බෞද්ධ උපදේශක සභාව සිව්වන වරටත් ඉකුත් 24දා ජනාධිපති කාර්යාලයේදී රැස්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ගේ ප්‍රධානත්වයෙනි. මෙදින රැස්වීම පැය දෙකකින් නිම කිරීමට සැලසුම් කර තිබුණද එය පැය හතරකට ආසන්න කාලයක් පැවැත්විණ. මෙදින රැස්වීමේ දී වැඩිම වෙලාවක් ගතවූයේ මෙරටේ පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථාන රැක ගැනීමට ගත යුතු පියවර ගැන කතා කරන්නටය. අවසානයේදී පුරාවිද්‍යා පනත සංශෝධනය කරන්නත් ඒ සඳහා තොරතුරු රැස් කිරීමට කමිටුවක් පත් කරන්නත් එකඟතාවකට පැමිණියේය. එමෙන්ම පුරාවිද්‍යා විෂය සඳහා වාර්ෂිකව රජය වෙන් කරන මුදල ප්‍රමාණවත් නොවන බැවින් මැතිවරණයෙන් පසුව ඉදිරිපත් කරන අය - වැය ලේඛනයෙන් වැඩි මුදලක් වෙන් කරදීමට ද ජනාධිපතිවරයා මෙහිදී එකඟ වී ඇත. පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථාන රැක ගැනීමට ඒ පිළිබඳ අවබෝධයක් ඇති අය යෙදවීමටද මෙහිදී තීරණය කෙළේය.
"අපෙ හාමුදුරුවනේ පසුගිය රජය කාලේ පුරාවිද්‍යා උපාධිධාරින් සුගතදාස ක්‍රිඩාංගණයේ වැඩට යොදවා තිබෙනවා"යැයි ජනාධිපතිවරයා කීවේ තමන්ට ලැබී තිබුණ තොරතුරු ගැන හෙළිදරව්වක් කරමිනි.
කෙටි විවෙිකයක් ලබා ගෙන සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත මහජන හමු සඳහා සහභාගි වීමට තීරණය කළේ ඉකුත් 25 වැනිදාය. ඒ අනුව ඉකුත් සතිය පුරා මාතර, කුරුණෑගල, කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පැවැති ජනහමු හතළිහකට පමණ ජනාධිපතිවරයා සහභාගී විය.මෙි ජනහමු වලදී ජනතාව ඉදිරිපත් කළ කරුණුවලට ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා මැතිවරණයෙන් පසුව පත්වෙන ආණ්ඩුවේ අමාත්‍යාංශයක් යටතට පෙර පාසැල් විෂය ඇතුළත් කරන බවද පෙර පාසැල් ගුරුවරුන්ට මාසිකව දීමනාවක් ලබා දීමට කටයුතු කරන බවද මාතරදී සදහන් කෙළේය.
මධ්‍යම අධිවෙිගි මාර්ගයේ ඉදිකීරිම් කටයුතු කඩිනම් කරන ලෙස විෂය භාර අමාත්‍යවරයාට උපදෙස් දුන්නේ කුරුණෑගල ජනහමුවලදී ජනතාව ඉදිරිපත් කළ කරැණු සැලකිල්ලට අරගෙනය. මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව ජනතාව දන්නා තොරතුරු නිර්නාමිකව ජනාධිපති ලේකම් කාර්යාලයට ලියා එවැන්නැයිද ජනාධිපති කුරුණෑගල දී ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මොරටුවට ගිය ජනාධිපතිවරයාට එහිදී ජනතාව ඉදිරිපත් කළ ප්‍රධානම ගැටලුව වූයේ ගෘහ භාණ්ඩ අලෙවි කර ගැනීමේ දුෂ්කරතාවයි.
