
අතීතයේදී බණ්ඩාරනායකලා එජාපයෙන් ඉවත්වෙලා ශ්රීලනිපය හදා ගත්තා. මෙදා ඔබ ශ්රීලනිපය සමඟ ආණ්ඩුවක් හදල එජාපය විනාශ කර ගත්තා කියල චෝදනා එල්ල වෙනවා?
ඒ වෙලාවෙ ආණ්ඩුව හැදුවේ ජනාධිපතිවරයයි. අපි ශ්රීලනිපය අපේ පක්ෂය ඇතුලට දා ගත්තේ නැ.යූඑන්පී විරෝධී කණ්ඩායමක් එක්ක යූඑන්පී එකට ආණ්ඩුවක් කරන්න සිද්ධ වුණා.
එජාපය එදා ජනාධිපතිවරණයේ දී තමන් ගේ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර පොදු අපේක්ෂකයෙක් විදියට ශ්‍රීලනිපයේ මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කිරීම නිසා නොවෙයිද මේ තත්ත්වය ඇති වුණේ.?
එදා ප්රජාතන්ත්රවාදී තර්ජනයක් තිබුණා. තෙවන වතාවටත් ජනාධිපති වෙන්න මහින්දලා එදා උත්සාහ කළා. එදා එජාපයට ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න තිබුණා. නමුත් අපිට විරුද්ධ බලවේග මැඬ පවත්වන්න තමයි අපි අලුත් ක්‍රමයක් අනුගමනය කරන්න තීරණය කළේ. ඒ අතරේ සෝභිත ස්වාමීන්වහන්සේ ඇතුළු සිවිල් සංවිධාන බොහෝමයක් අපිට බලපෑම් කළා; එජාප නොවන එජාප ලකුණින් තොරව පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න කියල. ඒ අනුව අපි චන්ද්‍රිකා කුමාරණතුංගගෙන් ඇහුවා නැවත ජනාධිපතිවරණයට එනවද කියල. ඇය බැහැ කිව්වා. ඒ වෙන කොටත් මෛත්‍රීපාල ජනාධිපතිවරණයට උනන්දුවක් දක්වනවා කියල අපි දැන ගෙන හිටියා. ඒ වසරේ සැප්තැම්බර් මාසයේ ඉදලම ඔහු ඒ වෙනුවෙන් යම් යම් ක්‍රියාමාර්ග අරන් තිබුණා.
ඒ කියන්නේ ඔබලාට ඕනෑ වුණේ එජාපය දිනවනවාට වඩා රාජපක්ෂලා පරාජය කරන්නයි?
ඒ වෙන කොට මහින්ද සමඟ හිටපු පිරිසකුත් ඔහු තෙවන වතාවටත් ජනාධිපති වෙනවාට කැමත්තක් තිබුණේ නෑ. ඒ අයත් අපිත් එක්ක පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න එකඟතා ඇති කර ගෙන තිබුණා. ඒ අනුව තමයි අවසානයේ අපි හැමෝම ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල පොදු අපේක්ෂකයා විදියට තෝරා ගත්තේ. එදා සෝභිත ස්වාමීන්වහන්සේලා මෛත්‍රීපාල සිරිසේනට කීවේ දේශපාලන පක්ෂයක නායකයකු නොවී රටේ නායකයා විදියට පොදුවේ හැම දෙනා සමඟම කටයුතු කරන්න කියලයි. නමුත් පස්සේ ඒ හැම දෙයක්ම වෙනස් වුණා.
හොඳයි ඔබලා එදා පිහිටවා ගත් ආණ්ඩුවටත් තුනෙන් දෙකේ බලයක් තිබුණේ නෑ. නමුත් ඔබලා සූක්ෂ්ම විදියට තුනෙන් දෙකේ බලයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සම්මත කර ගත්තා. ඒ විදියට ආණ්ඩුව කර ගෙන යන්න හැමෝගෙම සහය නොලැබුණේ ඇයි?
