පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තම ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස තෝරා ගැනීමත් සමඟ ජනාධිපතිවරණයේ ඇත්ත සටන ඇරඹුණි. අමාත්‍ය සජිත්ට තම අපේක්ෂකත්වය තහවුරු කර ගැනීම සඳහා මහත් වෙහෙසක් ගන්නට සිදුවූ අතර ඒ සඳහා ඔහු දීර්ඝ කාලීන අභ්‍යන්තර අරගලයක ද නිරත විය. ඒ සටන පවා ජනාධිපතිවරණයේ අභ්‍යන්තර සටනක් ලෙස සලකා බැලීම සුදුසු යැයි ඉදිරියේ දී සිදුවිය හැකි දේශපාලන හැලහැප්පීම් අනුව තීරණය කළ හැකිය.
එක්සත් ජාතික පක්ෂය යනු මේ රටේ ඉහළ ධනපති පන්තියේ දේශපාලන පක්ෂයයි. එය ඉහළ ප්‍රභූ නායකයන්ගෙන් සමන්විත වන අතර ඒ නිසාම වරක් ප්‍රතිවාදීන් විසින් යූඑන්පී යන ඉංග්‍රීසි අකුරු තුන වර නැංගුවේ "උන්ගෙ නෑයන්ගෙ පක්ෂය" ලෙසිනි. රටේ ඉහළ ම ප්‍රභූවරුන් නායකත්වය දැරූ ඒ පක්ෂයට නිර් ප්‍රභූවරයකුගේ නායකත්වය පළමු වරට ලැබුණේ 1988 දී රණසිංහ ප්‍රේමදාස තම ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමත් සමඟ ය.
රණසිංහ ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වීම දේශපාලන අහඹුවක් වුවද එනිසා ඒ පක්ෂයේ පවුරු පදනම් ආකෘතිමය ලෙස වෙනස් වූවා යැයි කිව හැකිය. පක්ෂයේ පදනම වූ ධනපති පන්තිය මඳක් පසු බෑ අතර ඒ හිඩැස පිරවූයේ මේ රටේ අතිමහත් නිර්ප්‍රභූ ජනයාගෙනි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධූරයට පත්වූ වහා ශ්‍රී ලංකාවේ නිර්ප්‍රභූ ජනයා කෙසෙල්වත්තට සීමා නොවී ජනාධිපති මන්දිරයේ ද බලය අල්ලා ගත්තේ යැයි කිවහොත් නිවැරැදි ය.
රණසිංහ ප්‍රේමදාස නිර්ප්‍රභූ සමාජ තීරුව නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අල්ලා ගනිමින් මේ රටේ ජනාධිපති ධූරයට පත්වුව ද වෙනම කිසිම නායකයකු ඉටු නොකළ කාර්යයක් ඔහු විසින් ධනපති පන්තියට ඉටු කර දෙනු ලැබිණ. එනම් වසර ගණනාවක් තිස්සේ තම පන්තියට මහත් හිසරදයක් වූ ජනතා විමුක්ති පෙරමුණ නිහඬ කරදීම ය. ඒ ඓතිහාසික කාර්යය කළේ රණසිංහ ප්‍රේමදාස විසිනි. තමන්ට අභියෝගයක් වූ නිර්ප්‍රභූ දේශපාලන ව්‍යාපාරයක් නිර්ප්‍රභූ ජනාධිපතිවරයකු ලවාම පොඩි පට්ටම් කරවා ගැනීම එක් අතකින් උත්ප්රාසජනක ය. අනෙක් අතින් උපක්‍රමශීලී ධනපති ක්‍රියාවකි.
කෙසේවුවත් මෙවර දෙවැනි වරට ද නිර්ප්‍රභූ සමාජ තීරුවේ නායකයකු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීම අතිශයින් වැදගත් ය. එහෙත් මෙවර ගියවර තරම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ප්‍රභූ සමාජ තීරුව පෙලඹී නැත. වෙන කරන්නට දෙයක් නොමැතිකම නිසාම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබා දුන්න ද මෙවර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ප්‍රභූ සමාජ තීරුව අත රඳවා තබා ගැනීමට ඔවුන් තීන්දුවක් ගෙන තිබේ.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන විට ඔහුගේ පියා එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ විට තිබූ සමාජ ආර්ථික දේශපාලන පරිසරය මුළුමනින් ම වෙනස් වී ඇත. එදා ඒ පක්ෂයේ පදනම් පවුරු වූයේ ධනපති පන්තිය වුවත් අද වන විට ධනපති පන්තිය විශාල පසුබෑමට ලක්ව තිබීම මූලික කරුණකි. ධනපති පන්තිය විශාල කඩා වැටීමකට ලක්වී ධනවත් පන්තිය ශක්තිමත් වීම 1978 දී ඇති කළ වෙළෙද පළ ආර්ථිකයේ ප්රතිඵලයකි. එක් අතකින් එක්සත් ජාතික පක්ෂය ම ඇති කළ ආර්ථික ක්‍රමයකින් ඒ පක්ෂයේ පවුරු පදනම හෙලවීම උත්ප්රාසයට හේතුවකි. කෙසේ වුවත් ධනය ඇති පන්තිය රටේ ශක්තිමත් වීම එක්සත් ජාතික පක්ෂයට සියුම් අභියෝගයක් වී ඇත.
