
හෙළයට කැන්දන බක්මහ අසිරිය විඳින්නට රටම සැරසෙන කාලයක මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ අරමුණින් පසුගියදා රටම 'බක්මහ දිවුරුම' ඔස්සේ එකම ප්‍රතිඥාවක් දුන්නේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළ මඟින් පාසල් සිසුන් ඇතුළු රටේ ජනතාව එක්තරා දිවුරුමකට යටත් කරනු ලැබීමත්, මේ දිවුරුම සඳහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ සෑම පාර්ශ්වයකම සහාය හා සහභාගිත්වය ලැබීමත් විශේෂත්වයක් විය.
මත්ද්‍රව්‍ය උවදුර මේ සා සංකීර්ණ සමාජ ප්‍රශ්නයක් බවට පත් වන්නේ එය මෙරට දේශපාලනඥයන් අතින්ද පෝෂණය වීම නිසාය. විශේෂයෙන් මේ ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යෑමේදී ඔවුන්ගෙන් පඬුරු-පාක්කුඩම් ලබන දේශපාලන බහිරවයන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට බලපෑම් කිරීම අදටද අඩු-වැඩි වශයෙන් සිදු වන්නකි. කෙසේ වුවද මේ දිවුරුමද මේ දේශපාලකයන්ට තම හෘදයසාක්ෂිය සමඟ ගනුදෙනු කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරමට උඩගෙඩි දීම ගැන දෙවරක් සිතනන්ට පොලඹවන කරුණක් විය හැකිය. එලෙසින්ම අද මේ උවදුරට දරුණු ලෙස ගොදුරු වන්නේ රටේ අනාගතය හෙවත් තරුණ පරපුරයි. ඔවුන් මෙවැනි දිවුරුමක් මඟින් මතට එරෙහිව පෙළගැස්වීමත්, නිතර නිතර ඔවුන්ට මෙහි ආදීනව අවබෝධ කරවීමත් එක් අතකින් මේ විෂ මත්ද්‍රව්‍යවලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට අමතරව සිදු කෙරුණු වැදගත් පියවරක් ලෙස ජාතියේ ප්‍රශංසාව හිමි විය යුතුය.
අද රටේ බොහෝ ප්‍රශ්න නිර්මාණය කිරීම පසුපස තිබෙන දේශපාලන බලකඳවුරුද මතට එරෙහිව සිදු කෙරෙන සටන තුළ පොදුවේ එකමඟක යන ලකුණු ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් දියත් වූ බක්මහ දිවුරුමේදී දැකිය හැකි වෙසෙස් දෙයක් විය. තමතමන්ගේ දේශපාලනික ප්‍රතිපත්ති සහ දර්ශන කුමක් වුවද රටක් ලෙස අපට පොදු ගමනක්, ඉලක්කයක් තිබිය යුතුය. එහිදී රටේ පාලන බලය කාට හිමි වුවද රටේ පොදු ගමන වෙනස් නොවිය යුතුය. නිදහස ලබා වසර 70ක් ගත වීත් අපට විසඳාගනන්ට නොහැකි වූ බරපතළම අර්බුදයක් වන්නේ එයයි.
මේ වන විට මතට එරෙහිව රටක් ලෙස පොදුමඟකට වැටී තිබුණද ජාතික වශයෙන් වැදගත් වන බොහෝ කරුණු හමුවේ අපට එවැනි පොදුදැක්මක් නැත. මේ වන විට රට මුහුණ දෙන විදුලි බල අර්බුදය ඊට හොඳම නිදසුනයි. පසුගිය කාලය තුළ රටේ වැඩි වන විදුලි බල ඉල්ලුමට සාපෙක්ෂව ඉදිරි ජනන සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක නොවීමේ පාපය අද විදුලිය කැපිල්ලකින් රටේ සමස්ත ජනතාවම විඳවයි. අනෙක් අතට මේ පාපය ගෙවන්නේ මීට මාස කිහිපයකට කලින් පත් වූ විදුලි බල ඇමැතිවරයාය. එහෙත් මේ අර්බුදයට බලපා ඇති ලොකුම හේතුව වන්නේ අපේ රටේ විදුලිය සම්බන්ධ පාර්ශ්ව කිහිපයක් විසින් පසුගිය වසර කිහිපය තුළ සිදු කරන ලද කඹ ඇදිල්ලය. විශේෂයෙන් ඉදිරි ජනන සැලසුම් සම්බන්ධයෙන් වගකීම ඇති විදුලිබල මණ්ඩලයත්, විදුලිය නියාමනය කිරීමේ වගකීම සම්බන්ධ මහජන උපයෝගිතා කොමිසමත් මේ වන විට අර්බුදය හමුවේ උසාවි යන තැනට දුරදිග ගොස් ඇත්තේ ඒ ක්ෂේත්රය තුළ පොදු අරමුණක් වෙනුවෙන් ඒකරාශි වීමට පවතින නොහැකියාව නිසාය. එයට බලපාන විවිධ කරුණු තිබෙන්න හැකි වුවද ඒවා අපට රටක් ලෙස පිළිගත නොහැක්කේ මෙයින් රටේ ජාතික ආර්ථිකයට එල්ල වන දැවැන්ත අභියෝගය හේතුවෙනි.