ඒකට මුල්ම හේතුව ශ්‍රීලනිපයේ ඇතුළේ තිබුණ අර්බුදයයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ශ්‍රීලනිපයේ නායකයා වෙනවාට ශ්රීලනිපය ඇතුළේම බොහෝ දෙනෙකු කැමති වුණේ නෑ. ඒ වගේම එජාපය සමඟ ආණ්ඩුවක් හදා ගත්තු එකටත් ශ්රීලනිපය ඇතුළෙන් මෛත්‍රීපාලට විරෝධය එල්ල වුණා. මේ නිසා මුල ඉඳලම ඒ අය දෙකට බෙදුණා. මෛත්‍රීපාල ශ්‍රීලනිපයේ නායකත්වය බාර නොගත්තා නම් මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා.
රනිල් වික්‍රමසිංහට "ක්ලීන් මෑන්" කියල නමක් පටබැඳුණා. ඒ චරිතයට මොකද වුණේ? නැති වෙලාද නැති කර ගෙනද?
ඒ මොකුත් වෙලා නෑ. මට විරුද්ධව චෝදනා නෑ. මම නිතරම කියන්නේ අපේ හැකියාව අනුව වැඩ කරන්න කියලයි. අපි හැම ක්ෂේත්රයේම වැඩ කරන්න පුළුවන් බව පෙන්වලා තියෙනවා. අනාගතයේ ජනතාව බලය දුන්නොත් නැවත අපි විනිවිදභාවයෙන් යුතුව අවංකව වැඩ කරල පෙන්වනවා. ඒ කාලෙත් මම හැම අමාත්‍යාංශයකටම මුදල් ලබා දුන්නා වැඩ කරන්න. සමහර අමාත්‍යාංශවලට වැඩ කර ගන්න බැරි වුණා.
ඔබ කියනවා ඔබට චෝදනා නෑ කියල. අනෙක්වා පැත්තකින් තියල ඔබේම පක්ෂයේ හිටපු අය කියන එජාප නායකත්වය බලෙන් අල්ලා ගෙන ඉන්නවා කියන චෝදනාවත් බොරුවක්ද?
මම එජාපයේ නායකත්වය බලෙන් තියාගෙන නෑ. පසුගිය එජාප සමුළුවේදී මම එජාප නායකයා විදියට පිළිගෙන තිබෙනවා. ඒ වෙලාවෙ ඒකට සජිත්ලත් එකඟ වුණා. මේ මැතිවරණයෙන් පස්සේ අලුත් මන්ත්‍රීවරු පත් වුණාම එජාප නායකත්වය ගැන නැවත කතා කරන්න තීන්දු වුණා. එහෙම එකඟතාවක් තිබියදී මැතිවරණය කරන්න ඒ අය පක්ෂ නායකත්වය ඉල්ලනවා. අපි ජනාධිපතිවරණයේ අපේ අපේක්ෂකයා ලෙස සජිත් පත් කළා. එහෙමත් කරලා මැතිවරණයෙන් පස්සේ මේ ගැන කතා කරන්න තීන්දුවක් අර ගෙන තිබියදී ඒ අය අපෙන් වෙන්වෙලා එජාපයේ අයිතිය දිනා ගන්න උසාවි ගියා. එජාප සාමාජිකත්වය අහෝසි කරන්න එපා කියල ඒ අය උසාවි ගියත් ඒකට උසාවිය තීන්දුවක් දුන්නෙ නෑ.
සජිත් ප්‍රේමදාස මීට පෙරත් එජාපයට විරැද්ධව කටයුතු කර තිබෙන බවට චෝදනා එල්ල වුණා.ඒ කාලේ ඔහුට විරුද්ධව විනය පියවර නොගත් නිසා අද මේ තත්ත්වය ඇති වුණා නොවෙයිද?
තරුණ දේශපාලනඥයන් පක්ෂය තුළ ටිකක් දඩබ්රව හැසිරුණා කියල ඒ හැම වෙලාවකම ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න ගියොත් ඒ අය ගේ දේශපාලන අනාගතය විනාශ වෙන්න පුළුවන්. සජිත් ගැනත් අපි කල්පනා කළේ එහෙමයි. සජිත් ගේ පියා එක්ක මම හොඳට වැඩ කරල තිබෙනවා. ඒ නිසා සජිත් මෙරටේ නායකත්වයට පත් වෙන එක වළක්වන්න මට ඕන වුණේ නෑ. අපි ඒ සඳහා ඔහුට අවස්ථාව දුන්නා. එකෙන් එයා ප්‍රයෝජන ගත්තෙ නෑ.ඒකට මට කරන්න දෙයක් නෑ.
