
ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සම්මන්ත්‍රණයක් පසුගිය දිනක අකුරැස්සේදී පැවැත්විණි. මෙහිදී සුනිල් හඳුන්නෙත්ති ජනතාවට විහිළුවක් කළ අතර අනුර දිසානායක සංග්‍රාමික තර්ජනයක් කළේය. සුනිල් කළ විහිළු නම් ජවිපෙ ට රට බාරදීම සඳහා මේ රටේ ජනතාවට පුදුම හදිස්සියක් ඇති බවය. මේ රටේ ඊළඟ අරගලයේ නියමුවා වනු ඇත්තේ ජවිපෙ බව අනුර දිසානායක කීවේය. මේ මිනිසුන් තමන් ගැන සිතාගෙන සිටින ආකාරය ගැන අප තුළ මහත් ශෝකයක් උපදී. අරගලය යනු රෝහණ විජේවීර සහ වාසුදේව නානායක්කාරලා සමසේ බෙදාගත් වචනයකි. හැබැයි අරගලය යන සංකල්පයේ නියම අර්ථ නිරූපණය කුමක්ද යන්න පසුගිය කාලයේ මේ රටේ අරගල එකකින්වත් ගම්‍ය නොවූ බව අපගේ අදහසය. ලෙනින් කියන පරිදි අරගලය වූකලී අශුද්ධ වැඩපිළිවෙළකි. එහෙත් එහි ප්‍රතිඵලය විශිෂ්ටය. අරගලයට විවිධ පාර්ශ්ව එකතු වන බැවින් ඒ තුළ හොරකම්, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් යනාදිය තිබෙන්නට පුළුවන. එහෙත් ඒ සියල්ල සිදුකර අවසානයේදී ජනතාවට හිතකාමී තත්ත්වයක් ඇතිකර ගැනීමට අරගලකරුවන්ට පුළුවන් විය යුතුය. එහෙත් පසුගිය අවුරුදු හැටක පමණ කාලයෙන් මෙපිට මේ රටේ සිදු වූ අරගල වලදී අශුද්ධ ක්‍රියා සිදුවීම පමණක් මිස ශුද්ධ ප්‍රතිඵල අත්වීමක් නැත.
1971 අප්‍රේල් පස්වැනිදා රෝහණ විජේවීර එක් දින කැරැල්ලක් ක්‍රියාත්මක කරවීය. එම කැරැල්ල ක්‍රියාත්මක වනවිට විජේවීර හිටියේ යාපනේ හිරගෙදරය. එහෙත් එම කැරැල්ලේ මතවාදී නායකත්වය, සංග්‍රාමික ක්‍රමෝපාය, දේශපාලන අරමුණ යන සියල්ල සපයන ලද්දේ විජේවීර විසිනි. එබැවින් එය විජේවීරගේ 1වැනි කැරැල්ලය. මේ කැරැල්ල පැය 24 ක් ඇතුළත මර්දනය කරන ලද අතර එයට සහභාගී වූ කට්ටියෙන් සෑහෙන ප්‍රමාණයක් ඝාතනය වී සෙස්සෝ හිරගෙවල් බලා නික්ම ගියහ. ඉන්පසු හිරෙන් නිදහස් වී පැමිණි විජේවීර 1986 දී සිය 2වන කැරැල්ල පටන් ගත්තේය. එය එම වකවානුවේදී සහ අද සිටින ජ.වි.පෙ. විසින් හඳුන්වනු ලබන්නේ මර්දනයට මුහුණ දීමක් ලෙසය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් මේ කැරැල්ල ආරම්භ කරමින් පළමුවැනි සිවිල් මිනිසා 1986 දෙසැම්බර් 5 දා මරණ ලද්දේ හම්බන්තොට, මිද්දෙණියේ, ගෝනදෙණිය ප්‍රදේශයේදීය. එම පළාතේ තිබූ මහා විද්‍යාලයක සිසුන් පිරිසක් ආණ්ඩු විරෝධී පෝස්ටර් කීපයක් විදුහලේ තැන් තැන්වල අලවා තිබිණි. විදුහල්පතිතුමා මෙයට එරෙහිව පොලිසි ගියේය. දින කීපයකට පසු විදුහල්පතිට වෙඩි කෑමට සිදු විය. එකල දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යනු ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය විය.
මේ කියන කාලයේදී සන්නද්ධ ක්‍රියාකාරකම් පිළිබඳ ඉතා හොඳ දැනුමක් තිබූ දේශපාලන න්‍යායවාදියෙක් ජවිපෙ ට සිටියේය. ඔහු කුමාර් ගුණරත්නම් ය. ඉතා රහසිගතව ජවිපෙ තුළ සිටි, එසේම එකල ජවිපෙ නායකයා වූ සෝමවංශ අමරසිංහටත් වඩා බලවත්, කුමාර් ගුණරත්නම් පසුකාලයේදී පෙරටුගාමී පක්ෂය හදාගෙන ජවිපෙන් කැඩී ගියේය. අද වන විට ශ්‍රී ලංකාවේ වාමවාදී තරුණ ශිෂ්‍ය සටන් ව්‍යාපාරයේ බලයෙන් 75% ක් හිමි වී ඇත්තේ කුමාර් ගුණරත්නම්ගේ පෙරටුගාමී ව්‍යාපාරයටය. ඒ අනුව ජවිපෙ සිටින්නේ ස්ටේජ් උඩ සහ පාර්ලිමේන්තු රූපවාහිනී චැනලයේ පමණි. ජවිපෙ 2වන කැරැල්ලෙන් 1986 දෙසැම්බර් 15 දා කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයකු වූ දයා පතිරණ ඝාතනය විය. දයා, උග්‍ර ජවිපෙ විරෝධියෙකි. දයා පතිරණ පැහැරගෙන ගොස් ගෙල කපා මැරුවේය.
