රවී- නවීන් පළා යති | සිළුමිණ

රවී- නවීන් පළා යති

සිනමාව, රූපවාහිනිය මෙන්ම සංගීත සංදර්ශන වේදිකාවේ සිට දේශපාලන වේදිකාවට පැමිණි ආන්දෝලනාත්මක චරිතයක් වූ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඉකුත් සතියේ සිරගත කෙරිණි.

මෙහිදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට බරපතළ වැඩ සහිතව අවුරුදු හතරක සිර දඬුවමක් නියම කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එලෙස සිර දඬුවමක් හිමි වූයේ නම් ඔහුට සිය මන්ත්‍රී ධුරය අහිමි වනු ඇත. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති ගෙන හැර පාමින් නීතිඥයෝ විවිධ වූ තර්ක විතරක් මතු කරන්නට පටන්ගෙන තිබේ.

නීතිවේදීන් ද අදහස් ප්‍රකාශ කරමින් නොයෙක් තර්ක ඉදිරිපත් කරති.

සිර දඬුවමකට ලක්වූ රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහිමි වන්නේ මාස හයකට පසුව බව එක් නීතිවේදීහු කණ්ඩායමක් පවසති.

සිර දඬුවම නියම වූ දා පටන් මන්ත්‍රී ධුරය දැරීමට දඬුවම් ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පත්වන බවට තවත් නිතිවේදීහු පිරිසක් පෙන්වා දෙති.

මෙය කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඇ) වගන්තියට අනුව ඡන්දදායකයෙකු වීමට ඇති නුසුදුසුකම් සඳහන් කර තිබේ.

කිසියම් පුද්ගලයකු වසර දෙකට වැඩි කාලයක් දඬුවම් ලැබිය යුතු වරදකට වරදකරුවකු වී මාස හයකට වැඩි කාලයක් බන්ධනාගාර ගතව එම දඬුවම විඳිමින් සිටියේ නම් ඔහුට ඡන්ද අයිතිය අහිමි වන බවයි.

එලෙසම දඬුවම අවසන් වූ දිනයේ සිට තවත් වසර හතක කාලයක් යන තුරු ඔහුට ඡන්ද අයිතිය අහිමි වන බව ද සඳහන් වේ. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට තිබෙන නුසුදුසුකම් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. වසර හතකට පෙර කාලයකදී ඉහත සඳහන් දඬුවම් සම්පූර්ණයෙන් විඳ ඇත්නම් එම පුද්ගලයාට පාර්ලිමේන්තු ධුරය අහිමි වෙනවා.

ඒ අනුව එවැනි පුද්ගලයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තෝරා ගැනීමට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය පාවිච්චි කිරීමට හෝ නුසුදුස්සන් වන්නේ ද යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර තිබේ යැයි නීතිඥවරු පෙන්වා දෙති.

රන්ජන් රාමනායකට සිර දඬුවම නියම වූයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවටය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවැනි වරදකට වරදකරුවී ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි ය. ඉන්පසුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත එස්. බී. දිසානායක ද බන්ධනාගාරගත වූයේය.

රන්ජන් රාමනායකට දේශපාලන අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා වසර 11 ක් සිටිය යුතු බව නීතිවේදීහු පෙන්වා දෙති.

සිර දඬුවමට වසර 4 ක් සහ ඉන් නිදහස්ව තවත් වසර 7 ක් ලෙස එම වසර 11 ගෙවීමට රන්ජන්ට සිදුවනු ඇති බවත් ඔහුට දේශපාලන අයිතිවාසිකම් නොලැබෙන බවත් නීතිවේදීහු වැඩිදුරටත් පෙන්වා දෙති.

සිරදඬුවම් විඳින පුද්ගලයකුට ජනාධිපති සමාව දිය හැකිය.

ජනාධිපතිවරයා කොන්දේසි රහිතව සමාව ලබා දුන්හොත් සිර දඬුවම් විඳි පුද්ගලයකුට වුවද නැවත දේශපාලනය කළ හැකි බවද පැවසෙයි.