"මම රජයේ කන්තෝරුවලට උපදෙස් දීල තිබෙනවා රජයේ කාර්යාලවලට ලී උපකරණ ගැනීමේදී ලංකාවේ නිෂ්පාදනය කරන ඒවා විතරක් ගන්න කියල. ඒක ක්‍රියාත්මක වෙන කොට ඔයාලට ලොකු සහනයක් ලැබෙයි" ජනාධිපතිවරයා කීවේ මොරටුවේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේ යෙදී ඉන්නා පිරිසක් අමතමින්ය. මොරටුවේ දී ජනාධිපතිවරයාට තවත් අලුත් අත්දැකීමකට මුහුණ දීමට සිදු විය. මොරටුව ජනහමුවේ ජනතා ප්‍රශ්නවලට ඇහුම්කන් දෙමින් සිටියදී ජනතාව අතරින් ජනාධිපති ඉදිරියට පැමිණි පුංචි දැරියක් "මම ආවෙි කවියක් කියන්න" කියමින් කවියක් කීවේ කට පාඩමින්ය.
"තවත් වරක් රට බේරා ගත් ඔබ
රට වැසියන් රැක ගන්නට පළමුව
කළ හැකි විය ගත් තීරණ හැමවිට
සැබෑ ලෙසම නායකයා ඔබමය"
යනුවෙන් කවිය කියා නිම කළ දැරිය ජය වේවා මාමේ " කීවේ ජනපතිටය." හරි ලස්සනයි ඔයාගේ කවිය. ඔයාගේ නම මොකක්ද" ජනාධිපතිවරයා ඇසුවේය. "මගෙ නම සෙත්මිණි ජයවීර වයස අවුරුදු නවයයි" ඇය කියාගෙන ගියාය.
අගමැති මහින්ද රාජපක්ෂයන්ට නම් මේ දිනවල විවේකයක් ඇත්තේම නැත. දිනපතා ජනහමුවලට සහභාගි වන ඔහු ඒ හැම ජනහමුවකදීම ඒ ප්‍රදේශය නියෝජනය කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් විශේෂයෙන් යමක් සඳහන් කිරීමට අමතක කරන්නේම නැත. ඉකුත්දා කොට්ටාවේ පැවැති ජනහමුව සංවිධානය කර තිබුණේ දිනේෂ් ගුණවර්ධන කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායකයා විසිනි. එහිදී අගමැතිවරයා වෙන තැන් වලදී නොකියන කතාවක් කීවේය.
"මේ රටේ ප්‍රශ්නයක් ඇති වුණ හැම වෙලාවෙම අපි වෙනුවෙන් ඒ ප්‍රශ්න විසදන්න පෙරමුණ ගත්තේ දිනේෂ් ගුණවර්ධන බව අමතක කරන්න එපා. මම අද විශේෂයෙන් ඔබතුමාලාගෙන් ඉල්ලන්නෙ මේ මැතිවරණයේ දී පොහොට්ටුව ඉදිරියේ කතිරය ගහල ඔබේ පළමු මනාපය අංක 13 ට දීල දිනේෂ් ගුණවර්ධන කොළඹින් වැඩිම මනාප ගත් අපේක්ෂකයා විදියට පාර්ලිමේන්තුවට එවන්න කියලයි."
අගමැතිවරයා කියද්දී ඔල්වරසන් දුන් ජනතාව සමඟ වේදිකාවේ සිටි අයද හුනස්නෙන් නැගිට අත්පොළසන් දෙන්නට විය. අගමැතිවරයා සිය කතාව අවසන් කර වේදිකාවෙන් බැස යද්දී ඔහුට ආචාර කීරිමට ඔහු අසලට පැමිණි දිනේෂ් ගේ පුත් යදාමිණි ගුණවර්ධනගේ උර හිසට අතතබා අගමැති කීවේ "දැන් ඉතින් බොරළුගොඩ පරපුරේ ඊළඟ සිංහයා ඔයා තමයි" යනුවෙනි.
