
අරගල, ඉල්ලීම්, වැඩ වැරුම් ආගන්තුක දේවල් නොවේ. මානව සමාජය පටන් ගත් දා පටන් ඒ පිළිබඳ විවිධ කතිකා ගොඩනැඟී තිබේ.
මාර්ටින් ලූතර් කිං කියන්නේ මේ සියවසේදී තැවීමට සිදුව ඇති බවත්, ඒ දුදනන් පෑ නොපනත්කම් නිසා නොව සුදනන්ගේ නිහඬතාව නිසා බවත් ය. සමහර නිහඬ වීම් ශතවර්ෂාධික කාලයක් තිස්සේ මිනිස් ජීවිතවලට කරන හානිය ගැන කවදාවත් තක්සේරුවක් කළ නොහැකි වනු ඇත.
එහි ම තවත් පැත්තක් තිබේ. සිය අවශ්‍යතා ඉටු කරගනු වස් කිසිදු දැනුම්දීමකින් තොර ව සාමාන්‍ය ජනතාව පාරක් ගානේ රස්තියාදු කරන වර්ජකයන් ද සිටී. මානුෂිකත්වයේ තෙතමනයක් නැතිව කරන වැඩ වර්ජන, වැඩ වර්ජන ඉතිහාසයට නිගාවකි. පසුගියදා කළ දුම්රිය වැඩ වර්ජනය නිසා පාරක් පාරක් ගානේ රස්තියාදු වූ ජනතාව ගැන සිතද්දී කියන්නට ඇත්තේ ද එවැන්නකි. සමහර වර්ජකයන් බිල්ලට තියන්නේ ජනතාව වීම ඊට හේතුවයි. ඇතැම් දුම්රිය වෘත්තීය සමිති, සේවකයන් තමන්ගේ සීමා ඉක්මවා ගොස් සිදු කරන කටයුතු නිසා අසරණ වන්නේ රැකියාවකට හෝ අන් ඕනෑ ම අත්‍යවශ්‍ය සේවාවක් වෙනුවෙන් එළියට බට ජනතාව ය.
කොවිඩ් සමයේ ජීවිතය පරදුවට තබා නිවෙසින් නිකම් ම නිකම් ඇවිදින්නට කිසිවෙක් හෝ එළියට බහින්නේ නැත. මාරාන්තික ලෙඩක් අබිමුව කිසිවෙක් සිය ජීවිතය හා සෙල්ලම් කරන්නේ නැත. එවිට දුම්රිය වර්ජකයෝ කිසිදු දැනුම් දීමකින් තොර ව මේ කරන්නේ අසරණ මඟීන්ගේ ජීවිත හා සෙල්ලමකි. ඒ සෙල්ලමට රෝහලට යන්නට ආ රෝගියා ද; පාසල් ගිය පාසල් සිසුවා ද; රැකියාවට ආ සේවකයා ද ඈ මේ සියල්ලෝ ම අයත් වූහ. මහමඟ නිකරුණේ ගත කරන්නට තරම් නොවන කාලයක හා වයිරසයක අණසක මුළුමනින් ම පහව නොගිය සමයෙක මේ කළ ක්‍රියාව නම් අත්තනෝමතික බැව් කිව යුතු ම ය.
දුම්රිය දෙපාර්තමේන්තුව සැමවිට ම දෝෂ දර්ශනයට ලක් වෙන ආයතනයකි. එය නිරන්තරයෙන් විවිධ ගැටලුවලට මුහුණ දෙයි. සමහර ඒවා වෙනස් කර ගත හැකිය. තවත් සමහර ගැටලු විසඳා ගත නොහැකිය. කෙසේ නමුත් වළක්වා ගත හැකිව තිබූ වර්ජනයක් නිසා පසුගිය 15 වැනිදා මඟීන්ට සිදු වූ අපහසුතාව ගැන නම් දුම්රිය බලධාරීන් මීට වඩා සිතිය යුතුය. වැටුප් විෂමතා ගැටලුව මීට බලපෑම් කළ බව සත්‍යයකි. දුම්රිය සේවයේ මේ දක්වා රියැදුරු, නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය පාලක, ෆෝමන් තනතුරුවලට අදාළව වැටුප් කේත අංක පවා ලබා දී නැත. ඒ නිසා හැමදාම වැටුප් ගැටලු ය. ඔවුන්ගේ වැටුප් සැකසීමේදී මේ අනුව බලන කල තව පිරිසක් වර්ජනයට මාන බැලීම වළක්වාලිය නොහැකි ය.
