
ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය දිනවන්නට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම්හු පවසති. ජාතික ජන බලවේගය හරහා ජනතා සේවයට කටයුතු කරන්නට පක්ෂය මෙවර අපේක්ෂකයකු ඉදිරිපත් කළ බව පක්ෂයේ මන්ත්‍රීවරු පවසති. සමාජයේ මතුව ඇති විවිධ කතා බහ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි ගමන් මඟ ගැන අද සිළුමිණ හා කතාබහට එක් වන්නේ එහි නායක ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතායි.
• ජාතික ජනබලවේගය ජනාධිපතිවරණයට සූදානම්ද?
ඔව්, අපි මේ වන විට මූලික සංවිධාන කටයුතු සූදානම් කරලයි තියෙන්නෙ. ඉතාම ප්‍රබල මැතිවරණ ව්‍යාපාරයක අපි නියැළිලා ඉන්නවා.
• ඒ ගැන පැහැදිලි කළොත්....
අප ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාදාමයක නිරතව සිටින්නේ. ඒ උදෙසා ගෙයින් ගෙට යාමේ ව්‍යාපාර, කුඩා ජන හමු පැවැත්වීම, මහ රැලි, විවිධ ජන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයන් මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ සමඟම සමාජ මාධ්‍ය හා අනෙකුත් ප්රචාරණයන්ද අප ආරම්භ කර තිබෙන්නේ. ඒ වගේම රට ගොඩ ගැනීම පිළිබඳව අවශ්‍ය වැඩ පිළිවෙළ ගැන අපි සැලසුමක් හදල තියෙනවා.
• ඒ කොහොම වුණත් ජනතා විමුක්ති පෙරමුණටත් ජාතික ජන බලවේගයටත් ඔය කියන තරම් බලවේගයක් ජනතාවක් නැහැයි කියල දේශපාලන කරළියේ කතා වෙනවා.
අපි කලබල නොවී මැතිවණ ප්‍රතිඵලය දෙස බලා ඉදිමු. ජනතාවට වගකීමක් තියෙනවා, මේ දක්වා ගිය විනාශකාරී මාවතේම යනවද? එහෙමත් නැත්නම් ඊට වඩා වෙනස් මාවතක් තෝර ගන්නවද කියන එක ගැන. අපිත් ජනතාවට ආරාධනා කරනවා අවුරුදු 71ක් ගිය මේ මාවතෙන් බැහැර විකල්ප මාවතක් කරා එන්න කියලා.
විශේෂයෙන්ම මේ දක්වා අනුගමනය කළ අසාර්ථක සමාජ ආර්ථික, දේශපාලන ප්‍රතිපත්ති වෙනුවට රටට ජනතාවට සමානාත්මතාවය, යුක්තිය ඉටුවන නව සමාජ පාලනයක් අවශයයි කියලා රටම බලාගෙන ඉන්නවා.
අපේ සමාජ මාධ්‍ය භාවිතය වෙනස්
• සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කරනව කිව්වත් අපට නම් එවැන්නක් පේන්න නැහැ.
අපි සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන්නෙ සැලසුම් ක්‍රමවේදයක් අනුවයි. එහෙම නැතිව කාටවත් අවලාද මඩ ගහන්න නෙමෙයි. එය පක්ෂයේ වැඩ පිළිවෙළ ප්‍රචාරය කිරීම පිණිස මිස අසත්‍ය පැතිරීමටත් නෙමෙයි.
• මෙවර ජනාධිපතිවරණයේදී කිසිවකුට 50%ක් ලබා ගන්න බැරි බවට විචාරකයින් පවසනවා.
අපිට ඒ ගැන වැඩක් නැහැ. අපි ඒගැන සැලකිල්ලක් දක්වන්නෙත් නැහැ. අප බලන්නේ බහුතරය අරගෙන ජයග්‍රහණය කිරීම පමණයි.
• ඔබ එසේ කිව්වත් ප්‍රධාන පක්ෂ දෙක අතරේ පමණයි මේ දක්වා බලය හුවමාරු වී තිබෙන්නේ.
