
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ උපදේශක සභාවේ පස්වන සභාවාරය ඉකුත් 21 දා පැවැත්විණ. ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම රැස්වීමට බෞද්ධ උපදේශක සභාවට පත්ව ඇති භික්ෂූන් වහන්සේ සියලු දෙනාම සහභාගි වී සිටියහ. “මම මේ උපදේශක සභාවේ උපදෙස් පාදක කරගෙන තමයි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර තිබෙන්නේ. මේ සභාව දැනට සභාවාර හතරක් පවත්වා තිබෙනවා. ඒ සභාවාර වලදී අපි සාකච්ඡා කරල ක්‍රියාත්මක කර ඇති කටයුතුවල ප්‍රගතිය ලබන සභාවාරයට ඉදිරිපත් කරනවා” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කීවේ සභාව ආරම්භයේදීමය.
අනතුරුව පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයත් බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට තීරණය කෙරුණා. “මේ ආයතන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම යටතට පත් කරන්න පුළුවන්ද කියලත් මම හොයල බලන්නම්” ජනාධිපති කීවේය.
ඉකුත් සතියේ පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ මන්ත්‍රිවරුන්ට කාර්ය සාධනය හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ දෙදින පුහුණුවක් පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීමය. නවක මන්ත්‍රිවරු අසූ දෙනෙකු පමණ සහභාගි වූ මෙම පුහුණු වැඩමුළුවට අගමැති මහින්ද රාජපක්ෂ, සභානායක දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන ද සහභාගි වී සිටියහ. මන්ත්‍රිවරුන් සඳහා පැවැති තේ විවේකයේදී අගමැති මහින්ද කථානායක මහින්ද හා සභානායක දිනේෂ් ද තේ පැන් සංග්‍රහයට සහභාගි විය.
“කථානායකවරයෙක් මේ වැනි අවස්ථාවක තේ පැන් සංග්‍රහයට සහභාගි වූ මුල්ම අවස්ථාව මේක වෙන්න ඕනේ” දිනේෂ් කීවේ තේ මේසයේ අසුන් ගනිමින්ය.
“ඔව් මටත් මීට පෙර එහෙම අවස්ථාවක් මතක නෑ. ඔබතුමා නවකයින් සමඟ මේ විදියට සමීපව කටයුතු කිරීම ඉතා වැදගත්” අගමැති මහින්ද කීවේ කථානායක මහින්ද දෙස කෘතවේදිව සිනහවක් පාමින්ය.
“පාර්ලිමේන්තුවේ අපි හැමෝම එකට එක්ව රට හදන්න මහන්සි ගන්නවා කියල හැමෝම තේරුම් ගත්තොත් ගැටුම් අඩු කර ගන්න පුළුවනි” කථානායක මහින්ද කීවේය.
ජනාධිපතිවරයා ඉකුත් සතියේ රාජ්‍ය අමාත්‍යාංශ තුනක ඇමැතිවරු හා නිලධාරින් කැඳවා සාකච්ඡා කළේ ග්‍රාමීය ජන ජීවිතය ගොඩනැඟීම සඳහා මෙම අමාත්‍යාංශ වෙත පැවරී ඇති වගකීම ගැනය. මුලින්ම සාකච්ඡාවට එක් වූයේ සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා ව්‍යාපෘති සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයයි. එම සාකච්ඡාවෙන් පසු වී, ධාන්‍ය, කාබනික පොහොර, එළවළු පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සමඟ ජනාධිපතිවරයා සාකච්ඡාව ආරම්භ කෙළේය. පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කරනු ලැබුවේ ඉකුත් 25 දාය.
“ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් හදන්න පුළුවන් වන්නෙ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පමණයි. ග්‍රාමීය ප්‍රදේශවල පොල්, අඹ, කොස් වැනි බෝග සංවර්ධනයට ප්‍රමුඛතාව දෙන්න. ගෙවතු මිලියන දෙකක් පොල් පැළ මිලියන 4ක් හිටුවන්න පියවර ගන්න. එහෙම කළොත් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්” ජනාධිපතිවරයා ඒ සාකච්ඡාවලදී අවධාරණය කෙළේය. ඉකුත් බදාදා ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යාංශවලට ලේකම්වරුන් 35 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කෙළේය. එහිදී පැය භාගයක පමණ කාලයක් තුළ ජනාධිපතිවරයා රාජ්‍ය ලේකම්වරුන්ට කීවේ ගැමි ජනතාව ආර්ථික සමාජයීය වශයෙන් ශක්තිමත් කිරීමේ ඇති වැදගත් කමය.
