
නව සහස්‍රය ආරම්භයේදීම ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල එනම් මන්දගාමී සංවර්ධිත රටවල බලාපොරොත්තු වූ සංවර්ධන ඉලක්කයන් සපුරාලීමට නොහැකි වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වැඩමුළු හා ජාත්‍යන්තර කතිකාවන් ගණනාවක්ම ඇති විය. කෙසේ හෝ වේවා 80 දශකයේ අගභාගය වන විට ලෝකයේ සංවර්ධනය සම්බන්ධයෙන් කතා කළ විද්‍යාඥයන් බොහෝ දෙනෙක් මතුකරනු ලබන කාරණාවක් නම් ලෝකයේ දියුණු වෙමින් පවත්නා රටවල් සහ තුන්වැනි ලෝකයේ මේ කුලකයන්ට අයත් රටවල් අතරට ලංකාවද අයත් වීමයි. එයට මූලික හේතුව වූයේ ලංකාව යටත් විජිතකරණයට ලක්වූ රටක් වීමයි. සංවර්ධනය පිළිබඳ කතා කරන ලද බොහෝ ආර්ථික විද්‍යාඥයන් අතර මූලිකත්වය ගත් විද්‍යාඥයන් වන ඒ.කේ. කුමාර් සෙන් (1998 නොබෙල් ත්‍යාග ලාභියෙක් වෙයි), පාර්තා දාස් ගුප්තා, කල්ගෝනාරාන් මේයිල, කෙනත් ඇරෝ, තෝමස් ස්ටේනර් සහ ඩේවිඩ් ක්ෂරෙඩ් මයිකල් හැමන්ඩ් සහ ක්ෂු මාකර් වැනි ආර්ථික විද්‍යාඥයන් මේ සම්බන්ධයෙන් කතිකාවන් ගොඩනඟන්නට විය.
ඒ ආර්ථික විද්‍යාඥයන් මේ පිළිබඳ බලපෑ හේතු සාධක කිහිපයක් ඉදිරිපත් කළහ. ඒ අනුව තුන්වැනි ලෝකයේ රටවල් සංවර්ධනය නොවන්නට හේතුව එම රටවල් බටහිර ආකෘතින් අනුගමනය කිරීම ප්‍රධාන හේතු සාධකයක් ලෙස පෙන්වා දෙයි. වෙනත් දියුණු රටවල ආකෘතින් යටත් විජිතකරණයට ලක්වූ රටවලට එතරම් නොගැළපෙන බව පෙන්වා දෙති. එමෙන්ම ඒ රටවල් අරමුණු කරගත් දේ ඉටු කර ගැනීමට නොහැකි වීමට හේතුව ලෙස මේ විද්‍යඥයන් සඳහන් කරනු ලබන්නේ කාලයක් යටත් විජිතකරණයට ලක්වී සිටි හෙයින් නව යටත් විජිතකරණය එනම් ජාත්‍යන්තර ණය උඟුලකට එම රටවල් හසුවී කාලයක් ගතවීම අවශේෂ හේතු සාධක බවය. මේ සඳහා විකල්ප සංවර්ධන මාවතක් අවශ්‍ය බව ඔවුන් සඳහන් කර ඇත.
