
'උතුරු නැගෙනහිර පළාත්වල සිංහල වැසියන් කොපමණ සංඛ්‍යාවක් පදිංචි වූවත් ඊට දෙමළ ජාතිකයින් විරුද්ධ නොවූවත් සිංහල ජාතීන්ට එහි අයිතියක් නොමැති බවත් ඔවුන් හා මේ පළාත්වල සියලු පදිංචිකරුවන් පාලනය විය යුත්තේ දෙමළ පිරිසක් අතින් බවත් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා 'සිළුමිණ 'හා සාකච්ජාවකට එක්වෙමින් පැවසීය.
• උතුරේ වර්තමාන තත්ත්වය කෙබදුද?
උතුරු පළාතේ සිදුවන්නේ දෙමළ ජනතාවට අවශ්‍ය දේවල් නෙමෙයි. දෙමළ මිනිස්සු බොන්න වතුර ටික ඉල්ලුවේ 1950 ඉදලා. මේ වනතුරු මේ පළාතට බොන්න වතුර ටිකක් ලැබුණේ නැහැ. නමුත් උතුරේ දෙමළ මිනිස්සු මොනව හරි ඉල්ලනකොට ආණ්ඩුවලින් මේ පැත්තට එව්වේ සිංහල මිනිස්සු මිසක් උතුරේ මිනිස්සු ඉල්ලපු දේවල් නෙමෙයි. මේ දවස්වල උතුරේ සිද්ධ වෙන්නෙත් ඒ වගේම දේවල් ටිකක්. මහවැලි ව්‍යාපාරය ඔස්සේ උතුරේ දෙමළ මිනිස්සුන්ගේ ඉඩම් ටික ආණ්ඩුව බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඒවගේ සිංහල ජනපද හදන්න හදනවා.
ඒ වගේම ආණ්ඩුව හමුදාව යොදවලා උතුරේ බෞද්ධයින් නොමැති ප්‍රදේශවල විහාරස්ථාන හදනවා. බුදු පිළිම තියනවා. භික්ෂූන් වහන්සේලා ගෙනැවිත් පදිංචි කරවනවා. අපි කියන්නේ බෞද්ධයින් නැති පළාත්වලට මේවා ඕනේ නෑ. හමුදා කදවුරක් ඇතුලේ ඒ අයට වන්දනා මාන කරන්න බුදු පිළිමයක් තියා ගත්තට වරදක් නෑ. ඒත් ඒ අය එතැනින් යනකොට ඒක අරගෙන යන්න ඕනේ.
හමුදාවත් ආණ්ඩුවත් උතුරේ බෞද්ධයින් නැති තැන්වල පන්සල් හදලා බුදු පිළිම තියලා හාමුදුරුවරු පදිංචි කරවලා නැති ප්‍රශ්න ඇති කරනවා. මේකෙන් ජනතාව කුපිත වෙනවා. මුලතිව්වල ඉස්සර මේ වගේ ප්‍රශ්න මොනවත් තිබුණේ නැහැ. මේ හාමුදුරුවෝ ආවට පස්සේ තමයි එතන ලොකූ ප්‍රශ්නයක් ඇති වුණේ. |
ආණ්ඩුව මේ උතුරේ ඉඩම් වල සිංහල බෞද්ධ පවුල් පදිංචි කරලා බලාපොරොත්තු වෙන්නේ උතුරේ සිංහල දේශපාලන බලය වැඩි කරන්නයි. හේතුව මොකද මේ පළාතේ දෙමළ බලය වැඩි වුණාම දෙමළ මිනිස්සුන්ට යම් යම් දේවල් දෙන්න වෙයි කියලා ආණ්ඩුවට ලොකූ බයක් තියනවා. මේකෙන් බේරිලා උතුරේ දෙමළ බලය යටපත් කරන්න තමයි මේ සිංහල වැසියන්ව බලහත්කාරයෙන් කොළණි හදලා පදිංචි කරවන්නේ. අපි ඒකට තරයේම විරුද්ධයි. එහෙම කරන්න දෙන්නේ නැහැ.
• දැන් දෙමළ වැසියන්ට මේ රටේ ඕනෑම තැනක ජීවත් වෙන්න පුලුවන්. ඒ වගේම සිංහල වැසියන්ටත් මේ පළාත්වල ජීවත් වෙන්න බැරිද?
නැහැ. උතුරු නැගෙනහිර ඕනෑම පළාතක සිංහල මිනිස්සුන්ට ඕනේ තරම් ජීවත් වෙන්න පුලුවන්. හැබැයි ඒ අය මතක තියා ගන්න ඕනේ ඒ අයට ඒ පළාත්වල අයිතියක් නැහැ කියලා. මේ පළාත් සභා ක්‍රමය අනුව අපි විතරක් නෙමෙයි, හැම පළාත් සභාවකම අය ඉල්ලන්නේ ඒ ඒ තමන්ගේ පළාත්වල ඉන්න ජනතාව පාලනය කරන්න ඒ යට බලයක් දෙන්න කියලයි. අපි ඉල්ලන්නෙත් ඒකම තමයි. පළාත් සභා බලතලවලට අනුව තියන දේවල් ලබා දෙන්න කියලයි.
