මුළු වියදමත් එම වියදම සොයා ගන්නේ කෙසේද යන්නත් වෙන වෙනම සොයා බලන ලදී. අවශ්‍ය මුදලෙන් කොටසක් රාජ්‍ය භාණ්ඩාගාරයෙනුත් ඉතිරි කොටස අය බදුවලිනුත් උපයා ගැනීම රජුගේ සිරිත විය. මීට අවුරුදු 6,000 ට පෙර ඊජිප්තුවේ තිබූ රාජාණ්ඩු සමයේදී රටත් භාණ්ඩාගාරයත් රටේ සියලු දේපොළ ජනතාවත් යන සියල්ල රජුගේ දේපොළ ලෙස සලකන ලදී. මේ නිසා රටේ ජීවත් වෙමින් රටේ සම්පත් පරිහරණය කරමින් රටේ ජලය පානය කරමින් සහ ගොවිතැනට යොදවමින් විවිධ ගමන් යාම සඳහාත් මාළු ඇල්ලීම සඳහාත් නයිල් ගඟ පාවිච්චි කරමින් ඊජිප්තු වැසියා ගත කළ ජීවිතය සඳහා රජ්ජුරුවෝ බද්දක් අය කළහ. එම බද්දෙන් යැපුණේ ජනතාව නොව රජතුමාත්, එතුමාගේ අන්තඃපුරයත්, එතුමාගේ කාමභෝගී ජීවන කලාවත්, එතුමාට ආරක්ෂාව සැපයූ යුද හමුදාවත් යන ඒකකයන්ය. එකල ඊජිප්තුව ඇතුළු අරාබිකරයේ ජීවත් වූ ජනයා යුද්ධවලට මහත් සේ බිය වූහ. එයට හේතුව යුද්ධයක් පැමිණි වහාම යුද වියදම් පියවා ගැනීම සඳහා රටේ ජනතාවගෙන් වැඩි බදු අය කිරීමට රජතුමා උත්සුක වූ බැවිනි. නැවතත් පිරමීඩ කර්මාන්තය ගැන අප කතා කරන්නේ නම් කිව යුතුව ඇත්තේ සෑම පිරමීඩයක් ඉදිකිරීම සඳහාම මැටි පුවරුවල හෝ පැපිරස් පත්‍රවල ලියන ලද අය වැය ලේඛන තිබූ බවය. 1500 න් පසු යුරෝපයට අය වැය ලේඛනය යන ලියවිල්ල අත්‍යවශ්‍ය අංගයක් විය.
ක්‍රිස්තු වර්ෂ 1800 න් පසු ආසියාවටද විධිමත් අය වැය ලේඛන කලාව බෝ විය. එක්දහස් අටසිය ගණන්වල තුන්වන කාර්තුවේදී බ්‍රිතාන්‍යයේ යටත් විජිත ලේකම් විසින් ලංකාවේ වියහියදම් සම්බන්ධයෙන්ද අය වැය ලේඛනයක් සාදන ලදී. 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු අපේ රට වෙනුවෙන් අය වැය ලේඛන සෑදීම බ්‍රිතාන්‍ය වෙතින් ගිලිහුණු අතර එම කාර්ය අපේම ආණ්ඩුවට බාර විය. 1977 වනතුරු අය වැය ලේඛන සෑදීම, අය වැය ලේඛනවල තිබෙන අන්තර්ගතය පාර්ලිමේන්තුව තුළදී සංවාදයට ලක්කිරීම යන කාරණා ඉතාම වැදගත් මට්ටමේ සහ මැදිහත් සිතින් සිදුකිරීමට පාර්ලිමේන්තුවේ සිටි මහජන නියෝජිතයෝ පුරුදුව සිටියහ. එහෙත් 1977 න් පසු රටේ පාලක පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු සෑම අය වැය ලේඛනයක්ම විපක්ෂය විසින් සලකන ලද්දේ විපක්ෂයට වැනසිම පිණිසත් රට කාබාසිනියා කිරීමටත් සාදන ලද එදිරිවාදී ලියවිල්ලක් ලෙසය. ඒ තත්ත්වය අදටත් එසේම පවතී. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් පසුගිය 14 දා ඉදිරිපත් කරන ලද අය වැය ලේඛනයද, මේ රටේ විපක්ෂය විසින් සලකනු ලබන්නේ අන්තිම භයානක එදිරිවාදී ලියවිල්ලක් ලෙස මිස, රට බැලන්ස් කරගෙන ඉදිරියට ගෙන ගොස්, ජාත්‍යන්තරයෙන් ණයකුත් ලබාගෙන, ඉදිරියක් ගැන හිතීම පිණිස සාදන ලද ලියවිල්ලක් ලෙස නොවේ. ඉතින් අය වැය පරදවා ආණ්ඩුවට වැනසිම කැමති පිරිසක්ද සිටිති. අය වැය පැරදුණොත් ජනාධිපතිට කිරීමට සිදුවන්නේ අලුත් ආණ්ඩුවක් හදා රට ඉස්සරහට ගෙන යෑම පමණි.