ඉකුත් බදාදා උදෙන්ම අගමැතිවරයා ගේ දුරකතනය නාද විය. ශාරිරික ව්‍යායාම් සඳහා යෑමට සුදානමින් සිටි අගමැතිවරයා දුරකතනය අතට ගෙන "හලෝ ආ ..ඔයා නෙ මොකද උදෙන්ම." අසද්දී අගමැතිවරයාට ඇමතුම දුන් අය අගමැතිවරයාට අලුත් නොවන කාරණයක් ගැන අගමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීම නිසාදෝ ඔහුට දිගු පිළිතුරක් දුන්නේය.
"ඔව් මම දන්නවා බෝගම්බර හිර ගෙදර හෝටලයකට දෙනවා කියල ලොකු ප්‍රචාරයක් ඇරලා. ඒක ඇත්ත වගේ හැඟෙන්න තවත් කාරණා එකතු කරල තියෙනවා. අපේ විරුද්ධවාදීන් හිතාගෙන ඉන්නෙ මෙහෙම බොරු ප්‍රචාරය කරල ජනතාව අපිට දෙන ඡන්දය වළක්වන්න පුළුවන් වෙයි කියල. ඔයාලත් මගෙන් අහන්නේ ඕවා හොයල බලලා මාධ්‍යයෙන් ඇත්ත කියන්න පුළුවන්නෙ"
එසේ කිව් මහින්ද රාජපක්ෂයන් දුරකතනය විසන්ධි කර "සමහර මාධ්‍යයත් අපි මොකක් හරි එකකට හිර කර ගන්නමයි බලන්නේ" කීවේ එහි සිටි ඔහුගේ තවත් හිතවත් මාධ්‍යවේදියකු සමඟය.
මැතිවරණ උණුසුම ඇතුළේ ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ පුතා ගේ විවාහ මංගල්‍යය සිදුවුණේ ඉකුත් බදාදා බත්තරමුල්ල වෝටර්එජ් ශාලාවේදීය. අගමැති මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන මෙම මංගල උත්සවට සුසිල් ප්‍රේමජයන්ත සහභාගිවී සිටියහ. සුසිල් සහභාගි වූයේ බන්දුල පවුලට අලුතින් සම්බන්ධ වූ නෑ පරපුරේ සමාජිකයකු ලෙසය. බන්දුල ගේ දෙටු පුත් අතිනත ගත්තේ සුසිල් ප්‍රේම් ජයන්ත් ගේ බිරිඳ ගේ නංගිගේ දියණියක සමඟය.
මීරිගම පැවැති ජනහමුවක් නිමා කර අගමැති මහින්ද මේ මංගල උත්සවයට සහභාගී වන විට රාත්‍රි නවයට ආසන්නව තිබිණි. උත්සවයට පැමිණි මහින්දව පිළිගන්න බන්දුල සුසිල් සමඟ පවුලේ ඥාතීන්ද සම්බන්ධ විය. සුසිල් දුටු මහින්ද " ආ...සුසිල් දැන් බන්දුල ගේ මස්සිනානෙ නේද ' අසමින් බන්දුල හා සුසිල් ගේ කරට අතතබා ගෙනම උත්සව ශාලාවට ඇතුල් විය.රාත්‍රි භෝජන සංග්‍රහය සුදානම් වන තුරු සතුටු සාමිචීයේ යෙදී සිටි බන්දුල සුසිල් දිනේෂ් හා අගමැති මහින්ද " මේවාත් සජිත්ලා දැන ගත්තාම පවුල් දේශපාලනය කියයි. දැන් මෙතනම දිනේෂ්, බන්දුල, සුසිල් නැදැයෝනෙ නේද?"මහින්ද කීවේ බන්දුල ගේ අතක් අල්ලා ගෙනය.