ඔබ කියන්නේ සජිත් ප්‍රේමදාස ආරක්ෂා කළේ ඔහු පක්ෂයේ නායකත්වයට ගෙන එන්න ඕනෑ නිසා කියලද?
මම කියන්නේ කවුරු වුණත් දේශපාලන රැස්වීම්වලදී කියන දේවල් බරපතළ විදියට සලකා විනය ක්‍රියාමාර්ග ගත්තොත් ඒ අය ගේ දේශපාලන අනාගතය විනාශ වෙන්න පුළුවන් කියලයි. සජිත් සමහර අවස්ථාවල කරපු ප්‍රකාශ නිසා අපේ පක්ෂයට සමහර මැතිවරණවලදී අවාසි වුණා. එහෙම වුණත් මම බැලුවෙ මේ අය ඉදිරියට ගෙනල්ලා නියමිත කාලයේදී නියමාකාරයෙන් ඔවුන්ට හිමි තැන් ලබා දෙන්නයි.
ඔබ කියන්නේ සජිත් ප්‍රේමදාස ඔහු විසින්ම ඔහුගේ දේශපාලන අනාගතය විනාශ කර ගත්තා කියලද?
ගියවර ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකත්වයත් ඔහුට දුන්නා. මෙවර මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වයත් ඔහුට දෙන්න එකඟතාවක් තිබුණා. අපි උත්සාහ කළේ එජාපයට බහුතරයක් ඇති සන්ධානයක් හදා ගන්නයි. ඒ අතරේ තමයි මේ අය වෙනම පක්ෂයක් පිහිටුවා ගත්තේ. එහෙම කරපු අය ගැන දැන් අනෙක් දේවල් කතා කරල වැඩක් නෑ. ඒ අය කළ දේ හරිද වැරදිද කියල උසාවියේදීත් පෙනුණානේ. ආයේ මොනවද ඒ ගැන කතා කරන්නෙ.
ඔබට ආණ්ඩු හදල දුන්නත් ඒවා කර ගෙන යන්න බෑ කියල ඔබේ පක්ෂයේම ප්‍රබලයකු වු ලක්ෂ්මන් කිරිඇල්ල කරන චෝදනාවට ඔබ මොනවද කියන්නේ?
අපිට එජාපය විදියට ආණ්ඩුවක් හදන්න අවස්ථාව ලැබුණේ දෙවතාවයි. ඔය කියන කිරිඇල්ලත් වෙන තැනක ඉදලා තමයි එජාපයට ආවේ. 2002 එවකට ජනාධිපතිනියට බලය තිබුණා ඇමතිකම් පවරා ගන්නයි ආණ්ඩුව විසුරුවා හරින්නයි. 2015 දි අපි ඒ ජනාධිපති බලය ඉවත් කළා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයේ දී පරාජය වුණාට පස්සේ අපේ කණ්ඩායම තීන්දුවක් ගත්තා ආණ්ඩුවෙන් ඉවත් වෙන්න. අපි හැමෝම එකට එකතුවෙලා තීරණ අරගෙන ඒවා ක්‍රියාත්මක කරල ඒකෙන් ඇති වෙන ප්‍රතිඵලයට මට චෝදනා කරල වැඩක් නෑ. මම හැමදාම එජාපය ආරක්ෂා කළා. අපිට බලයක් ලැබුණොත් මම ඒක කාටවත් දෙන්න කටයුතු කරල නෑ. මම පුදුම වෙන්නේ එජාපයට පිටින් ආපු අය මෙවැනි චෝදනා කරන එක ගැනයි.
එජාප ප්රතිපත්තිවල ඔබේ කාලයේ යම් වෙනසක් සිද්ධ වුණාද?
