ටික්ටොක් සන්නිය | Page 4 | සිළුමිණ

ටික්ටොක් සන්නිය

ටික්ටොක් ගත් අලුත් ම බිල්ල වැල්ලම්පිටියේ සේදවත්ත පාරේ විසූ 17 හැවිරිදි අබ්දුල් ලතීෆ් ය. ලතීෆ් නිසා ටික්ටොක් ගැන නව සමාජ කතිකාවක් නිර්මාණය විණි. තරුණ පිරිස් අතර උන්මාදයක් සේ ජනප්‍රිය මේ මාධ්‍ය වයස අතින් තවමත් ළදරුවෙකි. 2016 චීනයේ උපත ලබා වසරක් ඉක්ම යෑමටත් මත්තෙන් ලොව ම ආක්‍රමණය කළ ටික්ටොක්; සමාජ මාධ්‍ය කලාවේ විලාසිතා ම ය ස්වරූපය යැයි කිවහොත් නිවැරදි ය. යුරෝපයේ මුහුණු පොත් අධිකාරියට අභියෝග කරන්නට චීනය හඳුන්වා දුන් සමාජ මාධ්‍ය මෙවලමක් ලෙසත් ටික්ටොක් සමහරු හඳුන්වති. 2020 වන විට එය අනෙක් සමාජ මාධ්‍ය හා කරට කර සිටින්නට තරම් ජනප්‍රියත්වයක් උරුම කර ගත්තේ ය. මේ වනවිට ලෝක ජනගහනයෙන් බිලියන තුනකට වඩා වැඩි ප්‍රමාණයක් ටික්ටොක් ඇප් එක බාගත කරගෙන සිටින බව වාර්තාවල දැක්වෙයි. එතරම් ජනප්‍රියත්වයක් කෙටි කලකින් අත් කරගත් ටික්ටොක් හුදු විලාසිතා ම ය සමාජ ජාලා මාධ්‍යයේ මොනර ආඩම්බරය අත්කර ගත්තකි. ටික්ටොක් කලාව මේ වනවිට කර ඇති සෙල්ලම් ප්‍රමාණය අතිවිශාල ය. විනාඩියක් හෝ දෙකක් වැනි සුළු කාලයක් ඇතුළත යම්කිසි ප්‍රාසාංගික අත්දැකීමක් ඉදිරිපත් කිරීම ටික්ටොක් හි ස්වභාවයයි. මේවා යම් යම් විනෝදජනක හා නිරූපණ කාර්යයන් සඳහා යොදා ගැනේ.

මේවන විට ජනගහනයට සාපේක්ෂ ව ජංගම දුරකතන හා සිම් භාවිතය ඉහළ අගයක් ගන්නා බව දැනටමත් වාර්තා වෙයි. ඒ දුරකතන සියල්ල පෙර මෙන් භාවිත කරන්නේ දුරකතන ඇමතුම් ගැනීම සඳහා පමණක් නොවේ. ස්මාර්ට් දුරකතන භාවිත කරන්නන්ගෙන් බහුතරයක් සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නෝ ය. මේ හරහා තොරතුරු ජනගත කරන්නට යන්නේ තත්ත්පර ගණනක කාලයකි. එහි වාරණයක් නැත. තමන්ට හැඟෙන, දැනෙන ඕනෑ ම දෙයක් ඒ සැණින් ජනගත කිරීමේ පහසුව සමහර විටෙක පහසුවෙකි; තවත් විටෙක අවස්ථාවක් නොලත් අයට අවස්ථා උත්පාදනයකි. එමෙන් ම සමහරුන්ට වඳුරාට අත ඇති කඩුව වැනි සේ ය. ඉවක් බවක් හොඳක්, නරකක්, සංස්කෘතියක් හෝ සාරධර්මයක් නැත. එනිසා ම මුදා හරින පණිවුඩ, තොරතුරු ආදියේ නිරවද්‍යතාව පිළිබඳව ගැටලු රැසක් පැන නැඟෙමින් පවතී. අද වන විට මෙය සමාජීය ගැටලු රැසකට තුඩු දෙමින් තිබේ. අලුත් ම ටික්ටොක් සිද්ධිය එවැන්නකි. තමා ඇති මාධ්‍ය නිරවුල් ව හා සාධනීය ව භාවිත කරන්නේ කෙසේද යන්න ගැන දැනුමක් නැති කමින් සිදු වූවකි.

