කොළඹ පිහිටි ‘වෙනම රාජ්‍යය’ හෙවත් මහජන උපයෝගිතා කොමිසම | සිළුමිණ

කොළඹ පිහිටි ‘වෙනම රාජ්‍යය’ හෙවත් මහජන උපයෝගිතා කොමිසම

විදුලි ගාස්තුව යළි ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව එළැඹෙන ජනවාරි හා ජූනි මාසවල අවස්ථා දෙකකදී විදුලි ගාස්තුව වැඩි කිරීමට නියමිතය. සාමාන්‍යයෙන් විදුලි බල මණ්ඩලය පාඩු නොලබා පවත්වා ගෙන යෑමට නම් තවත් 70%කින් විදුලි බිල ඉහළ නැංවිය යුතුව තිබේ. එහෙත් කවර ප්‍රමාණයකින් විදුලි ගාස්තු වැඩි කරනවාද යන්න තවමත් තීරණය කර නැත. විදුලි ගාස්තුව ඉහළ නැංවීම යනු ආණ්ඩුවක් අප්‍රසාදයට පත් කළ හැකි ලොකුම සාධකයකි. එබැවින් රජයක් මෙවැනි දෙයක් කරන්නේ කර ගැනීමට කිසිම දෙයක් නැති තැනය. මේ ව්‍යුහය තුළ මේ රටේ එක්තරා කොමිසමක් සහ එහි සභාපතිතුමා ජාතික වීරයන් බවට පත්වීමට සූදානම් වන බවක් පෙනේ. කොමිසමේ නම මහජන උපයෝගිතා කොමිසමය. සභාපති වූ කලී ජනක රත්නායකය. අපේ කතාව මෙතැන් සිට ඒ ගැනය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පසුගියදා පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් පහත සඳහන් කරුණු කීවේය. එනම්,

1. විදුලි බල මණ්ඩලය පසුගිය මාස කිහිපයේදි ලාබ ලබා ඇත. එබැවින් විදුලි ගාස්තු වැඩි කිරීමට අවශ්‍යතාවක් නැත.

2. මහජන උපයෝගිතා කොමිසමේ පනතට ජනක රත්නායක ගරු කරයි. එහෙත් ජනක රත්නායක, විදුලි බල ඇමැති කංචන විජේසේකරට ගරු කරන්නේ නැත.

3. පනත යනු රාජ්‍යය ප්‍රතිපත්තියකි. රටේ දේශපාලන අධිකාරිය රාජ්‍ය ප්‍රතිපත්තියට පිටින් නොයා යුතුය.

ජනක රත්නායක ඉහත සඳහන් අදහස් ප්‍රකාශ කර අැත්තේ මහජන උපයෝගිතා කොමිසමේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. රාජ්‍ය ආයතන මඟින් මේ කියන ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීම රටටම වාතයක් වී තිබේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේදී ප්‍රවෘත්ති සාකච්ඡා කියා වර්ගයක් මේ රටේ නොතිබිණ. ජේ. ආර්. ජයවර්ධනගේ කාලයේදී ද ප්‍රවෘත්ති සාකච්ඡා යන වචනය මේ රටේ වහරට එකතු වී තිබුණේ නැත. ප්‍රවෘත්ති සාකච්ඡා යන වචන දෙකට නිල බලයක් ලැබෙන්නේ ජනාධිපති චන්ද්‍රිකා රට බාර ගැනීමෙන් පසුවය. වඩාත් ලිබරල් මතවාදයක් දැරූ ඇය සිය හිතවත්ම දේශපාලන සගයා වූ මංගල සමරවීරට ප්‍රවෘත්ති සාකච්ඡා තොග වශයෙන් පැවැත්වීමට ඉඩ දුන්නේය. මංගලගේ ප්‍රවෘත්ති සාකච්ඡා වැඩි හරියක් පවත්වන ලද්දේ යූඑන්පී යට සහ ජවිපෙ ට පහර දීම පිණිසය. ප්‍රවෘත්ති සාකච්ඡා නමැති සංකල්පය වඩාත් පුළුල් වූ අතර එවැනි සාකච්ඡාවලට සහභාගි වන මාධ්‍යකරුවාට තෑගි වශයෙන් පොඩි පොඩි අයිටම් ද ලැබිණි.