කාලීනව වෙනස් විය යුතු කරුණු අපි වෙනස් කරල තියෙනවා. ඒ වෙනස් වූ කරුණු ගැන අපි ජනතාව දැනුවත් කරල තියෙනවා. මෙවර මහ මැතිවරණයටත් අපේ එජාපය පමණයි ප්‍රතිපත්තියක් විදියට වැඩපිළිවෙළක් ඉදිරිපත් කරල තියෙන්නේ. රටේ ලොකයේ වෙනස් වීම් එක්ක ඊට ගැළපෙන විදියට අපිත් වෙනස් වෙන්න ඕනෑ. එහෙම නැතුව ඉදිරියට යන්න බෑ.
ඔබ එජාපය නියෝලිබරලිසම්වදයට තල්ලු කරන්න හදනවාද?
අපේ පක්ෂය ඔය එක එක තැනට තල්ලු කරන්න අපිට වුවමනා නෑ. අපේ පක්ෂය (social democracy)සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයක්. වෙළඳ ආර්ථිකය සමඟ සමාජ සාධාරණත්වය වෙනුවෙන් අපි කටයුතු කරනවා. ඒක තමයි යුරෝපයේ රටවල ක්‍රියාත්මක වෙන්නේ. ජර්මනියේ ප්‍රධාන පක්ෂ දෙකම අනුගමනය කරන්නේ මෙි ක්‍රමයයි.
ඔබට එල්ල වෙන ප්‍රධාන චෝදනා අතරින් මහ බැංකුවෙ මුදල් මංකොල්ලය බරපතළයි. මුදල් අමාත්‍යාංශය යටතේ තිබුණු මහ බැංකුව එදා ඔබ අගමැතිවරයා විදියට ඔබේ විෂයයක් කර ගත්තේ ඇයි?
මහ බැංකුව ස්වාධීන කරල ශක්තිමත් කරන්න ඕනෑ වුණා. ඒ සඳහා ඒක අගමැති ගේ විෂය පථයට ඇතුළත් කරල මහ බැංකුව ස්වාධීන කරන්න කෙටුම් පතකුත් සකස් කළා. ඇමරිකාවෙන් ඇවිල්ලා එකට උපදෙස් දුන්නා. IMF එක එක්ක එකතුවෙලා තමයි මහ බැංකුව ස්වාධීන ආයතනයක් කරන්න කෙටුම්පත් හැඳුවේ. ඒක අපි ඔක්කොම අනුමත කළා. මුදල් අමාත්‍යාංශයට ඕනෑ ඕනෑ විදියට මහ බැංකුව ණය ගන්න එක වළක්වා ගන්න තමයි ඒක අගමැති යටතට පත් කළේ. ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමෙි ස්වාධීනත්වය මහ බැංකුවට තියෙන්න ඕන. මම ඒක ඇති කරන්න උත්සාහ කළා. මුදල් අමාත්‍යාංශය ණය ගන්න මහ බැංකුවට බලපෑම් කළා. ඒ අයට ඒක කරන්න බෑ කියල මට කීවා. ඒ නිසා තමයි මහ බැංකුව ස්වාධීන ආයතනයක් කරන්න මම පියවර ගත්තේ.
ඔබේ අමාත්‍ය මණ්ඩලයේම සමහරු විරුද්ධ වෙද්දී ඇයි ඔබ අර්ජුන් මහේන්ද්‍ර මහ බැංකුවේ අධිපති ලෙස පත් කළේ?
කැබිනට් එකේ කවුරුත් විරුද්ධ වුණේ නෑ. මට කියන්ක කවුද විරුද්ධ වුණේ කියලා.
රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම කීව එදා ඔය පත්කිරීමට ඔහු විරුද්ධ වුණා කියල ඒක බොරුවක්ද?