මට දැන් වයස අවුරුදු 80 ක් වෙනවා.මම සිංහල පළාත්වල ජීවත් වුණා. අපිට එදා ලංකාවේ ඕනෙම තැනකට යන්න පුලුවන් වුණා. ඕනෙම දෙයක් කරන්න පුලුවන් වුණා. මේක වෙනස් වුණේ 1957 අවුරුද්දෙයි. දකුණේ මිනිස්සු ඒ පළාත් වල හිටපු දෙමළ මිනිස්සුන්ට ගහලා එලවලා දැම්මා. දැනට වුණත් තිස්සමහාරාමයේ පසුපති කියන දෙමළ මනුස්සයාට අයිති කුඹුරු තියනවා. එව්වට ඔප්පු තිබුණත් 1958 දී සිංහල මිනිස්සු ඒ කුඹුරුබලහත්කාරයෙන් අත්පත් කර ගත්තා. ඉතින් දකුණේ සිංහල මිනිස්සු එහෙ හිටපු දෙමළ මිනිස්සුන්ට ගහලා එලවලා ඒ අයගේ දේපල ඉඩම් අත්පත් කරගෙන දැන් උතුරේ සිංහල මිනිස්සුන්ට ඉන්න දෙන්න කියලා කියන එක වැරදියි. මෙන්න මෙහෙම වුණු අසාධාරණය නිසා තමයි අපි කියන්නේ උතුරු නැගෙනහිර පළාත් අපිට පාලනය කරන්න දෙන්න කියලා. දැන් වෙන්නේ පළාත් සභා ක්‍රමය තිබුණත් මධ්‍යම ආණ්ඩුව එයාලට ඕනේ විදිහට උතුරු නැගෙනහිර පාලනය කරන එකයි. ඒ නිසා තමයි මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ.
• උතුරේ පාලනයක් ඔබලාට නැතිව තියෙද්දිත් මුලතිව් ගුරුකන්ද විහාරය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් ඇති වුණා. වෙනම පාලනයක් ලබා දුන්නොත් ඒ වගේ ප්‍රශ්න වැඩි වෙනවා නේද?
මුලතිව් ගුරුකන්දේ ප්රශ්නයේදී ඒ පන්සල බෞද්ධ ස්ථානයක් නෙමෙයි. ඒක හින්දු කෝවිලට අයිති තැනක්. හාමුදුරුවෝ බලෙන් ඇවිත් එතන පදිංචි වෙලා ඒක මගේ බුද්ධාගමේ කිව්වට හරි යන්නේ නැහැ.
රටේ පවතින නීතියට අනුව පන්සලක් හදනකොට අදාල පළාතේ පළාත් පාලන ආයතන දැනුම්වත් කරන්න ඕනේ. අවසර ගන්න ඕනේ. ඒ කිසිම දෙයක් මෙතන වෙලා නෑ. මේ පන්සල මගේ කියලා බලහත්කාරකමෙන් ඒ හාමුදුරුවෝ හිටියා.
මම ඒකයි කිව්වේ හමුදාවත් ආණ්ඩුවත් උතුරේ බෞද්ධයින් නැති තැන්වල පන්සල් හදලා බුදු පිළිම තියලා හාමුදුරුවරු පදිංචි කරවලා නැති ප්‍රශ්න ඇති කරනවා. මේකෙන් ජනතාව කුපිත වෙනවා. මුලතිව්වල ඉස්සර මේ වගේ ප්‍රශ්න මොනවත් තිබුණේ නැහැ. මේ හාමුදුරුවෝ ආවට පස්සේ තමයි එතන ලොකූ ප්‍රශ්නයක් ඇති වුණේ.
දැන් මේ හාමුදුරුවන්ගෙන් පස්සේ එතන මගේ කියලා තවත් කෙනෙක් එයි ඒ කෙනාට වෙන්නේත් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නයි. ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒක හින්දු කෝවිලක්. පුල්ලයාරේ කෝවිලක්. කෝවිල් ඉඩම් තියෙන්නේ මැරිච්ච මිනිස්සුන්ගේ මිනී පුච්චන්න සොහොන් පිටි විදිහට නෙමෙයි. ඒකයි මුලතිව් ජනතාව ඒකට විරුද්ධ වුනේ. මේ ආදාහනයට ආව හැමෝම වැඩ කළේ සිංහල බෞද්ධකම උඩයි. හින්දු කෝවිලක් බලෙන් අත්පත් කරගෙන එයාලට එහෙම කරන්න දෙන්න බැහැ. ඒකයි අපිත් එදා ඉදලම මෙතෙන්ට ගිහින් හින්දු ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ.