රාත්‍රී භෝජන සංග්‍රහය බුක්ති විඳින්න මහින්ද ඇතුළු පිරිස හුන් තැනින් නැගිටින විට උත්සවයට සහභාගි වූ බොහෝ පිරිසක් ජංගම දුරකතන අතැතිව මහින්ද දෙසට දුව ආවේ සෙල්ෆි ගන්නටය. අද මේ උත්වයේ මනමාලයා මම නෙමෙයි බන්දුල ගේ පුතා. එයත් එක්ක ෆොටෝ ගන්න.
හැබැයි අගෝස්තු පස්වැනිදායින් පස්සේ 16න් තරග කරල මනමාලයා වෙන්නෙ මෙන්න මෙයා. මෙයා ගේ උපන් දිනේම මෙවර මනාප අංකය වුණේ වාසනාවකටද කොහේදෝ කියමින් මහින්ද ළෙන්ගතුව සිනා සෙමින් බන්දුල ගේ පිටට තට්ටුවක් දැම්මේය. මේ නිසා භෝජන ගැනීම පරක්කු වුයෙන් මැදියම් රැය ආසන්න වන තුරුම මහින්ද එහි සිටි අය සමඟ සුහඳ පිළිසඳරකද යෙදුණේය.
බැසිල් රාජපක්ෂ ඉකුත්දා මීගමුවට ගියේ නිමල් ලන්සා සංවිධානය කර තිබු කාන්තා සමුළුවකට සහභාගි වීමටය. ප්‍රසන්න රණතුංග ද ඊට එක්විය. බැසිල් හා ප්‍රසන්න එහි යන විටත් ශාලාවේ අතුරු සිදුරු නැතිව කාන්තාවන් ගෙන් පිරි තිබුණි. ඒ දුටු ප්‍රසන්න "ලාන්සාට කාන්තාවෝ හුඟක් ආකර්ෂණය කර ගන්න පුළුවන්."යැයි කීවේය."ඒක නම් ඇත්ත"බැසිල්ද ප්‍රසන්නට අත්වැල් ඇල්ලුවේය. බැසිල් ප්‍රසන්න හා ලාන්සා මේ සමුළුව අතරතුර සුහද කතා බහකද නිරත විය. "ප්‍රසන්න ඔයා විදේශගත ශ්‍රමිකයන් ගේන්න හුඟක් මහන්සි වෙනවා. ඒක හොඳයි. කොහේ හිටියත් අපි අපේ රටේ ජනතාව ගැන හිතන්න ඕන. ලෝකයේ හැම ගුවන්තොටුපළක්ම වහල තියෙද්දී ඔයා කටුනායකින් ඒ අයව ගෙන්වා ගන්න මහන්සි වුණ එක ගැන හුඟක් අය ඔයාට ප්‍රසාදය පළ කරනවා." බැසිල් කීවේය. "මේ මැතිවරණයේ ප්‍රතිඵල අපිට වාසිදායක විදියට තියෙනවා කියන එක ගැන නම් මට සැකයක් නෑ. හැබැයි කොවිඩ් නිසා ඡන්දය දාන්න යන අය අඩු වෙන්න පුළුවන් " බැසිල් නැවත කියද්දී "සර් ඡන්දය දාන්න යන්නෙ නැත්තේ යුඑන්පි එකේ අයයි. එජාපය දෙකට කැඩුණ නිසා හුඟක් අය කලකිරිලා.
