
වයස අවුරුදු 18වන විට සියලුම තරුණ තරුණියන්ට හමුදා පුහුණුවක් ලබාදිය යුතු බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරයන් විසින් කළ ප්‍රකාශය සම්බන්ධව මේ වන විට නොයෙක් මතවාද ඉදිරිපත්ව ඇත. ඇමැතිවරයා පෙන්වා දෙන්නේ හික්මීමක්, විනයක් නොමැති වීම දිනෙන් දින රටේ වැඩිවන විවිධ අනතුරු, අපචාර සහ අපරාධවලට ප්‍රධාන හේතුව බවයි. වැඩි වන රිය අනතුරුවලින් මිය යන ප්‍රමාණය මෙන් ම ස්ත්‍රි දුෂණ සමාජ විරෝධී ක්‍රියා මත්ද්‍රව්‍ය මත්පැන්වලට ඇබ්බැහි වීම් ඉහළ ගොස් ඇත. සමාජ විරෝධී ක්‍රියාවන් පිළිබදව දරුවන් දැනුම්වත් විය යුතුය. මාර්ග නීතී පිළිපැදීමට විනයක් අවශ්‍යයි, හික්මීමක් සංයමයක් අවශ්‍යයි. තරුණයන්ට නායකත්වයක් මෙන්ම පෞරුෂත්වයක් ගොඩනැඟීම අවශ්‍යයි.
මත්ද්‍රව්‍ය, මත්පෙති, මත්පැන්, සිගරැට්වලට ඇබ්බැහිවූවන්ට වන ව්‍යසනයන් පිළිඳව දැනුවත් වීම් අවශ්‍යයි. මත්කුඩු ළඟ තබා ගැනීමෙන් සිදුවන්නේ කුමක්ද? ඊට ලැබෙන දඩුවම් පිළිබඳ දරුවන් යෞවන අවදියේ සිට දැනුම්වත් විය යුතුය.නීතිය පිළිබඳව මෙන්ම අපේ සංස්කෘතිය කුමක්ද යන්න ඔවුන් දැනුම්වත් විය යුතුය. මේ ගුණාංග ප්‍රවර්ධනය කිරීම හැර හමුදා පුහුණුවක් ලබා දීම යනු හමුදාවට බඳවා ගැනීමට උත්සාහයක් නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි. මෙහි අරමුණ දරුවන් තුළ යහපත් ගුණ ධර්ම ඇති කරලීම බවයි. ඒ සඳහා දරුවන්ට පුහුණුවක් ලබාදීම අවශ්‍ය බව ඔහුගේ අදහසයි. එහෙත් වයස අවුරුදු 18 සීමාවේ සිට 26 දක්වා වයස් සීමාවල්වලදී පුහුණුවීම මාස 6ක් කිරීමට එක් සෙබළෙක් පුහුණු කිරීමට ලක්ෂ හත හමාරක් වැයවෙන බවත් ලක්ෂයක් පුහුණු කිරීමට බිලියන 75ක් වැය වෙන බවත් ඇතැම්හු පෙන්වා දෙති. මානව අයිතිවාසිකම් අගයන දියුණු සමාජයක අණ කිරීම් හෝ බලකිරීම් නොමැති බව තවත් අයෙක් අවධාරණය කරති. හමුදා පුහුණුව පමණක් නොව ඕනෑම ක්‍රියාවක් කිරීම හෝ නොකිරීම හෝ වෙනුවෙන් හැකියාව තිබීම ප්‍රජාතන්ත්‍රවාදි රටක ලක්ෂණයකි.
බලධාරිත්වයක්, අධිකාරීත්වයක් මිනිසුන්ගේ අවශ්‍යතා පිළිබඳව මිනිසුන් විසින් තීරණය කළ යුතු සේම විනය සංයමය පුරුදු පුහුණු වූ ඇතැමුන් අතින්ද විනය කඩ වන අවස්ථා තිබෙන බව ඇතැමුන්ගේ තර්කයයි. කෙසේ වෙතත් වත්මන් පරපුරේ විනය සහ ඉවසීමේ ගුණාංග පිරිහෙමින් පවතින නිසා යම් පුහුණුවක් තුළින් සංයමයක් ඇති කළ යුතු බවද ඇතැමුන්ගේ අදහස වී ඇත.