මුළු සමාජය ම ව්‍යාජ මුහුණුවරක් ගෙන තිබේ. තම අත ඇති ස්මාර්ට් ජංගම දුරකතනය සමහරුන්ට කඩුවකි. තමන්ගේ ම බෙල්ල කැපෙන තෙක් නොදන්නා තරම් මේ ඇබ්බැහිය දරුණු ය. මේ නාටක සඳහා අවශ්‍ය වෙන්නේ දුරකතනය පමණකි. මීට දශකයකට දෙකකට පෙර කුඩා වාර්තා වැඩසටහනක් හෝ හදන්නට වැය වෙන පිරිවැය අධික ය. වීඩියෝ කැමරාවක්, කැමරා ශිල්පියෙක් හෝ දෙන්නෙක්, පිටපතක්, අධ්‍යක්ෂවරයෙක් මෙන් ම නළු නිළියන් ද අවශ්‍ය ය. ඒවා නිකම් ලැබෙන්නේ ද නැත. මේවාට ගෙවිය යුතුය. දැන් මේ කිසිවක් අවශ්‍ය නැත. අවැසි වන්නේ ස්මාර්ට් ජංගම දුරකතනයක් පමණී. සියල්ල එහි ඇත. අවශ්‍ය ඇප් සැණින් එසැණින් බාගත කරගත ද හැකි ය. මෙරට මුහුණු පොත් ගිණුම් අතරෙන් 18%කට අනන්‍යතාවක් නැති බවක් ද වාර්තා වෙයි. මෙවැනි වගකීම් විරහිත තත්ත්ව නිසා ලොව ඇතැම් රටවල් සමාජ මාධ්‍ය සඳහා යම් වාරණ හා කොන්දේසි පනවා තිබේ. මැදපෙරදිග ඇතැම් රටවල්, උතුරු කොරියාව, චීනය ආදී රාජ්‍ය මෙන්ම තවත් රටවල් කිහිපයක සමාජ මාධ්‍ය සඳහා විවිධ මට්ටමේ සීමා පනවා ඇත. ඒ සිදුවන අවකල් ක්‍රියා නතර කිරීමට ය. විවිධ මාධ්‍ය නිදහස ගැන කතා කරන බොහෝ දෙනකු ඒවා අවභාවිත වීම ගැන කතා කරන්නේ නැත. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස යැයි කියා තම තමන්ට හිතෙන හිතෙන දේවල් කිරීමට හැකියාවක් නැත. මේ වන විට මුහුණු පොත හා තවත් සමාජ මාධ්‍ය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව බර ගණනකි. අලුත්ම සමාජ මාධ්‍ය බිල්ල 17 හැවිරිදි අබ්දුල් ලතීෆ් ය.

