නවක වදය නමැති බෝවන මාන­සික රෝගය | සිළුමිණ

නවක වදය නමැති බෝවන මාන­සික රෝගය

මෙය අවුරුදු 22 ක් පරණ කතාවකි. මේ කියන කාලයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික නවක වද සමය ඇරඹී තිබිණ. එය ඉතා ක්‍රෑර ලෙසත් නීච ලෙසත් නින්දිත ලෙසත් පැවති අතර එම මෙහෙයුම තනිකරම තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ මඟින් පාලනය කෙරුණු ශිෂ්‍ය කණ්ඩායමක් විසින්ය. ප්‍රගතිශීලී පෙරමුණ යන්න මේ වනචාරී මැර කණ්ඩායමේ නාමය. මේ අතර එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අංශයේ ශිෂ්‍යයකු වූ ඕවිටිගල විතානගේ සමන්ත නවක වදයට විරුද්ධව නැඟී සිටියේය. ප්‍රගතිශීලී පෙරමුණ කියා සිටියේ ඔහු යූ.එන්.පී කාරයකු බවය. මේ අතර 2002 නොවැම්බර් 7 දා සමන්තගේ මූලිකත්වයෙන් නවක වද විරෝධී කණ්ඩායමක් විශ්වවිද්‍යාලයේ කිසියම් තැනක රැස්වීමක් පැවැත්වූහ. එතැන වට කළ 200 කින් පමණ සමන්විත වූ මැර ශිෂ්‍ය කණ්ඩායමක් සමන්ත අතුළු පිරිසට පහර දී පරිගණක මොනිටරයකින් සමන්තගේ හිසට පහර දුන්නේය. මේ කියන කාලයේදී LED Flat Screen පරිගණක මොනිටර මෙරට තිබුණේ නැත. තිබුණු මොනිටර පරණ TV සැම්පලයේ ඝනකම් වීදුරුවක් සහිත උපකරණයක් විය. මොනිටරයෙන් කරන ලද පහර දීමේදී පරිගණක වීදුරුව කඩා ගෙන සමන්තගේ හිස මොනිටරය ඇතුළට ගිය බවත් ඔහුගේ හිස් කබල කුඩු වූ බවත් කියනු ලැබේ. සමන්ත එකෙණෙහිම මළේය.

ඔහු මරා දැමීමට විරුද්ධව ඔහුගේ මව අභීතව නැඟී සිටිමින් උසාවියට ගියාය. සමන්තගේ ඝාතකයන් වැඩි දෙනා නීතියට හසු නොවූ බවට මතයක් අදටත් පවතී. ඔහු ඝාතනය කිරීමට දායක වූ අයගෙන් සමහරු අද වන විට නීතිඥයන් බවට පත්ව සිටිති. තවත් සමහරු රටින් පිටව ගොස් වෙනත් රටවල පුරවැසියන්ව සිටිති. මිනීමැරුමෙන් පසුව සමන්තගේ මව හමු වූ මිනීමරුවෝ ඇයට විශාල මුදලක් සහ සමන්ත නමින් රෝහල් වාට්ටුවක් ඉදිකර දෙන බව කියා නඩුව ලිහිල් කරන්නැයි ඉල්ලා සිටියහ. එහෙත් ඒ අභීත කාන්තාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය. මේ කියන කරුමක්කාර නවක වදය අදටත් ඒ හැටියෙන්ම මේ රටේ විශ්වවිද්‍යාල තුළ පවතී. අද මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය තුළ තවදුරටත් ජවිපෙට තැනක් නැත. එම තැනට පත්ව සිටින්නෝ පෙරටුගාමීහුය. පෙරටුගාමීන්ට ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය යන විට නවක වදයෙන් තොර යහපත් විශ්වවිද්‍යාල පද්ධතියක් බිහිවනු ඇතැයි මේ රටේ ජනතාව කල්පනා කළහ. එහෙත් අවසන් විග්‍රහයේදී බලන විට තත්ත්වය එදත් එකය. අදත් එකය.