බහුතර දේශපාලන පක්ෂ කරන්නේ කුනු වෙන ගඳ ගහන සමාජ ක්‍රමය සහ ආර්ථිකය ඉදිරියට ගෙනි යන්න ආණ්ඩු බලය අත් පත් කර ගැනීමයි. මේ නිසා කාලාන්තරයක් තිස්සේ මිනිස් ප්රජාවත් ඒ සමාජය වටා ගොඩ ගැසී ඉන්නේ. ඒ සඳහා අවශ්‍ය මනෝභාවයක් තමයි රටේ ගොඩ නැඟෙන්නේ. ඒක නිසාම තමයි ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ.
• ඉතින් ජනතා විමුක්ති පෙරමුණ කරන්න යන්නෙත් ඒ සමාජ ක්රමයම ඉදිරියට ගෙනි යන එකම නේද?
නැහැ, අපි පෙනී සිටින්නේ ආණ්ඩු මාරුවකට නෙමෙයි, සමාජ පරිවර්තනයකටයි. ලෝකයේ එවැනි සමාජ පරිවර්තක සිදු වන්නේ දශක නැත්නම් සියවස් ගණනකට පසුවයි. ආණ්ඩු මාරුවක් අවුරුදු 5කට පමණ වෙනස් වෙනවා. නමුත් සමාජ පෙරළියක් එහෙම කරන්න බැහැ. අපි සමාජ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක්.
• ඒ වෙනුවෙන් ඔබ පක්ෂය කුමන පියවරක්ද ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන්නේ.
ඒ සඳහා කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුයි. මේ වන විට ජනතාවටත් තේරුම් ගිහින් තියෙනවා මේ සමාජ ක්‍රමය යටතේ ජීවත් විය නොහැකි බවට. ඒ වගේම ජනතාවගේ මනෝමූලික භාවය වෙනස් විය යුතුයි.
ජනතාව නිරතුරුව කල්පනා කරන්නේ මේ ප්‍රශ්නයට පිළිතුර ලෙසින් එක් ආණ්ඩුවක් පෙරලලා තව ආණ්ඩුවක් බලයට පත් කරන්නයි. එහෙම නැත්නම් එක් නායකයෙක් අයින් කරලා තවත් නායකයෙක් ගේන්නයි.
අපේ වෑයම ආණ්ඩු මාරුවකින් හෝ නායකයින් මාරුවකින් මේ ප්‍රශ්නෙට උත්තරයක් නැති බව ජනතාවට ඒත්තු ගැන්වීමයි.
• නමුත් ඔබ කියන සමාජ පරිවර්තනයට යන්න තවමත් අසමත් වී තිබෙනවා නේද?
ඒ අසමත් වීමට හේතුව සමාජ සංස්කෘතියේ හා ධනේෂ්වර පංතියේ ක්රමවේදයයි. ඒ ක්‍රමයටම තමයි මානව හැඟීම් සිතුම් පැතුම් ආකල්ප මේ සියල්ල ගොඩ නැගී ඇත්තේ. ඒ ආකාරයෙන්ම තමයි මාපිය දූ දරු සබදතා ආදියත් ඇති වන්නේ. මේ නිසා සමාජමය වශයෙන් මේ මතවාදය වෙනස් කළ යුතු වෙනවා.
මන්ත්‍රීධූර අඩු වෙලා
• නමුත් ඔබ පක්ෂයට මන්ත්‍රීවරුන් 40කගේ බලයක් තිබුණා, දැන් එය 6 දක්වා අඩු වෙලා මේ තත්ත්වය මත කොහොමද ඔබ පක්ෂය මේ මතවාදය වෙනස් කරන්නෙ.
අපිට මන්ත්‍රීවරුන් වැඩි කර ගැනීම පමණක් අවශ්‍ය කරන පක්ෂයක් නෙමෙයි. එහෙම වුණානම් කවර හෝ පක්ෂයක එල්ලිලා මැතිවරණ කරා එන්න තිබුණා. මා පෙර කිව්වා සේ අපට අවශ්‍ය වන්නේ සමාජ පරිවර්තනයක් කරා යාමටයි. මන්ත්‍රීවරුන් 39ක් සිටි කාලයට වඩා වෙනසක් අපට මේ කාලයේ කරන්න හැකිව තිබෙනවා.
ඒ වගේම වාමාංශික ව්‍යාපාරයක් එක දිගට ඉද්ද ගැහුවා වගේ ගමන් කරන්නෙ නැහැ. හැම වෙලාවෙම උච්චායතන මෙන්ම අවපාත වෙනවා.
• නමුත් 39ක් 40ක් වැනි සංඛ්‍යාවක් 6ක් දක්වා බැසයාම එසේ සුළු කොට තැකිය යුතු නැහැ. මේ වෙනසට ඔබ දකින හේතු මොනවාද?