නෑ නෑ එදා කවුරුත් විරුද්ධ වුණේ නෑ. දැන් ඒ අය තැන් තැන්වලට පැනලා කියනවා එදා විරුද්ධ වුණා කියල. ජනාධිපති කොමිසම පවා පිළිගත්තා අර්ජුන් මහේන්ද්‍රන් මේ තනතුරට සුදුසුයි කියල. ඇත්තටම මෙතැන ප්රශ්නය තියෙන්නේ එදා පළමු බැදුම්කර වෙන්දේසිය අර්ජුන් ගේ බෑනට දැනුම් දුන්නද කියලයි ප්‍රශ්නයක් මතු වුණේ. ඕකට ඉස්සෙල්ලා අජිත් නිවාඩි කබ්රාල් ගේ සහෝදරියත් ඒ සමාගමේ අධ්යක්ෂවරියක් ලෙස කටයුතු කරල තියෙනවා. මට විරුද්ධ වුණ කතා කියන්නේ දැන් අපෙන් අයින් වෙලා ගිහිල්ලා. මටත් ඒ ගොල්ලා ගැනත් හුඟක් කතා කියන්න පුළුවන්. ඒවා කියල ඡන්දය අර ගෙන වැඩක් නෑ. අද අපි මැතිවරණයකට මුහුණ දීල ඉන්නේ ජනතා ප්‍රශ්න විසඳන්න පුළුවන් ආණ්ඩුවක් හදා ගන්නයි. මාධ්‍යයෙනුත් නිතර නිතර මේවා මතු කරන්නෙ ආණ්ඩුව මේ ගැන නිසි පිළිතුරක් නොදෙන නිසයි.
ඔබගේ ආණ්ඩුවක් යටතේ අපේ රට අනාගාමික රාජ්‍යයක් කරන්න පිඹුරුපත් සකස් කරල තියෙනවාද?
මොකක්ද ඔය අනාගාමික රාජ්‍යයක් කියන්නේ. අපි එහෙම දෙයක් කොහෙවත් සඳහන් කරලවත් කියලවත් නෑ. අපි හැමදාම බුද්ධාගම ප්‍රමුඛස්ථානයේ තියල ඒක පිළිගන්නවා. ඒ හැරෙන්න වෙන ක්‍රමයක් ගැන අපි කතා කරල නෑ. මෙරටේ දේශපාලන පක්ෂ හැම එකකම පිළිගැනීම ඒකයි. දෙමළ සන්ධානය පවා ඒ ක්‍රමය පිළිගන්නවා. අපේ රටේ ඕනෑ කෙනකුට ඕනෑ ආගමක් අදහන්න නිදහස තියෙනවා. ඒ හැමෝම බුද්ධාගම ප්රමුඛත්වහෙි තිබෙනවා කියල පිළිගන්න ඕන. කතෝලික කාදිනල්තුමත් ඒක ප්‍රසිද්ධියේ කියල පිළිගෙන තිබෙනවා. අපි කොහොමද ඒවා වෙනස් කරන්නෙ. ථෙරවාද බෞද්ධ සම්ප්රදාය ආරක්ෂා කරන මධ්‍යස්ථානය අපේ ලංකාවයි. ඇයි අපි ඒක නැති කරන්නෙ.
මේ මහ මැතිවරණයට එජාපයෙන් වැඩිපුර ඉදිරිපත් කරලා තිබෙන්නෙ අලුත් මුහුණු. ඔබ හිතනවද ඔවුන් සමඟ පක්ෂයට ජය ගන්න පුළුවන් වෙයි කියල?
අපේ රටේ තරුණයන්ට ඕන වුණේ අලුත් මුහුණු. සමහර අලුත් මුහුණු දානවාට කැමති වුණේ නෑ. නමුත් සමාජය ඉල්ලුවේ අලුත් මුහුණු නිසා අපි තීරණය කළා මෙවර මැතිවරණයට වැඩිපුර අලුත් මුහුණු ඉදිරිපත් කරන්න. අපි විතරයි මේ මැතිවරණයේ දී තරුණයන්ට වැඩි අවස්ථාවක් දීල තියෙන්නෙ. පොහොට්ටුවවත් එහෙම කරල නෑ. ජනතාව තීරණය කරාවි ඒ අයගෙන් පාර්ලිමේන්තුවට එවන්න ඕනේ කවුද කියල.
පසුගිය මැතිවරණ වල ප්‍රතිඵල නීරික්ෂණය කළාම පෙනෙන දෙයක් තමයි එජාපට බලය තිබුණු ප්‍රදේශවල ඒ බලය දියාරු වෙලා කියන එක. ඒ අනුව ගත්තත් එජාපය තුළ ප්රතිසංවිධානයක් අවශ්‍යයයි කියල හිතෙන්නෙ නැද්ද?