ශ්‍රී ලංකාවේ වැඩබලන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් ඉකුත්දා අරලියගහ මන්දිරයට පැමිණ අගමැති මහින්ද රාජපක්ෂ හමුවූයේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුභ පතන්නටය. “මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතා ශක්තිමත් ජනවරමක් ලැබී තිබෙනවා” ඇය කීවාය.
“ඔව් අපි අපේ රටට ආදරය කරනවා. ඒ නිසා ජනතාවට අපි විශ්වාසයි” අගමැති මහින්ද රාජපක්ෂ ඇයට උත්තර දුන්නේය. දෙපාර්ශ්වය අතර විනාඩි 30ක පමණ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව “ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂනය කර ගැනීම සඳහා වරාය නගරය උපාය මාර්ගික මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ හැකි බවද ඇය අගමැතිවරයාට පෙන්වා දුන්නාය.
ලොක ශූර ඩිලන්ත මාලගමුව ඉකුත් බදාදා නාමල් රාජපක්ෂ, අගමැති මහින්ද හමුවූයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලැබ්බෝගිනි සුපර් ටෝෆියෝ යුරෝපා ශූරතා තරගාවලියට පිටත්ව යෑමට පෙරය. ඩිලන්තට මෝටර් රථ ධාවන තරගයක් සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ පළමුවරටය. මේ අනුග්‍රහය දක්වා තිබුණේ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ මැදිහත් වීමෙන් මෙම අනුග්‍රාහක දායකත්වය ලබාදී තිබුණි. ඩිලන්ත අගමැති හමුවී තමන්ට අනුග්‍රහය ලබා දුන්නේ ඇමැති ප්‍රසන්නගේ මැදිහත් වීමෙන් බව කීවේ කෘතගුණය ඇතිවය.
“ඔව් ඔව් ප්‍රසන්න ටත් කථා කළා. මමත් කීවා මේ වැඩේ කොහෙම හරි කරමු කියලා.” අගමැති ඩිලන්තට කීවේය.
“ප්‍රසන්න ඇමැතිතුමා මේ උදව්ව කරන්න හුඟක් මහන්සි වුණා.” ඩිලන්ත කියද්දී “ප්‍රසන්න අයියා වැඩක් බාර ගත්තොත් ඔහොම තමයි. වැඩේ කරන්න බාධා ආවොත් වැඩය කරන්න විදිහක් හොයල හරියටම වැඩේ කරනවා.” ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් කීවේය.
නිමල් ලන්සා, පියල් නිශාන්ත හා ඇමැති ප්‍රසන්න ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු ලොබියේදි කථා බහ කරමින් සිටියේය.
“ඔයාගේ යහළුවා හුඟ කාලෙකට පස්සෙ අන්න ආයේ කට ඇරලා” නිමල් කීවේ පියල්ටය. පියල් හා හිටපු ඇමැති රාජිත සේනාරත්න අතර ඇති නයි මුගටි වෛරය ගැන දැන සිටි නිමල් එසේ කීවේ රාජිත 19 සංශෝධනය ගැන කර තිබූ ප්‍රකාශයක් මතක් කරමිනි.
“ඔව් ඔව් මාත් දැක්කා “පරාජිත” ආයෙත් කට ඇරලා තිබුණා” පියල් කීවේය.
“හැබැයි ඇමැතිතුමා රාජිතලා දැන් මොන විදියට කෙබර ගැහුවත් ඒවාට ජනතාව අහුවෙන්නෙ නෑ.” ලන්සා කීවේය.
“බැසිල් ගේන්නලු අපි මේ සංශෝධන කරන්නේ. බැසිල් ඇමැතිතුමාට පාර්ලිමේන්තු එන්න ඕනේ නම් ඔය සංශෝධන ඕනේ නෑ. එයා මේ පක්ෂය හැදුවා. ආණ්ඩුව හැදුවා. ගෝඨාභය මහත්තය ජනාධිපති කළා. එහෙම කෙනෙක් පාර්ලිමේන්තු එයි කියල මුන් දැන් වෙව්ලනවා. ඒකයි ඔය බොරු පතුරුවන්නෙ අපිට ජනතාව බලේ දුන්නෙ 19 අහෝසි කරන්න. අපි ඒක කරන්න ඕනේ. නැත්නම් අපි ජනතාවට බොරු කාරයෝ වෙනවා.” ප්‍රසන්න කීවේය.
