
බංකොළොත් වූ ආර්ථිකයක් සහිතව හොඳටම නන්නත්තාර වී සිටින ශ්‍රී ලංකාවට ණය මුදලක් නිකුත් කරනවාද, නැද්ද, යන ප්‍රශ්නය තුළ අතරමංව සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවුරුදු හතරක කාල පරිච්ඡේදයක් තුළ ඩොලර් බිලියන 2.9 ක ණයක් අපට දෙන බවට එකඟත්වය පළකිරීමත් සමඟම අපේ හිස මත ඇති ආර්ථික අඳුරු වලාව හරහා රිදී රේඛාවක් ඇඳී ගියේය. මේ රිදී රේඛාව එකෙනෙහිම හටගෙන එකෙණෙහිම අතුරුදන් වන්නක් නොව අවුරුදු හතරක කාලයක් පුරා නොවෙනස්ව පැවතිය යුතු රිදී රේඛාවකි. ඉදිරි වසර හතරේ අපේ ආර්ථික හැසිරීමට අනුව මේ රිදී රේඛාව ඇති කිරීමේ හෝ නැති කිරීමේ බලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තිබේ. අප ආර්ථික පැත්තෙන් වගකීම් විරහිතව කටයුතු කළහොත් මේ රිදී රේඛාව සැණෙකින් අතුරුදන් වනවා ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණයක් නිකුත් කරනු ඇතැයි කිසිකෙනෙක් කල්පනා කළේ නැත. එයට ප්‍රධාන හේතුවක් තිබිණ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව යහපාලකයන්ගෙන් රට බාරගන්නා විට ඩොලර් බිලියන 7.8 ක් මහා භාණ්ඩාගාරයේ තිබිණ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට බාරගන්නා විට එම මුදල ඩොලර් මිලියන 20 දක්වා පහත බැස තිබිණ. ඩොලර් මිලියන 20ක් යනු ශ්‍රී ලංකාවේ දවසේ වියදමය. හුඟක් පිරිමහගෙන කළොත් මේ වියදම ඩොලර් මිලියන 17.5 ට අඩුකරගත හැකිය. වාහන වලට තෙල් නොගහ හිටියොත් මේ වියදම ඩොලර් මිලියන දහයකට අඩුකරගත හැකිය. රටේ මිනිස්සු නොකා නොබී හිටියොත් මේ දහයෙනුත් පහක් අඩු වේ. රට පවත්වා ගෙන යෑම සඳහා යොදවන පොදු පහසුකම් වියදම් සහ සේවක වැටුප් හා වේතන නොගෙවා සිටින්නේ නම් ඉතිරි ඩොලර් මිලියන 5 ද වියදම් නොකොට තබාගත හැකිය. එහෙත් ඒ තරමට පිරිමහන්නට ගියහොත් මාසයකට අඩු කාලයකදී ශ්‍රී ලංකාව මළවුන්ගේ රාජ්‍යයක් බවට පත්වේ. අප මේ සඳහන් කළේ මේ රටේ වියහියදම් පිලිබඳ සරල සාම්පලයකි. මේ සාම්පලයේ අඩුපාඩු තිබෙන්නට පුළුවන් වුණත් එය 100% ක්ම වැරදි නැත.
ශ්‍රී ලංකාවට ණයට මුදල් දිය යුතුද නැද්ද යන කාරණය ගැන කල්මරමින් සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වකීය අයවැය කතාව කිරීමෙන් පැය 24 ට පසු ඩොලර් මිලියන 2.9 ණය මුදල මුදා හැරීමට කැමති විය. හැබැයි ජනාධිපති වික්‍රමසිංහ ඉදිරිපත්කර තිබුනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු වන ආකාරයේ අයවැයක් නොව ජනතාවට සහන සපයන මානුෂික අයවැයකි. සමෘද්ධි පොරොත්තු පවුල් හත්ලක්ෂ විසිහයදාහකට මාසිකව රුපියල් 5000 බැඟින් දීමටත්, දැනට කන්න නැති පවුල් ලෙස හඳුනාගෙන සිටින පවුල් හැට එක් දාහකට මාසිකව රුපියල් දස දහස බැගින් දීමටත්, දැනට නැවතී තිබෙන ගැබිණි මව්වරුන්ගේ රුපියල් විසි දහසේ පෝෂණ මල්ල විසි දෙදහස් පන්සීයක් බවට පත්කොට නැවත ලබා දීමටත්, ගොවි ණය තොගයක් කපා හැරීමටත් සිය අයවැය මගින් ජනාධිපතිතුමා යෝජනා කළේය. අයි.එම්.එෆ් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ණය ආයතන මහජනයාට මෙවැනි ආතල් දෙනවාට කැමති නැත. ඔවුන් හැමවිටම ඉල්ලන්නේ අරකත් කපනු, මේකත් කපනු, ඒකත් කපනු යනුවෙනි. ගොවි ණය කපාහැරීම, සමෘද්ධි අපේක්ෂකයන්ට සල්ලි දීම වැනි මානුෂීය වැඩ කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ කිසිම පැහැදීමක් නැත්තේ ඒවායෙන් ආදායමක් ඉපදවීමට නොහැකි බැවිනි.