මේ අතර රටේ විවිධ පුද්ගලයෝ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් තම තමන්ට අභිමත මතවාද සමාජගත කරන්නට පටන් ගත්හ. සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන, ආර් ප්‍රේමදාස වැනි නායකයන් රජයේ ආයතනවල අරමුණු ඉදිරිපත් කරන ලද්දේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහාය. ජනතාවට කීමට රජය සතුව ඇති අදහස් නිවේදන වශයෙන් සකස් කර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒවා පුවත්පත්වලටත් ඉලෙක්ට්‍රොනික් මාධ්‍යවලටත් නිකුත් කළේය. එහෙත් චන්ද්‍රිකාගෙන් පසු පටන් ගත් ලිබරල් නිදහසේ නරකම ප්‍රතිඵලයක් ලෙස ප්‍රවෘත්ති සාකච්ඡා පමණ ඉක්මවා හිස එසවීමට පටන් ගත්තේය. ගෝඨාභය රාජපක්ෂ යුගයේ අවසන් කාලය වන විට රජයේ විවිධ ආයතනවල ප්‍රධානීහු ප්‍රවෘත්ති සාකච්ඡා තබමින් තම තමන්ට අභිමත දේ කීමට පටන් ගත්හ. අන්තිමේදී මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් එම නරක පුරුද්ද ශ්‍රී ලංකා මහ බැංකුවට බෝ කරන ලදි. මහ බැංකුව ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීම ලිබරල් නිදහසේ උපරිම පලයක් වුවද ඉතා භයානක කාරණයකි.

එහෙත් මහජන උපයෝගිතා කොමිසමේ ජනක රත්නායකගේ ප්‍රවෘත්ති සාකච්ඡා වාතයක් බවට පත්වී තිබේ. විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඔහු කියන ඇතැම් කතා නිසා මේ රටේ පරිපාලන සංයුතියට වෝල්ටේජ් 33,000 කරන්ට් එකක් වදී. රජයේ නිලධාරීන් විසින් රාජ්‍යය ආරක්ෂා කරනු ලැබීමේ පොදු වගකීමෙන් ඔහු බැහැර වී ඇත. තෙල් මිල සම්බන්ධයෙන් පසුගියදා මේ කියන ජනක රත්නායක විසින් තර්කයක් මතු කරන ලදී. ඔහු කියන පරිදි ආණ්ඩුව පිටරටින් ලාබෙට තෙල් මිලට ගෙන ජනතාවට වැඩි මිලට දෙයි; එහෙමත් නැත්නම් මීට වඩා ලාබෙට පිටරටින් තෙල් මිලට ගත හැකිය. එහෙත් එසේ ලාබෙට ලබා ගත හැක්කේ පාවිච්චි කරන ලද එන්ජින් ඔයිල් පමණි. පාවිච්චි කළ එන්ජින් ඔයිල් ටොන් දහස් ගණනින් පිට රටවල ගබඩා කර තිබේ. ඒවා ඉවත් කර ගෙන යන්නේ නම් නොමිලේ දීමටත් නැව් ගාස්තු ගෙවීමටත් ඒ රටවල් සූදානම්ය.

ජනක රත්නායකගේ ලාබ තෙල් කතාවෙන් සමාජයේ විශාල කැලඹීමක් ඇති විය. එසේම තමන් මහජන උපයෝගිතා කොමිසමේ පනතට ගරු කරන නමුදු ඇමැතිට ගරු නොකරන බව කීමෙන් ද විදුලි බල මණ්ඩලය මාස කිහිපයක් තිස්සේ ලාබ ලැබූ හෙයින් විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් දැන් නැති බව කීමෙන් ද හෙතෙම සිය නොමේරූ බව පෙන්වා ඇත. ඇමැතිට ගරු කරනවා යැයි කියන්නේ ඇමැති දුටු විට නැඟී සිට සර් සර් යැයි කියමින් ඔහු පස්සෙන් යෑම හෝ ඔහු කියන සියලුම දේට ඔව් කීම හෝ ඔහුට කුඩේ ඇල්ලීම නොවේ. ඇමැති තනතුරෙහි අදාළත්ව සමඟ නොගැටීමය. මෙය Conflict of Interest යනුවෙන් සඳහන් කෙරේ. විදුලි බල මණ්ඩලය ලාබ ලැබුවේ දෙමාසයක් පමණි. එහෙත් එය අවුරුදු 20ක් පමණ පාඩු ලබා ඇත. එසේ පාඩු ලැබූ රාජ්‍ය ආයතනයක් තමන් මාස දෙකක් ලැබූ ලාබය නිකරුණේ වියදම් කරන්නේ නම් එය අපරිණිත වැඩකි. එහෙත් ජනක රත්නායකගේ මේ වැඩපිළිවෙළ ඔහු ඉදිරි ඡන්දයක් සඳහා ඉදිරිපත් වීමට සූදානම් වෙනවා නම් පමණක් හොඳ බව කිව යුතුව ඇත. මෙවැනි ජනප්‍රිය දේශපාලන උපක්‍රම ගැන අමුතුවෙන් කියා දිය යුතු නැත.

Comments