රැඩි­කල් ෆන් එක | සිළුමිණ

රැඩි­කල් ෆන් එක

දේශපාලන විරෝධතා ව්‍යාපාර සඳහා ළමයින් පාවිච්චි නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කර තිබේ. මීට දින කිහිපයකට පෙර පැවති අරගල සැමරුම් අවස්ථාවකදී මවක් විසින් සිය කුඩා දියණිය ද සමඟ විරෝධතාවක නිරත වන අයුරුත් අනතුරුව ඔවුන් පොලිසිය සමඟ කිසියම් නොපහන් ගනුදෙනුවක යෙදෙන අයුරුත් පුවත්පත්වල ඡායාරූප ලෙස පළ විය. වැඩිහිටියන්ගේ කුණු වැඩ සඳහා ලෝක ඉතිහාසය පුරාම සත්තු සහ දරුවෝ යොදා ගත්හ. එයට හේතු වූයේ වැඩිහිටියන් තමන් වෙත පවරනු ලබන ‘ඩියුටිය‘ සම්බන්ධයෙන් සතුන්ටද දරුවන්ටද අවබෝධයක් නොතිබීමය. උදාහරණයක් ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අදටත් සතුන් යොදා ගනු ලැබේ. විශේෂයෙන්ම පක්ෂීන්ට සහ වෙනත් සතුන්ට මත්ද්‍රව්‍ය ගිල්ලවා එම සතුන් ගමනාන්තයට ගිය පසු උන් මරා උදරය පලා මත්ද්‍රව්‍ය ඉවත් කර ගන්නා අවස්ථා තිබේ.

එසේම පුපුරණ ද්‍රව්‍ය, විකිරණශීලී ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ද මැද පෙරදිග සහ අප්‍රිකාවේ සංග්‍රාමික ප්‍රදේශවල දරුවන් යොදා ගනු ලැබේ. කුඩා දරුවකු සිය ඇඳුමේ බෝම්බයක් සඟවා ගෙන යන විට කවුරුත් එම දරුවා සැක කරන්නේ නැත. එහෙත් වැඩේ ඛේදවාචකයක් වන්නේ එම දරුවා ගමනාන්තය කරා ගමන් කළ කල්හි දරුවාගේ ඇඳුම තුළ සඟවා ඇති බෝම්බය තෙවන පාර්ශ්වයක් විසින් ඩෙටොනේටරයක් මඟින් පුපුරවන ලද කල්හිය. මෙවැනි දේ අප්‍රිකාවේ යුද ගැටුම් පවතින ප්‍රදේශවලත්, ඉපැරණි එදිරිවාදීන් වන පලස්තීනය, ඊශ්‍රායලය සහ ලෙබනනය අතරත් නිරන්තරයෙන් සිදු වේ. පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර ඇති කයිබර් දුර්ගය හරහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනු පිණිස බූරුවන්ද, ළමයින්ද යොදා ගනු ලැබේ. කොටි සංවිධානය විසින් ළමා සොල්දාදුවන් යොදා බේබි බ්‍රිගේඩ් යනුවෙන් සේනාංකයක් සාදා තිබිණ. බොහෝ අවස්ථාවලදී යුද පෙරමුණේ සිටියෝ මේ බේබි බ්‍රිගේඩ් කණ්ඩායම වෙති. එය යොදා ගන්නා ලද්දේ විරුද්ධ පාර්ශ්වයේ පතරොම් ඉවර කිරීමේ මාර්ගයයි. මෙය වඩාත් සරල භාෂාවෙන් කීමට ගියහොත් ඇති විය හැකි කම්පනය ඉමහත්ය. ඒ නිසා ලොව පුරා යුද පෙරමුණුවලත් අරගල භූමිවලත් මත් ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු වලත් පූර්ණ කාලීනයන් සේ කුඩා දරුවන් කටයුතු කරන බව පමණක් මතක් කර දෙමු.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ article 13 යටතේ සඳහන් කරන පරිදි නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වැඩිහිටියාට මෙන්ම ළමයාටද ඇත. මෙහිදී භාෂණයෙන්, ලියවිලි මඟින්, කලා නිර්මාණ මඟින් හෝ වෙනත් ඕනෑම මාධ්‍යක් මඟින් (ප්‍රචණ්ඩ මාර්ගය හැර) ස්වකීය නිදහස් අදහස් ඉදිරිපත් කිරීමටත් විරෝධතාව පෙන්වීමටත් ළමයාට අයිතිය තිබේ. එහෙත් මේ කාරණයේදී ද සීමාවන් ඇත. එනම් කුඩා දරුවන් සෞඛ්‍ය අවදානම්වලට හෙවත් බෝවන රෝගවලට හදිසි අනතුරුවලට හෝ වෙනත් ශාරීරික උවදුරුවලට පත්වීමට ඉඩ ඇති අවස්ථාවලදීත් කුඩා ළමයාගේ අදහස් ප්‍රකාශ කිරීම මඟින් තෙවන පාර්ශ්වයක හොඳ නම කෙලෙසෙන විටත් එම අදහස් ප්‍රකාශය නිසා ජාතික ආරක්ෂාව හෝ නීතිය උල්ලංඝනය වන විටත් අදහස් ප්‍රකාශ කිරීමට කුඩා දරුවන්ට ඇති ඉඩ කඩ සීමා විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ artice 13 මඟින් අවධාරණය කර ඇත. මාස කිහිපයකට පෙර මේ රටේ පැවති 'අරගලයේදී' කුඩා දරුවන්ද සමඟ එයට සහභාගී වීමේ විලාසිතාවක් මවුපියන් තුළ තිබිණ. එම විරෝධතාවයට පැමිණි දරුවෝද සිය දෙමාපියෝ මෙන්ම අපහාසාත්මක ප්‍රකාශ සිදු කළහ. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ article 13 උල්ලංඝනය වූ අවස්ථාවක් වන නමුදු article 13 කුමක්ද යන්න හෝ එවැනි දෙයක් ලෝකයේ තිබේද යන්න ගැන උද්ඝෝෂණකරුවෝ දැන නොසිටියහ. මෙවැනි අවස්ථාවකදී හදිසි මහජන කැලඹීමක් හටගෙන කලහකාරී තත්ත්වයක් ඇති වූයේ නම් එහිදී මුලින්ම පෑගෙන්නේත් තුවාල ලබන්නේත් දරුවෝය. දෙමාපියන් සිය දරුවන්ද කැටුව උද්ඝෝෂණයයට එන්නේ රැඩිකල් ෆන් එකක් ගැනීමට බව අපි විශ්වාස කරමු. කෝච්චියෙන් කොළඹ පැමිණ සිය දූ දරුවන්ද සමඟ ගෝල්ෆේස් උද්ඝෝෂණයටත් සහභාගී වී නොමිලේ දෙන බුරියානි එකක් ගිල දමා කිරි පැකට් එකක් පානය කර ආපසු කෝච්චියේ නැඟී ගම් බිම් බලා යන පවුල් මීට මාස කිහිපයකට පෙර අපි නිතරම දුටුවෙමු.