අපි එක්කත් ඒ හුඟ දෙනෙක් එකතුවෙලා ඉන්නවා" යැයි ප්‍රසන්න කීවේය. "ඔව් සර් මීගමුව වත්තල ප්‍රදේශවල එජාප පාක්ෂිකයන් බුරුතු පිටින් අපට එකතු වෙනවා" ලාන්සාද කීවේය."ඒක හොඳයි. ඒ අය අපිට එකතුකර ගෙන ඡන්දය දාන්න ඒ අයත් අපේ අයත් ඔක්කොම ඡන්ද පොළට යවන්න ඕන" බැසිල් උපදෙසක් දුන්නේ ප්‍රසන්නට හා ලාන්සා යන දෙදෙනාටමය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පසුගිය සතියේදී තමන්ගේ සුපුරුදු මැතිවරණ දිස්ත්‍රික්කය වූ හම්බන්තොටට ගියේය. ජනාධිපතිවරණයෙන් පසුව හම්බන්තොට මැතිවරණ කටයුතු සඳහා සජිත් සහභාගී වූයේ පළමු වතාවටය. තිස්සමහාරාම ආසනයේ පළමු රැස්වීම පැවති අතර දිස්ත්‍රික්කයේ අනෙක් ආසනවල පැවැති රැස්වීම්වලටද සජිත් සහභාගී වුණේය. සජිත් තිස්සමහාරාමයට පැමිණි විට ජනතාව සංවේදී වූයේ තමන් සමඟ අවුරුදු විස්සක් දේශපාලනය කළ නායකයාට තිබෙන ආදරය පෙන්වමිනි.
"සර් ආයිමත් හම්බන්තොටට එන්න" කාන්තාවක් කීවේ ඇඩු කඳුළිනි.
"මම අවුරුදු විස්සක්ම දේශපාලනය කළේ හම්බන්තොට ඔය අය එක්ක. මම කදාවත් ඔය අය දාලා යන්නේ නෑ" සජිත් ද කීවේ තරමක් සංවේදී වෙමින්ය.
තිස්සමහාරාමයේ රැස්වීමෙන් පසුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් රැස්වීම් මාලාවකට සහභාගී වූ සජිත් තමන්ගේ සුපුරුදු දේශපාලන හිතවතුන් සමග බොහෝ වේලාවක් ගත කිරීමටද අමතක කළේ නැත.
රට පුරාම රැස්වීම් පවත්වමින් යන සජිත් රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ආසනයේ රැස්වීම්වලට යන විට මහා වරුසාවක් ඇද වැටෙමින් තිබුණේය. මහ වැසි නොතැකූ ජනතාව එහි පැමිණ සිටියේ සජිත්ගේ කතාව ඇසීමටය. මහ වැසි නිසාම සජිත්ගේ වාහනය වේදිකාව අසලට ගැනීමටවත් නොහැකි විය.
"සර් අපි වැස්ස ටිකක් පෑව්වට පස්සේ වේදිකාවට යමු"ආරක්ෂක නිලධාරියෙක් සජිත් අසලට පැමිණ කීවේය.
"මේ මිනිස්සු මහ වැස්සේ මම එනකම් බලාගෙන ඉන්නවා. මට වාහනය ඇතුළට වෙලා තෙමෙන්නේ නැතිව ඉන්න කියලාද ඔයාලා කියන්නේ. මට ආදරය කරන මිනිස්සු බලාගෙන ඉන්නකොට මට මෙහෙම ඉන්න බෑ"
තරමක් තදින් ආරක්ෂක නිලධාරියාට කතා කළ සජිත් වාහනයෙන් බැස වේදිකාවට ගියේ මහ වැසි නොතකමිනි. වැස්සේ ගිය සජිත් වේදිකාවට ආවේ තෙත බරිතවය.
"සර් හොඳටම තෙමිලානේ"වේදිකාවේ අසුන්ගත් විට ඔහු අසල සිටි තලතා අතුකෝරළ කීවාය.
"මට ඔය අව්ව - වැස්ස හොඳට පුරුදුයි. අව්ව වැස්ස ගැන බලන්නේ නැතිව තමයි මම වැඩ කරන්නේ"සජිත් තලතාට කීවාය.
"අව්ව වැස්ස විතරක් නෙමෙයි, දවල් රෑ කියලා වෙනසකුත් නෑනේ. ආණ්ඩුව තියෙන කාලේ උදේ පාන්දර හතරට විතර නැගිටලා වැඩ කරපු හැටි ගැන අපේ ගම්වල මිනිස්සු පවා කතා කරනවා"තලතා කීවේ සජිත්ගේ වැඩ කිරීමේ කලාව අගය කරමිනි.