සුරංගනා කතා නොකියා වගකීම් දැරිය යුතුයි
සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
සරත් වීරසේකරයන් කියනවා අවුරුදු 18ට වැඩි ඔක්කොටම හමුදා පුහුණුව දෙනවලු. අපි හිතමු 18 ඉඳලා 26 දක්වා අයට කියලා. එහෙම වුනොත් මිලියන තුන හමාරක් හතරක් ඉන්නවා. පුහුණුව මාස 6ක් දෙනවලු.
මාස 6කට සෙබළෙක් පුහුණු කරන්න යනවා ලක්ෂ හත හමාරක් විතර. එතකොට මිලියන තුන හමාර කොහොම වුණත් ලක්ෂයක් පුහුණු කරන්න ගියොත් යනවා බිලියන 75ක්. ඒ කියන්නේ කෝටි 7,500ක්. ඒව කරන්න සල්ලි තියෙනවා ද? කරන්න පුළුවන් දේවල් ද මේ කියන්නෙ?
මේ ඇමතිට වගකීමක් ඇතුව වැඩ කරන්න වෙනවා. මේ වගේ සුරංගනා කතා කියන්නෙ නැතුව.
විනය හුරුකිරීමක් මිස හමුදා පුහුණුවක් නෙමෙයි
මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර
හමුදා පුහුණුවක් කියන්නේ මිල්ටරිකරණය කීරීමක් නොවෙයි. අතිවිශාල පිරිසකට මේ වගේ පුහුණුවක් දෙන්න පුළුවන් වෙන්නේ විශේෂ පහසුකම් ඇති හමුදා කඳවුරුවල පමණයි.
ඒ නිසයි එයට හමුදා පුහුණුවක් කියල කියන්නේ. පසුගිය දෙසැම්බර් මස 20 දා සිට ගිය සතිය වන විට 110 දෙනකු මහා මාර්ගයේ මරණයට පත් වෙලා තියනවා. එකසිය 180ක් ආබාධිත වෙලා තියනවා. ඉක්මනට යන්න අනතුරුදායක ස්ථාන නොසලකා ගමක් කිරීමෙන් මේ මියයාම් වෙලා තියෙන්නෙ. ඉවසීමක් විනයක් නැති කමින් මේ දේවල් වෙන්නේ. මේ දේවල් දරුවන්ට කියලා දෙන්න ඕන මාර්ග නීතී පිළිපැදීමට විනයක් අවශ්‍යයි. හික්මීමක් සංයමයක් තියෙන්න ඕන, නායකත්වයක් අවශ්‍යයි. පෞරුෂත්වයක් අවශ්‍යයි. මත්ද්‍රව්‍ය මත්පෙති මත්වතුර සිගරැට් බිව්වාම මොකද වෙන්නේ මත්කුඩු ළඟ තබාගැනීමෙන් සිදුවන්නේ කුමක්ද කියලා ලැබෙන දඬුවම් පිළිබඳව දරුවන් යෞවන අවදියේ සිටම දැනුම්වත් විය යුතුයි.
නීතිය ගැන කියලා දෙන්න මිනිහෙකුට කෙළින් ඇස්දෙක දිහා බලාගෙන කතා කරන්න පෞරුෂත්වයක් ගොඩ නැගිය යුතුයි. මේ ගුණාංග දරුවන් තුළ ඇති කළ යුතුයි. පුහුණුවක් හුරුවක් නැති කමයි වෙලා තියෙන්නේ. මම කියන්නේ ඒ ගැනයි.
අපේ රටේ වාහන දෙකක් එකට හැප්පුණාම මොකද වෙන්නේ. ගහමරා ගන්නවා ලෝකයේ අනෙක් රටවල්වල මේ සංස්කෘතිය නැහැ.
