සම්පන්දන්ගේ අහිංසා ප්‍රකාශය | Page 4 | සිළුමිණ

සම්පන්දන්ගේ අහිංසා ප්‍රකාශය

විපක්ෂ නායක රාජෝවරෝදියන් සම්පන්දන් මහතා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී ඉතිහාසගත වන ප්‍රකාශයක් කළේය. ඒ මහාත්මා ගාන්ධි තුමාගේ අහිංසාවාදය පිළිබඳ සඳහන් කරමිනි. එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ 1977දී තම අයිතිවාසිකම් වෙනුවෙන් දෙමළ දේශපාලනය කැරලිකාරි පියවරකට නොගොස්, මහාත්මා ගාන්ධි තුමා මෙන් සත්‍යග්‍රහ ව්‍යාපාර වැනි අහිංසාවාදි විරෝධතා ක්‍රමවේදයක් අනුගමනය කරන්නට පෙලඹුණේ නම් වසර 30ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ ඇදුණු කුරිරු යුද්ධයක යෙදෙන්නට අප රටට සිදු නොවන බවයි. මේ ක්‍රියාදාමයන්ට සම්පන්දන් මහතාගේ සම්බන්ධයක් නැතත්, වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස මෙන්ම උතුරේ දේශපාලනයේ තීරණාත්මක බලයක් සහිත දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන්ද ඔහු විසින් කරන ලද මේ ප්‍රකාශය එක්තරා ආකාරයකට අවස්ථාවාදි දේශපාලනයේ එක්තරා පාපොච්චාරණයක් ලෙසද සැලකිය හැකිය.

ඔහු මේ අදහස් දක්වන්නේ මහාත්මා ගාන්ධි තුමාගේ 150 වැනි උපත් සමරුව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකදීය.

මෙහිදී විපක්ෂ නායකවරයා විසින් කරන ලද ප්‍රකාශය සැබැවින්ම සෑම දේශපාලනඥයකුම දැඩි සේ අවධාරණය කරගත යුතු කතාවකි. එයට හේතුව: අද බොහෝ දේශපාලන පක්ෂ හෝ දේශපාලන චරිත හෝ ධාවනය වන්නේ විවිධ අයිතිවාසිකම් හෝ තමන් නියෝජනය කරන ජනතාව සතුටු කිරීමේ කවර හෝ ක්‍රියාවක් මතින් වන බැවිනි. මෙහිදී තම ඡන්ද බල ප්‍රදේශයේ මළ ගෙදරකට ගොස්, එහි පැමිණ සිටින ජනතාවගේ පිටට තට්ටු කොට බුලත් විටක් කා මාරු වීමේ, ආධාරකරුවන්ට රැකියා සහන ආදිය සැලසීමේ සිට තමන් නියෝජනය කරන ප්‍රජාවගේ සෑම අයිතිවාසිකමක් වෙනුවෙන්ම කොන්දේසි විරහිතව පෙනී සිටීම ඔවුන්ගේ පිළිවෙත වී ඇත. අද ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් ප්‍රදේශීය දේශපාලනඥයන් පමණක් නොව, ඇමැතිවරුන් පවා රජය විසින් ගන්නා ලද පොදු තීරණ හමුවේ වුව තම ඡන්ද පදනම හෙල්ලෙන යම් දෙයක් වන්නේ නම් ඒ හමුවේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැසීම, අරගල කිරීම මේ අවස්ථාවාදි දේශපාලනයේ තවත් පැතිකඩකි.

එහි උච්ඡතම සහ හානිකරම අවස්ථාවක් වූයේ උතුරේ නිර්මාණය වූ ප්‍රශ්නයයි. එහිදී දෙමළ ජනතාවට තිබූ ප්‍රශ්න තම එකම දේශපාලන තුරුම්පුව කරගත් දේශපාලන නායකයන් ඒ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නට තමන් තුළ ඇති කැප වීම ප්‍රකාශ කළේ එක්කෝ ජාතීන් අතර අසමානතාව, අසමඟිය උත්පාදනය වන පදනම් විරහිත කරුණු දෙමළ සමාජය තුළ පැළපදියම් කිරීමෙනි; එසේත් නැති නම් ඔවුන් ආයුධ අතට ගන්න‍ා තැනට ඔවුන්ගේ මනස් නිර්මාණය කරමිනි.