පරාජය කළ නොහැකි යැයි උදම් අනමින් සිටි රාජපක්ෂ පාලනය 2015 දී පරාජය කරනතුරු දසවසරකට ආසන්න කාලයක් ස්ථාවරව පැවතියේ ධනය ඇති පන්තිය තම පවුරු පදනම් කර ගැනීමට රාජපක්ෂවරුන් සමත් ව තිබූ නිසා ය. එනම් රාජපක්ෂවරුන්ගේ පවුරු පදනම් බවට පත්ව තිබුණේ 1978 න් පසුව බිහි වූ සල්ලිකාර ව්‍යාපාරික ප්රජාවයි. 1978 දී හඳුන්වා දුන් වෙළෙද පළ ආර්ථිකය විසින් ශක්තිමත් කළේ එතෙක් මේ රටේ පැවැති සාම්ප්‍රදායික ධනපති පන්තිය නොවේ. ඔවුන් ශක්තිමත් වූයේ ක්‍රමවත් හා සාම්ප්‍රදායික ආර්ථික ප්‍රතිපත්තියක් තුළ ය. එහෙත් 1978 දී හඳුන්වා දුන් ආර්ථික ක්‍රමය සේවා ආර්ථිකය මූලික කර ගත් පාදඩ ආර්ථික ක්‍රම මත පදනම් වූවකි. ඒ මගින් ශක්තිමත් වූයේ පාදඩ ව්‍යාපාරික ප්‍රජාවකි. ඔවුන් ධනය ඇති පන්තියක් ලෙස ස්ථාවරව තිබූ අතර රාජපක්ෂ දේශපාලනයට අදත් ශක්තියක් වන්නේ ඔවුහු ය.
එනිසා සාම්ප්‍රදායික ධනපති පන්තියේ සහාය පමණක් එක්සත් ජාතික පක්ෂයට ප්‍රමාණවත් නොවූ අතර එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඔවුන් මෙතෙක් ආරක්ෂා කරගත් ඡන්ද පදනම දියවී යෑමයි. ඊට සමාන්තරව රාජපක්ෂ දේශපාලනය ශක්තිමත් වූ අතර සාම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද එය අභියෝගයක් විය. ඇත්තට ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලනිකව බිහිවූයේ 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වූ වහා යැයි කිවහොත් දේශපාලනිකව නිවැරැදි වන්නේ ය. 2019 දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට මුහුණ දෙන්නට සිදුවන ප්‍රධානම අභියෝගය වන්නේ මේ ධනය ඇති පන්තියත් සමඟ දේශපාලනය තීන්දු තීරණය කර ගන්නේ කෙසේද යන්නයි.
ධනය ඇති පන්තිය රාජපක්ෂ දේශපාලනයේ පදනම වූ නිසා එක්සත් ජාතික පක්ෂයට ප්‍රබල අභියෝගයක් එල්ලව තිබූ අතර ඊට ශක්තිමත් විසඳුමක් ගෙන එන්නට රනිල් වික්‍රමසිංහට ද නොහැකි විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජන අප්‍රසාදයට ක්‍රමයෙන් පත්වන්නට මූලික නිමිත්ත වූයේ ද මේ කාරණාවයි. එහෙත් ඒ ගැන විශ්ලේෂණාත්මකව කල්පනා කරන්නට ඔහුගේ බුද්ධි මණ්ඩලය අපොහොසත් විය. ඒ ප්‍රශ්නය ම ජනාධිපතිවරණ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසටත් මුහුණ දෙන්නට සිදුවන්නේ ය. ඒ සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිචාරය තවමත් කුමක්දැයි හරියට පැහැදිලි නැත.