සජිත් සංස්කෘතික කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී විහාරස්ථානවල දියුණුව වෙනුවෙන් කළ දේ සම්බන්ධ කරමින් මඩ ප්‍රචාරයක් ආරම්භ කර ඇති බවට මුලින්ම තොරතුරතු ලැබී තිබුණේය. මේ ගැන සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සජිත්ට දුරකතන ඇමතුමක් දී විමසුවේය. "මහ බැංකුව කොල්ලකාපු අය එළියේ. විහාරස්ථාන හදපු අයට විරුද්ධව කුමන්ත්‍රණයක් දැන් ක්‍රියාත්මක කරන්න හදනවා" සජිත් කීවේ තරමක් සංවේදී වෙමිනි.
"රාජපක්ෂලාගේ මේ මඩට වික්‍රමසිංහලාත් උදව් කරනවා. මේ දෙගොල්ලෝම එකතු වෙලා තමයි මඩ ගහන්නේ" රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
ඒ අනුව වහාම මේ ගැන නිවේදනයක් නිකුත් කරන ලෙස සජිත්, රංජිත් මද්දුමබණ්ඩාරට උපදෙස් දුන්නේය
රට වටා රැස්වීම්වලට යන සජිත් දිනපතාම දේශපාලන තත්වයන් ගැන සමීප අවධානයක් යොමු කරමින් සිටී. නිරන්තරයෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහ ලේකම්වරයාටත්, තිස්ස අත්තනායකටත් දුරකතන ඇමතුම් ලබාදෙන සජිත් අලුත් දේශපාලන තත්ත්වයන් ගැන සොයා බලයි. සමගි ජන බලවේගය සමඟ එක්ව සිටින මන්ත්‍රීවරු පනස් හතර දෙනාගේ පක්ෂ සාමජිකත්වය අත්හිටුවීමට කටයුතු කිරීම ගැන අවධානය යොමුවූයේ මෙවැනි දුරකතන සංවාදයකදීය.
"වික්‍රමසිංහ මේ තමන්ගේ අන්තිම තුරුම්පුව තමයි ගහන්නේ. හැමදාමත් ඉතින් කළේ පක්ෂයේ අයට යන්න ඇරලා තමන්ගේ යාළුවෝ ටික විතරක් පක්ෂයේ ඉතිරි කරගනිපු එකනේ" තිස්ස අත්තනායක කීවේ දුරකතනයෙන්ය.
"මේක රාජපක්ෂලා එක්ක තියෙන තවත් ඩීල් එකක්. ඩීල් කාරයෝ සේරම ඒ පැත්තේ නිසා දැන් රාජපක්ෂලා එක්ක කිසිම ප්‍රශ්නයක් නැතිව ඩීල් දාගන්නවා ඇති" රංජිත් මද්දුමබණ්ඩාර කීවේය
මේ සතියේ රැස්වූ මාධ්‍ය කමිටුවේ අවධානය යොමුවූයේද මේ ගැනය. "ආණ්ඩුව දවසින් දවස කඩාගෙන වැටෙනවා. මේ නිසා ආණ්ඩුවට ගොඩ යන්න පාරක් නෑ. ඉස්සර වගේ රාජපක්ෂලාගේ වුවමනාවත් තමයි දැන් කරන්නේ" ශිරාල් ලක්තිලක කීවේය.
"ආණ්ඩුවත් දැන් අර්බුද ගොඩක හිරවෙලා. ඒ අතරේ නවීන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඉල්ලනවා. වජිර ඇවිත් නවින්ට පිස්සුය කියනවා. මේක තමයි ඇත්ත අර්බුදය" කීර්ති තෙන්නකෝන් පැහැදිලි කළේය.