ඒ සදාචාරය ඇති කරගත යුතුයි. තායිලන්තය වැනි රටවලත් කාර්දෙකක් හැපුණාම දෙන්නම අතට අත දීලා අචාර කරගන්නවා. අපේ රටේ කාන්තාවකට තනියම පාරේ යන්න පුළුවන් ද බියෙන් සැකෙන් තොරව.
අද අවුරුදු දහයේ ළමයා දූෂණය කරන්නේ පනස් නවයක හැටක මනුස්සයෙක්. නඩු අහල ඉවර වෙනකොට දරුවාට අවුරුදු විසි පහක් විතර වෙනවා. ඒ ගෑනු ළමයා විවාහ වෙලා නම් ඒ පවුල් ජීවිතයටත් ප්‍රශ්න ඇතිවෙනවා.
සිංගප්පූරුවේ කාන්තාවන්ට රාත්‍රී කාලයේ තනියම යන්න පුළුවන්.ඇයි උදේ හවස බණ අහන පිරිත් අහන බෞද්ධ අපේ රටේ යන්න බැරි. අපි ලැජ්ජ වෙන්න ඕන ඒ ගැන. මේ දේවල් ගැන පුහුණුවක් තමයි දෙන්න අවශ්‍ය. අපේ රට ගැන අපේ රටේ සංස්කෘතිය ගැන කියලා දෙන්න ඕන. රට ගැන හැඟීමක් දෙන්න ඕන. එතකොටයි රට ආරක්ෂා කරන්න දරුවන් ඉෙගන ගන්නේ.
යුද සමයේවත් මෙවැන්නක් කතා වුණේ නැහැ
ජවිපෙ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර
තරුණ තරුණියන්ට මිලිටරි පුහුණුවක් ලබා දෙන්න අවශ්‍යයි කියලා සරත් වීරසේකරයන් විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් විදිහට ඉදිරිපත් කරන බවට ප්‍රකාශයක් කර තිබුණා. ලංකාවේ දැනට තියන ලොකුම ගැටලුව එයද? හමුදා පුහුණුවක් නෙමෙයි රටේ ඉන්න ජනතාව විනයවත් කළ යුතුයි කියලා කියනවා.
නායකත්වය ලබා දෙන්න ඕන කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න කියලයි ඔහු පවසන්නේ.
අපි කියන්නේ යුදමය වටපිටාවක් හෝ රටට අනාරක්ෂිත භාවයක් ඇති කරලා තිබීම තුළයි මෙවැනි පුහුණු අවශ්‍ය වෙන්නේ. ලංකාවේ තිස් අවුරුදු යුද්ධයක් තිබුණා,
අපේ රටේ යුද පුහුණුව දෙන්න සාකච්ජාවක් ඒ කාලයේදිවත් ඇතිවෙලා නැහැ. දෙවැනි කාරණාව යුද පුහුණුව ලබපු හමුදාවේ ඉන්න සහ හිටපු හැමෝම ළඟ විනයක් තියනවාද නායකත්වයක් තියනවාද? අපි දන්නවා දැනට සංවිධානාත්මක අපරාධවල අත්අඩංගුවට පත්වෙන අය අතර හමුදාවෙන් පැනලා ආව හමුදා පුහුණුව ලබපු අයත් ඉන්නවා.
එසේ නම් ඒ අය ගාව නායත්වය විනයවත්කම තියනවා ද හැමතැනම හමුදාවේ හිටපු අය නායකත්වයට දැම්මා කියලා ලංකාවේ විනය හැදිලාද?
දූෂණය තුරන් වෙලා තියනවාද? ඒ වගේම අඩුම තරමින් ඉවසීම දරාගන්න පුරුදු වෙලාද.
දැනට රාජ්‍ය ආයතනවල ඉහළ තැන්වලට හමුදා නිලධාරීන් දාලා තියනවා ආයතන කීයකද විනය ඇතිවෙලා තියෙන්නෙ.