උද්ඝෝෂණ පමණක් නොව දරුවන් සහභාගී කර නොගත යුතු අවස්ථා ගණනාවක් අප අවට තිබේ. ඉන් පළමුවැන්න නම් දේශපාලනඥයෙක් පළාතේ සංචාරය කරන විට ඔහු පිළිගෙන කොඩි වැනීම සඳහා පාසල් දරුවන් යොදා ගැනීමය. මෙය යටත් විජිතවාදී සමයේ සිට කරනු ලබන වැඩවසම් ක්‍රියාවකි. මෙරටට නිදහස ලැබීමට පෙරද එංගලන්තයේ ජෝර්ජ් රජ්ජුරුවන්ගේ ගෝලයෙක් (සමහරවිට මේ ගෝලයා ජීවිතේටම ජෝර්ජ් රජ්ජුරුවන් දැක නැත) ලංකාවට එන විට, ඔහු කොළඹ වරායෙන් ගොඩ බසින තැන සිට, හෝටලයට හෝ උත්සව සභාවට යන තැන දක්වාම පාර දෙපස පෝලිම් ගැස්ස වූ පාසල් දරුවන් ලවා ඉංග්‍රීසි කොඩිය වැනීමත් ආශිර්වාද පාඨ කීමත් සිරිතක්ව තිබිණ. එහෙත් මේ කුණු සිරිත එංගලන්තයේදී ජෝර්ජ් රජ්ජුරුවන් සහභාගී වූ උත්සවවලවත් තිබුණේ නැත. මේ නොහොබිනා සිරිත අපට හඳුන්වා දෙන ලද්දේ ජෝර්ජ් රජ්ජුරුවන්ගේ වැසිකිළිය බාරව සිටීමට අපේක්ෂා කළ සිංහල මුදලි මුහන්දිරම්ලා විසිනි. ඒ සිරිත දිගටම පැමිණි අතර සමගි පෙරමුණු ආණ්ඩු සමයේදී උත්සන්න විය. 1978 න් පසු මේ ලෙඩේ හොඳටම දරුණු විය. අදටත් මේ ලෙඩේ මෙලෙසම පවතී. උද්ඝෝෂණවලට දරුවන් රැගෙන යාමේ වැඩපිළිවෙළ මෙවැනි අත්තනෝමතික ක්‍රියාවල දිගුවක් බව අපගේ වැටහීම වේ.

රටක් දියුණු වන විට එම රටට ආවේණිකව තිබූ පරණ නොහොබිනා වැඩ සියල්ල අත්හැර දැමිය යුතුය. නොහොබිනාකම් වැඩ සමඟ ඉදිරි ගමනක් නැත. විශේෂයෙන්ම දේශපාලඥයන් යන උත්සවවලට කොඩි වැනීම සඳහා පාසල් දරුවන් ගෙන්වා ගැනීම චාරිත්‍රයක් වශයෙන් අදටත් පවතී. මෙවැනි කොඩි පෝලිම්වලදී ළමයි ක්ලාන්තව බිම ඇද වැටෙති. දෙමාපියන් සිය රැඩිකල් ෆන් එක තනියෙන් ගත යුතු අතර ඒ සඳහා දරුවන් යොදා ගැනීම සුදුසු නැත. එබැවින් ජනාධිපතිතුමාගේ අදහස කෙරෙහි අප තුළ ඇත්තේ ගෞරවයකි.

 

Comments