මෙවර ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ විසින් කල් ඇතිවම සූදානම් වූයේ තමන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ස්ථිරව ම නිගමනය කරමිනි. ඒ වෙනුවෙන් මේ රටේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් කිහිපයක් මෙන්ම බුද්ධිමත්හු රැසක්ද සහයෝගය පළ කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස අනුර කුමාර දිසානායක වටා විශාල විකල්ප දේශපාලන ක්‍රියාකාරීහු රැසක් ගොනුවී සිටිති.
වාමාංශික පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ මෑත කාලය තුළ හැසිරුණු අන්දම ප්‍රශංසා කටයුතු ය. ඔවුහු සමාජ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කරමින් සිටින කාර්යභාරය අති මහත් ය. මේ දිනවල පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කරමින් සිටින්නේ ඔවුන් විසින් කළ යුතු අනිවාර්ය්ය කාර්ය්යභාරයකි. මේ අනුව සමස්තයක් ලෙස සලකා බැලූ විට ජවිපෙ ගමන් කරමින් සිටින ගමන් මඟ ඉතිහාසය විසින් ඔවුන් පිට පවරා ඇති වගකීමකි.
වත්මන් ශ්‍රී ලංකාව තුළ විප්ලවවාදීව කටයුතු කරන දේශපාලන පක්ෂ නැත. ඊට ලෝක දේශපාලනය තුළ සමාජවාදී ව්‍යාපාරයේ පසුබැස්ම ද හේතු වූවා නොඅනුමාන ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් තමන් විප්ලවවාදී ගමන් මඟක යන බව කීව ද ඔවුන් කරමින් සිටින්නේ ද සමාජ ප්රජාතන්ත්රවාදී දේශපාලනයක් ඔවුන්ගේ භාවිතය හොඳින් අධ්‍යයනය කරන්නකුට පෙනී යන්නේ ය. මේ ගමන් මගෙන් බැහැරව සමාජවාදය සඳහා දේශපාලනයක නිරත වන්නේ නම් ඒ හතරවන ජාත්‍යන්තරයේ දේශීය නියෝජිතයා වන සමාජවාදී සමානතා පක්ෂයයි.
ධනේශ්වරයට එරෙහිව සමාජ සංවර්ධනයේ විකල්පය බිහිවන්නේ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටීමෙන් බව පැහැදිලිය. එහෙත් සමාජවාදී ඉලක්කයක් සහිතව ජනප්‍රිය දේශපාලනයේ යෙදීම අගති සහගත ය. වාමාංශික හැඩරුවක් සහිත සුබසාධනවාදය කෙන්ද්‍ර කර ගත් දේශපාලනය මගින් ගෝලීය ධනේශ්වරයට මුහුණ දිය නොහැකිය. එවිට ගෝලීය ධනේශ්වරයේ රකුසා විසින් එවැනි දේශපාලන ව්‍යාපාරයන් පොඩි පට්ටම් කර දමනු ඇත. ග්‍රීසියේ සිරිසා ව්‍යාපාරයට සිදු වූයේ එයයි. ලෝකයේ තවමත් බොහෝ රටවල සිදුවෙමින් පවතින්නේ ද එයයි.
ඒ නිසා මාක්ස්වාදී ව්‍යාපාර විසින් කළ යුත්තේ ජනප්‍රිය දේශපාලනයට නෑවිත් සමාජවාදය ඉලක්ක කර ගත් දේශපාලනයක යෙදීමයි. එවිට වෙනස්වෙමින් පවතින දේශපාලනය අවකාශයට හා වෙනස්වෙමින් පවතින ධනේශ්වර ක්‍රමය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් සිදු කළ හැකිය. ඒ අනුව විකල්පය වන සමාජවාදී සමාජයක් සඳහා දේශපාලනයේ උපාය උපක්‍රම සකසා ගැනීමයි.
කුමන න්‍යායාත්මක ගැටලු තිබුණත් සමාජවාදී සමානතා පක්ෂය කරමින් සිටින්නේ එවැනි දේශපාලනයකි. නමුත් ජනතා විමුක්ති පෙරමුණත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් කරමින් ඉන්නේ සමාජ ප්රජාතන්ත්රවාදී දේශපාලනයකි. එහෙත් පෙරටුගාමී පක්ෂය 2015 ජනාධිපතිවරණ අවස්ථාවේ උපක්රමිකව ගත් වැරදි තීරණය නිසා එය මහජනතාවගෙන් ඈත් වීය. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඊට වෙනස්ව දේශපාලනය තීරණය කිරීම නිසා සමාජය තුළ දේශපාලනය සඳහා යම් දායකත්වයක් දැරීය.