ඒ ආයතන සක්‍රීය දායකත්වයක් තියනවා ද අවංකව රට ගොඩනඟන්න. හැමදේටම මිලිටරිමය සහ හමුදාමය පිළිතුරු උත්තර සොයන්න යෑමෙන් රටට හොඳක් වෙන්නේ නැහැ .
මේ රටේ තරුණ තරුණියන්ට විනයක් ඕන නැහැ කියලා නෙමෙයි කියන්නේ. එයට පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා විධිමත් ක්‍රියාවලියක් අවශ්‍යයි. ලෝකයේ අනෙක් රටවල් එවැනි මනෝවිද්‍යාත්මක පුහුණුවිම් කරනවා. අපේ විරෝධය හමුදාමය ඔළුවකින් හැමදේම දිහා බැලිම සම්බන්ධයෙන් පමණයි. .
කිසිවක් අනිවාර්යයි කියන සංකල්පයක රජය නැහැ
පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් දොළවත්ත
යමක් අනිවාර්යෙන්ම කළ යුතුයි යන කාරණාවලින් අපි දැන් මිදිලා ඉන්නේ. මිනිසුන්ගේ අයිතිවාසිකම් තියනවා. මේක කරන්න ඕනමයි මේක කරන්න එපාමයි කියලා දේවල් නැහැ . රජය විසින් මේ දේ කළ යුතුමයි කියන ක්‍රමයක අපි ඉන්නේ නැහැ. නොවිය යුතු දේවල් දියුණු සමාජයක පවතින්න බැහැ . හමුදා පුහුණුව පමණක් නොවෙයි ඕනෑම දෙයක් කරන්න පුළුවන් කරන්නම අවශ්‍යයි කියන ක්‍රමයක් සමාජයේ නැහැ. බලධාරිත්වයක් අධිකාරීත්වයක් තිබිය යුතු නැහැ. ඒ කාරණා එක්ක දියුණු සමාජයක පවතින්න බැහැ. මිනිසුන්ගේ අවශ්‍යතා පිළිබඳව මිනිසුන් විසින් තීරණය කළ යුතුයි.
ස්ව කැමැත්තෙන් කළ යුතු දේවල් මිසක අනිවාර්යය දේවල් නැහැ. මෙවැනි දේවල් සාර්ථක නැහැ. සංයමය විනය තමන් විසින් ඇති කර ගත යුතු දෙයක්. රාජ්‍ය සංකල්පය තුළ කළ යුතුයි කියන දේවල් තියෙන්න බැහැ. පුහුණුවීම් සඳහා ශාරීරික ප්‍රබලතාවක් තිබිය යුතුයි. දුබලතා තියන දරුවන් කොහොමද ඒදේවල් කරන්නේ .
ශාරිරික දුබලතාවයෙන් යුතු මිනිසුන් කොතරම් ඉන්නවාද. අත පය තිබුණත් සමහර දේවල් කරන්න බැරි අය ඉන්නවා. අපි ආවේ ‘එක රටක් එක නීතියක්‘ යටතට රට පත් කරන්නයි. පාසල් කාලයේදී විනය පුරුදු වෙන්න බැරිවුණු කෙනෙක්ට හමුදා පුහුණුව දුන්නා කියලා වෙනස් වෙන්නේ නැහැ.
රටේ විනය හදන්න අනිවාර්යෙන්ම මේ පුහුණුව ඕනෑ
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න
මේ කාර්යයට අප එකඟයි. වර්තමාන සමාජයේ ඇති ප්‍රධානම ප්‍රශ්නය විනයක් නැතිකමයි.
විනය පවත්වාගෙන යාම සඳහා මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්න සිදුවෙනවා.
විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ව ජනතාව ඉල්ලුවේ රටේ විනය හදන්න. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය යේ දැක්ම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට නම් මුලින්ම කළයුතු කරුණු අතර ප්‍රධාන කාරණාවක් තමයි රටේ විනය සෑදිම.
එය මේ පරම්පරාවෙන් පටන් ගැනීම හෝ කළ යුතුයි.
