පුව­ත්පත් කලාවේ අනා­ගත අභි­යෝග | සිළුමිණ

පුව­ත්පත් කලාවේ අනා­ගත අභි­යෝග

ක්මිණි පහන පුවත්පතට අවුරුදු 160 ක් සම්පූර්ණ වී තිබේ. එය මුල් වතාවට වෙළඳපොළට එන්නේ 1862 සැප්තැම්බර් 11 වනදාය. රත්මලානේ පරමධම්මචේතිය විහාරාධිපති අතිපූජ්‍ය වලානේ ශ්‍රී සිද්ධාර්ථ නායක හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි ගාල්ලේ මුදලිවරයකු වූ සල්පිටිකෝරලේ ගුණතිලක අතපත්තු විසින් මේ පුවත්පත කොළඹ වුල්ෆන්ඩොල් වීදියේ අංක 77 දරන තැන පිහිටි මුද්‍රණාලයකදී මුද්‍රණය කර පිටපතක් සත 6ට හෙවත් පනමකට විකුණන ලදී. එදා මේ පුවත්පතේ තිබුණේ කුඩා ප්‍රමාණයේ පිටු හතරකි. අද මෙන් විශාල ප්‍රමාණයේ පුවත්පත් අච්චු ගැසීමට එකල පහසුකම් නැත.

මේ කියන කාලයේදී පනමක් යනු ලොකු මුදලකි. පුවත්පතක් පනමකට මිලට ගැනීමට වැඩි දෙනා කැමති වුණේ නැත. එයට හේතුව එකල හාල් සේරුවක් ද පනමක් වීමය. අද වන විට ලක්මිණි පහන නැත. එය අච්චු ගැසූ මුද්‍රණාලය ද නැත. එහෙත් එක දෙයක් ඉතිරිව තිබේ. ඒ වූ කලි එදා විසූ ජනයාට පුවත්පතක මිල දරා ගන්නට බැරි වීමේ කාරණය ය. අද වන විට සති අන්ත පුවත්පතක මිල රුපියල් 150 කි. මෙය කොයි වෙලාවක හෝ රුපියල් 200 ක් වීමට ඉඩ තිබේ. හාල් කිලෝවක් විකුණන්නේ ද රුපියල් 200ට ටිකක් වැඩි මුදලකටය. පාන් රාත්තලකුත් රුපියල් 250 කි. මේ නිසා නූතන ජනයා පුවත්පතක් මිලට ගැනීමේදී කල්පනා කරන්නේ එම මුදලින් පාන් රාත්තලක් හෝ හාල් කිලෝවක් මිලට ගෙන රූපවාහිනියෙන් විකාශය වන දෛනික පුවත්පත් විස්තර වැඩසටහනක් නරඹනවාද යන්නය.

ශ්‍රී ලංකාවේ පුවත්පත් කර්මාන්තය අන් කිසි කලෙකත් නොවූ පරිදි ඉතා දරුණු අර්බුදයකට මුහුණ පා තිබේ. කොරෝනා කාලයේදී පත්තර අච්චු ගැසීම සම්පූර්ණයෙන්ම නැවත්වීමට පුවත්පත් ප්‍රකාශකයන්ට සිදුවිය. ඉන්පසු පත්තර අච්චු ගසන්නට පටන්ගත් විට පාඨක ජනතාවට පත්තර අත්හැරී ගොස් තිබිණි. වැඩි දෙනා තමන් ළඟ ඇති ස්මාර්ට් ෆෝන් එකකට රුපියල් 99 ඩේටා කාඩ් එකක් දමා විවිධ ප්‍රවෘත්ති ටෙලි නාට්‍ය නරඹමින් ෆේස්බුක් එකට ගොස් ආණ්ඩු පෙරළීමේ ව්‍යාපාරවලට ද එකතු වූහ. පත්තර කර්මාන්තය කොතරම් අවදානමකට වැටී ඇත්ද යත් ආණ්ඩුව මැදිහත් වී කුමක් හෝ නොකළොත් එම කර්මාන්තය සදහටම නැවතීමට ඉඩ තිබේ.

මීට අවුරුදු 160ට පෙර ලක්මිණි පහන පුවත්පතේ තිබුණේ පිටු 4 ක් පමණ බව අපි මුලදීම කීවෙමු. මෙහෙම ගියොත් සමහර විට මේ රටේ පත්තර කර්මාන්තය නැවත වරක් පිටු 4ටම බැසීමට ද ඉඩ ඇත. එහෙත් පිටු අඩු වුණා යැයි කියා පත්තරවල මිල කිසි ලෙසකත් පහත බැසීමට ඉඩ නැත. එසේනම් ලක්මිණි පහන මුද්‍රණද්වාරයෙන් එන විට පනමක් ගෙවා පිටු හතරක් මිලට ගැනීමට මිනිසුන් අකමැති වීමේ සිද්ධිය නැවතත් පුනරුච්චාරණය වනවා ඇත.

