
වනාන්තර ගිනි තැබීම් හා ගිනි ගැනීම් වළක්වා වනපෙත් සුරක්ෂිතව තබා ගැනීමට පරිසර අමාත්‍යාංශය මගින් ගෙන තිබෙන වැඩපිළිවෙළ කුමක්ද?
ගිනි ගැනීම් හේතු දෙකක් නිසා ඇතිවෙනවා. පළමුවැන්න පාරිසරික ක්‍රියාකාරකම් නිසා; දෙවැන්න මිනිස් ක්‍රියාකාරකම් නිසා. මේවා ලෝකයේ බහුලව දක්නට ලැබෙන ගැටලු. පසුගිය දිනවල ඇමේසන් වනාන්තරයේත් මෙවැනි ගිනි ගැනීම් තුන් දාහකට වඩා පවතින බවට තොරතුරු වාර්තා වුණා. මේ ගිනි ගැනීම් වැළැක්වීම සඳහා අපි ෆයර් බෙල්ට් (Fire Belt) එහෙමත් නැතිනම් ගිනි පටි සකස් කරනවා.
මේ මඟින් ගින්නක් ඇති වූ විට එය සියලුම වනාන්තර කරා ව්‍යාප්ත වීම වළකිනවා. ඒ වගේ ම වොච් හට් (Watch Hut) හැදීමටත් බලාපොරොත්තු වෙනවා. වනයේ කොතනක හෝ ගිනි ගැනීමක් සිදුවෙනවා නම් ඒ ගින්න මේ මඟින් නිරීක්ෂණය කර අදාළ ක්‍රියාමාර්ග කඩිනමින් ගන්න පුළුවන්. වනාන්තර ගිනි ගත් පසු හැකි ඉක්මනින් ගින්න නිවා දමා පසුව ඒ විනාශ වූ ප්‍රදේශවල වන වගාව තමයි කරන්න තියෙන්නේ.
කැලෑ ගිනිගත් ප්‍රදේශවල අලුතින් පැළ සිටුවීමේ ව්‍යාපෘති මේ වනවිට ක්‍රියාත්මක වෙනවාද?
ඔව්! ක්‍රියාත්මක වෙනවා. ඒත් ගැටලුව තියෙන්නේ ගිනි ගන්න ප්‍රමාණයට අනුව අලුතින් පැළ සිටුවීමට අපිට ආර්ථික වශයෙන් හයියක් නෑ. දැනට හොයාගෙන තියනවා විවිධ විපත් නිසා හෙක්ටයාර් අනූපන්දහසක යළි වන වගාව සිදු කළ යුතු බව. වගා කරලා විතරක් බෑ. වගාව වසර හතරක් යනතුරුවත් බලා ගන්න ඕනෑ. ඒ සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ හතරක්වත් යනවා. මේ හෙක්ටයාර් අනූපන්දහසේ පැළ සිටුවීමට විශාල මුදලක් වැය වෙනවා. පැළයි, සල්ලියි තියනවා නම් හෙට වුණත් වගා කරන්න පුළුවන්.
විවිධ සංවිධාන මේ වන වගාව සඳහා ආධාර උපකාර කරන්න ඉදිරිපත්වී තිබෙනවාද?
මේ වනවිට ලංකා බැංකුව හෙක්ටයාර් සීයක් වගා කරන්න බාර අරන් තියනවා. අපිත් සමඟ ගිවිසුම්ගතව ඊට එකඟවී තිබෙනවා. මේ වවන වනය වසර තිස් පහක් යනතුරු කිසිදු හේතුවක් නිසා කපන්න බෑ. දැනට හබරණ කැලේ හෙක්ටයාර් සීයක් වගා කරනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් හෙක්ටයාර් හාරසිය පණහක් වගා කිරීමට ගිවිසුම් මේ වනවිට සකස් කරමින් පවතිනවා. කැලණිය විශ්වවිද්‍යාලය මඟින් හෙක්ටයාර් එකසිය දහයක් වගා කරන්න ලෑස්තියි. ඒ වගේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට අපි ආරාධනා කරනවා. මේ උතුම් කාර්යයට අප හා අත්වැල් බැඳ ගන්නා ලෙස. කැළේ ගිනි තියනවා, කපනවා වගේ යළි ගස් සිටුවීම ලේසි පහසු වැඩක් නොවේ. ඒක දුෂ්කර වැඩක්. මිලියන ගණනින් පැළ ඕනෑ; ඒ වගේ ම මුදල් ඕනෑ.
එංගලන්තයෙන් ලංකාවට ගෙනා කුණු කන්ටේනර් යළි ඒ රටට ම යවන බව කීවත් තවම එවැන්නක් සිදුව නෑ. මේ පිට රටින් ගෙන්නූ කුණුවල වත්මන් තත්ත්වය කෙබඳු ද?
මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් තිබෙනවා. ඒ නඩුව අනුව අදාළ අධිකරණ ක්‍රියාමාර්ග සිදුවෙනවා.
මේ කුණු දැන් කොහෙද තියෙන්නේ.
අදාළ තීරණ ලැබෙන තුරු ඒ තිබුණු තැන්වලම සීල් තියලා ඒවා තවමත් තියෙනවා. ඒවා අවිධිමත් ලෙස බැහැර කරන්න අපි ඉඩ ලබා දෙන්නේ නෑ.
මධ්‍යම පරිසර අධිකාරියටත් චෝදනා එල්ල වුණා, මේ කුණු කන්ටේනර් ගණන් ගෙන්නද්දී මධ්‍යම පරිසර අධිකාරිය කොහෙද හිටියේ කියලා.
මෙතන ප්‍රශ්නය තියෙන්නේ පසුගිය රජය කාලේ ‘හබ් ලෙගියුලේෂන්’ කියලා පනත් පාස් කරලා තියනවා. එමඟින් කියන්නේ වෙළෙඳ කලාපවල තියන ආයතනවලට සාමාන්‍ය නීතිවලට පිටින් මේ වගේ දේවල් ගේන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙනවා මේ ගෙන්වන සියලු ම දේ ප්‍රතිඅපනයනය විය යුතුයි කියා. වෙනත් රේගු ආඥා පනත් ඊට අදාළ නෑ. පසුගිය රජය ඒ සියල්ල ඉවත් කර තමයි මෙය සම්මත කරලා තියෙන්නේ. හැබැයි බී.ඕ.අයි. එකේ වැරැද්දක් තියනවා; ඒ නිලධාරි මහතුන් මේ ක්‍රමය පරිසර අමාත්‍යාංශයෙන් විමසන්න ඕනෑ, එය පරිසරියට හිතකාමී ද කියා. ඊට අපේ නිර්ණායක ගන්න ඕනෑ. මෙතනදී අපේ නිර්ණායක අරන් නෑ. ඒ නිසා එතන ප්‍රශ්නයක් තියනවා. මේවා ගෙන්නන කර්මාන්තය මොකක්ද කියලා වෙළෙඳ කලාපය විමසන්න ඕනෑ. පනතෙන් රිංගලා තමයි මේවා ගෙන්නලා තියෙන්නේ අපිවත් දැනුවත් නොකර.
මේවා ගෙන්වපු අයට නීත්‍යානුකූල පියවරක් ගන්නවද?
ඔව් දැනටමත් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතිනවා.
ජනපතිවරණය දැන් ආසන්නයටම ඇවිත් තිබුණත් එජාප ජනපති අපේක්ෂකයා තවම නම් කර නැත්තේ ඇයි? පක්ෂයේ අර්බුද නිසා ද?
පක්ෂයේ අර්බුද නැත්තෙ නෑ; තියෙනවා. අපේක්ෂකයා තවම නම්කර නැත්තේ අර්බුද විසඳගන්න බැරි නිසා නෙවෙයි. සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය තමයි මැතිවරණයක් ප්‍රකාශයට පත් කළාට පසුව හෝ ඒ එක්කම තමයි අපේ අපේක්ෂකයා තෝරන්නේ. අපි ප්‍රමාද නෑ. නමුත් ගැටලු තියෙනවා. පොහොට්ටුව කියන්නෙ ඒකාධිපති තීන්දු තීරණ ගන්න පක්ෂයක්. ඒ අයට තියන එක ම දේ රාජපක්ෂ කියන වාසගම තියෙන්න ඕනෑ. මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ කෙනෙක් වෙන්න ඕනෑ; ඥාතියෙක් වෙන්න ඕනෑ. කවුද මැතිවරණයට ඉල්ලන්නේ කියලා තීන්දු කරන්නේ මහින්ද රාජපක්ෂයි.
ඒක බොහෝම සරල ක්‍රමයක්. අපිට එහෙම කරන්න බෑ. එජාපය පවුලකට සීමාවෙලා නෑ. අපේ සාමාජිකයෙක් හැම කෙනෙකුට ම අයිතියක් තියනවා ජනපති අපේක්ෂකයෙක් ලෙස පත්වෙන්න. ඒ තුළ බලය පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවෙනවා. බල අරගලයක් ඇති වෙනවා. මහින්ද මහත්තයාලගේ පක්ෂයේ බල අරගලය තියෙන්නේ පවුලේ උදවිය අතර පමණයි. අනික් අය ඉල්ලන්න ඕනෑ කිව්වට වැඩක් නෑ. නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා ඡන්දෙ ඉල්ලන්න ඕනෑ කිව්වට වැඩක් නෑ. එයා රාජපක්ෂ කෙනෙක් නෙවෙයි. දිනේෂ් ගුණවර්ධන මහත්තයාට ජනපතිවරණයට එන්න ඕනෑ කිව්වට වැඩක් නෑ.