පාසල් අධ්‍යාපනය අවසන් කරන පිරිසට හමුදා පුහුණුවක් ලබා දීම වැදගත්. ඒ කියන්නේ අවි ආයුධ පුහුණුවක් නොවෙයි . විනය සංයමය ඇති කරන යම් පුහුණුවක්. එය ඉතාමත් වැදගත් විනයත් සහිත සමාජයක් බිහි කරන්න.
එයින් රටේ බොහෝ දේවල් හදන්න පුළුවන්. මම හිතන්නේ සරත් විරසේකර ඇමැතිවරයාගේ යෝජනාව අපි ඉතාමත් අගය කළ යුතු බවයි.
එය කඩිනම් කරන්න කියලයි අපි කියන්නේ. වියදම ගැන සමහරු කතා කරනවා මීට වඩා ලොකු වියදම් අනන්තවත් කළා පසුගිය රජය කාලයේ. ඵලදායි යමක් ක්‍රියාවක් වෙනුවෙන් යමක් කරනවා නම් එය අනාගත ආයෝජනයක් කියලා මම හිතන්නේ.
ඒ වගේම මම හිතන්නේ නැහැ ඔය කියන තරම් බිලියන ගණනක වියදමක් යනවා කියලා.
අනිවාර්යෙන්ම විනය පුහුණුවක් අවශ්‍යයි
ජාතික තරුණ සේවා සභාවේ පුහුණු අධ්‍යක්ෂ රෂිත දෙළපොළ
වර්තමාන පරපුර තුළ බරපතළ ගැටලුවක් තියනවා. විනය සහ ආකල්පමය යන සංකල්පයන් ඔවුන් තුළ සැබැවින්ම ගොඩනැගිය යුතුයි. කිසියම් හෝ පුහුණුවක් ලැබිය යුතුයි කියලා මමත් විශ්වාස කරනවා දැනුම හො කුසලතා හැදුණට, විනය ඉවසීම අවශ්‍යයි. මිනිසෙකුගේ ගොඩනැඟීමට ඒවා අංක එක කියලා මම හිතන්නේ. හොඳම විසඳුම හමුදා පුහුණුවද කියන්න මම දන්නේ නැහැ. එහි අන්තර්ගතය අපි නොදන්න නිසා. නමුත් කිසියම් හෝ පුහුණුවක් ලබා දිය යුතුයි කියන තැනක මම ඉන්නවා. මම කටයුතු කරන වපසරිය තුළ තරුණ තරුණියන්ට විනයක් ඉවසීමක් අවශ්‍ය බව හොඳින්ම පැහැදිලියි.
පුහුණු ආයතනයක් ලෙස අපි දන්නවා දරුවන්ට අවශ්‍ය දැනුම කුසලතා දෙන්න පුළුවන් බව. නමුත් දරුවන්ට අවශ්‍ය විනය ලබා දෙන එක ඊට වඩා ලොකු වගකීමක් වෙනවා. එය පෞද්ගලික අංශයේ රැකියාවන්වලදී අපෙන් ඉල්ලා සිටින දෙයක්. කුසලතා වලට වඩා වටින්නේ ආකල්ප විනයයි. ඒ විනය ඇති කිරීම ඉතා වැදගත්.
රටේ ප්‍රශ්න නිවැරදිව හඳුනාගෙන නැහැ
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිණි අමරසූරිය
මේ ප්‍රකාශය සමාජය ගැන පටු දැක්මකින් කරපු එකක්. මේ වෙලාවේ මුහුණ දෙන තත්ත්වයක් සමඟ මෙවැනි විශ්ලේෂණ ඉතාමත් පටුයි. මේ වගේ වැදගත් ස්ථානවල ගන්නා තීන්දු තීරණ ගැනීම මුළු රටටම බලපානවා.
