ප්‍රගතියේ හවුල්කරුවෝ | Page 4 | සිළුමිණ

ප්‍රගතියේ හවුල්කරුවෝ

ලෝකයේ පළමුවන පුවත්පත කුමක්ද ? එය කවර රටක කවර කාලයකදී ප්‍රකාශයට පත් කරන ලද්දේද? Actadiurna යනු ලෝකයේ පළමුවන පුවත්පතයි. එය රෝමයේදී ප්‍රකාශයට පත්කරන ලද්දේ මෙයට අවුරුදු 2081 ට පෙර ක්‍රි පූ 59 දීය. මුලදී මැටි පුවරු මත ලියූ රජතුමාගේ නිවේදන වශයෙන්ද දෙවනුව පැපිරස් පත්‍රවල ලියූ ඒ වර්ගයේම නිවේදන වශයෙන්ද මේ පුවත්පත ප්‍රකාශයට පත්විය. කඩදාසිවල මුද්‍රණය කෙරුණු ලෝකයේ පළමුවන පුවත්පත එළියට එන්නේ 1605 දී බෙල්ජියමේ ඇන්ට්වර්ප් නගරයේදීය. Relation යනු මෙහි නමය. 1575 සිට 1634 දක්වා ජීවත් වූ යොහාන් කැරොලස් මේ පුවත්පතේ ප්‍රකාශකයා ය. ඔබ අන්තර්ජාලයට පිවිසෙන්නේ නම් ලෝකයේ පළමුවන පුවත්පත ලෙස හැඳින්වෙන පුවත්පත් විශාල ප්‍රමාණයක් පිළිබඳ විස්තර සොයාගත හැකිය. එහෙත් ලෝක පුවත්පත් සංගමය නිල වශයෙන් පිළිගන්නේ 1605 දී නිකුත් වූ Relation ලොව ප්‍රථම මුද්‍රිත පුවත්පත ලෙසය. නිල මූලාශ්‍රයක් නිසා එය අපටද පිළිගැනීමට සිදුවේ. ලෝකයේ පළමුවන පුවත්පත පැපිරස් පත්‍ර මත බිහිවී අවුරුදු 2081 ට පසුවද දෙවන පුවත්පත බෙල්ජියමේදී බිහිවී අවුරුදු 325 ට පසුවද ‘සිළුමිණ’ ශ්‍රී ලංකාවේ කොළඹදී බිහිවෙයි. සිළුමිණ නිකුත් කළ ලේක්හවුස් ආයතනයේ අර්ථපතියා වූයේ ශ්‍රී ලංකාව නිදහස් රටක් කිරීම සඳහා ක්‍රමෝපායීය මෙහෙවරක් කළ ඩී. ආර්. විජයවර්ධනයන් ය. මුලදී අතින් අකුරු ඇමිණු ප්‍රාථමික යන්ත්‍රවල ද දෙවනුව hot metal ක්‍රමවේදය යොදාගත් රොටරි මුද්‍රණ යන්ත්‍ර මඟින්ද අද වන විට ලෝකයේ නවීනතම මුද්‍රණ යන්ත්‍ර යොදාගෙනද සිළුමිණ මුද්‍රණය කරනු ලැබේ. මීට අවුරුදු 55 ට පෙර අග්නි දිග ආසියාවේ වැඩියෙන්ම විකුණන ලද පුවත්පත සිළුමිණය. මේ වාර්තාව 1980 දක්වා කිසිදු ලාංකේය තරගකාරී පුවත්පතක් මඟින් නොකඩන ලද්දකි. මේ දක්වා අප විසින් සාකච්ඡා කරන ලද්දේ ඓතිහාසික සහ තාක්ෂණික කරුණු කිහිපයක් පමණි. මෙතැන් සිට අප කියන්නේ අපටම අාවේණික වූ අපේ කතාවය.