එජාපයේ ප්රතිසංවිධානයක් අවශ්‍යයයි. අපිට සමහරු ප්‍රදේශවල බලය ගිලිහුනේ එජාපයේ වරදින් නොවෙයි. එජාපයට ඇවිල්ලා සමහර අය කරපු කියපු දේවල් නිසා තමයි අපිට මේ තත්ත්වය ඇති වුණේ. අපි එජාපය රැක ගන්න කැප වුණා මදි කියල හිතන්නත් පුළුවන්. එජායයේ හුඟක් අය ඡන්දය දීමෙන් වැළකී සිටි බවටත් තොරතුරු තියෙනවා. අපි එජාපයේ අපේක්ෂකයෙක් 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරල අනෙක් හැමෝම එයාට සහය දුන්නා නම් මේ තත්ත්වය ඇති වෙන්නෙ නෑ. එජාපයේ අනන්‍යතාව නැති වුණා කියල අපේ පාක්ෂිකයන්ට හැඟිමක් ආව නිසා තමයි ඒ බොහෝ අය ඡන්දය දාන්න ගියේ නැත්තේ. මේවාට හේතුවූ කාරණා මම කියන්න වුවමනා නෑ.
උතුරේ ජනතාවගේ ප්‍රශ්නයට ඔබලා විසදුම් දෙන්න උත්සහ කළත් දෙමළ නායකයන්ට උතුරේ ප්රශ්නය විසඳා ගන්න වුවමනාවක් තිබෙන බව ඔබ හිතනවාද?
ඒ අයටත් උතුරේ ජනතාව මුහුණ දෙන ගැටලු වලට විසඳුම් හොයන්න වුවමනාව තිබෙනවා. අපි ඔක්කොම එකඟවෙලා තිබෙනවා ඒකීය රාජ්‍යයක් තුළ පමණයි මේ විසඳුම් හොයන්න පුළුවන් කියල. පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත් සභාවලට දෙන්න ඕනද; දෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. මේ පිළිබඳ කරුණු හොයන්න පත්කරපු පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවෙිදී දකුණේ පළාත්වල අපේ මහ ඇමතිවරුත් මේ බලතල ඉල්ලුවා. පළාත් සභාවල ඉන්න අයට වැඩි බලතල වුවමනා බව අපිත් පිළිගන්නවා. අපි කියන්නේ පොලිස්, ඉඩම්, බලතල මධ්‍ය රජයට තියා ගෙන සෞඛ්‍ය අධ්‍යාපන වැනි අංශ ගණනාවක බලතල පළාත් සභාවලට දෙන්න අපිට සාකච්ඡා කරන්න පුළුවන්.
මට ඔබ කෙළින් උත්තරයක් දෙන්න උතුරු නැගෙනහිර ඔය තියෙනවා යැයි කියන ප්‍රශ්නවලට ඔබේ පක්ෂයේ විසඳුම මොකක්ද?
අපේ පක්ෂයේ ස්ථාවරය තමයි 13 වන සංශෝධනයේ ඉතිරි කොටසත් ක්‍රියාත්මක කරල ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න එක. අපි දැන් විසඳුම ළඟට ඇවිල්ලා තියෙන්නෙ. නමුත් අද රට මුහුණ දී තිබෙන අභියෝගය තමයි කොරෝනා වසංගතය හා ආර්ථිකය පහළ වැටීමෙි අර්බුදය. මේ ප්‍රශ්නවලින් අපි ගොඩ එන්න ඕන. එහෙම නොවුණොත් එක දෙයක්වත් කරන්න බෑ. උතුරු නැගෙනහිර ඔය කියන තරම් ලොකු ප්‍රශ්නයක් නෑ අපි දැන් ඒවා ගැන කතා කරල තියෙනවා. අපි හරියට ක්‍රියා කළොත් ඒ ප්‍රශ්න විසදා ගන්න පුළුවන්.
අත්දැකීම් බහුල දේශපාලනඥයෙක් විදියට මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන් ගේ වෙනසක් ඔබ දකිනවාද?
