ඕෆ් රෝඩ් වන හතුරෝ | සිළුමිණ

ඕෆ් රෝඩ් වන හතුරෝ

මීට අවුරුදු තුන්සීයකට පෙර මනුෂ්‍යයා විසින් මහ වනය සලකන ලද්දේ යකෙකු ලෙසය. මීට අවුරුදු දෙසීයකට පෙර මහ වනය සතුරකු ලෙස දැකීමට ද මිනිස්සු පුරුදු වූහ. මීට අවුරුදු සියයකට පෙර මිනිසා විසින් මහ වනය දක්නා ලද්දේ කරදරකාරයකු ලෙසිනි. මේ තත්ත්වයන් සියල්ලටම මිනිසා සතු වූයේ එකම පිළිතුරකි. ඒ වූ කලී වනාන්තරය කපා දමා එම මුඩු බිමෙහි ගොවිතැන් කිරීමත් ජනාවාස පිහිටු වීමත්ය. මෙබඳු කාරණාවලදී විශාල තාක්ෂණික ගැටලුවක් මතු වේ. එනම්, මිනිසා ඇතැම් වැඩ පටන් ගත් විට එය අවසන් කරන්නේ හතර වටේම විනාශ කිරීමෙන් පසුව බවය.

උදාහරණ කිහිපයක් ගනිමු. මෙයට අවුරුදු දෙසීයකට පෙර ගවරා යනුවෙන් හඳුන්වන යෝධ කැලෑ හරකෙක් මේ රටේ වන ගහනවල ජීවත් විය. ගවරාගේ විශාලත්වය දෙවැනි වූයේ අලියාට පමණි. ඇතැම් ගවරෙක් අඩි හයක් පමණ උස්වූ බව කියනු ලැබේ. ගවරුන්ගෙන් සිදු වන කරදරය නිසා මේ රටේ ගවර ප්‍රජාව අඩු කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව තීරණය කළේය. ඒ සඳහා ගවරුන් මැරීමට අවසර දෙන ලදි. ඒ අවසරය රාජ නීතියක් හැටියට පිළිපැදීමට කල්පනා කළ ඉංග්‍රීසි දඩයක්ක­ාරයෝත් මුදලි මුහන්දිරම්ලාත් තුවක්කු දඬු ගෙන කැලයට රිංගා එක ගවරකුවත් ඉතිරි නොවන පරිදි මේ රටේ කැලෑවල සිටි සියලු ගවරුන් මරා දැමූහ. මෙයට වසර දස දහසකට පෙර ලෝක හිම යුගයක් ඇරඹිණ. එවිට ලෝකයේ සියලු මහද්වීප සහ රටවල් ගණනාවක්ම හිමෙන් වැසී ගියේය. එවිට විශාල ආහාර හිඟයක් හට ගත්තේය. කෑමට යමක් ඉතිරි වී නම් ඒ නැඟෙනහිර යුරෝපය සහ ලෝකයේ තවත් තැන්වල ජීවත් වූ මැමත් නමැති යෝධ හස්ති විශේෂය පමණි. එවකට සිටි ලෝකවාසී ජනයා එක මැමත් සතකුවත් ඉතිරි නොවන සේ උන් මරාගෙන කෑ බව කියනු ලැබේ. එබැවින් මැමත්ලා මිහිතලය මතින් සම්පූර්ණයෙන්ම වඳ වී ගියේය.

කැලෑව මිතුරකු සේ සැලකීමට ලෝකවාසී ජනයා පුරුදු වන්නේ ඉකුත් ශත වර්ෂයේ මැද කොටසේ සිටය. ලෝකයේ රටවල් වන සතුන් ආරක්ෂා කිරීමත්, අභයභූමි ප්‍රවර්ධනය කිරීමත් එම කාලයේදී පටන් ගනු ලැබිණ. යාල වනෝද්‍යානය, විල්පත්තු වනෝද්‍යානය, උඩවලවේ වනෝද්‍යානය ඇතුළු වන උයන් කිහිපයක් මේ සංකල්පය ඔස්සේ නඩත්තු කරගෙන යනු ලැබේ. එහෙත් දඩයක්කාරයන්ගෙන් සහ ලී මුදලාලිලාගෙන් මේ වන සම්පත බේරා ගැනීම ඉතා දුෂ්කරය.