කෙසේ වෙතත් මේ වන විට සමගි ජන බලවේගයේ මෙන්ම තවත් දේශපාලන පක්ෂ කිහිපයක ප්‍රධාන මෘතෘකාව බවට පත්වී ඇත්තේ රන්ජන් සිරගත කිරීමේ සිද්ධියයි. සිර දඬුවම ලැබීමෙන් පසුවද රන්ජන් රාමනායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට තවත් නඩු විස්සකට අධික සංඛ්‍යාවක් ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු රජයේ මැති ඇමතිවරුන්ට ඉකුත් සතිය පුරාවටම දැඩි විවේචන එල්ල විය.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට පවරා දීමට රජය පියවර ගන්නා බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අවස්ථා ගණනාවකදීම මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මේ ජැටිය දැනටමත් ඉන්දියානු සමාගමකට ලබාදී ඇති බවයි.

එහෙත් රජයේ ඇමතිවරුන් දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ තම රජය කිසිවිටක මෙම ජැටිය ඉන්දියාවට හෝ වෙනත් කිසිම රටකට හෝ සමාගමකට බදු නොදෙන බවයි.

වරාය වෘත්තීය සමිති දිගින් දිගටම රජයට විරෝධතාව පළකරමින් මෙම ක්‍රියාවලිය නතර කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂගෙන් ද විෂය බාර ඇමති රෝහිතගෙන් ද ඉල්ලීම් ගණනාවක් කරනු ලැබුවේය. මෙයට අමතරව ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු පිරිසක් රජය දැඩි විවේචනයට ලක් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉකුත් බදාදා වරාය වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ සාකච්ඡාවක් සිදු කළහ.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෘත්තීය සමිති නියෝජිතයන්ට පවසා ඇත්තේ නැගෙනහිර පර්යන්තය කිසිසේත් විකුණන්නේ නැති බවයි.

සෑම ආයෝජනයක්ම රටේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය සුරැකෙන අයුරින් සිදු කරන බවත්; ආයෝජනයෙන් පසු පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරෙන බවත්; ඕනෑම අවස්ථාවක වෘත්තීය සමිතිවලට සිය යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇති බවත් මෙහිදී ජනාධිපතිවරයා වෘත්තීය සමිති හමුවේ අවධාරණය කළේය.

ඉකුත් 14 වැනිදා පෙරවරුවේදී ආසියානු බොදු සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී පැවැත්වුණි.

එදිනම පස්වරුවේ දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන්” පුද්ගලික සමාගම ජනාධිපතිවරයා අතින් හොරණ ප්‍රදේශයේදී විවෘත කෙරිණි.

කොරෝනා බිය ශ්‍රී ලංකාව තුළම ව්‍යාප්ත වෙමින් තිබෙන මොහොතේ පාර්ලිමේන්තුවට ද තර්ජනයක් බව ඉකුත් සතියේදී සනාථ වූයේ මැති ඇමතිවරු මෙන්ම ලේකම්වරුන් කිහිප දෙනෙකුම කොරෝනා රෝගයට ගොදුරු වීමත් සමඟය.

දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර සහ රාවුෆ් හකීම් යන පාර්ලිමේන්තු සාමාජිකයන් ප්‍රථමයෙන් කොවිඩ් රෝගීන් බවට හඳුනා ගැනිණි.

මීට අමතරව පාර්ලිමේන්තු සංකීර්ණය තුළ සේවය කරන ලේකම්වරුන්, ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු තවත් සේවකයන් කිහිපදෙනෙකුටම කොරෝනා රෝගය වැලඳී ඇති බවට තහවුරු විය.

ඒ අනුව මැති ඇමතිවරු ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ඉකුත් සතියේ පීසීආර් පරීක්ෂණයට ලක් කෙරිණි.

මේ වන විට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන්නේ සතියක් හැර සතියක්ය. ඒ අනුව ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත. එහෙත් ඊට පෙර පැවැත්වෙන පක්ෂ නායක හමුවද මේ වන විට කල්දමා තිබේ.

ලබන සතියේ පාර්ලිමේන්තුව පැවැත්වීම පිළිබඳව තවමත් ස්ථිර වශයෙන් කිව නොහැකි තත්ත්වයක් ද උද්ගතව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් සතියේ මාධ්‍ය ආයතන කිහිපයක ඉහළ නිලධාරීන් කැඳවා සාකච්ඡාවක් කළේය. නව මැතිවරණ කොමිසම ස්ථාපිත කිරීමෙන් පසුව මාධ්‍යවේදීන් සමඟ පැවැත්වූ පළමු සාකච්ඡාවේදීම පළාත් සභා සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.

