
ශ්‍රී ලංකාවේ සම්භවයක් ඇති බොහෝදෙනාට මේ දිනවල රිමාන්ඩ් ප්‍රශ්නයක් පවතී. උදාහරණයක් වශයෙන්, ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ගහන්නට ගිය ලංකාවේ ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නගරයේ රිමාන්ඩ් හිර ගෙදරක සිටී. ඒ අතර ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සුප්‍රකට ඉන්දියානු නිළියක වන ජැක්ලීන් ෆර්නැන්ඩස් මුදල් විශුද්ධිකරණ චෝදනාවකට අසුවී නවදිල්ලි නගරයේ උසාවියකින් ඇප ලබා ගැනීමට නොහැකිව දුකසේ සිටී. ඇයට ඇප දුන්නොත් ඇය රටින් පනිනු ඇතැයි ඉන්දියානු පොලිසිය කියයි.
මේ අතර ගම්මන්පිල ඉමියලාගේ දොන් ජනිතා රාජි ගම්මන්පිල නමැති ගුරුවරිය ඇප ලබා ගැනීමට නොහැකිව රිමාන්ඩ් හිර ගෙදරකය. ඊට අමතරව හොරණ, මිල්ලනියේ පොලිස්කාරයන් කිහිපදෙනෙක් ද ඇප නැතිව රිමාන්ඩ් කූඩුවේ යකඩ කූරුවල එල්ලී සිටිති. මෙහිදී අප වැඩි අවධානය යොමු කරන්නේ ධනුෂ්ක ගුණතිලක හෝ ජැකලීන් ෆර්නැන්ඩස් ගැන නොව ගම්මන්පිල ඉමියලාගේ දොන් ජනිතා රාජි ගම්මන්පිල ගැනය. හොරණ මිල්ලනියේ ගුංගමුව කනිෂ්ඨ විදුහලේ විදුහල්පතිනිය ලෙස සේවය කර දැනට වැඩ තහනම් කර සිටින ඇය රිමාන්ඩ් එකට ගියේ තම පාසලේ පහේ පන්තියේ කුඩා දරුවන් නවදෙනකුට අධික ලෙස පහර දීම, වද දීම, මිල්ලනිය පොලිසිය සමඟ එක්වී දරුවන් බිය ගැන්වීම, එම දරුවන් උදේ 8.30 සිට දහවල් 1.45 තෙක් පුස්තකාලයේ දණ ගස්වා තබා හිංසා පීඩා කිරීම ඇතුළු දරුවන් සිටින අම්මලා නොවන අය පමණක් සිදු කරන සාපරාධි ක්‍රියා සමූහයක් නිසාය. මිල්ලනියේ සිද්ධිය ගැන මේ වනවිට මුළු රටම දනී. ගුංගමුව පාසලේ පහේ පන්තියේ ටීචර් කෙනකුගේ පර්ස් එක අතුරුදන් විය. පන්තියේ ළමයින් එය හොරකම් කළ බව ඇය සැක කළාය. ඊට පසු පන්තියේ ළමයින් සියලු දෙනාම විදුහල්පතිගේ කාමරයට ගෙන යන ලදුව එකී මෑණියෝ එම දරුවන්ට පහරදීමට පටන් ගත්හ. ඊළඟට විදුහල්පති මෑණියන් විසින් මිල්ලනිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ඕ. අයි. සී. වන විජේතුංගට දුරකතන ඇමතුමක් දෙන ලදී. විජේතුංග පොලිස්කාරයන් දෙදනකු හෝ වැඩි පිරිසක සමඟ ජීප් රියක් පාසලට එවයි. ඊළඟට පොලිසිය එම දරුවන්ගේ යටි පතුල්වලට ලීවලින් පහර දෙයි. එය දරුණු සොරුන්, ස්ත්‍රී දූෂකයන් සහ පගා නොගෙවන කසිප්පුකාරයන්ට පොලිසිය විසින් දෙන දඬුවමකි.
ඊළඟට පර්ස් හොරකමට දැඩි සේ සම්බන්ධ යැයි සැක කෙරෙන පහේ පන්තියේ දරුවන් දෙදෙනෙක් පොලිස් ජීප් රියට පටවා අසල පිහිටි තේ වත්තකට ගෙන ගොස් පොල් මලකින් පහර දෙනු ලැබේ. හැඩි දැඩි පොලිස් නිලධාරියකුගේ අතකින් පහර කෑමට පහේ පන්තියේ ඉගෙන ගන්නා අවුරුදු දහයක දරුවකුට හැකි ද? ජීප් එකේ දරුවන් දමාගෙන යන අතරතුර මෙකී පොලිස්කාරයන් විසින් එක දරුවකුට විදුලි සැර වද්දා ඇත. එය කර ඇත්තේ ජීප් රියේ බැටරියට සම්බන්ධ කළ වයරයකින් විය යුතුය. එම වයර් කැබැල්ල ද හමුවී තිබේ. දැනට ලැබී ඇති සාක්ෂිවලට අනුව දරුවන් දෙදෙනා ජීප් රියට පැටවීමට පෙර ගම්මන්පිල ඉමියලාගේ දොන් ජනිතා රාජි ගම්මන්පිල විදුහල්පතිනිය විසින් එක දරුවකුට වැරෙන් පහරක් ගසා ඇත. කැරකී විසිවී ගිය කුඩා දරුවා ජීප් රියෙහි බඳෙහි වැදී ඇත. අවුරුදු දහය සීමාවේ සිටින හෝ එයට අඩු වයසේ දරුවන් පොලිස් අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන් තහනම්ය. එම දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරිනියෝ සිටිති. මේ සිද්ධියේ ලොකුම වරදක් කර ඇත්තේ මිල්ලනිය පොලිසියේ ඕ.