ජනාධිපතිවරණයකදී ප්‍රධාන ධනපති පක්ෂ දෙකෙන් එකකට ජයග්‍රහණය හිමිවීම අනිවාර්ය කාරණාවකි. ඊට විකල්ප වාමාංශික ධාරාවේ දේශපාලන ව්‍යාපාරයකට කළ හැක්කේ තරග කර තෙවැනියා වීම පමණි. ඉතිහාසයේ හැමදාම ජනතා විමුක්ති පෙරමුණ විසින් කළේ එයයි. 1982 දී හා 1999 දී වාමාංශික අපේක්ෂකයා ලෙස තරග කිරීමේ ප්‍රතිඵලය වූයේ යම් දේශපාලන ආස්වාදයක් ලබා ගැනීම පමණි. සමහරවිට තම දේශපාලනය සම්බන්ධයෙන් සමාජය තුළ කලකිරීමක් නිර්මාණය කීරීමට එය හේතුවක් වන්නට ඇත.
1982 ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූ රෝහණ විජේවීර තරග කර ඡන්ද ලක්ෂ කිහිපයක් ලබා ගැනීමෙන් පසුව පක්ෂ සාමාජිකයෝ ඉතා ශීඝ්‍රයෙන් පක්ෂය හැර යන්නට වූහ. එමෙන්ම 1999 ජනාධිපතිවරණයෙන් පසුව ද මතවාදී තලය තුළ විශාල පසුබැසීමක් ඇති විය. ඒ නිසා ඒ දේශපාලන ව්‍යාපාරයට සිදුවූ හානිය මැතිවරණයට තරග කර ලබා ගත් ආශ්වාදයට වඩා බරපතළ විය.
1994 න් පසුව ජනතා විමුක්ති පෙරමුණ මේ තත්ත්වය අවබෝධ කරගෙන තිබුණි. ඔවුන් 2005,2010,2015 වැනි ජනාධිපතිවරණයන්ට තරග කිරීමට උත්සාහ නොදැරීය.
එසේම තමන්ගේ දේශපාලන දෘෂ්ටිය අනුව ප්‍රධාන ධාරාවේ ප්රගතිශීලී යැයි සිතන අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් බරපතළ ලෙස මැදිහත් විය. එය සමාජ ප්රජාතන්ත්රවාදී දේශපාලනය තුළ බුද්ධිමත් ප්‍රවේශයක් විය.
එහෙත් 2019 ජනාධිපතිවරණයේ දී ප්‍රධාන ධාරාවේ දේශපාලන කඳවුරු දෙකට එරෙහිව වෙනම තරග කළ යුතු යැයි ඔවුන් කල් ඇතිවම තීන්දුවක් ගෙන තිබීම මෙතෙක් ඔවුන් ආ ගමන් මගෙන් විතැන්වීමක් විය. ඊට ප්‍රධාන වශයෙන් ම බලපෑවේ 2015 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන විසින් මහජන අභිලාශයන් පවාදීමේ තිත්ත දේශපාලන අත්දැකීම විය හැකිය. ඒ නිසා පොදු අපේක්ෂකයා වටා සිටි දේශපාලන බලවේගයන්ට වෙනම කඳවුරක් අවශ්‍යවීම තාර්කික ය. 2019 ජනාධිපතිවරණයේ දී විකල්පයක් වෙනුවෙන් රාජපක්ෂ කඳවුර කරා යෑම බරපතළ හාස්‍යයකි. එසේම එක්සත් ජාතික පක්ෂය තෝරා ගන්නා පොදු අපේක්ෂකයකු වෙනුවෙන් තවදුරටත් පෙනී සිටීම අගතිගාමී ය. පවතින එක ම විකල්පය වෙනම තරග කිරීමය. ඒ සඳහා පක්ෂ අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින් ද ජනතා විමුක්ති පෙරමුණට බලපෑම් ගලා ඒම නිසා මේ තීන්දුව ගන්නට ඇත.
2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා වටා සිටි ප්රජාතන්ත්රවාදී බලවේගයන්ට තවදුරටත් එක්සත් ජාතික පක්ෂය වටා සිටින්නට නොහැකිවීම සදාචාරමය ප්රශ්නයකි. ඔවුන්ට දැනෙන ඒ අපුල වසන් කරගෙන පහසුවෙන් හිට ගත හැකි දේශපාලනයක් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ වෙනම තරග කළහොත් ය. එනිසා ඔවුන් මුළු වැර යොදා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නට ජනතා විමුක්ති පෙරමුණ පොලඹවා ගැනීම බරපතළ වරදක් නොවේ.
එහෙත් ප්‍රශ්නය වන්නේ මෙලෙස වෙනම තරග කිරීමේ ප්‍රතිඵලය කුමක්ද යන්නයි. ඔවුන් වෙනම තරග කර ප්‍රධාන දේශපාලන ධාරාවේ අපේක්ෂකයන් පළමු වටයෙන් ම ජයග්‍රහණය කිරීම වැළැක්වීමට හැකියාවක් ඇත්නම් එය විකල්ප දේශපාලනයේ ප්‍රශස්ත ඉදිරි පියවරකි. එවිට මහජන අභිලාශයන් පාවාදීම නිසා ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයන් දෙදෙනාට ම පළමු වටයෙන් ජයගන්නට නොහැකිවූවා යැයි කියන්නට හැකිවීම දේශපාලන ජයග්‍රහණයකි. ඒ නිසා විකල්ප දේශපාලන ව්‍යාපාරයක් ලබා ගන්නා ජවය මනින්නට සිදු වන්නේ පිමි වලිනි.