“පළාත් සභා කියන්නේ මැතිවරණ නීතියේ තිබෙන දෙයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව පළාත් සභා තියෙනවා.

ආණ්ඩුකාරවරුන් යටතේ ඒවා ක්‍රියාත්මක වෙනවා. මෙතැන නැත්තේ මහජන නියෝජිතයන් පමණයි.

ඉතා ඉක්මණින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි.

ඒ සඳහා පවතින නීති ගැටලු විසඳා ගතහොත් තමන් පළාත් සභා තියන්න සූදානම් යැයි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ සඳහන් කළේය.

ඉකුත් සඳුදා සවස පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී නොපවත්වා ඒ වෙනුවට වීඩි‍යෝ තාක්ෂණය මඟින් පැවැත්වීමට රජය තීරණය කළේය. ඊට හේතු වූයේ ඇමතිවරුන් දෙදෙනෙකුටම කොරෝනා රෝගය වැලඳී තිබීමය.

ඒ අනුව කැබිනට් මණ්ඩලය සඳුදා සවස 5.00 ට පමණ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි.

ඇමති ඩලස් මෙවර ඔන්ලයින් කැබිනට් රැස්වීමට සම්බන්ධ වූයේ ඔහුගේ ජංගම දුරකථනය ඔස්සේය.

ඩලස් දුරකථනය අල්ලා ගෙන සිටි ආකාරය නිසා අනෙක් ඇමතිවරුන්ට පෙනුණේ ඔහුගේ මුහුණ වෙනුවට නළලය. මේ අතර ඩලස් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් සාකච්ඡාවට ගැනිණි.

“කෝ ඇමතිතුමා ඉන්නවා නේද” ජනාධිපති ගෝඨාභය විමසුවේය.

“එතුමාගේ නළල නම් පේනවා” ඇමති විමල් කීවේය.

“සමාවෙන්න මම මේ දුරකථනයෙන් සම්බන්ධ වෙලා ඉන්නේ.” ඩලස් කීවේය. ඒ කියන අතරතුර ඩලස් තමන්ගේ දුරකථනය අල්ලාගෙන සිටින ඉරියව්ව වෙනස් කරමින් ඇමති සගයන්ට ඉණ පෙන්වන්නට උත්සාහ ගත්තේය.

“දැන් හරිද” ඩලස් ඇසුවේය.

“හරි හරි විජේවීර අල්ල ගත් කාලේ වගෙයි. හැබැයි මූණ නම්” විමල් කීවේය.

ඇමති ජී.එල්. මෙවර කැබිනට් මණ්ඩලයට පාසැල් නිල ඇඳුම් ලබාදීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

“ඉස්කෝලේ පටන්ගන්නවාත් සමඟම නිල ඇඳුම් ලබාදීම කරන්න ඕනෑ. මේ කොරෝනා ප්‍රශ්නය ඒකටත් බලපෑවා.” ජී.එල්. කීවේය.

“දේශීය කර්මාන්තකරුවන් ඉදිරිපත් වෙලා තිබෙනවා මේ නිල ඇඳුම් දෙන්න. මේක හැකි ඉක්මණින් දෙන්න” ජනාධිපති ගෝඨාභය කී‍වේය.

“අපි උත්සාහ කළා ජනවාරි 15 වෙන‍කොට මේක දෙන්න. ඒ අය කියන්නේ 31 වැනිදා වන විට දෙන්න පුළුවන් කියලා” විමල් පැහැදිලි කළේය.

“මේක නිසි ක්‍රමවේදයකට කරන්න ඕනෑ. අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා” ජනාධිපතිවරයා කීවේය.

“අධ්‍යාපන අමාත්‍යාංශයයි කර්මාන්ත අමාත්‍යාංශයයි මේ ගැන ඒකාබද්ධව වැඩපිළිවෙළක් හදනව නම්” විමල් කීවේය.

“වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් සාකච්ඡාවට ගත් අවස්ථා කිහිපයකදීම එය සාකච්ඡා කිරීමට නොහැකි වූයේ තාක්ෂණික දෝෂයක් නිසා ලොකුගේ ගේ හඬ කැබිනට් මණ්ඩලයට ඇසෙන්නේ නැති නිසයි.

මේක ගන්න කොටම‍ෙන් සද්දේ නැතිව යන්නේ.” විමල් කීවේය.

