අර්බුදයට මුල ව්‍යවස්ථාව විකෘති කිරීමයි | Page 4 | සිළුමිණ

අර්බුදයට මුල ව්‍යවස්ථාව විකෘති කිරීමයි

ශ්‍රී ලංකාව තුළ බරපතළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව ඉතා පැහැදිලිය. එය ලෝකයේ සිදුව ඇති ඒ ආකාරයේ ප්‍රථම දේශපාලන අර්බුදය නොවන්නාක් මෙන්ම, ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම දේශපාලන අර්බුදයද නොවේ. එමෙන්ම රටක් වශයෙන් අද අප මුහුණ දී ඇති මේ දැවැන්ත ගැටලුව ජය ගත හැකි වනු ඇත්තේ අර්බුදයේ ස්වභාවය මෙන්ම, ඊට හේතු වූ පසුබිම් කාරණාකාරණද හඳුනාගන්නේ නම් පමණකි.

අද වන විට මේ රටේ බොහෝ දෙනා මේ ගැටලුව හඳුනාගැනීමට උත්සාහ කරන්නේ හුදු ව්‍යවස්ථා අර්බුදයක් ලෙසය. තවත් සමහර අයට අනුව එය විධායක ජනාධිපතිවරයා තමන්ගේ අසීමිත බලය ආරෝපණය කරගෙන ව්‍යවස්ථාදායකයේ ක්‍රියාකාරිත්වයට සිදු කරන ලද අනිසි බලපෑමකි. එහෙත් ඒ කිසිවකු අවධාරණය නොකරන වැදගත්ම සාධකයක්ද තිබේ. එනම්: ශ්‍රී ලංකාවේ ප්‍රධානතම හා මූලික නීතිය ලෙස සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙන්නේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තිබිය යුතු මනා අනුපිළිවෙළ හා ඒකාග්‍රතාව අහිමි කරගනු ලැබූ පැටලැවිලි සහගත තත්ත්වයක බවය. ඒ නිසාම ආණ්ඩුක්‍රමය මඟින් පිහිටුවා තිබෙන සමස්ත ආයතන පද්ධතිය තිබෙන්නේද ජරාජීර්ණ වූ තත්ත්වයකය.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීම තම පරම වගකීම සේ සලකන්නේ යැයි කියමින් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් දක්වා ඇති අදූරදර්ශි අමන ක්‍රියා මඟින් මෙන්ම පසුගියදා මේ රටේ කථානායකවරයා විසින් තමා වෙත නැති අභිමතානුසාරි බලයක් යොදාගනිමින් සිදු කරන ලද සම්ප්‍රදායවිරෝධි හැසිරීම මඟින්ද ඒ බව වටහාගත හැකිය.

එහෙත් ඒ සියලු තත්ත්වයන්ට තුඩු දෙන ඇත්ත ප්‍රශ්නය නිර්මාණය කර ඇත්තේ කොතැනින්ද යන්න මේ ප්‍රශ්නය මුල් කරගනිමින් දෙපසට බෙදී වාද-විවාද කරන කිසිවකු හෝ අවධානය යොමු කරන බවක්ද පෙනෙන්න නැත. සත්‍ය වශයෙන්ම අප වඩාත්ම කණගාටු විය යුත්තේ එතැනදීය.

අද අප රටේ ක්‍රියාත්මක වන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් පදනම් කරගත් ආණ්ඩු ක්‍රමයකි. ඒ මඟින් රටට විශාල අහිතකර බලපෑමක් සිදු කර ඇති බව හා සිදු කළ හැකි බව සත්‍යයක් වුවත්, එය සංශෝධනය කළ යුතුව තිබුණේද, රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දිය යුත්තේද එහිදී අනුගමනය කළ යුතුව ඇති මූලික සම්ප්‍රදායන්ට හා විධිවිධානවලට අනුගතවය. විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව කාලයක් තිස්සේ රට තුළ බලවත් හඬක් නඟන ලද ව්‍යවස්ථා විශාරදයන්ගේ මෙන්ම සිවිල් සමාජ සංවිධානවලද අදහස වූයේ එවැන්නකි. එසේ නැතිව රට තුළ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ගොඩනැඟී පැවති සමාජ සංවාදයට හා විරෝධයට මුවා වෙමින්, ජනාධිපති ධුරය දරන්නා සතුව පැවති විධායක බලය ඒ ආකාරයටම අග්‍රාමාත්‍යවරයාට පවරාගැනීමට කටයුතු කිරීමෙන් හෝ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදි සම්ප්‍රදායට සපුරා පටහැණි විධිවිධාන ඇතුළත් කරන ලද ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමෙන් හෝ එකී අරමුණ සාක්ෂාත් කරගත නොහැකිය. අද අප රටක් ලෙස මුහුණ දී සිටින අර්බුදයට සැබෑ පදනම වැටී ඇත්තේ එවැනි ක්‍රියාවක පල-විපාක නිසා බව එහිදී බොහෝ දෙනකු අවධානය යොමු කරන්නේ නැත.

සත්‍ය වශයෙන්ම අද අප මුහුණ දී ඇති අර්බුදයට සැබෑ මූලය නිර්මාණය කරන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟිනි. එය සැලකිය හැක්කේ ඉතා යහපත් අරමුණකට මුවා වී සිදු කර ඇති කූට කුමන්ත්‍රණයක් ලෙස මිස, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ගෙන ඇති පියවරක් වශයෙන් නොවේ. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා සද්භාවයෙන් යුතුව ක්‍රියා කරමින් තමා සතු විධායක බලතල බොහෝ ප්‍රමාණයක් අත්හැරීමට ක්‍රියා කර ඇතත්, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රෝත්සාහි වී ඇත්තේ එකී බලතල තම තනතුරට ආදේශ කරගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අන්තර්ගත විය යුතු මූලික දර්ශනයට පිටුපාමින් විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරලීමටය.

රට හා රටවැසියන් හමුවේ තබන ලද පොරොන්දු මත පිහිටා කටයුතු කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට යෑමට රනිල් වික්‍රමසිංහ රජයට සැබවින්ම අවශ්‍ය වූයේ නම් කළ යුතුව තිබුණේ පවත්නා ආණ්ඩුක්‍රමයට සරල සංශෝධනයක් සිදු කිරීම නොවේ; විධිමත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමය. එහෙත් කඩිමුඩියේ සිදු කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සිදු කර ඇත්තේ ජනාධිපති ක්‍රමයක් සඳහා සකස් කර පැවති ඇතැම් විධිවිධාන අනුව යමින් අගමැතිවරයා වෙත අසීමිත බලයක් අත්පත් කරගැනීමය. ඒ අනුව අද අප රටේ පවතින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක නාමයෙන් පවත්නා විකෘති කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. එකී විකෘතිය හේතුවෙන් ඇති කරන අර්බුදයේ තරම මේ වන විට රටේ නිර්මාණය වී ඇති දේශපාලන වියවු‍ලෙයෙන්ම තේරුම් ගත හැකිය.

Comments