එහෙත් අවාසනාවකට කරුණ වන්නේ එවැනි අභියෝගයක් කරන්නට තරම් ප්රජාතන්ත්රවාදී මහජන බලවේගයේ අපේක්ෂකයා ශක්තිමත් නොවීමයි. ඔවුන්ට උපරිම වශයෙන් ජවය යොදා ඡන්ද ලක්ෂ අටක් ගත හැකිය.
එහෙත් ඒ ප්‍රමාණය ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයන් පළමු වටයෙන් ජය ගැනීම වැළැක්වීමට තරම් ප්‍රමාණවත් නොවේ. ඊට හේතුව ප්රජාතන්ත්රවාදී මහජන බලවේගයේ අපේක්ෂකයාට ආක්රමණකාරී ලෙස වෙනත් දේශපාලන ධාරාවන්ට කඩා පැන ඡන්ද ලබා ගැනීමට තරම් හයියක් නොවීමයි. ඔහු තම වපසරිය තුළ ගමන් කරන උපරිමය වන්නේ යහපාලන ආණ්ඩුව කෙරෙහි කලකිරුණු දේශපාලන කොටස් එකතු කර ගැනීම පමණි.
ජනාධිපතිවරණ අපේක්ෂකයකුට ජයග්‍රහණය ලබන්නට නම් අනිවාර්යෙන් ම ආක්රමණික ඡන්ද ප්‍රමාණය විශාල විය යුතුය. 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළේ සම්ප්‍රදායික එක්සත් ජාතික පාක්ෂිකයන් හා සිංහල සමාජයේ ප්රජාතාන්ත්රවාදය වෙනුවෙන් උනන්දුවක් දක්වන සමාජ තීරුව නිසා ය. ඊට වෙනස්ව ප්‍රධානම සාධකය වූයේ සිංහල බෞද්ධ නොවන සමාජ තීරුව ආකර්ෂණය කර ගැනීමට ඔහු සතුව තිබූ දේශපාලන ශක්තියයි. එවැනි දේශපාලන ආකර්ෂණයක් ප්රජාතන්ත්රවාදී මහජන ව්‍යාපාරයේ අපේක්ෂකයාට නැත. පරාජයේ මානසිකත්වය සමඟ විශාල හානියක් කරන්නේ ලබන වසරේ පවත්වන මහ මැතිවරණයට ය. මුළු වැර යොදා නියත පරාජයක් ලැබෙන ජනාධිපතිවරණයකට මහන්සි වීමෙන් මහ මැතිවරණයේ දී යෙදිය යුතු දේශපාලන ශක්තිය හීන වේ.
එසේම විශාල ලෙස ජනතා කොටස් ඉවත් ව යෑම නිසා මහ මැතිවරණයේ අස්වැන්න හීන වේ. විකල්ප ධාරාවේ දේශපාලන ව්‍යාපාරයකට සරු අස්වැන්නක් ලැබෙන්නෙත් ලබා ගත යුත්තෙත් මහ මැතිවරණයකදී ය. එය නොලැබී යෑම සමාජ සංවර්ධනයේ දී විශාල පාඩුවකි.
ප්රජාතන්ත්රවාදී මහජන බලවේගයට මේ යථාර්ථය තේරුම් ගනිමින් පොදු සතුරාට එරෙහිව අත්වැල් බැද ගන්නට ශක්තිමත් අපේක්ෂකයකු අවශ්‍ය වේ. තමන් මෙතෙක් පෙනී සිටි ප්රජාතන්ත්රවාදී සටන් පාඨ වලට පිළිගැනීමක් ලබා දෙන්නට ඒ පොදු ධාරාවේ අපේක්ෂකයාට හැකිවිය යුතුය. ඔහු තවදුරටත් ගතානුගතිකත්වය ශක්තිමත් කරන්නේද වංචාකාරී ජාතිකත්වය පෝෂණය කරන්නේද ඒකාධිපතිත්වයට අත්වැල් අල්ලන්නේ ද නම් එවැන්නකු සමඟ සන්ධාන ගත වන්නට ප්රජාතන්ත්රවාදී මහජන බලවේගයට නොහැකිය.
අනුර කුමාර දිසානායකට ගෞරවාන්විත පසු බැසීමකට අවස්ථාව උදාකරදීමෙන් ප්රජාතන්ත්රවාදී මහජන බලවේගයේ ශක්තිමත් දායකත්වය උකගා ගත හැක්කේ ජනාධිපතිවරණයට ප්‍රධාන ධාරාවෙන් ඉදිරිපත් වන යෝධ ප්රජාතන්ත්රවාදී නායකයකුට පමණි.