රටක් දියුණු වීමට නම් ආදායම් ඉපදවිය යුතුය. රටක් දියුණු නොවේ නම් එය සුබසාධක රාජ්‍යක් බවට පත්විය යුතුය. සුබසාධක රාජ්‍යයක සිදුකෙරෙන්නේ ජනතාවට නිකන් කන්න දීමය. එසේම පොදු පහසුකම් වලින් වැඩිහරියකුත් නොමිලේ ලබාදීමය. බොහෝ රටවල මේ තත්ත්වය සෑහෙන කලක් පවත්වාගෙන යාමේදී රට ගොඩ එන අතර තවදුරටත් නොමිලේ දෙන බෙහෙත් හෝ නොමිලේ දෙන කෑම හෝ අවශ්‍ය වන්නේ නැත. එහෙත් ශ්‍රී ලංකාව කවදාවත් සුබසාධන රාජ්‍ය තත්ත්වයෙන් ගොඩ ආවේ නැත.
ජනාධිපති වික්‍රමසිංහ ලෝක ධනවාදී න්‍යාය පත්‍රයට නොගැළපෙන අයවැයක් ඉදිරිපත් කළද එයින් පැය 24 ට පසු ශ්‍රී ලංකාවට ණය දීමට එකඟ වීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජනාධිපතිතුමාගේ එකී අයවැය පිළිබඳ විශ්වාසයක් ඇති කර ගෙන තිබෙන බව පෙනේ. එනම් රනිල් වික්‍රමසිංහ නමැති මිනිසාට ඉදිරි අවුරුදු හතර තුළ මේ රට ගොඩගැනීමට හැකි බවට විශ්වාසයක් ජාත්‍යන්තර මූලය අරමුදලට ඇතිවුණා විය යුතුය. කිසියම් රටකට ණය ලබාදීමට ගොස් සිටින විට ඒ රටේ නායකයා සුබසාධන අයවැයක් ඉදිරිපත් කළොත් අයි.එම්.එෆ්. නියෝජිතයන් පහුවදාම එම රටින් නික්ම යාම සිදුවිය යුත්තකි.
හැමදාම ණයට කා පුරුදු ශ්‍රී ලංකාව දියුණු කිරීම ලේසි පහසු කෙළියක් නොවේ. මේ රටේ ජනතාවගෙන් බහුතරය හැමවිටම සිටින්නේ ණය මානසිකත්වයක් තුළය. ඔවුහු හතර අතට ණය ය. රජයේ සේවකයෙක් ගත්තොත් ඔහු බයිසිකල් ලෝන්, හවුසින් ලෝන්, ආපදා ලෝන්, දුවගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් ගත් බැංකු ලෝන් යනාදියෙන් තදවී සහ මිරිකී සිටී. ඒ මිනිහා ජීවත්වන රට යනු ඒ මිනිහාගේ ආර්ථික සංයුතියේ යෝධ ප්‍රක්ෂේපණයකි. ආණ්ඩුවද රටවැසියා මෙන් හැමටම ණය ය. ආණ්ඩුව පාරවල් හදන්නේ ණයට සල්ලිගෙනය. ඒ පාරවල්වලට තාර දමන්නේත් සල්ලි ණයට ගෙනය. ඒ තාර පාරවල දුවන වාහන සියල්ලම ෆිනෑන්ස්කාරයන්ගේ අත් යට තිබෙන ණය භාණ්ඩ ය. ශ්‍රී ලංකාව කොපමණ ණයවී තිබුණේ ද යත් ණය වාරික දෙකක් ගෙවා ගැනීමට නොහැකි විය. මෙය ජාත්‍යන්තර මුදල් වෙළඳපොළ තුළ එතරම් යහපත් තත්ත්වයක් නොවේ.
කිසියම් රටක් තවත් රටකට ණය දී එම ණය මුදල හා පොලිය ආපසු ලබා ගැනීමට බැරිවූ විට එම ආරංචිය ලොව පුරාම පැතිර යයි. ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වීමේ මූලික සංකල්පය ආරම්භ වූ පසු රට රටවල් අතර ආර්ථික ඕපදූප සහ දේශපාලන කතන්දර පැතිර යන්නේ ජංගම දුරකතනයක් ඔස්සේ එස්.එම්.එස්. එකක් යවන වේගයෙනි. එසේ තිබියදීත් ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසයක් ඇතිකරගෙන ණය නිකුත් කිරීම සඳහා ජාත්‍යන්තර ණය අරමුදල නම්මවා ගැනීමට රනිල් වික්‍රමසිංහයන් තුළ තිබූ හැකියාව කිසිසේත්ම අඩු තක්සේරු කළ යුතු නැත. ඔහුගේ ලිබරල් මතයට මුළු ලෝකයම කැමති බව පෙනේ. දැන් අප කළ යුත්තේ ලිබරල් මතය කොඩියක් ලෙස ගසාගෙන වාහනයක නැඟී ලෝක සංවර්ධන ආර්ථික ක්‍රියාවලිය ඔස්සේ ගමන් කිරීමය.