ලෝකය විවිධ කාලවල විවිධ ලෙස වර්ණ ගැන්වේ. නව දෑ නිපදවයි; හඳුන්වා දෙයි. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී කියූවෝ කුමාරතුඟුවෝ ය. එනයින් බලන කල නව දෑ නිපදවීම හා සොයා ගැනීම සාමාන්‍ය කරුණකි. එහෙත් ඒ නව දෑ භාවිත කරන්නේ කෙසේද යන්න ගැන සවිඥානික වීම ඇත්තේ භාවිත කරන්නන් අත ය. අන්තර්ජාලය විසින් අප දන්නා බොහෝ දෑ වෙනුවෙන් හැඩතල නිර්මාණය කර තිබේ. ඒ හැඩතල අප ගත යුත්තේ තම තම නැණ පමණින් ය. ක්ෂණික විනෝදය බොහෝ දෙනා සොයන්නේ තම ආතතිම ය පීඩාව දරා ගැනීම සඳහා ය. ඒ විනෝදයට වැටකඩොලුබඳින්නට කාටවත් බැරි බව සත්‍යයකි. සින්දුවකට ටික්ටොක් එකක් හදා අසීමිත ජනප්‍රියත්වයක් ලැබූ යොහානි එය ම පාලමක් කරගනිමින් තව බොහෝ නිර්මාණ කළා ය. එබැවින් අපට ටික්ටොක් හෝ ඕනෑ ම සමාජ මාධ්‍යයක් ප්‍රතික්ෂේප කළ නොහැකි ය. කළ යුතු වන්නේ එය නිවැරදි ව භාවිත කිරීමයි. මේවා භාවිත කරමින් පෙම් පලහිලව් ඇති කරගෙන ජීවිතය බිල්ලට දුන් පළමු වැන්නා ලතීෆ් නොවේ. ඔහු මේ නව ටික්ටොක් රැල්ලේ මරුවාට බිහි වූ පළමු පුද්ගලයා ය. ඝාතකයා මෙන්ම ඝාතනයට ලක් වූ පුද්ගලයා ද මිතුරන් ය. පිහියෙන් ඇන මිතුරකු මරා දමන්නට තරම් කුරිරු වන්නට ටික්ටොක් ඇබ්බැහිය ප්‍රබල වී තිබේ. මේ සියල්ලෝ ම අඩු වයස්වල දරුවෝ වෙති. මේ අයගේ මනස අසංවර කරන්නට පහසු ය. සංසරණය වෙන විවිධ අසභ්‍ය වීඩියෝ මේ වැනි වයස් ඛාණ්ඩවල දරුවන්ගේ නොමේරූ හා අත්දැකීම් නැති මනසට ඔරොත්තු දෙන්නේ නැත. ඉවසීමේ සැනසුම ගැන දැනෙන්නට තරම් ඒ මනස් මෝරා නැත.

නීතියට එහා ගිය සදාචාරාත්මක හා ගුණගරුක හදවතක් හැදීමේ මාවතක කඩිනම් අවැසිතාවක් අප ඉදිරියේ ඇත. ටික්ටොක් හෝ වෙන ඕනෑ ම සමාජ මාධ්‍යයක් නරක නැත. හොඳ නරක තීරණය වෙන්නේ භාවිත කරන්නා අනුව ය. වේදිකාවක් නැතිව සිටි බොහෝ දෙනාට වේදිකාවක් නිර්මාණය කළ සමාජ මාධ්‍ය; ලොව සොඳුරු තැනක් කිරීමේ ක්‍රියාවලියේ ද මුල්තැන ගත් මාධ්‍යයකි. එනිසා දෙමවුපිය, ගුරුවර වගකීම වෙනුයේ දරුවන්ගේ මනස පෝෂණය කිරීමට මංපෙත් විවර කිරීම ය. ඒ සඳහා අවැසි වටපිටාව සම්පාදනය කිරීම ය. එවිට ලතීෆ්ලා මෙන් ම ඔහු වටා සිටි මිතුරන් වැන්නන් ද ඉදිරියේදී තව තවත් බිහිවීම වැළැක්වීමට අපට හැකි වනු ඇත. අද නොවේ හෙට කියමින් බාලගිරි දෝෂය සේ මේවා තවදුරටත් කල් දැමීමෙන් තවත් ලතීෆ්ලා වැන්නන් ජීවිතයෙන් වන්දි ගෙවනු ඇත. එවිට අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැම්මා කියා දුක් වෙන්නට සිදුවනු ඇත. වගකීම් විරහිත සමාජයක් වෙනුවට වගකීම් සහගත සමාජයක් ගොඩනැඟීමට සියල්ලන් පෙරට ආ යුතු ව ඇත.

Comments