"දැන් මාතර පවුලේ ඒකාධිකාරයක් හදාගන්න යනවා. හම්බන්තොට වගේම මාතරත් රාජපක්ෂලා අල්ලන්න හදනවා. ඒකට ඇතුළේ කචල්" හරීන් ප්‍රනාන්දු කීවේ තමන්ට ලැබුණ තොරතුරකි.
"අර ගාල්ලේ ඉන්න ඩීල් කාරයා බඩු බෙදනවා; සල්ලි බෙදනවා. ඒකාන්තයෙන්ම පරදින බව දන්න නිසා තමයි මේ විදියට සල්ලි විසි කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අයට සල්ලි විසි කළත් දිනන්න බෑ"ශිරාල් කීවේ දැඩි විවේචනයක් කරමිනි.
ඉකුත් සතියේ එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද කාර්ය බහුල සතියක් විය. එජාපයෙන් ඉවත්ව සමඟි ජන බලවේගය හදාගත් සජිත් ඇතුළු පිරිස එජාපයෙන් නෙරපා දැමීම පිළිබඳ තීන්දුව ගත්තේ ඉකුත් සදුදාය."සජිත්ල අපි වරදකාරයෝ හැටියට හදුන්වලා රට වටෙිම බොරු කියා ගෙන ගියා.ඒ පක්ෂය හැදුවෙි අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් කීවා.නමුත් අධිකරණය ඒ අය කියන දේ පිළිගත්තේ නැ.අපි මේ පක්ෂය ආරක්ෂා කර ගන්න ඕන.දිගු කාලයක් අපිත් එක්ක එකට වැඩ කරපු මේ අය එජාපයෙන් ඉවත් කරන එකට හිත හදා ගන්න ලෙහෙසි නැ. නමුත් පක්ෂයේ විනය රැක ගන්න ඕන.
ඒ නිසා අපිත් එක්ක හිටපු මන්ත්‍රීවරු පනස් හතරක් හා පළාත්පාලන නියෝජිතයෝ හැට එක් දෙනෙකු එජාපයෙන් ඉවත් කරන්න වෙනවා"රනිල් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී කිවෙි හැගීම් බරවය." මේ අයට අමතරව තවත් අය ගැනත් අපිට පැමිණිලි ලැබිල තියෙනවා. අපි ඒ අය ගැනත් පරික්ෂණ කරනවා.ඉවත් කරන පළාත් පාලන ආයතනවල නියෝජිතයන් වෙනුවට අලුත් අය නම් කරන එක මැතිවරණයෙන් පස්සේ අපි කරනවා" යැයි ද රනිල් කීවේ ඔහු ගේ දැස් අග ඇඟිලි තුඩුවලින් පිස දමමින්ය.
සඳුදා එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ රැස්වීමට පැමිණි එජාප ප්‍රබලයන් අතරේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක් සජිත් අවභාවිත කර තිබෙන බවට පරික්ෂණයකින් හෙළිවී තිබීම ගැනද කතාබහක් ඇති විය."මේක බරපතළ කේස් එකක්.
පරික්ෂණ හරියට කරල චෝදනාව ඔප්පු වුණොත් මන්ත්‍රී ධුරයත් අහිමි වෙන්න පුළුවන්" මහනුවර මහේෂ් සේනානායක මෙහිදී කීවේය."මේ අරමුදලේ රුපියල් මිලියන 80ක් සජිත් පසුගිය ජනාධිපතිවරණයටත් වියදම් කරලාලු. මේ මුදල් වියදම් කරන්න නියමිත ක්‍රමයට අනුමැතිය අර ගෙනත් නෑ කියලනේ කියන්නේ. මෙකෙන් නිලධාරීනුත් අමාරුවේ වැටෙනවා" සජිත් කීවේ මුවඟට නඟාගත් සිනාවක්ද සමඟය.