
පසුගිය 12 වැනිදා පැවැත්වූ සමුළුවේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂා ඉටු වුණායැයි සිතනවාද?
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සදහා වැඩ කරන ජනතාවගේ අධිෂ්ඨානය ප්‍රකාශයට පත් කිරීම තමයි ඒ සමුළුවේ මූලික අදහස බවට පත් වුණේ. රාජ්‍ය සේවයේ මෙන්ම අර්ධ රාජ්‍ය සේවයේත්, පෞද්ගලික සේවාවන්හිත් සේවකයන්, කම්කරු නියෝජිතයන් ඒ සඳහා විශාල වශයෙන් සහභාගි වුණා. ඔවුන් තම ආයතනයේදී, වැඩබිමේදී අපේ අපේක්ෂකයා දිනවීමට සපථ කළා.
සමුළුවට පැමිණි සියලු දෙනාම ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා දිනවීමට කටයුතු කරයිද?
අනිවාර්යෙන්ම. ඒ අය මේ සමුළුවට ආවේ ජාතික ජන බලවේගය හරහා අපේක්ෂකයා දිනවීමටම තමයි. සියලු දෙනාම විසිර ගියේ ඒ අපේක්ෂාව මුදුන් පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා අදිටනින්. ඒ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමටත් ඔවුන් පියවර ගනීවි.
ඔබ පක්ෂය මේ ප්‍රචාරණ කටයුතුවලදී සමාජ මාධ්‍ය කෙරෙහි එතරම් උනන්දුවක් නැහැ වගේ...
අප සෑම මාධ්‍යක්ම උපයෝගි කරගන්නවා. විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය වගේම සමාජ මාධ්‍යත්, ඒ වගේම පෝස්ටර්, පත්‍රිකා හා මහා පරිමාණ රැස්වීම් ඒ වගේම ගම් මට්ටමේ ජනතාව සමඟ පවත්වන කුඩා රැස්වීම්, ගෙයින් ගෙට යෑම් වැනි සියලු ආකාරයේ ප්‍රචාරණ ක්‍රම අනුගමනය කරනවා. අප එය ක්‍රමානුකූලව ගොඩනංවමින් තිබෙන්නෙ.
ඔබ පක්ෂය කාලාන්තරයක් තිස්සේම තුන් වන බලවේගය ලෙස නේද පවතින්නේ?
අපේ රටේ එක අවධියක් තිබුණා තුන් වන බලවේගයක් ගැන කතා කරන. ඒත් දැන් ඒ තුන් වන බලවේගය කියන සංකල්පය වලංගු නැහැ. ශ්‍රී ලංකා භූමියෙන් එය දැන් ඉවත් වෙලා තියෙන්නේ. දැන් එක් පැත්තක තියෙන්නේ අලි-පොහොට්ටු බලවේගයක් පමණයි. පක්ෂ දෙකක හෝ තුනක සිටියත් ඒ සියලු දෙනා එකම රෑනක කුරුල්ලන් වගේ. ආර්ථික සංකල්පයෙන්, එහෙමත් නැත් නම් දේශපාලන, ඒත් නැත්නම් සංස්කෘතික වශයෙන් ඒ පක්ෂවල සංකල්ප එකයි. එවැනි තත්ත්වයක් තුළ අපේ බලවේගය විකල්පයක් ලෙස නෙමෙයි, දෙවැනි බලවේගය ලෙස තමයි ගොඩනැඟෙමින් තිබෙන්නේ.
ඔබ එසේ කිව්වත් තවමත් ප්‍රධාන පක්ෂ දෙක නැත්නම් ඒ හා සම්බන්ධ සන්ධාන අතරයි බලය හුවමාරු වන්නේ. ඔබ පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳ ගැටලුවක්ද? නැත්නම් පක්ෂයට ජනතාවගේ පිළිගැනීමක් නැත්ද?
ඇත්තටම අපට දැන් ඒක අදාළ වන්නේ නැහැ. ජාතික ජන බලවේගය ගොඩනැංවීමේදී අප පහුගිය අගෝස්තු 18 වැනිදා ගාලු මුවදොර අපේ ප්රචාරක කටයුතු ආරම්භ කළා.
අපට හොඳින් පෙනන දෙයක් තමයි එක්සත් ජාතික පක්ෂය වටා රොක් වෙමින් පක්ෂය අල්ලාගෙන සිටින අය හැරෙන්නට 2015දී පවා ඒ වටා සිටි බලවේග දැන් ක්‍රමයෙන් අපගේ ජාතික ජන බලවේගය වටා රොක් වන බවක්. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා වටා සිටි අයත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා වීමත් සමඟ එතැනින් දුරස්ව අප වටා එක්රොක් වන බව පෙනෙන්න තිබෙනවා. අප විශ්වාස කරනවා මේ තත්ත්වය තවත් වර්ධනය වෙයි කියා.
විශේෂයෙන්ම මේ වන තෙක් එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයකු නම් කර නැති නිසා අපට දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ආකල්ප ගැන කියන්න බැහැ. ඒත් රටට ආදරේ, රට ගොඩ ගන්න අය ජාති ආගම් භේදවලින් තොරව මේ ජාතික ජන බලවේගය වටා එක්රොක් වනවා.
වාසුදේව නානායක්කාර මහතා පසුගියදා පැවසුවා ජනාධිපතිවරණයේදී ඔබ පක්ෂය කරන්න යන්නේ දෙවන මනාපය එක්සත් ජාතික පක්ෂයට දී ඒ පක්ෂය දිනවීම බවක්...
එක්සත් ජාතික පක්ෂයට බලය දෙන්න නම් අප කිස්සේත්ම ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු නැහැ. ජාතික ජන බලවේගයේ එකම අවශ්‍යතාව ඒ අපේක්ෂකයා දිනවීම පමණයි. මේ අවස්ථාවේ ජාතික ජන බලවේගය හරහා තමන් කොතෙක් දුරට රට වෙනුවෙන් කටයුතු කරනවාද යන්න ගැනයි ජනතාව කල්පනා කරන්නේ. වාසුදේව නානායක්කාර මහතා විටින් විට කරන ප්‍රකාශ ගැන අප ඒ තරම් කලබල විය යුතු නැහැ. අප නම් හිතන්නේ නැහැ ජාතික ජන බලවේගයට ඡන්දය දෙන කිසිවකු දෙවන මනාපයක් පාවිච්චි කරයි කියලා. අප එවැන්නක් කියලාත් නැහැ. එක්සත් ජාතික පෙරමුණට හෝ පොහොට්ටු පක්ෂය වෙනුවෙන් හෝ එහෙම පාවිච්චි කරන්න හේතුවකුත් නැහැ.
තරුණ පිරිස ඔබ පක්ෂය හා සම්බන්ධ කරගැනීමට, විශේෂයෙන්ම අලුත් ඡන්ද ඔබ පක්ෂය වෙත යොමු කරගැනීමට ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ නේද?
ඒ අය තම කුලුඳුල් ඡන්දය රටේ යහපතට භාවිත කරයි කියල අප සිතනවා. තරුණ පරපුරට ගතානුගතික ආකල්ප නැහැ. ඒ අය හිතන-පතන විදිහ වෙනස්. ඒ නිසා සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ඒ අයගෙන් අපට ලබාගන්න පුළුවන් වෙයි කියා අප හිතනවා. ඒ අය තමන්ගේ පළමු ඡන්දය අවුරුදු 60ක් 70ක් මේ රට ව්‍යසනයට පත් කරපු අයට යළිත් ආණ්ඩු හදන්න දෙයි කියා මම හිතන්නේ නැහැ.