
දරුවන් හොඳින් හදා ගැනීමේ හොඳ ම මඟ ඔවුන් සතුටෙන් තැබීමයි යනුවෙන් පවසන්නේ ලෝ ප්‍රකට ලේඛක ඔස්කා වයිල්ඩ් ය. බුදුන් වහන්සේ වදාළේ මිනිසාට දැනුම දෙන්නට දරුවෝ ලොව පහළ වූහ කියා ය. තණතිල්ලේ උලා කන වසු පැටවුන් ද දුව පැන නටන කුඩා දරුවන් ද නැති ලෝකය කාන්තාරයක් යැයි සඳහන් වෙන්නේ ශුද්ධ වූ කුරාණයේ ය.
දරුවන් යනු රටේ අනාගතයයි. දරුවන් රටේ අනාගතය නම් ඒ දරුවන්ගේ ලොව තැනූ වැඩිහිටියෝ රටේ ආයෝජකයෝ ය. එනයින් බලන කල දරුවන් සේම වැඩිහිටියන් ද මේ ලොව සුන්දර හා අරුත්බර කරන දෙකොටසක් වන්නේ ය. වැඩිහිටියන් දරුවන්ගේ අනාගතය සැකසීමට සිය දහඩිය කඳුළු වැයකර ජීවිතයේ අප්‍රමාණ කැපකිරීම් කර සැඳෑ සමය ගෙවන පිරිසකි. දරුවන් සේ ම වැඩිහිටියන් ද රටකට සම්පතක් වන්නේ ඒ නිසා ය. දරුවන් හා වැඩිහිටියන් සඳහා එක ම දිනයක් නම් කිරීම එනයින් බලන කල ප්‍රඥාගෝචර ය.
මෙවර ලෝක ළමා දින සැමරුම් තේමාව “සියල්ලටම පෙර දරුවන්” යන්නයි. ඒ අතර වැඩිහිටි දින සැමරුම් තේමාව වී ඇත්තේ ‘සියලු වයස් කාණ්ඩ සඳහා ඩිජිටල් තාක්‍ෂණය’ යන්නයි.
වී. අයි. ලෙනින් කියන්නේ හොඳ ම දේ දරුවන්ට කියා ය. චීනයේ මාවෝ සේතුං ලෝකයේ උත්තම චරිතය දරුවා බව කියන්නේ ද ලෙනින් සේ ම දරුවන්ට අප්‍රමාණ ආදරයෙනි. ඒ ආදරය යට තිබෙන්නේ අනාගතය පිළිබඳ පැහැබර බලාපොරොත්තුව ය. දරුවන්ට හොඳ ම දේ දෙන්නට වෙහෙසෙන්නේ වැඩිහිටියන් ය. ඒ වැඩිහිටියන් ද දරුවන් සේ ම සලකා සමරන්නට සිතූ සිතිවිල්ල අගනා ය.
ඒබ්‍රහම් ලින්කන් වරක් කියා සිටියේ දරුවා යනු වැඩිහිටියන්ගේ කුඩා කරන ලද ආකෘතියක් නොවන බවකි. දරුවාගේ මනස කිසිවකින් හෝ දූෂණය නොවූ සුදු පැහැති කඩදාසියක් වැනි ය. කිසිවක් මනසට බලපෑම් නොකරන අවදියේදී එය බෙහෙවින් සුපේෂල ය. මෙහි මුල් ම සටහන තබන්නේ මව, පියා සහ සහෝදර සහෝදරියන් විසිනි. අනතුරුව ඔහු වටා සිටින්නෝ ඔහුගේ ලෝකය සිත්තම් කරන්නට පටන් ගනිති. සහෝදර සහෝදරියන්ගෙන් පටන් ගන්නා මනස නැමැති චිත්‍රය පාට කිරීමේ කර්තව්‍ය වඩාත් සාර්ථක ව කරන්නේ දරුවා විධිමත් අධ්‍යාපනයට යොමු වූ විට ය. අනතුරුව ඔහු ලෝකයට ඇවැසි සේ වර්ණ ගැන්වෙන්නට පටන් ගනියි. ඒ වර්ණ ගැන්වීම නැවත අවසන් වෙන්නේ වයෝවෘධ අවදියට පත් වූ විට ය. එවිට ඒ වෘධ තැනැත්තා නැවත පොඩි දරුවෙක් සේ වෙයි. ඒ ජීවිතය හා දහම විසින් ලද ශික්ෂණය හේතුවෙනි.
දරුවන් මල් වැනි යැයි කියන අප සිය ළමා විය අහිමි වූ ලෝකයේ දරුවන් ගැන ද අවධානය යොමු කළ යුතුව තිබේ. මේ ලොව දරුවන්ට තනන්නට වෙහෙසෙන මිනිස් සන්තානයේ ම එක් අර්ධයක් දරුවන් ට අකාරුණික වීම පුදුම සහගත ය. තම දරුවාට පිනි පලස් තනන දෙමාපියෝම තවත් දරුවකු තමන්ගේ වැඩ කර ගැනීම සඳහා යොදවන්නේ නම් එය මානව දයාව නොවන්නේ ය.