අයි.සී. විජේතුංග බව අපගේ වැටහීමය. මේ අපරාධය සම්බන්ධයෙන් කිසියම් මාධ්‍ය ආයතනයක් විසින් ඔහුගෙන් විමසන ලද කල්හි විජේතුංග කියා ඇත්තේ දරුවන්ට හිංසා පීඩා කිරීමක් ගැන තමා නොදන්නා බවත් දරුවන් බියපත් කිරීම සඳහා පමණක් පොලිස් ජීප් එක පාසලට යන්නට ඇති බවත්ය.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව පොලිසියට පාසලක් තුළට යෑමට හැක්කේ එය තුළ භයානක සාපරාධි ක්‍රියාවක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සමූහයක් සිදුවන අවස්ථාවකදී පමණි. එසේම එම ප්‍රචණ්ඩ ක්‍රියාව විදුහලෙන් පිටත සමාජයට විශාල බලපෑමක් දක්වන්නේ නම් එය හදිසි අවස්ථාවක් සේ සලකා පාසලට ඇතුළත් වීමේ යුක්ති සහගත අයිතියක් පොලිසියට ඇත. අපට පේන හැටියට පොලිස් දෙපාර්තමේන්තුව ඕ.අයි. සී විජේතුංග ගැන වහාම පියවර ගත යුතුය. විදුහල්පතිගේ එක දුරකතන ඇමතුමකින් ඕ.අයි.සී විජේතුංග මෙපමණ සලිත වූයේ ඇයි? මේ අතර රිමාන්ඩ් කළ විදුහල්පතිනිය නිදහස් කරන ලෙස ඉල්ලා ලියන ලද පාඨ සහිත බෝඩ් උස්සා ගත් ගැමියන් පිරිසකගේ ඡායාරූප පසුගියදා පුවත්පත්වල පළ විය.
මෙතැනින් මේ කතාවේ සැබෑ තත්ත්වය හෙළිකර ගත හැකිය. ඒ මෙසේය;
මිල්ලනියේ ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලය ළමයින් එකසිය පනහකගෙන් සමන්විතය. 2014 සුනාමි ඛේදවාචකයෙන් පසු සුනාමියෙන් මුහුදට ගසාගෙන ගිය ගෙවල්වල, මරණින් බේරුණු මොරටුවේ කොරලවැල්ල ඉතිරි සාමාජිකයන් පිරිසකට මේ ප්‍රදේශය තුළ නිවාස සමූහයක් සාදා දෙන ලදී. මෙය සුනාමි ගෙවල් ලෙස හඳුන්වනු ලැබේ. අද මිල්ලනිය පාසලේ සිටින ළමයින්ගෙන් භාගෙට භාගයක්ම පෙරකී සුනාමි ගෙවල්වලින් එන දරුවෝය. සුනාමි නිවාස සමූහයේ වෙසෙන ප්‍රජාව සහ ගමේ සිටින ප්‍රජාව අතර ගැටුමක් ඇත. සුනාමි නිවාසවල ජීවත්වන අයගේ අව්‍යක්ත හැසිරීම, සාධනීය නොවන ජීවන රටාව, ඔවුන් විසින් ඇති කරනු ලබන ඇතැම් කරදරකාරී සිද්ධි යනාදිය මේ විරසකයට බලපාන්නට ඇත. මේ ප්‍රශ්නය නිසා ගමේ පාරම්පරික ජනයාගෙන් වැඩිදෙනා බලා සිටින්නේ සුනාමි ගෙවල්වල කට්ටියට වැඩවරදින තුරුය. සුනාමි ගෙවල්වලින් එන ළමයින්ගේ හැසිරීම නිසා තම දරුවන්ගේ හැසිරීම ජරාජීර්ණ වනු ඇතැයි ගමේ පාරම්පරික මව්පියන් කල්පනා කරනවා වන්නට හැකිය. පර්ස් එක නැතිවීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ළමයින් වැඩිදෙනා සුනාමි ගෙවල්වලින් එන අය බව දැනගන්නට තිබිණි. සුනාමි ගෙවල්වලින් එන මේ ළමයින් ඇට්ටරයන් බවට විජේතුංග කීවේ යැයි කිසියම් පුවත්පතක පළව තිබිණ.
මිල්ලනිය පොලිසියේ හැසිරීම සහ ගුංගමුව කනිෂ්ඨ පාසලේ විදුහල්පතිනියගේ හැසිරීමත්, පන්ති භාර ටීචර්ගේ ක්‍රියා කලාපයත් නිසා නරක නම එන්නේ ආණ්ඩුවටය. වැස්සත් ආණ්ඩුවට බනින, පෑව්වත් ආණ්ඩුවට බනින, වැස්සත් නැති පෑවිල්ලත් නැති කාලගුණික තත්ත්වයක් ඇති විටත් ආණ්ඩුවට බනින මිනිසුන් සිටින රටක ඉහත සඳහන් දෝෂාරෝපණය ආණ්ඩුවට එල්ල කිරීම සාමාන්‍ය ස්වභාවයය. මෙය ජාත්‍යන්තරයට යන්නේ මේ ආණ්ඩුව යටතේ කුඩා පාසල් ශිෂ්‍යයන්ට කරන්ට් වැද්ද වූ බව කියමින්ය. මේ නිසා පෙරකී හානිදායක අධි වෝල්ටීයතාවක් ඇති පොලිස් වයර් සහ විදුහල්පති වයර් විසන්ධි කිරීම පොලිස් දෙපර්තම්නේතුවේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමය. එසේම අගතියට පත් අසරණ ළමයින්ට වන්දි ලබාදීම ආණ්ඩුවේ වගකීමය.