අද මේ වන සම්පතට එරෙහිව නැඟී සිටින අලුත්ම සතුරා වන්නේ off road වාහන පදින ධනපතීන් සහ ඔවුන්ගේ පුතුන්ය. ඉකුත් විසි දෙවැනිදා උදේ යාල වනෝද්‍යානය තුළට off road වාහන පහක් ඇතුළු විය. හවස් වන විට තවත් එවැනිම off road වාහන තිස් පහක් යාල වන උයනට ඇතුළු විය. වන උයන බැලීමට පැමිණෙන්නන්ට එය නොපෙන්වා සිටීමේ අයිතියක් අභයභූමි භාරකරුවන්ට නැත. ඒ නිසා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර ලබා දීමෙන් පසු එම පිරිස වන උයන තුළට ඇතුළු කරන ලදි. මෙසේ පැමිණි පිරිස සිය off road වාහන මඟින් යාල වන උයනේ සෑහෙන කොටසක් කුඹුරක් හානවා සේ හා දමන ලදැයි දැනගන්නට ඇත. අභය භූමි තුළ කාර් රේස් පැදීමට නීතියෙන් ඉඩක් නැත. අතට ගාණක් සොයා ගැනීමට අවශ්‍ය නිසා ආණ්ඩුව රටේ අභය භූමි මහජනතාවට විවෘත කළද එමඟින් වන සතුන්ට විශාල කරදරයක් සිදු වේ. පසුගිය දිනෙක උඩවලවේ වන උයනට ඇතුළු වී අධි වේගයෙන් ගමන් කළ ජීප් රියකට යටවී මුවෙක් මළේය. එම අවස්ථාවේදී දේශපාලනඥයකු ද එම රථයේ සිටියේය. අදටත් මේ සිද්ධිය ගැන කිසිදු පරීක්ෂණයක් සිදු කර නැත. පසුගිය විසි දෙවැනිදා යාලට ඇතුලු වූ 'වන ත්‍රස්තවාදීන්” තිස් පස් දෙනාට අයත් off road වාහන මඟින් වන සතුන්ට හිරිහැර වූ බව දැන ගැනීමට තිබේ. වන සතුන්ට වූ හිරිහැරය ගැන අපට කියන ලද්දේ හිරිහැරයට ලක්වූ වන සතුන් විසින්ම දැයි කිසියම් දේශපාලනඥයකු ඉදිරියේදී රූපවාහිනී talk show එකකදී අපෙන් විමසීමට ඉඩ ඇත. එහෙත් එසේ අපට පැමිණිලි කිරීම සඳහා විසි දෙවැනිදා හානියට ලක්වූ වන සතුන් එකකුවත් අද ඉතිරිව නැත. off road වාහන කල්ලියේ මෘග ත්‍රස්තවාදයට යටවී එම වන සතුන් මිය ගිය බව දැනගන්නට තිබේ. මළ සතා සාක්කි දෙන්නේ නැත. එසේම සතා මැරූ එකා ද සාක්කි දෙන්නේ නැත. එබැවින් මේ කතාව හරියාකාරව ඇදගෙන නොගියොත් උඩවලවේ අභය භූමියේ මුවාගේ සිද්ධිය මෙන් යට යනවා ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද විශේෂ අවධානයක් යොමු කොට තිබීම වාසනාවකි. ලංකාවේ වන ගහනවල සතුරන් බවට පත්ව සිටින ප්‍රධානම දෙපිරිස ලී මුදලාලිලා සහ දඩයක්කාරයෝය. එසේම දේශපාලනඥයන්ගේ උදවුවෙන් අලුතෙන් ජනාවාස ඉදි කිරීම සඳහා වනය සමූල ඝාතනය කරන ජනාවාස කාරයෝද, හේන් ගොවීහු ද අලුත් වන සතුරන් බවට පත්ව සිටිති. හේන් ගොවිතැනට වනයට රිංගන ඇතැම් අය පට්ට හොරුය. ඔවුහු ගොවිතැන් කිරීම සඳහා යැයි කියා කැලේ තිබෙන ගස් ටික කපාගෙන ගොස් විකුණා දමති. ඉන් පසු එතැන වනාන්තරයක් නැත. මනුෂ්‍ය ජීවිතය බැඳී පවතින්නේ ගහකොළ සමඟය. යම් දවසක ලංකාව කාන්තාරයක් බවට පත්වුණොත් කිසිදු ජීවයක් ඉතිරි වන්නේ නැත. මේ බව ජනතාවට අවබෝධ කර දීම සඳහා පරිසර සංගම් සිය ගණනක් උදේ දවල් රෑ නැතිව ප්‍රචාරක ව්‍යාපාර දියත් කරති. ඒ කිසිවකින් ද ප්‍රයෝජනයක් වී ඇති බවක් නොපෙනේ. මේ වන විට නගරාසන්න ප්‍රදේශවල ගස් වැවීමේ ව්‍යාපාර පටන්ගෙන ඇති අතර, ඒවායේ කිසියම් සාර්ථකත්වයක් ද දැකිය හැකිය. මේ අනුව මතු යම් දිනයක කැලෑවේ තිබෙන ගස්වලට වඩා වැඩි ප්‍රමාණයක් කොළඹදී දැක ගැනීමට හැකි වනවා ඇත.

Comments