සිය අය වැය කතාවේදී ජනාධිපති වික්‍රමසිංහ විසින් 1991 දී ලද අත්දැකීමක් ගැන විස්තර කළේය. එනම් ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථිකය හැදෑරීම සඳහා 1991 දී වියට්නාමයේ කර්මාන්ත ඇමැති ලංකාවට පැමිණීම ගැනය. එකල මේ රටේ කර්මාන්ත ඇමැති වූයේ රනිල් වික්‍රමසිංහය. විවෘත ආර්ථිකයේ කාර්මීකරණ උපායමාර්ග පිළිබඳ වියට්නාම් කර්මාන්ත ඇමති දැනුම්වත් කිරීමේ කාර්ය පැවරුණේ රනිල් වික්‍රමසිංහටය. 1995 වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.1කි. ඒ කාලයේදී වියට්නාමයේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.3කි. ලංකාවේ විවෘත ආර්ථික ක්‍රමය හදාරා වියට්නාමයට ගිය එරට කර්මාන්ත ඇමැති පිළිබඳ මතකය ක්‍රමයෙන් වියැකී ගියේය. අද වියට්නාමයේ තත්ත්වය කුමක්ද? 2021 දී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.1කි. වියට්නාමයේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 109.4කි. ඒ අනුව ලංකාවේ විවෘත ආර්ථික පාඩමෙන් විභාගය සමත් කර ගැනීමට වියට්නාමයට හැකිව තිබිණ. ලංකාව එම විභාගයෙන් අසමත් වී සිටියා පමණක් නොව විභාග වංචා කිරීම නිසා යළි විභාගවලට පෙනී සිටීම තහනම් වන තත්ත්වයකට පත්ව සිටියේය.
ශ්‍රී ලංකාව යනු කඩා වැටෙමින් පවතින රටකි. මෙහි දැනට කෙළින් තිබෙන්නේ සාදා නිම කරන ලද ගොඩනැඟිලි සහ සාදමින් පවතින ගොඩනැඟිලි පමණි. ඒ හැරෙන්නට රටේ ජනතාවගේ හදවත්ද රටේ ආර්ථිකයද බිමටම සමතලාවී තිබේ. රාජපක්ෂවරුන් ඉවත් කිරීම සඳහා කරන ලද ජන අරගලයෙන් පසු 'රතු සහෝදරවරුන්' සහ 'ටෙලිෆෝන් ක්‍රියාකරුවන්ගේ පක්ෂය' පස්ස ගසද්දී රනිල් වික්‍රමසිංහ රට බාර ගැනීමත් සමඟම කිසියම් ප්‍රගතිශීලී තත්ත්වයක් උදා විය. එතෙක් තිබූ තෙල් පෝලිම් සහ ගෑස් පෝලිම් නැතිව ගිය අතර භාණ්ඩ හිඟයද ක්‍රමයෙන් මඟ හැරෙන්නට පටන් ගත්තේය. හැබැයි බඩු මිල ඉහළටම ගියේය.
රටක ජීවන වියදම ඉහළ යන විට විකල්ප දෙකක් පාවිච්චි කළ හැකිය. එයින් පළමුවැන්න: නම් බඩු මිල අඩු කිරීමය. දෙවැන්න: වන්නේ ජනතාවගේ ක්‍රය ශක්තිය හෙවත් Buying Power එක වැඩි කිරීමය. මේ සඳහා ජනතාවගේ සාක්කුවට මුදල් පොම්ප කළ යුතු වෙයි. එසේ පොම්ප කරන මුදල් ණයට ගත් මුදල් නොවිය යුතු අතර රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමෙන් උපයන මුදල් විය යුතුය. මෙවර අය වැය ලේඛනය දෙස බලන විට පෙනී යන්නේ ශ්‍රී ලංකාව සඳහා අලුත් ආර්ථික ක්‍රමයක් හඳුන්වාදීමට ජනාධිපති වික්‍රමසිංහයන් තුළ ඇති වුවමනාවය. ඒ සඳහා නවීන ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන අයුරු අය වැය ලේඛනයේ සඳහන් කර තිබේ. දේශීය කර්මාන්ත දියුණු කිරීම, ඩිජිටල් ආර්ථිකයක් තැනීම ඇතුළු මේ ප්‍රතිසංස්කරණ නිසා හෙට බඩු මිල අඩු වීමක් සිදු නොවුවද ඊළඟ අය වැයට පෙර අඩු මිලට බඩු ලබා ගැනීමට හැකි වෙනවා ඇත.
චීනුන් මුලින්ම ගණන් හැදුවේ අතේ ඇඟිලි දහයෙනි. ඊළඟට ඔවුහු බෝල රාමුවෙන් ගණන් හැදූහ. ඉන්පසු ඔවුන් අතට ඇනලොග් කැල්කියුලේටරය හෙවත් යාන්ත්‍රික ගණන් හැදීමේ උපකරණය ලැබිණ. අද ඔවුන් ගණන් හදන්නේ ඩිජිටල් කැල්කියුලේටර් සහ අති නවීන පරිගණක වලිනි. චීනුන්ගේ ජයග්‍රහණයේ මාවත වැටී ඇත්තේ ආර්ථිකය නවීකරණය කිරීමත් සමඟය. රනිල් වික්‍රමසිංහයන්ගේ මේ අය වැයෙන් සිදුව ඇත්තේද පරණ බෝල රාමුව වීසි කර නවීනත්වයට යොමු වීමකි. බෝල රාමුව තවදුරටත් සුදුසු වන්නේ පොඩි ළමයින්ට සෙල්ලම් කිරීමට මිස ආර්ථිකයටකට ගණන් හැදීමට නොවේ.