ඒ වන විට යුද්ධය අවසන් කිරීම නිසා ජනතා බලය එක් සුවිශේෂී දේශපාලන කඳවුරක් කෙරෙහි යොමුව තිබුණා. ඒ වගේම ඒ කාලයේ ඇති වුණු සමාජ පරිවර්තනයක් මෙන්ම සුනාමි නිසා ඇති වුණු බලපෑම් ප්රජාතන්ත්රවාදය පිළිබඳ ගැටලු එක් පක්ෂයකින් හෙළි කරන දූෂණ වංචා වැනි දේ නිසා මේ ඉහළ පහළ යාම සිදුවූවා වන්නට පුළුවන්.
• දයාසිරි ජයසේකර මහතා අවස්ථා කිහිපයකදීම පැවසුවා ‘අපිට ජනතා විමුක්ති පෙරමුණත් එක්කත් මැතිවරණයට එන්න පුළුවන්‘ කියලා. කැමැතිද ඒ පක්ෂයත් එක්ක මැතිවරණයට එන්න.
ජාතික ජන බලවේගය කියන්න සමාජයේ පරිවර්තනයක් කරා යන දිගු කාලීන අරමුණක් සහිතව ගොඩ නඟපු ව්‍යාපාරයක්. එහි අරමුණ වන්නේ සමාජ ආර්ථික රටාව මුළුමනින්ම වෙනස් කිරීමයි. ඒ සඳහා එක් එක් ක්ෂේත්රවල දිගු කාලයක් අරගල කළ පිරිස් සමඟ එක්ව ගමනක් යන සංවිධාන එකතුවක්. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යම් යෝජනාවක් ආවොත් එම යෝජනා එහි දිග පළල ඒ අයගේ ආදිය සලකා බලා තමයි අපට යම් තීරණයක් ගත හැකි වන්නේ.
• ඔබ හිතනවාද පක්ෂයට නැත්නම් ජාතික ජන බලවේගයට මේ ජනාධිපතිවරණයේ යම් අභියෝගයක් හෝ එල්ල කළ හැකි බවට..
ලෝකයේ දේශපාලන පරිවර්තනයන් සිදු වන්නේ 1,2,3 වශයෙන් නෙමෙයි, ජනතාව තෝරා ගත යුත්තේ දූෂිත නොවන පාලනයක් නම් ඒ සඳහා ඇති එකම බලවේගය ජාතික ජන බලවේගයයි.
ජනතාවට අවශ්‍ය වන්නේ අශිෂ්ට නොවන පාලනයක් නම් ඒ සඳහා ඇත්තේ ජාතික ජන බලවේගයයි. ජනතාව බලපොරොත්තු වන්නේ විනාශය නොව සෞභාග්‍ය නම් ඒ සඳහා ඇත්තේ ජාතික ජන බලවේගයයි. ඒ අනුව ජනතාව තේරුම් ගනීවි තමන් තෝරා ගත යුත්තේ කවර නායකයාද කියලා.
ගෝඨාභය පැමිණීම රියැදුරු මාරුවක්
• නමුත් ගෝඨාභය මහතාගේ පැමිණීම විශාල අභියෝගයක් නේද?
ඒක අපට අදාළම නැහැ. රියැදුරු මාරුවක් විතරයිනෙ සිදු කර ඇත්තේ.
• අලුත් ඡන්ද ඔබ පක්ෂයට යොදා ගැනීමට යම් පියවරක් අරගෙන තියෙනවද?
අලුත් පරපර පාරම්පරික ක්‍රමවේදයෙන් මිදිල ඉන්නේ. ලෝකයේ මේ වගේ පරිවර්තන වුණේ අලුත් පරපුරත් එක්ක තමයි. මෙවැනි පරිවර්තනයක් කරා යන ගමනේදී ඔවුන්ගෙන් විශාල සේවාවන් ඉටු විය යුතුයි.
• තරුණ පරපුර වෙනුවෙන් ඉදිරියේදී ඔබ පක්ෂය විසින් අරගෙන තියෙන පියවර මොනවාද?
අද අපේ රටේ දූ දරුවන්ට කිසිදු දෙයක නිශ්චිත භාවයක් නැහැ. මේ නිසා මවුපියන්ගෙන් යැපෙන මානසිකත්වය ඉවත් කර තමන්ටම දියුණු විය හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.
• සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති සමුළුව සාර්ථක වුණාද?
සමුළුව ඉතාම සාර්ථකයි, අපේ රටේ රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයින් විශාල පීඩාවකින් ඉන්නේ. විශේෂයෙන්ම 2008 වසරේදී අර්ථසාධක අරමුදලේ මුදල් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීමෙන් කෝටි 2800ක පාඩුවක් වුණා. එසේම 2015 බැඳුම්කර වංචාවෙන් කෝටි 2000ක පාඩුවක් වුණා. එසේම රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් කප්පාදුව වැනි දේ නිසා කලකිරී ඉන්න සේවකයින්ට අලුත් ගමනක් අවශ්‍ය වෙනවා.
රටේ ණය අර්බුදයක් නැහැ
• ඔබ පක්ෂයට යම් අයුරකින් බලය ලැබුණොත් හඳුන්වා දෙන ආර්ථික ප්‍රතිපත්තිය ගැන විස්තර කළොත්....
ඕනෑම රටකට අනන්‍ය වූ ආර්ථික ප්‍රතිපත්තියක් තිබෙනවා. වෙනත් රටක ආර්ථික ප්‍රතිපත්තියක් තවත් රටක ආර්ථිකය හා ගලපා ගන්න බැහැ. ඒ රටේ ඓතිහාසික තත්ත්වය පිහිට වැනි කරුණු හරහා ආර්ථිකය සකස් කළ යුතු වෙනවා.
අපේ රටේ නම් ඉල්මනයිට් නිධිය, පොස්පේට් නිධිය, වගේ ආර්ථික වටිනාකමක් ඇති දේ හරහා රටේ ආර්ථිකය නංවා ගත යුතු වෙනවා.
ඒ වගේම විශේෂයෙන්ම මානව සම්පත අපට බොහෝ දුරට උපකාරී වනවා මේ ආර්ථික කටයුතු මෙහෙයවීම උදෙසා. අපේ රටේ පිහිටීම අනුව නාවික ගමනා ගමනය වගේ දේ වලින් අපි නිසි ප්‍රයෝජන අරගෙන නැහැ.
මානව සම්පත විශේෂයෙන්ම අධ්‍යාපනය , සෞඛ්‍යය හා ක්‍රීඩා වැනි අංශ හරහා ඉදිරියට ගෙන යා යුතුයි. පාසලට ඇතුළත් වන කිසිදු දරුවකු නිපුණතාවෙන් තොරව පාසලෙන් පිටතට නොයන ක්‍රමවේදයක් අවශයයි.
ඒ වගේම අද සිදුව ඇත්තේ ලෙඩේට බෙහෙත් ගැනීම නොව පොකැට්ටුවෙ ඇති මුදලට බෙහෙත් ගැනීමට සිදුවීමයි.
එමෙන්ම සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරක් උදෙසා ක්‍රීඩාවත් බෙහෙවින් අවශ්‍ය වනවා. අපි ඒ සියලු අංශ පරිපූර්ණ කිරීමට කටයුතු යොදනවා.
• රටේ ණය අර්බුදයට යොදන පිළියම කුමක්ද?
ණය කියන්න නරක දෙයක් නෙමෙයි. සංවර්ධනයට අවශ්‍යයි. නමුත් අපේ රටේ ණය අර්බුදයක් කරගෙන තියෙනවා. අපේ රටේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 11යි. නමුත් අපේ වත්කම් ප්‍රමාණය ට්‍රිලියන 1.8යි. ඉතිරි ඒවාට මොකද වුණේ.
අපිට ආසියානු සංවර්ධන බැංකුවෙන් අඩු පොලියට ණය ගන්න පුළුවන්. ඒ සඳහා ලබා දෙන නිර්ණායක කොන්දේසි මොනවාද යන්න සොයා බැලිය යුතුයි.
නිවැරැදි ශක්‍යතා අධ්‍යයනයක් තිබෙනවාද යන්න ඔවුන් සොයා බලනවා, දෙවනුව නිවැරැදි ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර ඇත්දැයි සොයා බලනවා, එසේම පරිසර පද්ධති ගැනත් අවසානයේ අවතැන් වූවන්ට සමාජමය වශයෙන් ලබා දෙන විසඳුම ගැනත් සොයා බලනවා. ඒ හරහා රට සංවර්ධනය කිරීම අපහසු නැහැ. එහෙත් අපේ රටේ වැඩිපුරම ලබා ගන්නේ වාණිජ ණයයි.