නවක මන්ත්‍රිවරුන් සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවැති දෙදින පුහුණු වැඩමුළුවේදී නවකයින්ට පාර්ලිමේන්තුවේ ආසන පැනවෙන ආකාරයද සාකච්ඡා කෙරිණ. ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රි මුසාම්මිල් මීට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබුණ ද ඔහුගේ නම ද නවක ලැයිස්තුවට ඇතුළත් වීම නිසා ආසන පැනවීමේදී පිටුපස අසුනක් හිමි විය.
“මේ ආසන පැනවිම ජ්‍යෙෂ්ඨත්වය අනුව කෙරෙනවා නම් මුසාම්මිල් මන්ත්රිවරයට අපට වඩා ඉදිරි අසුනක් දෙන්න” යදාමිණි ගුණවර්ධන කීවේය.
“ආ... හරි යදාමිණි මන්ත්‍රිවරයාට තමයි තේරුණේ මුසාම්මිල් මහතා මීට පෙරත් පාර්ලිමේන්තුවේ සිටි නිසා ජ්‍යෙෂ්ඨයෙක් වෙනවා.” යැයි පාර්ලිමේන්තු නිලධාරියා කීවේය. මේ අතර රුපියල් 3000ක කෑම වේලක් රුපියල් 200 කට මන්ත්‍රිවරුන්ට ලබාදෙන බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙකු මේ පුහුණු වැඩමුළුවේදී කීවේය. මෙයින් කලබලයට පත් නවක මන්ත්‍රීන් “ඔය කියන්නේ කොයි කාලේ ගණන් හිලව්ද?” අසන්නට විය.
කොළඹට නුදුරු පුරාණ විහාරයක විශාල භූමිය එක එක පන්නයේ වාහනවලින් පිරී තිබුණේ ඉකුත් බ්‍රහස්පතින්දාය. කඩිසර නිර්භීත හිමිනමක් සමඟ විවිධ තරාතිරම්වල අය මහ සාකච්ඡාවකි. පන්සලේ අධිපති හිමිට හොඳටම කේන්ති ගොස් ඇති අයුරු දක්නට ලැබුණි.
“ආණ්ඩු හදනවා හොරකම් වංචාව පගාව නවත්වනවා කිව්වට ඒවා නතර වෙලා නෑ. ඒවාට පුරුදු වුණ එවුන් ඒවා දිගටම කරගෙන යනවා” නාහිමියෝ පැවසූහ.
“මේවා මෙහෙම වෙන්න දෙන්න බෑ. ජනපතිට කියන්න ඕනේ” කිව් නාහිමියන් පන්සලේ ස්ථාවර දුරකථනයෙන් ජනපතිට කතා කළහ.
කරු ජයසූරියට පක්ෂ සාමාජිකත්වය නොමැති බවට වූ ප්‍රකාශය ගැන සමගි ජන බලවේගයේ නායකයින් කතා කරන්නටවූයේ තරමක කනගාටුවන් යුතුවය.
"එක්සත් ජාතික පක්ෂයේ නායකයින් කොතරම් කළ ගුණ නොදත් අයද කියලා පෙන්නන්න වෙන උදාහරණ ඕන නෑ. කරු ජයසූරියට අද වෙලා තියෙන දේ දැක්කම ඒ බව හොඳින්ම පේනවා"සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සජිත් ප්‍රේමදාස සමග කීවේ තරමක කනගාටුවෙන් යුතුවය.
"කරු ජයසූරිය කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන දේවල් විශ්වාස කරන්න ගිහින් අමාරුවේ වැටුණ කෙනෙක්. රනිල් වික්‍රමසිංහ කියන කියන දේ කළා. නායකත්වය පිළිබඳ අරගල ඇතිවුණ වෙලාවේදි ඒකට බෙල්ල තිව්වෙත් කරු ජයසූරියම තමයි" කරු කළ කී දේ ගැන තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සිහිපත් කළේය.