රාජපක්ෂවරුන් හම්බන්තොට දේශපාලනය කළේ ප්‍රභූ නොවන කිසිවකුට හිස ඔසොවන්නට නොදෙමිනි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිගම කුල ධුරාවලියට අමතර කරාවේ, දුරාවේ හා වහම්පුර සමාජ කුලයන්ට අයත් විශාල සමාජ තීරුවක් පවතී. එහෙත් එදා මෙදා තුර ගොවිගම නොවන අයකු හම්බන්තොට නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත් වී නොමැතිවීම අහඹුවක් නොවේ. ඊට අවශ්‍ය මූලික වැඩ කටයුතු කළේ රාජපක්ෂවරුන් ය. එහෙත් එක්සත් ජාතික පක්ෂයෙන් අව වරප්රසාදිතයෝ ඕනෑ තරම් හම්බන්තොටින් තෝරා පත්කර ගත්හ.
එනිසා හම්බන්තොට දී පමණක් නොව මුළු ශ්‍රී ලංකාවේ දී ම සජිත් ප්‍රේමදාස රාජපක්ෂවරුන්ට අභියෝගයක් වීම නොවැළැක්විය හැක්කකි. ඊට හේතුව රාජපක්ෂවරුන්ගේ ප්‍රභූ දේශපාලනය තේරුම් ගන්නට මේ රටේ මුළුමහත් ජනතාවට ඒ හැටි දෙයක් නොවන නිසා ය. ඒ අර්ථයෙන් 1988 ජනාධිපතිවරණය නිසා සමාජය ධ්‍රැවීකරණය වූ පරිදි ප්‍රභූ හා නිර්ප්‍රභූ අපේක්ෂකයන් වටා සමාජය බෙදීම මෙවර වැළැක්විය නොහැකි දේශපාලන කරුණකි. එය ජයග්‍රහණයකින් තීරණය කරනවා ද නැද්ද යන්න රඳා පවතින්නේ ධනවත් පන්තිය කළමනාකරණය කර ගන්නට අමාත්‍ය සජිත් ප්‍රේමදාස ශක්තිමත් වීම මත ය.
2009 වර්ෂයේ සිට ම මේ රටේ දේශපාලනය තීරණය කරන ප්‍රධාන සාධකය වූයේ දේශප්‍රේමයයි. එය අමු ම අමු තක්කඩි සාධකයක් බව තහවුරු කරමින් ඊට වෙනස් සමාජ අවශ්‍යතා මත දේශපාලනය තීන්දු කළේ 2015 ජනාධිපතිවරණයේ දී ය. ඒ අනුව තවදුරටත් දේශපාලනයේ ප්‍රධාන සාධකයක් ලෙස දේශප්‍රේමය ශක්තිමත් නොවීය. නමුත් 2019 අප්‍රියෙල් පාස්කු දින අන්තවාදී ප්‍රහාරයෙන් පසුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් ඇති විය. ඒ කතාබහ සමගම ශක්තිමත් ආරක්ෂාවක් තහවුරු කරන්නේ කෙසේද හා කවුද යන්න දේශපාලනයේ ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත. රාජපක්ෂවරුන් දේශප්‍රේමය මත පදනම් වී සිටි අතර එය අහෝසිවීමත් සමඟ ජාතික ආරක්ෂාව මත පදනම් වීමට ලකලෑස්ති වී තිබේ.
ජාතික ආරක්ෂාව මේ රටේ ප්රජාතන්ත්රවාදී සමාජ ධාරාව විසින් ඒ තරම් සැලකිල්ලට ගත් කාරණාවක් නොවේ. එහෙත් ජාතිකව මෙන්ම අන්තර්ජාතිකව පෙළගැසෙන සාධක අනුව ජාතික ආරක්ෂාව බරපතළ කරුණක් ලෙස සලකන්නට සිදුව තිබේ.
එහෙත් තවදුරටත් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් සමාජ අවශ්‍යතාවකි. එනිසා ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්රජාතන්ත්රවාදය බිලිදිය යුතු නැත. නමුත් රාජපක්ෂ කඳවුර පෙනී සිටින්නේ ජාතික ආරක්ෂාව පදනම් කරගත් මිලිටරිමය රාජ්‍යයක් වෙනුවෙනි. ඒ තුළ ප්රජාතන්ත්රවාදයක් ඇතැයි කල්පනා කළ නොහැක්කේ ඔවුන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ද මිලිටරිමය නායකයකු බැවිනි.
එක්සත් ජාතික පක්ෂයටත් එහි ජනාධිපතිවරණ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසටත් පවතින දේශපාලන අභියෝගය වන්නේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගනිමින්ම ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද යන්න මත ය. ඒ ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගන්නට සජිත් ප්‍රේමදාස සමත් වුවතොත් ඔහු එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව මුළු මහත් ලාංකික ප්‍රජාවේම ජනාධිපතිවරණ අපේක්ෂකයා වීම නොවැළැක්විය හැකිය.