• ශ්‍රී ලන්කන් ගුවන් සේවය අද මුළුමනින්ම කඩා වැටෙන තත්ත්වයකට පත් වෙලා, මේ ආයතන ගොඩ ගැනීමේ ක්‍රමවේදයක් ඔබ පක්ෂයට තිබේද?
මෙතන ආර්ථික අර්බුදයක් නෙමෙයි තිබෙන්නෙ, දේශපාලන අර්බුදයක්, ඇමැතිවරයා වරායේ ඉන්නකොට සහෝදරයා වරාය විශේෂඥයා වෙනවා. ඒ ඇමැතිවරයා ඛනිජතෙල් ඇමැති වෙනකොට සහෝදරයා තෙල් සංස්ථාවේ විශේෂඥයා වෙනවා. ඇමැති ගුවන් සේවාව බාර ගන්නකොට ඥාතීන් සහෝදරයන් විශේෂඥයින් වෙනවා. මේ තත්ත්වය තමයි මේ අර්බුදයක් වන්නේ. ඒ ක්ෂේත්රවලට අදාළ විශේෂඥයින් නොමැතිව ඥාති හිතමිතුරන් පත් කිරීමේ විපාකය තමයි ඒ අත් විදින්නේ.
මා කෘෂිකර්ම ඇමැතිධුරය බාර ගන්නකොට මිල්කෝ ආයතනයේ රුපියල් මිලියන 50ක බැංකු අයිරාවක් තිබුණා. මාස 14ක කාලයකට පසුව මම ඇමැති ධුරයෙන් එළියට බැස්සේ එහි ස්ථාවර තැන්පත් මිලියන 200ක් දක්වා වර්ධනය කරලා. ප්‍රථව වතාවට මිල්කෝ සේවකයින්ට බෝනස් ගෙව්වා. අද වෙලා තියෙන්න අදාළ ඇමැතිවරයා පත්වෙන පැත්තෙන් ආයතන පිරෙන එකයි.
• ඔබ ජයග්‍රහණය කළොත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවද?
ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන ගමන් ඒ හරහා පත්වන පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීමක් තමයි විධායකය අහෝසි කිරීම.
• අනෙක් පක්ෂ ඒ සඳහා සහාය ලබා දෙයි කියා ඔබ සිතනවාද?
අපි ජනාධිපති ධුරය ගත්තොත් ඒ අය බලන්නෙ ඉක්මනින්ම එය අහෝසි කරන්නයි.
• ඔබ පක්ෂය මේතරම් ජනතා හිතවාදීව කටයුතු කරනවානම් ඇයි තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලයවත් ඔබට තියා ගන්න බැරි වුණේ.
බලය කියන්නෙ එක තැන, විශේෂයෙන්ම කුඩා ඒකකයක තියා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජාතික බලයත් එක්කයි ඒක එහාට මෙහාට වෙන්නෙ.
• නමුත් විමල් වීරවංශ, නන්දන ගුණතිලක වගේ අය පක්ෂයෙන් ඉවත් වුණානෙ.
අපේ පක්ෂය ස්වේච්ඡාවෙන් වැඩ කරන පක්ෂයක්, පක්ෂයේ විනයන් නීති රීති පද්ධතියත් තියෙනවා, ඕනෑම කෙනෙකුට පක්ෂයට එන්න පුළුවන්. ඒ වගේම ඕන වෙලාවක යන්නත් පුළුවන්. ඒ වගේම ඇතැම් අය පක්ෂයෙන් ගිහින් තියෙනවා. ඇතැම් අය පක්ෂයෙන් නෙරපලා තියෙනවා.
• වාසුදේව නානායක්කාර මහතා දින කිහිපයක්ම කිව්වා ඔබ පක්ෂය වැඩ කරන්නෙ දෙවන මනාපය ලබා දී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන්න කියලා.
අපේ පක්ෂය හෝ ජාතික ජන බලවේගය හෝ කිසිදු අයකුට දෙවන මනාපයක් දෙනන කියල නැහැ. එකම මනාපය ජාතික ජන බලවේගයට පමණයි. ජාතික ජන බලවේගයේ ප්‍රකාශකයා වාසුදේව නානායක්කාර නෙමෙයි.