මහින්ද රාජපක්ෂ කියන්නේ දේශපාලඥයෙක්. එයා දිගටම දේශපාලනයේ ඉන්න කෙනෙක්. ඒක දාල යන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ දේශපාලනඥයෙක් විදියට නොවෙයි ඔය තනතුරට පත් වුණේ. ජනතාවට සාම්ප්‍රදායික දේශපාලනය එපා වී තිබෙන්නේ. එහි වාසිය ගෝඨාභය රාජපක්ෂට හිමි වුණා. දේශපාලන අත්දැකීම් නැති කෙනෙකු හැටියට සමබරව රට පාලනය කිරීම තමයි ගැටලුවක් වී තිබෙන්නේ. මේ නිසා ගෝඨාභය මේ වෙන කොට අසාර්ථක වී සිටිනවා.
පාස්කු ප්‍රහාරය ගැන ඊට පෙර ඔබතුමාට තොරතුරු වාර්තා වුණේ නෑ කියන්නේ ඇත්තද?
ඔව් මට ඒ ගැන කිසිම පූර්ව තොරතුරක් ලැබුණේ නෑ.
ඔබ වගකීමෙන්ද මේ කතා කරන්නේ? ඔබ එවකට අගමැති නේද?
මම කියන්නේ මේ සිද්ධියට ආණ්ඩුවක් විදියට වග කියන්න ඕන. නමුත් මම කියන්නේ මට තොරතුරු ලැබුණේ නෑ කියලයි. ඒ නිසා තමයි අපි මේ ගැන පරික්ෂණ පවත්වන්න කියන්නෙ. මටවත් ආරක්ෂක නියෝජ්‍ය ඇමතිටවත් තොරතුරු ලැබිල තිබුණේ නෑ. ඒ වෙලාවෙ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටියේ රට. එතැන තමයි ගැටලුව තිබෙන්නේ.
මේක ඔබගේ බරපතළ ප්‍රකාශයක්. ඔබ එවක අගමැති විදියට ඔබට තොරතුරු ලැබුණේ නෑ කියන කාරණය විශ්වාස කරන්න පුළුවන් ද?
ඒක තමයි මමත් කියන්නේ මේක බරපතළයි. ඒකයි මම කියන්නේ පරික්ෂණ කරන්න කියල.
ඔබේ විදේශීය ප්‍රතිපත්තිය කොහොමද ?
අපේ විදේශ ප්‍රතිපත්තිය හැම රාජ්‍යයක් එක්කම මිත්‍රත්වයෙන් වැඩ කිරීමයි.
ඔබට ඇමරිකන් ගැති ප්‍රතිපත්තියක් තියෙනවාද?
අපිට ඇමරිකාව සමඟ හැමදාම මිත්‍රකමක් තිබුණා. චීනය සමඟත් එහෙමයි. එක වෙලාවක ඇමරිකාව අපි සමඟ අමනාප වුණා; චිනය එක්ක ගිවිසුමි අත්සන් කළා කියල. අපි කියුබාව සමඟත් එකට වැඩ කළා.
මේ මැතිවරණයේ දී ඔබලාට ජය ගන්න බැරි වුණොත් පොහොට්ටුවට සම්බන්ධ වෙන්න කතිකාවක් තිබෙනවාද?
නෑ, එහෙම කිසිම දෙයක් නෑ. අපි කියන්නේ ආණ්ඩුවක් හදන්න අපිට බලය දෙන්න කියලයි.
මෙතෙක් මේ රටේ බිහි වූ නායකයන් ගෙන් ඔබ වඩාත් ප්‍රිය කරන නායකයා කවුද?
මම වඩාත් ප්‍රිය කරන්නේ අපේ පක්ෂයේ සිටි ඩී.එස්.සේනානායක හා ජේ.ආර්.ජයවර්ධන යන නායකයන්ටයි.
ඔබෙි පරමාදර්ශී නායකයා කවුද?
ලෝකයේ බොහෝ නායකයෝ ඉන්නවා. නමුත් අපිට සේවය කළ අයට අපි ගරු කරනවා. එක අයෙක් ගැන එහෙම කියන්න බෑ.