මේ තත්ත්වයන්ට සෙසු දේශීය හෝ විදේශීය සාධක මතින් විවිධ අඩුම-කුඩුම සැපයෙද්දී ඒ තුළ නිර්මාණය වූයේ බරපතළ විරසකයකි. මේ විරසකය උතුරේ දකුණේ දහස් ගණනක් ජීවිත විනාශ කළ, තවත් දහස් ගණනක් අබ්බගාතයන් කළ, කාන්තාවන් දහස් ගණනක් වැන්දඹුවන් බවට පත් කළ දැවැන්ත යුද්ධයක් බවට පත් විය. වසර 30ක පමණ කාලයක් උතුරත් දකුණත් අඳුරේ වැටී ගමන් කළේ ඒ අනුවය.

අද අපේ රටට ඇති ලොකුම සම්පත සාමය බව මේ රටට දිනෙන් දැන වැඩි-වැඩියෙන් පැමිණෙන සංචාරකයෝ සාක්ෂි දරති. එසේම අද උතුරේත් දකුණේත් දේශපාලනය මේ වෙනසෙහි අරුමය සැබෑ ලෙසම අවබෝධ කරගෙන ඇති සැටියක් පෙන්වයි. තම ආත්මාභිලාෂයන් වෙනුවෙන් දඟලන දේශපාලනය වරින් වර සුව වන යුද්ධයේ තුවාල පාරමින් තම බල කඳවුරු යළි පිහිටුවන්නට තැත් කළද රටේ සමස්ත ජනතාව අද තවදුරටත් අස්වැසිල්ලක් ලබන්නේ සාමය පමණක් නොව සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය මිනිස් අයිතිවාසිකම් තහවුරු වීම වැනි දියුණු සහ ශිෂ්ට සම්පන්න සමාජයක අවශ්‍යතා සපිරෙන නිසාය.

එවැනි සන්දර්භයක සම්පන්දන් මහතා කෘතහස්ත දේශපාලකයකු ලෙස කළ මේ ප්‍රකාශය කොතරම් සාධනීය එකක් වන්නේද යන්න අප කල්පනා කළ යුතුව ඇත. මෙරට දේශපාලනයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු මේ ප්‍රකාශය කරන්නේ තමා ලද දශක ගණනාවක අත්දැකීම් සහ පරිචය මත පිහිටමිනි.

අද වෙඩි උණ්ඩය හෝ බෝම්බය හෝ නැතත්, අයිතිවාසිකම් වෙනුවෙන් මහජනතාව පීඩාවට පත් කරන්නෝ උතුරේත් දකුණේත් දුලබ නොවෙති. ඔවුන් අහිසංසාව වෙනුවට තෝරාගන්නේ අරගලයයි. සරසවි ශිෂ්‍යයාගේ සිට උගත් යැයි සම්මත වෛද්‍ය වෘත්තිකයන් තෙක් සැම සමාජ කොටසක්ම මේ අරගලය ඔස්සේ අදටත් හිංසාවාදි පිළිවෙතක නියැළෙනු අපට දැකිය හැකිය.

සම්පන්දන් මහතා විසින් කරන ලද ප්‍රකාශය මෙකී නොකී අරගල කරන සෑම කෙනකුම සිත දරාගත යුතු වන්නේ අපට මහාත්මා ගාන්ධි තුමා පමණක් නොව, බොහෝ ආගමික ශාස්තෘෘන් විසින් අවධාරණය කරන ලද අහිංසාවාදි වූ ක්‍රමවේදයකින් තම ලෝකය ජය ගත හැකි බවය. එහෙත් මේ යථාර්ථයට අවස්ථාවාදය නමැති ඝන වලාව ඈත් කරවීමට කොතරම් ශක්තියක් තිබේද යන්න සැක සහිතය.

Comments