දහස් ගණනක් මිනිසුන්ගේ දෛනික ගමනාගමනයට බාධා කරමින් කරන ප්‍රවාහන වැඩ වර්ජනවලින් හානි සිදු වෙන්නේ සාමාන්‍ය ජනයාටයි. උපහාසයට කරුණ නම් මෙසේ වර්ජනය කරන්නෝ ද, වර්ජනයෙන් පීඩනයට පත් වෙන්නෝ ද යන දෙපාර්ශ්වය ම සාමාන්‍ය පන්තියේ මිනිසුන් වීමයි. එරෙහි වන්නේ, දුෂ්කරතාවට පත් කරන්නේ තමන්ගේ ම අය බව නොසිතමින් ඔවුහු වර්ජනය කරති. බළලුන් ලවා කොස් ඇට බාවන්නන්ගේ උගුල්වලට හසු වීමට පෙර දෙවරක් සිතන්නට වර්ජකයන් පෙලඹෙන්නේ නම් මීට වඩා මනුෂ්‍යත්වයට ඉඩ ලැබෙනු ඇත.
ලෝකයේ හැම රටකම වැඩ වර්ජන කෙරෙති. කිසියම් ඉල්ලීමක් සපුරා ගැනීම සඳහා වෘත්තීය සමිති සාමාජිකයෝ මහමඟට බැස, නැතහොත් ගමනාගමනය කඩාකප්පල් කරමින් ආත්මාර්ථකාමී ලෙස හැසිරීම මේ වනවිට සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වී තිබේ. වාහන හෝ පුද්ගලික සේවා ඇත්තෝ සුව පහසුව ගමන්බිමන් යන්නේ තම වාහනවලින් වෙති. සමහර නිලවලට බලය පෙන්නා මාර්ග තදබදය වුව මඟහැර යා හැකිය. ඒ අනුව බලන කල කිසිවක් ම කර ගත නොහැකි ව ළත වෙන්නෝ සාමාන්‍ය ජනතාව පමණක් ම වෙති.
වෘත්තීය අරගල ලොව කිසිදු රටකට ආගන්තුක නොවේ. ස්වකීය වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේ ජනප්‍රිය ක්‍රමවේදයක් ලෙස එය ප්‍රචලිත ය. ශ්‍රී ලංකාවේ වෘත්තීය සටන් ව්‍යාපාරයට ඇත්තේ දිගු ඉතිහාසයකි. වාමවාදී දේශපාලනික ව්‍යාපාර ඇතුළත පෝෂණය වූ මේ වෘත්තීය සමිති සහ ඔවුන් විසින් මෙහෙයවන ලද වෘත්තීය සටන්හි යම් යම් ගුණාංග තිබිණි. මේ වෘත්තීය සමිති නායකයෝ එය විද්‍යාවක් ලෙස හැදෑරූහ; යම් විද්‍යාත්මක පසුබිමක සිට සමාජීය ප්‍රශ්න කෙරෙහි සංවේදිතාවක් ඇතිව සටන්වල නියැළුණහ. එහෙත් මේ වන විට මේ වෘත්තීය සමිතිවල ගෞරවනීයභාවය වර්තමාන වෘත්තීය සමිති නායකයන් විසින් විනාශ කර දමනු ලැබ ඇත. අද වෘත්තීය සමිති නායකයන්ට අවශ්‍ය වී ඇත්තේ ඔවුන් මෙහෙය වන දේශපාලන අතකොලු පිනවමින් ඔවුන්ට අවැසි බලය ලබා දෙමින්, තමන්ගේ වෘත්තීය ජීවිතයේ විවිධ හිණිමං තරණය කිරීම ය.
වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සාකච්ඡාව පවත්වන්නේ ගුරුවරු පිරිසකි. 1891 දී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැත්වූ ඒ සාකච්ඡාවට අනුව 1891 ජනවාරි 18 වැනිදා ‘ගුරු සංගමය’ නමින් සංවිධානයක් ඇරඹිණි. 1892 ජනවාරි 22 වැනිදා ඒ ගුරු සංගමයේ ප්‍රථම මහ සභා රැස්වීම පැවැත්වුණු අතර එය ලංකාවේ ප්‍රථම වෘත්තීය සමිතිය ලෙස සැලකේ. ප්‍රථම වෘත්තීය සමිතිය මෙය වුව ද මීට පෙර විවිධ වෘත්තීය අරගලවල සේවකයන් නිරත වූ අවස්ථා තිබේ. නැඟෙනහිර පළාතේ වාරිමාර්ග කම්කරුවෝ පිරිසක් ද 1860 දී වර්ජනයක නිරත වී තිබේ. මේවා ක්ෂණික අරගල හා නැඟී සිටීම් පමණී. පාලකයන්ට දැනෙන අන්දමේ හා බලපෑමක් ඇති කළ හැකි අන්දමේ වර්ජනයක් කේවි සමාගම විසින් සංවිධානය කර තිබේ. 1906 දී ගැල් කරුවන් විසින් කොළඹදී පවත්වන ලද වර්ජනයෙන් ද සැලකිය යුතු බලපෑමක් විය. ඉන්පසු විවිධ වෘත්තීන්හි නිරත කම්කරුවන් වෘත්තීය සමිති පිහිටුවා ගත් අතර 1922 දී එයට ඊ.ඒ. ගුණසිංහගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු සංගමය මඟින් නායකත්වය දීම ආරම්භ විය.
එසේ ඇරඹුණු ඉතිහාසයේ දරුණුතම වර්ජනය වූයේ 1980 ජූලි වර්ජනයයි. ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් 40,356ක් ගෙදර යවා ලක්ෂ තුනකට අධික දරු පවුල් අනාථ කළ මහා වැඩ වර්ජනය එයයි. එහිදී වර්ජකයන් වැඩ වර්ජනය කළේ සිය දෛනික වැටුප රුපියල් 10ක් ඉහළ නංවා ගැනීම සඳහා ය. මෙහිදී වර්ජකයන්ට එරෙහි ව සාහසික ලෙස හැසුරුණු එජාප රජය ආයතන සංග්‍රහය ප්‍රකාරව වර්ජකයන් තනතුරු අතහැර ගියා සේ නිවේදනය කළේ ය.
දැන් ආණ්ඩු එතරම් සැහැසි නැත. නමුත් වර්ජකයන්ට යුතුකමක් තිබේ. ඒ තම වර්ජනය මානුෂිකව කිරීමට ය. අවම වශයෙන් කලින් දැනුම්දීමට තරම්වත් මනුෂ්‍යත්වයක් හෝ තිබුණේ නම් ප්‍රමාණවත් ය. වෘත්තීය සමිති ආඥා පනත අනුව වැඩවර්ජනයක් උන්හිටි ගමන් ආරම්භ කළ නොහැකි අතර සේවකයන් විසින් සති දෙකකට පෙර පාලකයන් ඒ පිළිබඳ දැනුම්වත් කළ යුතු ය. තව බොහෝ නීති තිබේ. විවිධ බලපෑම් කර ඒ සියල්ල පාලකයන් විසින් නොතකා හරින්නේ නම් පමණක් වර්ජනය කිරීම කළ හැකි ය. එහෙත් දැන් වර්ජකයන් මුලින් ම කරන්නේ අවසානයට කළ යුතු ව ඇති දෑ ය. මනුෂ්‍යයන් සේ සිතා ක්‍රියා කිරීමට පමණක් හෝ මේ වර්ජකයන් කටයුතු කළ යුතුය.