ඒ අනුව ලංකාව වැනි දියුණු සංවර්ධිත රටවලට අතීතයේදී යටත් විජිතකරණයට ලක්වූ රටක් ලෙස ඇති අත්දැකීම් ගැන සොයා බැලීමක් කළ යුතුය. එසේ ම මේ සම්බන්ධයෙන් නැවත කියවීමක් අවශ්‍ය බව සඳහන් කරයි. 1948 නිදහසින් පසුව 1977 කාල පරාසය තුළ අප ආවෘත ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කරන ලදී. මේ කාල පරාසයේ ආණ්ඩු වෙනස් වුණත් අපේ ආර්ථිකය තිබුණේ ආවෘත ආර්ථික ප්‍රතිපත්ති මතයි. එනම් සාපේක්ෂ වශයෙන් අභ්‍යන්තරාවලෝකන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. නමුත් සංවර්ධන අරමුණු ඒ ඔස්සේ ඉටු කර ගැනීමට නොහැකි වූ නිසා ම 1977දී බලයට පත් වූ රජය 1978 සිට විවෘත ආර්ථික ප්රතිපත්තියකට මාරු විය. 1978 සිට 2008 අද දක්වාම සාපේක්ෂ වශයෙන් අඩු වැඩි වශයෙන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. පරම්පරා දෙකක යුග දෙකක මේ අත්දැකීම් ගත් විට අපි අපේක්ෂා කරන ලද සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අපිට නොහැකි විය. එයට හේතු වූ කාරණා සම්බන්ධයෙන් නැවත කියවා බැලිය යුතු බව ඒ ආර්ථික විද්‍යාඥයන් පැහැදිලි කරන තවත් කරුණකි. මෙවැනි ඌන සංවර්ධිත රටවල් පිළිබඳ ආර්ථික විද්‍යාඥයන් සඳහන් කරන්නේ මේ සියලු දේ පිළිබඳව නැවත කියවීමක් අවශ්‍ය වන බවයි. මෙවැනි රටවලට ගෝචර වනුයේ තුලිත ආර්ථික ප්රවේශයකි. අපි ඉතා ඉක්මනින් තුලිත ආර්ථික ප්රවේශයකට යෑමට අවශ්‍යයි. රටක් ලෙස ගොඩ නැඟීමට මාර්ගයක් අප විසින් ම ගොඩ නඟා ගත යුතුයි. පසුගිය කාල වකවානුව තුළ මෙරට ගොඩනැඟීම සම්බන්ධයෙන් කතිකාවන් ගොඩ නඟමින් පැවැති කාලපරාසය අතරතුර ලෝක වසංගතයක් ලෙස මේ කෝවිඩ් 19 වසංගතය මතු විය. මේ වසංගතය රටක් ලෙස අපිට දැඩි බලපෑමක් එල්ල කළ අතර ලෝකය යථා තත්ත්වයට පත්වීමට කල් පමාවක් ඇතිවනු ඇත.
මේ රටේ ආර්ථිකය ගොඩ නඟන්නේ කෙසේද යන්න නව මානයකින් ගොඩනැඟීමට මෙය හොඳම සන්දිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. නව මුහුණුවරකින් නව මානයකින් මේ ඔස්සේ බැලීමේදී අපට ම ගැළපෙන සංවර්ධන මානයක් තෝරා නොගැනීම සහ අපට ආවේණික අයිතීන් හඳුනා නොගැනීම යන කාරණා පිළිබඳ අප නැවත සලකා බැලිය යුතුය. අපිට අනන්‍ය වූ දේ නිවැරදිව හඳුනා ගැනීමේදී අපේ ඉලක්ක සපුරා ගැනීමට නම් තුලිතයන් තුනක් අත්පත් කර ගත යුතු බව පැහැදිලි වනු ඇත. එහි පළමු වැන්න අභ්‍යන්තර තුලිතයක් ඇති කර ගැනීම, බාහිර තුලනයක් ඇති කර ගැනීම, පාරිසරික තුලනයක් ඇති කර ගැනීම යන කාරණා මේ තුලිත ආර්ථිකයක ගොඩනැඟීමේ නව මුහුණුවර වෙයි.
මෙහි පළමුවැන්න පිළිබඳව සැලකිලිමත් වුවහොත් රටක ආදායම් වියදමට සමාන කර ගැනීමේ ක්‍රමවේදය කුඩාම ඒකකය වන කුටුම්බයේ ආදායම කුටුම්බයේ වියදමට තුලිත කරගත යුතුය. එවැනි තුලිත කුටුම්බවලින් සැදුණු ගමක් තුලිත ගමක් වෙයි. එවැනි ගම්මානවලින් සැදුණු රටක් තුලිත රටක් වෙයි. කුඩාම ඒකකයේ සිට රට දක්වා තුලනය කරමින් පැවැතියහොත් ගෝලිය ප්‍රවාහයක් දක්වා ගමන් කිරීමට හැකි වෙයි. කුඩාම ඒකකය තුලනය කර ගැනීම මෙහි මූලික සංකල්පය මෙන්ම ආරම්භයද වෙයි. එහිදී මුහුණ දෙන ගැටලු දෙකක් වෙයි. එනම්, කුඩාම ඒකකය ආදයමට වියදමට ප්‍රමාණවත් නොවන්නේද, ඒ අනුව අනවශ්‍ය වියදම් කපා හැරීම තුළින් ආදයම් වියදම් තුලිත කර ගැනීමට අපට හැකි වෙයි. නමුත් අපි දුටු කරුණක් නම් අඩු ආදායම්ලාභීන් පිරිසක් වන අතර ඒ පිරිසට ආදායම වියදමට ප්‍රමාණවත් නොවෙයි. ඒ ජන කොටස්වල වියදම ස්ථාවරව තබා ගැනීමට ආදායම වැඩි කර ගැනීමේ ක්‍රියාමාර්ගවලට යා යුතුයි. මේ සඳහා ජනතා ආරක්ෂණ දැලක් ( peopls safetynet) එළිය යුතුයි. මේ ආකාරයට කුටුම්බය ශක්තිමත් රටක ආදායම වියදම සීමා කිරීමට සහ අයවැය තුලනය කර ගැනීමට ආර්ථික ප්‍රතිපත්ති මෙහෙය විය යුතුයි.
දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්නට නොහැකි දේ අපි පිටරටින් අපනයනය කරයි. දේශීය වශයෙන් පරිභෝජනය කර අතිරික්තය අපි අපනයනය කරයි. ඉහළ යන ආනයන වියදම ඉතා කුඩා අපනයන වියදමකින් පියවා ගැනීමට හැකි නොවෙයි. ජාත්‍යන්තර ගෙවුම් ශේෂය තුළ බරපතළ අර්බුදයකට මුහුණ පා ඇත. මේ මඟින් තුළින් මතු වී ඇති විදේශ විනිමය අර්බුදය විසඳා ගත යුතුයි. කෝවිඩ් වසංගතයත් සමඟ විදෙස් ආදායම් ලැබෙන මාර්ග ඇහිරී ඇත. මේ අර්බුදය හමුවේ බාහිර තුලනයක් අත් පත් කරගන්නේ කෙසේ ද ? යන්න සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ යුතුය. කෝවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ වර්තමානයේ ආනයන පාලනය කිරීම්, සීමා කිරීම් ඉතා වැදගත් වෙයි. පියවර දෙකකින් මේ පියවර ගත යුතුයි. දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි නමුත් විදේශයන්ගෙන් ආනයනය කරන භාණ්ඩ සීමා කළ යුතුයි. විදේශීය වශයෙන් ගෙන්වන භාණ්ඩ පාලනය කිරීමට නම් නීතිරිති සම්බාධක යොමු කර මේවා නතර කළ යුතුයි. මේ පාලනය තුළ දේශීය පාරිභෝගිකයාට යම් අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙයි. එසේ නම් කළ යුතු වන්නේ කඩිනමින් ඒ භාණ්ඩ නිෂ්පාදනය රට තුළ සිදු කිරීමයි.
දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්නට නොහැකි දේ සඳහා ආනයන මත ආනයන ආදේශ ඇති කරගත යුතුයි. මේ අනුව පළමු පියවර තුළ ස්වයං පෝෂිත වීමද දෙවැනි පියවරේදී ආනයන ආදේශනයන් රට තුළ ඇති කිරීමද කළ යුතුයි. එවිට ජාතික ආර්ථීකයක් ගොඩනැඟීමෙන් ස්වයං පෝෂණය විය හැකියි. ඉන්පසු දෙවැනි පියවරේදි ස්යංප්රබූධ විය හැකියි. විදේශීය වශයෙන් ආනයනය කරමින් සිටි, දේශීය වශයෙන් නිෂ්පාදනය කළ නොහැකි දෑ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි තත්ත්වයක් ඇති කළ යුතුයි. මේ ක්‍රියාමාර්ග දෙකට බාහිර තුලන අවශ්‍යයි. ආනයන සීමාවන් ආනයන තුලනයන් කළ යුතු වන්නේ රටට අවශ්‍ය කරන දෑ පමණක් ආනයනය කළ යුතු නිසාය. විදේශ විනමය ගලනය වීමක් එමඟින් සිදු වන නිසාය.
අප ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති කළ යුතු වන්නේද මේ සංකල්පයයි. රට කෙරෙහි ආදරයක්, සිත් ඇද ගන්නාසුලු දේශහිතෛශී වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි. ඒ සඳහා ආකල්පමය වර්ධනයක් අවශ්‍ය වේ. ආකල්පමය වර්ධනයක් ඇති කරගත හැක්කේ කෙසේදැයි අප සාකච්ජා කළ යුතුය. දේශීය අය වැය සමතයට පත් කර බාහිර තුලනයක් ඇති කර ගත හැකිවෙනු ඇත.