විජේවීරගේ ජවිපෙ 2වැනි කැරැල්ල 1989 දක්වා පැවති අතර අන්තිමේදී විජේවීරද මරා දමනු ලැබීය. විජේවීරගේ ගමන ඉතාම අන්තවාදී මෝඩ ගමනක් බව වටහා ගත් ජවිපෙ නියෝජ්‍ය නායක ලයනල් බෝපගේ කල් තබාම විජේවීර අත්හැර ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියේය. ඉන් අවුරුදු බොහෝ ගණනකට පසු විජේවීරගේ තුන්වන කැරැල්ල ආරම්භ වෙයි. එය පටන් ගන්නේ ගෝඨාභයගේ ගේ වටකොට බස් එකක් ගිනි තබා ප්‍රචණ්ඩ ක්‍රියා සමූහයක් සිදු කිරීමෙනි. ගෝ හෝම් ගෝඨා ව්‍යාපාරය සහ ගෝ හෝම් මහින්ද යන ව්‍යාපාර දෙක මෙතැනින් උපන් බව අපි දනිමු. ඉන්පසු එම අරගලය ගෝල්ෆේස් පිට්ටනිය දක්වා වර්ධනය වෙයි. මේ අරගලය ඇවිළීම හෙවත් එහි ගිනි පුළිඟුව පත්තු කරන්නේ ජවිපෙත් පෙරටුගාමී පක්ෂයත්ය. ටික දිනකින් ජවිපෙ ද එම ව්‍යාපාරයෙන් වාෂ්ප කර තිබිණි.
එතැන් සිට පටන් ගන්නේ විජේවීරගේ න්‍යායවාදී සහ සංග්‍රාමික ශිෂ්‍යයා වූ කුමාර් ගුණරත්නම් නායකත්වය දෙන අරගලයකි.මේ අවුරුද්දේ මැයි නව වැනි දා අරගලය උපරිම ස්ථානයට පත්වී කැරැල්ලක් නිර්මාණය විය. එදා දේශපාලනඥයන් 74 දෙනකුට අයත් නිවාස 84 කට ගිනි තබන ලදී. එනම් ඇතැම් දේශපාලඥයකුගේ නිවසට අමතරව ඔහුගේ මාමණ්ඩියගේ නිවස ද, දික්කසාද වී වෙනම සිටින නැන්දම්මාගේ නිවසද ගිනි තබන ලදී. මේ කැරැල්ලේදී ප්‍රචණ්ඩ සිද්ධි 802ක් සිදුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී කීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂකයා නිට්ටඹුවේදී මරා දැමීමද එම ප්‍රචණ්ඩ ක්‍රියා වලට අයත්ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස ගිනිබත් කිරීමද ජනාධිපති මන්දිරයට, අරලිය ගහ මන්දිරයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට හානි කිරීමද මේ ප්‍රචණ්ඩ ක්‍රියාවල කොටස්ය. මේ සම්බන්ධයෙන් 3,420 ක් අත්අඩංගුවට ගෙන ඇත. 1971 ජ.වි.පෙ. පළමු කැරැල්ලෙන් පසුද තරුණයන් විශාල පිරිසක් අත්අඩංගුවට පත්වූහ. එයින් 25% ක් පමණ ගඟේ පාකර මුහුදට යවන ලදහ. 1986 - 89 කැරැල්ලේදී අත්අඩංගුවට පත්වූ 75% ක් ඝාතනය කරන ලදී. එහෙත් විජේවීරගේ තුන්වැනි කැරැල්ලේදී අත්අඩංගුවට පත් වූ කිසිදු කෙනෙක් මරාදමා නැත. එය සතුටුදායක ආරංචියකි.
ඊළඟ ජන අරගලය ආරම්භ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසිනැයි එහි නායක අනුර දිසානායක කීවද කුමාර් ගුණරත්නම්ගේ පෙරටුගාමී පක්ෂය අබිබවා යමින් එවැනි දෙයක් කළ හැකිදැයි අපි සැක කරමු. මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයේ 75% ක් පෙරටුගාමීන්ට තිබේ නම් එවැනි ජන අරගලයක වැඩි පංගුකාරයා වනු ඇත්තේ පෙරටුගාමී පක්ෂය ය. එයට හේතුව අරගලයකදී මුලින්ම පාරට බසින්නේ තරුණ පරම්පරාව වීමය. මේ තරුණ පිරිස් සමඟ කුඩ්ඩෝ ද, රැට්ටලා ද, මෝටිවේෂන් අප්පච්චිලා ද පැමිණීම නොවැළැක්විය හැකිය. ඒ ව්‍යාපාරය තුළ කුඩු බිස්නස් එකද, ගණිකාවන් විකිණීම ද එසේම පවතිනවා ඇත. මෙවර ද අපට ලෙනින් මතක් වේ. අරගලය අශුද්ධ බව ඔහු මුලටම කියා ඇත. ලංකාවේ අරගල මෙන්ම ප්‍රතිඵල ද අශුද්ධ ය.