“බන්දුල ඇමතිතුමා ළඟපාතක ඉන්නවාද දන්නේ නැහැ. එයා මොනවා හරි කරලා ඇති සද්දේ නොඑන්න” ඇමති මහින්දානන්ද විහිළුවක් කළේය.

“මම ළඟ හිටියා නම් උදවු කරනවානේ” ඇමති බන්දුල කීවේය.

කීපවතාවක්ම ගාමිණි ලොකුගේ ඇමතිවරයා තාක්ෂණික දෝෂය මඟහරවා ගන්නට උත්සහ දැරුවත් එය සාර්ථක වූයේ නැත.

“ඇමතිතුමා වෙනුවෙන් මම පැහැදිලි කරන්නම්” කියමින් බන්දුල වහා ඉදිරිපත්ව කැබිනට් පත්‍රිකාව ගැන කරුණු ඉදිරිපත් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායකයා සිරිකොත පක්ෂ මූලස්ථානයට ඉකුත් බදාදා පැමිණියේ කලින් තීරණය කරගත් පරිදි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වීමටය.

ඔහු කාර්යාලයට යද්දී මුණගැසුණු පක්ෂයේ ශ්‍රේෂ්ඨයකු වන ජෝන් අමරතුංග සමඟ සිය කාර්යාලයට ගියේ තනතුරු සම්බන්ධයෙන් කතා කිරීම සඳහාය.

පක්ෂ ඇබෑර්තු පිරවීම සම්බන්ධයෙන් කතාබහ කරමින් සිටියදී එම ස්ථානයට රවි කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග, ලක්ෂ්මන් විජේමාන්න යන පිරිස ද එක්වූහ.

ඔවුනට අසුන් පෙන්වූ නායකයා රවි කරුණානායකගෙන් විමසා සිටියේ පක්ෂ උපනායක තනතුරේ දිගටම කටයුතු කරනවා නේද යනුවෙනි.

“මම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්. මට උපනායක ධුරය අවශ්‍ය නැහැ. මට වැඩක් කරන්න පක්ෂ ලේකම් ධුරය දෙන්න” රවී නායකයාගෙන් ඉල්ලීමක් කළේය.

“මේ වෙලාවේ පක්ෂ මහලේකම් ධූරය ඔබට දීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. ගමේ කෙනෙකුට පක්ෂ මහලේකම් ධුරය දිය යුතුයි කියා ඉල්ලීමක් තියෙනවා.

එමනිසා දැනට ඔබ උපනායක ධුරයේ ඉන්න. අපි හැමෝගෙම අරමුණ අපේ ජනාධිපති කෙනෙක් පත්කර ගැනීම නිසා ඉන් පස්සේ අපි තනතුරු ගැන කතා කරමු” රනිල් කියද්දී ජෝන් ද එය අනුමත කළේය.

එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ රවී මහලේකම් කම දෙන්නේ නැතිනම් මට මෙතැන ඉඳලා වැඩක් නැහැ මම එළියට ගිහිල්ලා මට වුණු අසාධාරණය ගැන මාධ්‍යයට කියනවා. මෙහෙම පක්ෂයට ඉදිරියට යන්න පුළුවන්ද?” යැයි කියමින් නායකයාගේ කාමරයෙන් වේගයෙන් පිටවී ගියේය.

“ජාතික සංවිධායක ධූරය ගැන ඔබට ප්‍රශ්නයක් නැහැනේ” රනිල් නවීන්ගෙන් ඇසවේය.

“මට ඒ ගැන දැන්ම හරියට කියන්න බෑ මම ලබන සතියේ කියන්නම්” නවීන් කීවේය.

“ඔබට උප සභාපතිකමක් දෙන්න යෝජනාවක් තියෙනවා. ඒ ගැන ගැටලුවක් නැහැ නේද? රනිල් අර්ජුනගෙන් ඇසුවේය.

“මම ඒ ගැන පසුව කියන්නම්” කියූ අර්ජුන ඉන් පිටව ගියේය.

“මමත් යනවා යන්න” යැයි පවසමින් ලක්ෂ්මන් විජේමාන්න ද ඉන් පිටව ගියේය.

“අපිට තිබෙන්නේ ඡන්ද ලක්ෂ දෙක හමාරයි. ඒක වැඩි කරගන්න කවුරුත් කතා කරන්නේ නැහැ. ඔක්කොමලාටම නායක පිස්සුවක් හැදිලා” යැයි ජෝන් අමරතුංග කියද්දී රනිල් මහ හඬින් සිනාසුණේය.

කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වීමට කාලය පැමිණ ඇති බව මතක් කළේය. ඒ අනුව ඔවුන් රැස්වීම ආරම්භ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව නායක ධුරය හැරුණු කොට සෙසු සියලු තනතුරු දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වේ.

එදිනට පෙර තනතුරු පත්කිරීමට අපහසුවක් ඇත්නම් මාර්තු 31 වැනිදා දක්වා කල් ගැනීමට ව්‍යවස්ථාවෙන් බලය ලබාදී තිබේ.

මෙවර එලෙස කාලය දික්කර නොගත් පක්ෂ නායකයා ප්‍රකාශ කර තිබුණේ ඊළඟ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී තනතුරු පත්කර ගන්නා බවයි.

නායකයා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ගියේ ඇබෑර්තු පිරවීම අරමුණු කර ගනිමිනි. ඉන්පසු ඔවුන් ඇමතූ රනිල් පක්ෂ ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලයට ප්‍රකාරව පක්ෂයේ සභාපති ධුරය වජිර අබේවර්ධන, මහලේකම් ධුරය පාලිත රංගේ බණ්ඩාරත්, භාණ්ඩාගාරික ධුරයට මිස්බා සෆාර් පත්කර බව අවධාරණය කළේය.

ඊට කිසිදු විරෝධයක් එල්ල නොවීම හේතුවෙන් එම පත්කිරීම් ඒකමතිකව අනුමත විය.

පක්ෂ නියෝජ්‍ය නායක ධුරයට සඳ රුවන් විජයවර්ධන පත්කරන බවත් උපනායක ධුරයට අකිල විරාජ් කාරියවසම් පත්කරන බවත් පක්ෂයේ උපසභාපතිවරුන් ලෙස ඩී.එම්. ස්වාමිනාදන්, දයා ගමගේ, සාගල රත්නායක සහ සුනේත්‍රා රණසිංහ අය පත්කරන බවද නායකයා කීවේය.

පක්ෂයේ පරිපාලන ලේකම් ලෙස අනෝමා ගමගේ ද නියෝජ්‍ය මහලේකම් ලෙස නාලක කොලොන්නේ ද පත් කෙරිණි.

පර්යේෂණ හා ප්‍රතිපත්ති සංවර්ධන අංශයක් පිහිටුවිය යුතු බවට තමන් යෝජනා කරන බවත් එහි ලේකම් ධුරයට ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු පත්කරන බවත් රනිල් සඳහන් කළේය.

සමගි ජන බලවේගයට ඉකුත් සතිය අභියෝගාත්මක දේශපාලන සතියක් විය.

ඉකුත් සති අන්තය වන විට හරීන් ප්‍රනාන්දු සම්බන්ධව පක්ෂය දැඩි අවධානයක් යොමු කර තිබුණි.

සති අන්තයේ මහනුවර බලා පිටත්ව ගිය විපක්ෂ නායක සජිත් නුවර දක්වා යන තුරු කතාබහ කළේ මන්ත්‍රීවරුන‍්ගේ අදහස් ඉදිරිපත් කිරීමේදී නිදහසට එල්ල වන බාධා පිළිබඳවය.

“අපි මේ සම්බන්ධයෙන් පක්ෂයක් විදියට කඩිනම් පියවර ගන්න ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රීව‍රුන්ට මෙහෙම නම් සාමාන්‍ය ජනතාවට මඟතො‍ටදීවත් කතා කරන්න කටක් අරින්න නිදහසක් ලැබෙන්නේ නැහැ” සජිත් නිරන්තරයෙන් හරීන් සමඟ කතාබහ කරමින් අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

“හරීන් ඒ කතාව කළේ පාර්ලිමේන්තුවේදී. අනික ජනාධිපතිගේ නම කීවේ. ඒකට කේන්ති ගන්නේ මොකටද?” කබීර් කීවේය.

“මේ රටේ ඉන්න හැම නායකයකුටම නම් වලින් කතා කරලා තිබෙනවා. ඩඩ්ලි කීවා, සිරිමා කීවා, ජේ.ආර්. කීවා” රාජිත කීවේය.

“ඒ විතරක්ද ජේ.ආර්. මරමු කියලා ෆෝස්ටර් ගැහැව්වා. මෛත්‍රී මැරෙන දවස පවා සමහරු කීවා” මහලේකම් රංජිත් කීවේය.

Comments