ආනයන අපනයන වියදම තුලනය මගින් පාරිසරික තුලනය පාලනය කළ නොහැකියි. එය ගෝලිය අවශ්‍යතාවයක් වෙයි. උදාහරණයක් ලෙස ඉන්දියාවේ බලාගාරයකින් වායුගෝලයට මුදා හරින කාබන් මොනොක්සයිඩ් ඊසාන දිග මෝසම හරහා ලංකාවට පැමිණිය හැකියි. නිරිත දිග මෝසම හරහා මැඩගැස්කරය දෙසින් රට තුළට පැමිණිය හැකියි. අපි ඒ පාරිසරික හානිය නොකළත් ගෝලිය හානිවලට මුහුණ පෑමට සිදුවෙයි. ගෝලීය වශයෙන් සම්බන්ධ වී තිරසර අනාගත පරම්පරාවන්හි සංවර්ධනය ඇති කළ යුතුයි. පාරිසරික තුලනයක් අපි ඒ හරහා ඇති කරගත යුතුයි. අපේ භූමියට, අපේ සම්පත්වලට අපි ආදරය කළ යුතුයි. එසේ ආදරය කරන පිරිසක් ඇති කළ යුතුයි. ලෝකයේ දියුණු රටවල පරිසරයෙන් ලබාගන්නා යහපත් අයහපත් දෑ සම්බන්ධයෙන් ගිණුම් ගත කර යහපත් දෑ ධන ගිණුම් ලෙසත් අයහපත් දෑ ඍණ ගිණුම්වලටත් ඇතුළත් කරමින් ඒවා සමතුලිතයට පත් කරගැනීම සිදු කරයි. මේවා හරිත ගිණුම් ලෙස හඳුන්වයි. මෙවැනි මූලධර්මයකට අප පැමිණිය යුතුයි.
අවසාන වශයෙන් සඳහන් කළ යුතු වන්නේ ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කර ගැනීමයි. විවිධ ආගම් නියෝජනය කරන අපේ රටේ දහම් පාසල් දරුවෝ සිටිති. දහම් පාසල හරහා අපේ රටේ ආකල්පමය වෙනස් වීම් කළ හැකි ක්‍රමවේදයන්ට අප යා යුතුය. දහම් පාසලක උගන් වන්නේ අදාළ ආගමේ නායකයකු වන අතර දහම් පාසල සම්බන්ධයෙන් තවමත් මේ සමාජයේ පිළිගැනීමක් ඇත. මවුපියන්ටද ඒ සම්බන්ධයෙන් කිසියම් විශ්වාසයක් ගොඩ නැඟී ඇත. ඒ අය හරහා මේ ආකල්පමය වෙනස නව පරම්පරාවට ගලනය කිරීමට අපට හැකිය.
රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මේ පාලන යාන්ත්රණයකට සුදානම් වේ නම් අපි ඒ සඳහා දායකත්වය දැක්විය යුතුයි. අපි රටක් ලෙස ගත් විට අපේ රටේ විශාල වශයෙන් රටේ අවශ්‍යතා වෙනුවෙන් කැපකිරීම් කරන පිරිසක් බිහි වී ඇත. දිළිඳු ජනකොටස් මේ රටේ අනාගතය වෙනුවෙන් දරුවන් වෙනුවෙන් කැප කිරීම් කරයි. අඩු අදායම් ලාභීන්, බොහෝ අපේක්ෂා නොමැති බලාපොරොත්තු නැති, සරල ජිවිත ගත කරන පිරිසක් මේ රටේ වෙති. ඒ අයගේ කැපවීමේ වටිනාකමක් නොදැනෙයි. ඒ පිරිසට සමාජයේ හඬක් හෝ බලයක් නැත. රටේ සම්පත් භුක්ති විඳින අතළොස්සක් තම සුඛෝපභෝගී ජීවිත ගත කිරීම වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම නිසා අපේ රටේ සංවර්ධනයට බාධා පැමිණ ඇත. ආදායම් ඉපැයීමේ විෂමතාව රටක් ලෙස අපි නිවැරදි කරගත යුතුයි. ආදායම් ඉපැයීම ක්‍රමවේදය වෙනස් කළ හැකි නම් එය තුලිත ආර්ථික ප්රවේශයේ සාධනීය මාර්ගය මෙන්ම නිවැරදි දිශානතිය තීන්දු කරනු ඇත.