මේ වනවිටත් ලොව පුරා දරුවන් මිලියන 168ක් පමණ මෙහෙකාර සේවයේ යොදවා ඇති බව අන්තර්ජාතික කම්කරු සංවිධාන දත්ත පෙන්වා දෙයි. ඉන් දරුවන් බොහෝ පිරිසක් වයස අවුරුදු 5-16ත් අතර වයසේ පසු වෙන්නෝ වෙති. ලෝකයේ වැඩි ම ළමා මෙහෙකරුවන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ආසියා-පැසිෆික් කලාපයෙනි. මිලියන 1.2ක පමණ දරුවන් ප්‍රමාණයක් කම්කරුවන් ලෙස දෙමාපියන් විසින් අලෙවි කොට හෝ යම් ණය කොන්දේසි මත මෙහෙකාර සේවයේ යොදවා ඇති බව වාර්තා වේ. සෑම වසරක ම දරුවන් 22,000ක් පමණ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ජිවිතක්ෂයට පත් වී ඇතැයි ගණන් බලා තිබේ. ලෝකයේ සෑම තත්ත්පර 15කට වරක් ම ආහාර නැතිව දරුවෙක් මිය යන අතර සෑම තත්ත්පර 10කට වරක් ම ආහාර නොමැතිකම නිසා පවුලක් මිය යයි. සැබැවින් ම මේ අප දකින ලෝකය තිරයකින් වැසූ ලෝකයක් යැයි නොසිතෙන්නේ නම් පුදුමයකි.
කුසට අහරක් වෙනුවෙන් දැරිය නොහැකි බර උසුලමින්, දුක් පීඩා විඳිමින් නිවෙස්වල හා කටුක වැඩබිම්වල ජීවිතය දිය කර හරින දරුවෝ අපමණ ය. ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තීන් හා යහපත් එකඟතාවක් පවත්වා ගන්නා ලොව ප්‍රධාන පෙළේ රටවල් කිහිපයක් හැරෙන්නට තවමත් ලෝකයේ බොහෝ රටවල කුඩා දරුවන් යනු නොසලකා හැරීමටත්, පීඩනයටත් ලක් කෙරෙන අවම වරප්‍රසාද හිමි ජන කොට්ඨාසයකි. අප ළමා දිනයක් ගැන කතා කරන්නේ මෙවැනි පසුබිමක වීම ඛේදජනක ය.
සියල්ල මෙසේ තිබියදී මේවා ගැන දැනුම්වත් ව දරුවන් වෙනුවෙන් බොහෝ නීති රීති සම්පාදනය වී තිබේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව ඇතුළත් වූයේ 1990 සැප්තැම්බර් 02 දින සිටයි. 1995 වර්ෂයේ සිට නීති රීති හඳුන්වා දී ළමුන් වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් ද පිහිටුවා, පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව, ළමා ආරක්ෂක අධිකාරිය හා කම්කරු අමාත්‍යාංශයේ ළමා ශ්‍රමිකයන් පිළිබඳ සොයා බැලීමේ ඒකකයක්, මෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය ස්ථාපිත කොට ඇත්තේ ය. සියල්ල මෙසේ තිබියදීත් දරුවන් බිල්ලට තියා ගුරුවරු කළ වර්ජනය නිසා ළමා දිනය එළැඹෙද්දී ගුරුවරවැඩිහිටියන්ගේ හැසිරීම නොමනා නොවූයේ දැයි ඇසීම අසාධාරණ නොවනු ඇත.
පුංචි වයිරසයක් මුළු මානව පැවැත්ම ම අඩපණ කළ මොහොතක අසීරුවෙන් මාර්ගගත අධ්‍යාපනය ලැබූ දරුවන් බිල්ලට තබා ගුරුවරුන් වර්ජනයකට යොමු වීම නම් අනුමත කළ හැකි කාරණයක් යැයි කීමට නොහැකි ය. ළමා දිනය එළැඹෙද්දී ඒ වැඩිහිටියන්ගේ හැසිරීම අසංවේදී බව කියන්නට දෙවරක් නොසිතිය යුතු ඒ නිසා ය. වසර දෙකකට ආසන්න කාලයක් සිය ළමා වියට උරුම පාසල් සමාජානුයෝජන ක්‍රියාවලියක් නැතිව ම ගත කළ දරුවන්ට අහිමි වූ ක්‍රියාකාරකම් ගොඩට අධ්‍යාපනයත් වැටීම ඉවසිය නොහැක්කකි.
අනාගතය බාර ගනිමින් පිපෙන්නට වෙර දරන පුංචි කැකුළු වලටත්, දරුවන්ගේ ලොව ගොඩනැගුමට දහඩිය හෙළා ජීවිතේ සැදෑ සමය ගෙවනා වැඩිහිටියන්ටත් මේ මොහොත තීරණාත්මක ය. ලෝකයට ළමා දිනයක් නොව ළමයින්ට ළමා දිනයක් උදා වෙන දවසක් වෙනුවෙනුත්, වැඩිහිටියන්ට වඩාත් ගෞරවනීය හෙට දිනක් වෙනුවෙනුත් අප මේ සියල්ල අවධාරණය කරන්නේ ඔවුන්ගේ ලොව වඩාත් පැහැබර කරනු පිණිස ය.