ශිෂ්ටාචාරය විසින් පුවත්පත් කලාව සහ පුවත්පත් කර්මාන්තය හඳුනා ගැනීමත් සමඟම ලෝකය ආලෝකවත් වන්නට පටන් ගත්තේය. ගුවන් විදුලිය හෝ රූපවාහිනිය මෙලොවට පහල ව නොතිබූ මෙයට අවුරුදු තුන් හාරසීයකට පෙර යුගයේදී ලෝකවාසී ජනයා අල්ලපු රටේ සහ ඈත මහද්වීපවල සිදු වූ දේවල් දැනගත්තේ පුවත්පත් මඟිනි. එකල මේ කර්මාන්තය කෙතරම් ශක්තිමත් වීද යත් පුවත්පත් ඔස්සේ ආණ්ඩු පෙරළීමටද හැකි විය. එහෙත් ලෝකය විශ්ව ගම්මානයක් වී ශ්‍රී ලංකාව එහි වූ ග්‍රාම සේවා වසමක් බවට පත්වීමත් සමඟම සියල්ල කණපිට හැරී පුවත්පත් කර්මාන්තය කුණු වීමට පටන් ගත්තේය.

ඒ අතර රූපවාහිනිය සහ ඩිජිටල් මාධ්‍ය ඉතා ශීඝ්‍රයෙන් සාමාජය ආක්‍රමණය කරන්නට පටන් ගත්තේය. රූපවාහිනිය කෙසේ වෙතත් යූ ටියුබ්, ෆේස්බුක්, ට්විටර් වැනි ඩිජිටල් මාධ්‍ය කිසිදු ආකාරයක විශ්වසනීයත්වයක් ඇති මාධ්‍ය නොවේ. එම මාධ්‍ය තුළට පිවිස ඕනෑම කුණුහරුපයක් හෝ ඕනෑම පල් බොරුවක් හෝ පැළ කිරීමට ඕනෑම පල් හොරකුට හැකිය. කුණු රසයට ආසාවක් මනුෂ්‍යයන් වැඩි දෙනකුගේ සිත් තුළ සැඟ වී තිබේ. මේ නිසා මිනිස්සු වගකීම් රහිත ඩිජිටල් මාධ්‍ය වෙත ආසක්ත වීමට පටන් ගත්හ. ඩිජිටල් මාධ්‍ය මඟින් වපුරන පල් බොරු සහ තිත්ත කුණුහරුප වැපිරීමට පුවත්පත්වලට නොහැකිය. එබැවින් කුණු රසයට ලොල් වූවන් අතරින්, ඩිජිටල් මාධ්‍ය උඩටම මතු විය. සති අන්ත පත්තරයකට රුපියල් 150 ක් වැය කරනවාට වඩා රුපියල් 99 ක ඩේටා කාඩ් එකක් සිය දුරකථනයට දමා රටේ තොටේ සිදුවන මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, දේශපාලනඥයන්ගේ ඕපාදූප නැරඹීමට ජනයා කැමති වූහ.

මේ කියන කුණු ස්ථාවරයෙන් එහා ජීවත් වන සංස්කෘතික මිනිසුන් පිරිසක්ද මේ රටේ ජීවත්වන බව අප මතක තබා ගත යුතුය. මුල සිටම පුවත්පත් මිලට ගන්නා ලද්දේ මේ කියන සංස්කෘතික මිනිස්සුය. අද වන විට එම සංස්කෘතික මිනිසුන් ක්‍රමයෙන් වියපත්ව මිය පරලොව යමින් සිටින අතර එයට සාපේක්ෂව පත්තර මිලට ගැනීමද අඩු වෙමින් පවතී. මේ සියලු අභියෝග මැද ශ්‍රී ලංකාවේ පත්තර කර්මාන්තයට ලොකුම හානිය සිදුවන්නේ පුවත්පත් කඩදාසි සහ මුද්‍රණ ද්‍රව්‍ය මිල ඉහළ යෑමෙනි. පුවත්පත් ප්‍රවාහනය කිරීමට යන මිල ද අද ඉතා වැඩිය. මේ නිසා මේ රටේ සියලු පුවත්පත් මේ වනවිට දුවන්නේ පාඩුවටය. සමහර පත්තර කන්තෝරු පඩි ගෙවීම සඳහා අයිතිකාරයන් සිය පෞද්ගලික දේපළ විකුණා මුදල් එකතු කරන තත්ත්වයක් මතුව තිබේ. තවත් සමහරු තමන් සතු වෙනත් ව්‍යාපාරවලින් එන මුදල්වලින් ස්වකීය නඩත්තු කරති. මෙය දීර්ඝකාලීනව කළ නොහැකිය. කිසියම් දවසක පුවත්පත් හිමිකරුවන්ගේ සියලු සල්ලි නිම වන අතර, පත්තර අච්චු ගැසීමට තබා කාර්යාලයට එනු පිණිස තෙල් ගසා ගැනීමටවත් ඔවුනට මුදල් නැති වනවා ඇත.

ඉහත සඳහන් තත්ත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමු කර මේ රටේ පත්තර කර්මාන්තය බේරා ගැනීමට රජය කුමක් හෝ කළ යුතු බව අපි නැවත වතාවක් කියමු. නොඑසේ නම්, ලක්මිණි පහනේ 160 වන සංවත්සරය වනවිට එක්සයිස් පොත් කර්මාන්තය හැර පත්තර කර්මාන්තයක් මේ රටේ ඉතිරි නොවනවා ඇත. එවිට මේ රටේ සිටින දහස් ගණනක් වූ පත්තර ඒජන්සිකරුවන්ට සිදුවනු ඇත්තේ එක්සයිස් පොත් ආදායමෙන් ජීවත් වීමටය.

 

Comments