ඉතිහාසයේ පටන් ‘ලේක්හවුස්’ ආයතනය හඳුන්වන ලද්දේ පත්තර කර්මාන්තයේ මහගෙදර ලෙසය. එහෙත් ලෝකය Global Village හෙවත් තනි යායක් බවට පත්වීමෙන් පසු මේ කියන මහගෙදර සංකල්පය කුඩු විය. අද වනවිට සියලු මහ ගෙවල් සුන්බුන් බවට පත්වී තාක්ෂණයෙන් ඉතා දියුණු මතවාදයෙන් මහත් සේ පෝෂණය වුණු ඉතා ශක්තිමත් ‘ස්මාර්ට්’ ගෙවල් විශාල වශයෙන් බිහිවී තිබේ. මේ රටේ වලව්වලට සිදුවී ඇත්තේද මෙයමය. වලව් වැඩිහරියක් පොළවට සමතලා වී තිබේ. පුරාවස්තු වශයෙන් රැක බලා ගැනීම පිණිස ඉතිරි කරන ලද වලව් හෙවත් විලා කිහිපයක් හැර ඉතිරි අන් සියලු වලව් ‘බුටික් හොටෙල්’ හෝ ‘ඇන්ටික් කාර්යාල ගොඩනැගිලි’හෝ ළමා නිවාස බවට පත්වී තිබේ. වලව්ව සහ මහ ගෙදර යන දෙකම වැඩවසම් වාදයේ නටබුන්ය. රජුගේ පන්දම්කාරයන්ට සේවය කරන කොම්ප්‍රදෝරු ධනපතීන්ගේ සමාජය ක්‍රමයෙන් අතුරුදහන් වෙමින් පවතින අතර ඒ වෙනුවට වඩාත් නිදහස්ව සිතන වඩාත් සටන්කාමී දේශපාලන සංස්කෘතියකට මඟ පෑදෙමින් තිබේ. එහෙත් මහ ගෙදර යට ලීයේ එල්ලී සිටීමටත් වලව්වේ පිළිකන්නේ නිදා ගැනීමටත් ප්‍රිය කරන මතවාදී වහලුන් තවමත් සුළු වශයෙන් හෝ අප අතර සිටින බව අප අමතක නොකළ යුතුය. වහලා කල් යත්ම - යත්ම තමා බැඳී සිටින විලංගුවලට ආදරේ කරන්නට පටන් ගනී. මේ වහල් මතවාදයට නොබියව පහර දී වහලුන්ගේ විලංගු උණු කර නාරම් දඟර වානේ කූරු සෑදීම සඳහා යකඩ කම්හල්වලට සැපයීම සියලු දේශප්‍රේමීන්ගේ කැමැත්තය.

සිළුමිණ අද අලුත් මඟකට පිවිස තිබේ. එය තව දුරටත් දේශපාලන සුදු හුණු බාල්දියක් නොවේ. රට, දැය, සමය කෙරෙහි ඇති අපමණ ගරුත්වය සේම රටේ ජීවත්වන සෑම දැයකටම සහ සෑම සමයකටම අයත් පුරවැසියන්ගේ ගෞරවය සහ අයිතිය ආරක්ෂා කරදීම සිළුමිණේ වගකීමය. සාම්ප්‍රදායික සිළුමිණ සම්ප්‍රදායට වඩා වෙනස් සිළුමිණ සම්ප්‍රදායක් අද පාඨකයන් ඉදිරිපිට තිබේ. ලංකාවේ හොඳම සමාජ විශේෂාංග, හොඳම කලා විශේෂාංග සහ හොඳම සාහිත්‍ය විශේෂාංග අද මේ පුවත්පතේ පළකරනු ලැබේ. මේ මොහොතේදී සිළුමිණට වැදගත් වන්නේ තැළෙන්නා සහ තළන්නා මිස ඒ දෙදෙනාගේ දේශපාලනය නොවේ.

තළන්නා හෙළිදරව් කර දී තැළෙන්නා නිදහස් කර කෙලින් සිටුවා මතවාදී වශයෙන් ශක්තිමත් කිරීම සිළුමිණ සතු ප්‍රමුඛ කාර්යයක් වී ඇත. පසුගියදා පැවති ශ්‍රී ලංකා කර්තෘ සංසද සම්මාන උළලේදී ඉතිහාසයේ මුල් වරට සිළුමිණේ ලේඛක ලේඛිකාවෝ ප්‍රධාන සම්මාන හතක් අත්පත් කරගත්හ. ඒ සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන වැඩිම ගණනක් ගෙදර ගෙන ගිය පුවත්පත ද සිළුමිණ ය. මෙය අලුත් ගමනක පටන් ගැන්මකි. මුළු ලෝකයම සුවිශාල අර්බුදයකට මුහුණ පා සිටියි. ඒ අර්බුදයේ විභවය අප හැමට දැනේ. එම විභවයට මූහුණ දීම සඳහා මේ රටේ ජන මනස ශක්තිමත් කරනු පිණිස මතවාදී විටමින් සැපයීමට අපි ඉති සිතින් කැමැත්තෙමු. එය එසේම සිදුවනවා ද ඇත.

පුවත්පතක ශක්තිය යනු එය අච්චු ගහන මෝලේ ශක්තිය හෝ එය අච්චු ගහන කොළයේ කොලිටිය නොවේ. පුවත්පතක ශක්තිය එය කියවන පාඨක ප්‍රජාවය. එසේම එම පුවත්පතේ කාර්ය මණ්ඩලයද, එය ජනතාව අතට යවනු පිණිස කටයුතු කරන ප්‍රවාහකයාද, වීදි වෙළෙන්දාද, පත්තර විකුණන බයිසිකල් කරුවාද එම ශක්තියේ කොටස්කරුවෝ වන්නාහ. අපේ ප්‍රගතියේ හවුල්කරුවන්ට අප හිස නමා ආචාර කරමු. තව අවුරුදු අටකින් සිළුමිණට සියක් වසරක් සපිරේ. ඒ ශතක සැමරුමද අප හා විඳීම ඔබගේ අයිතියයි.

Comments