"මහ මැතිවරණය වෙලාවේදී කරු ජයසූරියට නාම යෝජනා ලැබුණේ නෑ. ඒ වෙලාවේ සමගි ජන බලවේගය එක්ක එකතුවෙන්න කියලා අපි ආරාධනාවකුත් කළා"සජිත් දේශපාලන රහසක් එළි කළේය.
"කරු කියන්නේ දින පනස් දෙකේ හොර ආණ්ඩුව පිහිටුවපු වෙලාවේදී කොන්ද කෙළින් තියාගෙන කටයුතු කරපු කථානායකවරයෙක්. එක්සත් ජාතික පක්ෂය ඒ කැපකිරීම් අමතක කරපු හැටි නම් හරිම පුදුමයි. ඉතිං මේ වගේ අය එක්ක ජනතාව එකතුවේවිද"රංජිත් මද්දුමබණ්ඩාර කීවේ කනගාටුදායක මුහුණකින් යුතුවය.
"සමගි ජන බලවේගයේ සාමාජිකත්වය අරගෙන සමගි ජන බලවේගයත් එක්ක එකතු කරගෙන දේශපාලන වැඩවලට දායක කරගමු"සජිත් කොළ එළියක් දැල්වූවේය.
"මම කරු ජයසූරිය මැතිතුමා එක්ක මේ ගැන කතා කරන්නම්. අපිත් එක්ක එකතුවෙන්න කියලා කරුට මම ආරාධනා කරන්නම්"තිස්ස අත්තනායක කරුට ආරාධනා කිරීමේ වගකීම භාරගත්තේය.
විපක්ෂ නායකධූරයට පත්වීමෙන් පසුව සජිත් ප්‍රේමදාස හමුවූ පළමු රාජ්‍ය තාන්ත්‍රිකයා වූයේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේය.
ඉන්දීය මහ කොමසාරිස්වරයා සජිත් හමුවට එන විට, දෑත් එකට එකතු කළ සජිත් "නමස්තේ" යැයි කියමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා පිළිගත්තේ ඉන්දීය ආචාර සමාචාර විධි සිහිපත් කරමින්ය. ඉන්දීය මහ කොමසාරිස්වරයා එයට ප්‍රතිචාර දැක්වූයේ අපූරු ආකාරයකටය. ඒ ඔහුද පෙරළා දෑත් එකතු කරමින් "ආයුබෝවන්" යැයි කියමිනි.
සමගි ජන බවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පසුගිය බදාදා සවස පැවැත්වුනේ පාර්ලිමේන්තු කමිටු ශාලාවකදීය.
පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අතරවාරයේදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තරමක ආවේගයෙන් යුතුව කතා කළේය. ඒ විකෘත කරන ලද ඇතැම් තොරතුරු මාධ්‍යයේ පළවන නිසාය.
"අපි කණ්ඩායම් රැස්වීම්වල කතා කරන දේවල් කවුරුවත් විකෘති කරලා මාධ්‍යයට දෙන්න එපා"සජිත් කීවේ අභ්‍යන්තර සාකච්ඡාවල තොරතුරු මාධ්‍යයට ලබාදීම සම්බන්ධයෙන් පාලනයක් ඇති කරගැනීමේ වැදගත්කම ගැනද සිහිපත් කරමින්ය.
"කෝප් කමිටුවේ හා කෝපා කමිටුවේ සභාපතිත්වය සාමාන්‍යයෙන් විපක්ෂයට හිමිවන තනතුරු. මේවා අපි විපක්ෂයට ගන්න ඔ්න"අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා යෝජනාවක් කළේය. සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා නැගී සිටිමින් එම යෝජනාව ස්ථිර කළේය.
"පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව මේ තනතුරු විපක්ෂයට ලැබිය යුතු තනතුරු. ඒවා විපක්ෂයට ලබාගැනීමට අපි කටයුතු කළ යුතුයි"ඒ වෙනුවෙන් විපක්ෂ නායකවරයා ලෙස මැදිහත්වීමට සජිත් කටයුතු කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් කළේ ආණ්ඩුව ඉදිරිපත් කරන අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දැක්විය යුතු අදහස් ගැනද අවධානය යොමු කිරීමෙන් පසුවය.
ඉකුත් සතියේ පුවත්පත් මණ්ඩලයට රංජන් රාමනායක පැමිණියේ පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයකට සහය වීමටය. එදින තවත් පුවත්පත් කීපයක මාධ්‍යවේදින්ද පුවත්පත් මණ්ඩලයට පැමිණ සිටියහ.