අද රටේ දැවෙන ප්‍රශ්නය වන්නේ තරුණ අයගේ විනය නම් කවුද ඔවුන් මේ තත්ත්වයට ගෙනාවේ. විනය හදන්න අවශ්‍ය මේ අයගේ පක්ෂවල. වෙන කරන්න දේවල් නොමැතිව ගෙන එන යෝජනා ලෙසයි මා දකින්නේ. ප්‍රශ්නයක් තේරුම් ගැනීමේ හැකියාවක් නැති ප්‍රශ්නයක් හඳුනා ගැනීමට නොහැකි ප්‍රශ්නයට විසඳුමක් සොයාගන්නට බැරි අය තමයි මේ වැනි දේවල් කරන්න යන්නේ. මෙය නොවෙයි අද රට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය. ඒ ඇමැතිවරයාට තියනවා ඊට වඩා ජාතික වගකීමක්.
පොලිස් සේවය කර්යක්ෂම කිරීමේ වගකීම ඔහු සතුයි. පොලිස් සේවාව හරියට තේරුම් ගත යුතුයි. එයයි ඔහුගේ වගකීම වන්නේ. පොලිසිය යනු විනය පවත්වාගෙන යාම පමණක් නොවෙයි. ඊට වඩා වෙනත් වගකීම් තියන තැනක්.
පොලිසිය කියන්නේ මර්දනකාරී ආයතනයක් නොවෙයි. ප්‍රජා ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් . මිනිසුන් තුළ පොලිසිය පිළිබඳ විශ්වාසය ඇති කිරීමයි පළමුව කළ යුතු කාරණාව. පොලිසියක් තුළට ඕනෑම කෙනෙකුට ගිහින් තමන්ගේ ගැටලු කියන්න පුළුවන් පරිසරයක් ඇති කිරීමයි ප්‍රධාන වන්නේ. එයයි එතුමාගේ වගකීම.
අධිපතිවාදී බලපෑමක්
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකිර් මාකර්
එතුමා මෙවැනි දෙයක් යෝජනා කරන්න ඇත්තේ ඔහුගේ හමුදාමය පසුබිම නිසා වෙන්න ඇති. පාසල්වල තියනවා බාලදක්ෂ ව්‍යාපාරය මඟින් කණ්ඩායම් විනය ඇති කිරීම. නමුත් හමුදා පුහුණුව අනිවාර්යය කළ යුතුයි කියන යෝජනාව පසුබිම තුළ සිටයි අප කල්පනා කළ යුතුවන්නේ.
අධිපතිවාදි බලපෑමක් අද වෙන කොට ඇති වෙලා තියනවා. හැම ක්ෂේත්‍රයකම විධායක නිලධාරින් වෙනුවට පත්කර තියෙන්නේ විශ්‍රාමික හමුදා නිලධාරින්. සිවිල් සේවකයන් ඉවත් කරනවා.
තරුණයන් තුළ තාර්කික බුද්ධිය විචාර බුද්ධිය ඇති කළ යුතුයි. ‘යස් සර් එහෙමයි සර්‘ කියන මානසිකත්වයෙන් යුතු පරම්පරාවක් ගොඩනඟන්නයි මේ අයට අවශ්‍ය කියලා සාධාරණ සැකයක් සමාජය තුළ තියනවා. ඒ නිසා මෙච්චර ලොකු දේවල් වලට යන්නේ නැතුව ශිෂ්‍ය භට කණ්ඩායම් තුළින් මේ දේවල් ඇති කරන්න පුළුවන් එවැනි හැඟීම් ඇති කරන්නට පුළුවන්. මෙච්චර ලොකු ආයෝජනයන්ට යන්නට අවශ්‍ය නැහැ .
විධිමත් විදිහට දරුවන් තාර්කික කල්පනා කරන විචාර බුද්ධිය තුළින් කටයුතු කරන පරපුරක් අපි බිහි කළ යුතුයි. අවුරුදු 18ට වෙනකල් ඉන්න අවශ්‍ය නැහැ. රටට යහපතක් වෙන පරපුරක් බිහිකරන්නයි අපිට අවශ්‍ය වනනේ. පටු දේශපාලනික අරමුණු නොවෙයි වැදගත් වෙන්නේ.