
මෙවර ජනාධිපතිවරණය සම්බන්ධව ඔබ දරන්නේ කුමන මතයක්ද?
ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද මේ වන විට රටේ සියලු දෙනා මේ පිළිබඳව සිය අවධානය යොමු කර සිටින්නේ. ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කළ යුතුයි කියන ඒක මගේ මතයයි. මේ සඳහා මා මෙන්ම තවත් බොහෝ පිරිසක් සිටිනවා.
අපි පක්ෂ මාරු නොකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් බොහෝ කැප කිරීම් කළ පිරිසක්. අපි අදත්, හෙටත් මේ පක්ෂය දාලා යන්න කැමති නැහැ. ඒ නිසා මා තරයේ විශ්වාස කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයට තරග කළ යුතුයි කියලා.
ඇතැම් අය දඟලනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කරන්න. විනාශ කරන්න. මෙන්න මේ නිසා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වශයෙන් අපට යුතු කමක් තිබෙනවා මේ පක්ෂය රැකගෙන අනාගත පරපුරට බාර දෙන්න.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එක්ව තරග වදිනවාට ඔබ විරුද්ධයි නේද? කුමක්ද එයට හේතුව?
ඔව් මම විරුද්ධයි. මොකද මම කැමති නැහැ දශක ගණනක් පැරණි මේ රටට මහා සේවාවක් කරපු අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති වෙනවාට. ඒ නිසා මම මේ පක්ෂ දෙක එකට තරග කරනවාට කැමති නැහැ.
මම කවදාකවත් පොහොට්ටුවේ සාමාජිකයෙක් වෙන්නේ නැහැ. වෙනත් මන්ත්‍රීවරුන් වගේ දැනට සාමාජිකත්වය අරගෙනත් නැහැ. මම ඒකාබද්ධ විපක්ෂයෙන් එළියට ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමේ අරමුණෙන්. ඒ අරමුණ වෙනුවෙන් මම මගේ ඉදිරි දේශපාලන කටයුතු සිදු කරනවා.
යහපාලන ආණ්ඩුව වැරදි සිදු කරන කොට අපි නොබියව ඒවාට විරුද්ධ වුණා. ඒකාබද්ධ විපක්ෂය නිර්මාණය වෙන්නේ ඒ නිසයි. ඒකාබද්ධ විපක්ෂයට එක් වෙලා අපි මේ රට වෙනුවෙන් හඬක් නැගුවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය ගන්නා වැරදි තීරණ නිවැරදි කරා අද මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුව නියෝජනය කරන වැඩි පිරිසක් ඔබ සමඟ දේශපාලනය සිදු කරන පිරිස්. ඔබ ඔවුන් සමඟ විරසක වීමට හේතුව කුමක්ද?
ඇත්තටම මම වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැඩි විරෝධතාවයක් පෑවා 2015 වසරේදී. ඒකට හේතුව තමයි එතුමා එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වී ආණ්ඩුවක් පිහිටු වීම. එහිදී මම එතුමාගෙන් ඉවත් වුණේ දැඩි විවේචනයක් ද සිදු කරමින්. එදා මා කීව දේ අද ඔප්පුවෙලා තිබෙනවා. එජාපයත් සමඟ යහපාලනයක් සිදු කරන්නට නොහැකි වුණා. අද ජනාධිපතිවරයා මේ බැව් හොඳින් දන්නවා.
ඇත්තටම ඒ කාරණාවෙන් පසුව තමයි ඒකාබද්ධ විපක්ෂය කියලා එකක් ආරම්භ වුණේ.
එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ගමනට ශක්තියක් ලබා දීම සඳහා එම පක්ෂයට සම්බන්ධ වන ලෙස එ.ජා.පය ඔබට ආරාධනා කර තිබෙනවාද? ඔබ එයට සහාය දෙනවාද?
ඇත්ත වශයෙන්ම මෙතෙක් එහෙම කිසිඳු ආරාධනාවක් ලැබී නැහැ. එවැනි ආරාධනාවක් ලැබුණත් මම කිසිම දාක එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙන්නේ නැහැ. මගේ දේශපාලනය ප්‍රතිපත්ති ගරුක එකක්. ඒ මේ අතට පනින පුරුද්දක් මට නැහැ. අන්න ඒ නිසා තමයි මම පොහොට්ටුවේ සාමාජිකත්වය පවා ලබා නොගන්නේ. මොකද මම නියම ශ්‍රී ලංකාකාරයෙක්. ශ්‍රී ලංකාකාරයා කවරදාකවත් තමන්ගේ පක්ෂය පාවා දීලා පක්ෂය මාරු කරලා ඒක විනාශ කරන්න කටයුතු කරන්නේ නැහැ.
මාධ්‍ය වාර්තාවලින් පැවසෙනවා ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන බවට. ඇත්තක්ද මේ ප්‍රචාරය?
දැනට පක්ෂයෙන් මට එවැනි ආරාධනාවක් ලැබී නැහැ. නමුත් මම නැවත නැවත කියන්නේ අපගේ පක්ෂය රකින්න අවශ්‍ය නම් අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුයි කියලයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඔබ මේ පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවාද?
අවස්ථා ගණනාවකදීම මම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළා. ඔබතුමා හෝ වෙනත් පුද්ගලයෙකු ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන ලෙසට එලෙස ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙකුට මම උපරිම සහයෝගය ලබා දෙන බවද පවසා සිටියා.
ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඔබව ඉදිරිපත් කරන්නැයි ඔබ ජනාධිපති ෛමත්‍රීපාල මහතාගෙන් ඉල්ලීමක් කර නැද්ද?
මම ජනාධිපතිවරයා සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කරා අපි නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරමු කියලා. කවුරුත් ඉදිරිපත් වන්නට අකමැති නම් මා ඒ සඳහා ඉදිරිපත් වීමට සූදානම් බවද ප්‍රකාශ කර සිටියා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් නොමැති බවට බොහෝ වේදිකාවල පැවසෙනවා. මෙය ඔබලාට අභියෝගයක් නේද? කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්නේ?
ඇත්තටම අභියෝගයක් නැහැ. අපි එකතු වෙනවා නම් පක්ෂය රැක ගන්න පක්ෂයෙන් ඉවත් වූ අය අපට සම්බන්ධ විය යුතුයි.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට නොයෙක් අභියෝග එල්ල වුණු අවස්ථා තිබුණා. ඒ සියල්ල ජයගත් පක්ෂයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ. අපි මේ පක්ෂය රැක ගන්න කටයුතු කරනවා. ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ප්‍රබලම දේශපාලන පක්ෂය බවට පත් කරන අභියෝගය අපට ජයග්‍රහණය කළ හැකියි.
අදටත් මේ රටේ ජනාධිපතිවරයා නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මේ රටට ජනාධිපතිවරුන්, අගමැතිවරුන් බිහි කරපු ජනතාවගේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. රටට ආදරය කරන, රට රකින නායකයින් බිහි වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්.