“රංජන් මන්ත්‍රිතුමා ඔබට මෙහෙත් නඩුද?” මාධ්‍යවේදියකු ඇසීය.
“අනේ නෑ මල්ලි මම මේ කටඋත්තරයක් දෙන්න ආවා” රංජන් කීවේ මාධ්‍යවේදීන් අතරේ රැඳෙමින්ය.
“අර අධිකරණයට අපහාස කළා කියන නඩුව මොකද වෙන්නෙ” ඒ තවත් මාධ්‍යවේදියකු ගෙන් රංජන්ට යොමුවූ ප්රශ්නයකි.
“මල්ලී මට දැන් ඒක වෙනුවෙන් මාස හයක් ඇතුළට යන්න වෙයි වගේ.” රංජන් කීවේ ඇඟට නොදැනීය.
එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු පත් කර ගැනීම ඉකුත් සතියේදි කල් ගියේය. සිරිකොතදී ඉකුත් සතියේ පැවැති කෘත්‍යාධිකාරි රැස්වීමේදී වැඩිපුර කථාබහ ඇති වූයේ පක්ෂ නායකත්වය අර්බුදය ගැනය. රනිල් වික්‍රමසිංහ රැස්වීමට පැමිණ අසුන් ගනිද්දීම සභාවෙන් නැගුණ ප්රශ්නය “ඇත්තටම සැප්තැම්බර් 05 පක්ෂ නායකත්වයේ වෙනසක් වෙනවාද” යන්නයි.
“බලමු මගේ තනි මතයට පක්ෂ නායකයා වෙනස් කරන්න බෑ” ඒ ගැන කෘත්‍යාධිකාරි මණ්ඩලය සාමූහික තීන්දුවක් ගත යුතුයි.” රනිල් කීවේ සැහැල්ලුවෙනි.
“දෙකට කැඩුණු පිරිස නැවත එක්කර ගන්නවාද?” ඒ සභාවේ තවත් ප්රශ්නයකි. “එජාපය කියන්නෙ අලියා ලකුණ විතරයි.” රනිල් ඇඟට පතට නොදැනී උත්තර දුන්නේය.
එජාපයට හිතවත් භික්ෂුන් වහන්සේ හා විද්වතුන් පිරිසකගේ බලපෑම මත තමන් එජාප නායකත්වය බාර ගන්න කැමති බව කරු ජයසූරිය ලිඛිතව දැන්වූයේ ඉකුත් සතියේදීය. මේ ගැනද එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සාකච්ඡා කෙරිණි.
“එයා වසර තුනක් රාජපක්ෂ ආණ්ඩුව ශක්තිමත් කරන්න ගියා. 2015 එයා පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලැයිස්තුවෙන්. ඒ පත්වීමට පක්ෂයේ සාමාජිකත්වය අදාළ නෑ. කරු ජයසූරිය එජාප යාවජීව සාමාජිකයෙක් බව ඔප්පු කර ගන්න කිසිම ලිඛිත සාක්ෂි නෑ.” එජාප නිලධාරිහු කෘත්‍යාධිකාරි මණ්ඩලය දැනුම්වත් කළහ.
ගලගොඩඅත්තේ ඥානසාරහිමියන් ඉකුත් බ්‍රහස්පතින්දා උදේ රැයින්ම අගමැති මහින්ද හමු වූයේ අගමැති නිල නිවසේදීය. ඥාණසාර හිමි උදෙන්ම නාරාහේන්පිට අභයාරාමයට වැඩම කර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද සිය වාහනයෙන්ම අගමැති නිල නිවසට කැඳවාගෙන ආවේ අගමැති නිල නිවසේ ගේට්ටු ආනන්ද හිමියන්ට නිතර විවෘතව පවතින නිසාය.
අගමැති මහින්ද හා ආනන්ද නාහිමි හා ඥානසාර හිමි අතර පැයකට ආසන්න කාලයක් පැවැති සාකච්ඡාවෙන් පසු එළියට පැමිණි ආනන්ද හිමි අගමැති ආරක්ෂක නිලධාරියකු සමඟ කීවේ අගමැතිවරයාට සංඝ ආරවුල් විසඳන්නටත් සිදුවෙලා කියලායි.