ඒ අනුව බලන කල මේ ප්‍රශ්නයද රටේ ආර්ථික දේහයේ සෞඛ්‍යය ගැන සැලකීමේදී මත්කුඩු ප්රශ්නය තරම්ම බරපතළ එකකි. මේ ප්රශ්නය විසඳීම හමුවේ රටක් ලෙස මීට වඩා එකමුතුව සුහදත්වයකින් කටයුතු කිරීම අදාළ පාර්ශ්ව මත පැටවෙන බරපතළ වගකීමක් වී තිබේ.
අපට එසේ කියන්න සිදුව ඇත්තේ රටක් ලෙස අපට අද පවතින ලොකුම අභියෝගය ආර්ථිකය ජය ගැනීම නිසාය. මේ වන විට කලාපය තුළ මෙන්ම ලෝකය තුළ සිදු වන විවිධ දේශපාලන ක්‍රියාකාරකම් පසුපස ඇති ප්රබලතම සාධකය හුදෙක් කලාපීය බලය හෝ ගෝලීය බලය රැකගැනීමම නොවේ. බොහෝ රටවල් බලන්නේ තම ආර්ථික කාරණා සාක්ෂාත් කරගැනීමටය. ගෝලීය කරළියේ වර්මානයේ වඩාත් කතාබහට ලක් වන චීනය, ඉන්දියාව, රුසියාව සේම සෙසු රටවල්ද මුලට දමා ඇත්තේ තම ආර්ථික න්යායපත්රයයි. එය ඕනෑම දේශපාලන පක්ෂයකට රටේ පාලන බලය තහවුරු කරගැනීමේ ශක්තිමත්ම ක්‍රමෝපාය බවට පත් වී තිබේ.
ආර්ථිකය නමැති සාධකය හමුවේ අපට අභියෝග ගණනාවක් ඇත. පසුගියදා ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කළේ 2020 දක්වාම අපේ ආර්ථික වර්ධන වේගය වර්ධනය විය හැක්කේ 3.6%-3.8%ත් අතර ප්‍රමාණයකින් බවයි. වේගවත් ආර්ථික සංවර්ධනයක් ගැන බලාපොරොත්තු තබන අපට එය තරමක් පසුගාමි පුරෝකථනයක් විය හැකිය. එසේ වුවද මේ අභියෝග ජය ගත හැකි මාවතක් සහිත අය-වැයක් 2019 වසර සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. මේ අය-වැය දේශපාලන වාසි හමුවේ වත් දැවැන්ත දෝෂදර්ශනයකට ලක් නොවීම මඟින් පෙනෙන්නේ එහි පවතින වැඩපිළිවෙළෙහි රටේ අනාගතයට සහ ජනතාවට දිගුකාලීන හිතකර බවකට පසුබිමක් පවතින බවයි. කෙසේ වුවද අපට මේ අය-වැයේ ඉලක්කගත සංවර්ධනයට යන්නට නම් නිසි දැක්මක්, සාමූහිකත්වයක් සහිත වැඩපිළිවෙළක් අවශ්‍යය. එය දේශපාලනයේ ඉහළ මට්ටමේ සිට මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන පහළම නිලධරයා දක්වා විහිදිය යුතුය. බක්මහේ දිවුරුමේ පරමාදර්ශය මුළු රටේම ඉදිරි ගමනට කැප වන දිවුරුමකට කෙසේ වෙතත් එවැනි මනසකට ජාතිය පෙලඹවීමේ වැඩපිළිවෙළක් අප වහා දියත් කළ යුතුය.