• මේ ප්‍රශ්න නිසා සිද්ධ වෙන්නේ තව තවත් ජාති භේදය ආගම් භේදය වැඩි වෙන එකයි.අතීතයේ දේවල් අමතක කරලා අනාගතය වෙනුවෙන් හිතලා සාකච්ඡා මාර්ගයකින් මේ ප්‍රශ්නය විසදන්න ඇයි ඔබතුමා දේශපාලනඥයෙක් විදිහට මැදිහත් වෙන්නේ නැත්තේ?
අපිට කෙළින්ම සාකච්ඡා කරලා විසදුමක් ගන්න බැහැ. රජයයි මූලික වෙලා යමක් කරන්න ඕනේ. රජය එහෙම කරනවා නම් අපිට මැදිහත් වෙන්න පුළුවන් වෙනවා. නමුත් රජය එහෙම දෙයක් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි එහෙම මේ ප්‍රශ්න විසදන්න යනකොට රජයට සිද්ධ වෙනවා උතුරු නැගෙනහිර මිනිස්සුන්ට අයිතියක් හරි උරුමයක් හරි වෙන මොනව හරි ලබා දෙන්න. එහෙම ලබලා දෙන්න ආණ්ඩු කැමති නැහැ. ඒක නිසා මේ ප්‍රශ්න විසදන්නත් බැහැ. රජයට ඕනෑ කමක් තියනවානම් මේවා විසදන්න පුලුවනි. කිසිම රජයක් දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්නේ නැහැ.
අපි මුලතිව්වල ඉන්න සාමාන්‍ය මිනිස්සුත් එක්ක කතා කරලා ප්‍රශ්නය විසදා ගන්න ගියාට වැඩක් නැහැ. ඒ අය ඉල්ලන ඉල්ලීම් අපිට දෙන්න බැහැ. ඒකට තමයි ආණ්ඩුව ඉන්නේ. ආණ්ඩුව එය කරන්න ඕනේ. අපිට පුළුවන් මැදිහත් වෙන්න විතරයි.
• යාපනයේදී ඔබ තුමා 'එළුහ තමිල්' උළෙල පැවැත්වූවා. මේකත් ජාතිවාදී ස්වරූපයෙන් පටන් ගත්ත වැඩක්. මේ විදිහට යනකොට මේ ජාතිවාදයේ කෙලවරක් දකින්න ලැබෙන්නේ නෑ නේද?
ඕනෑම ජාතියකට තමන්ගේ කියලා ප්‍රශ්න තියනවා. ඒ ප්‍රශ්න කතා කරන්න එක් දිනයක් ස්ථානයක් තෝරාගෙන කටයුතු කිරීම ජාතිවාදය නොවෙයි. දැන් සිංහල මිනිස්සු පිහිටුවා ගත්ත සිංහල සංවිධාන ගණනාවක් තියනවා. ඒවායෙදි කරන්නේ ඔවුන්ගේ ප්‍රශ්න කතා කරලා විසදුම් හොයන එකයි. අනිත් ජාතීනුත් එහෙමයි. මේ දෙමළ ජනතාවගේ පිබිදීම හෙවත් ‘’එළුහ තමිල් ‘’උළෙලෙදි සිද්ධ කළෙත් ඒකම තමයි. අපේ දෙමළ අය රැස්වුණා අපේ ප්‍රශ්න කතා කළා. අපිට පෙනුණා දෙමළ ජාතීන්ට තවමත් විසදිලා නැති ප්‍රශ්න ගණනාවක් තියනවා කියලා. ඒ ප්‍රශ්න අතරින් ප්‍රශ්න හතක් ඉතාම ප්‍රධාන ප්‍රශ්න කියලා අපි තේරුම් ගන්තා.
උතුරු -නැගෙනහිර පළාත් දෙක එකට එකතු කිරීම, දෙමළ ප්‍රශ්නය විසදීම සඳහා සුදුසු දේශපාලන විසදුමක් සෙවීම, යුද සමයේදී අතුරුදහන්වුවන්ගේ ප්‍රශ්නය, දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ගැටලුව, උතුරේ ඉඩම් ප්‍රශ්නය, යුද අනාථයින් යළි පදිංචි කරවීම, සහ යුද අපරාධ කළ පිරිසට දඩුවම් කිරීම යන ප්‍රශ්න වලට මේ දක්වා කිසිම විසඳුමක් ලැබිලා නැහැ.
මේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා ගන්න අපි සටන් කරන්න ඕනේ කියලා මේ දවසේ අපි යළි සාකච්ඡා කළා. ඒ සටන ආයුධ සටනක් නෙමෙයි. ඉල්ලීම් දිනා ගන්න කරගෙන යන අරගලයක්. ඉතින් අපි ඒක දිගටම කරගෙන යනවා.