එයත් රාජපක්ෂ කෙනෙක් නෙවෙයි. විමල් වීරවංශ හරියන්නේ නෑ. ඉතින් එයාලගේ ඉතා සීමිත පිරිසක් තමයි ජනපතිවරණයට ඉල්ලන්න සුදුසුකම් ලබන්නේ. අපේක්ෂකයා නම් කරන කොටත් මහින්ද රාජපක්ෂ මහතාගේ අණ තමයි අණ. ඊට එරෙහි වීමට කාටවත් බෑ. ඒක සරලයි. ඒත් අපේ ක්‍රමය සංකීර්ණයි. අපි අපේක්ෂකයා තෝරන්නේ ප්රජාතන්ත්රවාදී ව්‍යුහයක් තුළයි. ජනපති අපේක්ෂකයා තීන්දු වූ පසු අපි එකාවන්ව ඔහු දිනවීමට ක්‍රියා කරනවා.
පසුගිය අඟහරුවාදා පැවැති සාකච්ඡා සුබවාදී යැයි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියත් එජාප අපේක්ෂකයා තවම කරලියට පැමිණ නෑ.
සාකච්ඡාවක් කියන එක එක දවසින් එක මොහොතින් ඉවර වෙන්නේ නෑ. සාකච්ඡා පියවර ගාණක් යයි. කුමන තීන්දුවක් ලැබුණත් සජිත් ප්‍රේමදාස මහතාත් අපිත් සියලුම දෙනා ඒ තීන්දුවට හිස නවනවා.
වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් කැබිනට් ඇමැතිවරුන් කීප දෙනෙක් ගැන මාධ්‍ය හෙළිදරව් කළා. ඒ අතර ජනපති අපේක්ෂක ධූරය ඉල්ලන සජිත් ප්‍රේමදාස මහතාත් ඉන්නවා. මේ වගේ සුළු දෙයක් ඉදිරිපත් නොකර ඔහු පිළිබඳ සමාජ විශ්වාසයක් ඇති කළ හැකිද?
පසුගිය කාලේ නම් වත්කම් බැරකම් ප්‍රකාශ කවුරුවත් ඉදිරිපත් කෙළේ නෑ. ඒක නීතියක් විදියට විතරයි තිබුණේ. අපේ රජය ආවට පස්සේ වංචා දූෂණ මැඬපැවැත්වීම යටතේ මේවාට ලොකු බරක් දුන්නා. වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන්නොත් දඩය රුපියල් දාහයි මා හිතන්නේ. නමුත් වර්තමාන රජය වංචා සිදුවිය හැකි හැම අංශයක් ම වහන්නයි මෙවැනි පියවරක් ගන්නේ. මෙතෙක් කල් ආපු පැවැත්ම අනුව හුඟක් අය ඒ ගැන හිතන්නේ නෑ. ඒක තමයි ඊට හේතුව. සජිත් ප්‍රේමදාස මහතා තම වැටුපවත් තමාට දෙන වාහනයවත් අනෙකුත් වරප්‍රසාදත් ලබා නොගන්නා අයෙක්. එයා අලුත් ආදායම් හොයන කෙනෙක් නෙවෙයි. මේවා නොදීම ගැන චෝදනාවක් එල්ල කිරීමේ හැකියාව තියනවා.
රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශයට යටතට පවරා ගැනීමෙන් මාධ්‍ය නිදහසට යම් බලපෑමක් සිදුවෙනවාද?
අපේ රජය විවිධ අදහස් ගරු කරන විවිධ අදහස්වලට ඉඩ දෙන රජයක්. මෙය පවරා ගැනීමේ ජනපතිවරයාගේ අරමුණ අපි දන්නේ නෑ. ජනපතිවරයාගේ ඇතැම් ක්‍රියාවලි හරියනවා. තව සමහර ක්‍රියාවලි වරදිනවා. සමහර ඒවා නීතියට එකඟ නොවන බව අධිකරණය තීන්දු කරනවා.
වෙන ජනපතිවරුන් සිටි ස්ථාවරය හරි ප්‍රබලයි. ඒවා වෙනස් වෙන්නේ නෑ. යම් කෙනෙකුට එය වැරැදියි යැයි හැඟෙනවා නම් අධිකරණයට යන්න පුළුවන්. ජනපතිට විරුද්ධ නඩුවක් පවරන්න පුළුවන්. දැන් ඉස්සර වගේ නොවේ.