කෙ‍ෙනකුට වද දී සතුටුවීම පරපීඩක කාමුකත්වය ලෙස හඳුන්වනු ලැබේ. මෙය විකෘති මනෝභාවයක් තුළ හටගන්නා ලිංගික ආශාවකි. ඒ අනුව විශ්වවිද්‍යාල තුළ දී නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වද දෙන ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයන් කාම පිස්සන් ලෙස අර්ථ නිරූපණය කළ හැකිය. කාම පිස්සා යනු භයානක සමාජ විරෝධියෙකි. ඔහු හෝ ඇය ප්‍රසිද්ධ සමාජයට ගිය කල්හි විවිධ අවිතරවත්ව හැසිරිමට පටන් ගෙන වධක කාන්තාවක හෝ වධක පුරුෂයකු බවට පත් වෙයි. මේ අනුව දැනට පුරප්පාඩු වී ඇති අළුගෝසු තනතුරට නවක වද ඉතිහාසයක් ඇති උපාධිධාරීන් බඳවා ගැනීම වඩා යෝග්‍ය බව අප විශ්වාස කරමු. හිට්ලර්ගේ නාසි ව්‍යාපාරය තුළ ශිෂ්‍ය ව්‍යාපාරයක්ද විය. මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සිටියේ ඉස්කෝලවල හයේ හතේ පන්තිවල ළමයි නොවේ. ඔවුන්ගෙන් වැඩිදෙනා බර්ලින් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෝ වූහ. යුදෙව් කාන්තාවන් අත්අඩංගුවට ගෙන වධ දී ගෑස් කාමරවල දමා ඝාතනය කිරීම බාරවී තිබුණේ මේ ශිෂ්‍ය ව්‍යාපාරයෙන් මිනී මරු නාසි ව්‍යාපාරයට පැමිණි උපාධි අපේක්ෂක ශිෂ්‍ය නායිකාවන්ටය. යුද්ධය පටන්ගත් වහාම විශ්වවිද්‍යාලයෙන් ඉවත්වූ මෙවැනි ශිෂ්‍යාවෝ යුදෙව් සංහාර කොන්ත්‍රාත්තුව සියතට ගැනීමේ පරපීඩක කාමාශාවෙන් මත්වී හිට්ලර්ගේ හමුදාවට එකතු වූහ. මේ වර්ගයේ පරපීඩක කාමුක ශිෂ්‍යාවෝ අපේ විශ්වවිද්‍යාලවලද සිටිති. නවක වද වරදට වැරදිකරුවන් වී පන්ති තහනම් කෙරුණු සරසවි ශිෂ්‍ය නායිකාවන් ගැන අපි නිතර අසා ඇත්තෙමු.

නවක වදධීකරුවන්ගේ හතර හන්දි කඩනු සඳහා කණ්ඩායමක් වශයෙන් ඉදිරියට ඒමට නවක වද විරෝධීන්ට බැරි ඇයි? නවක වදය යනු බෝ වෙන මානසික රෝගයකි. (සාමාන්‍යයෙන් මානසික රෝග බෝවන්නේ නැත) මේ අවුරුද්දේ නවක වදයට ලක්වන්නෝ එයට විරුද්ධව හඬා වැලපී කාගෙන සිට ඊළඟ සැරේ අලුතෙන් සරසවියට එන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නවක වදය දීමට පටන් ගනිති. ලංකාවේ විශ්වවිද්‍යාලවල නවක වදයක් මුල් යුගයේ තිබුණේ නැත. එහෙත් සැබෑ වාමාංශික නොවන වාමාංශිකයන් ලෙස පෙනී සිටි හැතිකරයක් විශ්වවිද්‍යාලවලට එන්නට පටන්ගැනීමෙන් පසු නවක වදය ඇරඹිණ. 1975 දී හටගත් රූපා රත්නසීලි සිද්ධිය නවක වද ඉතිහාසයේ කළු පැල්ලමකි. පේරාදෙණිය සරසවියේ නවක ශිෂ්‍යාවක වූ ඇය නවක වධකයන් පිරිසක් විසින් දූෂණය කිරීමට තැත් කිරීම නිසා එම විශ්වවිද්‍යාලයේ රාමනාදන් ශාලාවේ දෙවන තට්ටුවෙන් බිමට පැන්නාය. රූපා රත්නසීලිගේ කොන්ද කැඩුණු අතර ඇගේ ජීවිතය එතැන් සිට ගත වුණේ රෝද පුටුවකය. ඇය ජීවත් වුණේ කුලියට ඇඳුම් මැසීමෙනි. අන්තිමේදී දුක් කරදර ඉවසීමට බැරිවූ තැන රෝද පුටුවෙන්ම ගෙවත්තේ ළිඳ වෙත බඩ ගාගෙන ගොස් ළිං ගැට්ටට නැඟී එයට පැන සියදිවි නසා ගත්තාය. 1993 දී රුහුණු සරසවියේ චමින්ද පුංචිහේවා නවක වදයෙන් මියගියේය. 1997 දී රුහුණු සරසවියේ පළමු වසරේ තරුණ ශිෂ්‍යාවක් දූෂණය කිරීමට තැත් කිරීම හෝ දූෂණය කරනු ලැබීම නිසා සිය දිවි නසා ගත්තාය. 1998 දී පේරාදෙණිය සරසවියේ ශිෂ්‍යයකු වූ වරප්‍රගාෂ් නවක වදයෙන් තුවාල ලබා මියගියේය. 2011 දී රුහුණු සරසවියේ නවක වදයට ලක්වූ ශිෂ්‍යයෙක් අංශභාග රෝගියෙක් බවට පත්විය. 2011 දී නවක ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කරමින් සිටි පේරාදෙණිය සරසවියේ ශිෂ්‍යයන් තිදෙනෙක් බලධාරීන්ගේ අතටම හසු වූහ. 2013 දී පේරාදෙණිය සරසවියේ දෙවන වසරේ ශිෂ්‍යාවන් දෙදෙනෙක්, නවක ශිෂ්‍යාවන් පිරිසක් වැසිකිළියක් තුළට දමා කිසියම් කාරණයකට සූදානම් වෙමින් සිටියදී හසු වූහ. නවක ශිෂ්‍යාවන් පිරිස වැසිකිළිය තුළ සිටියේ නිරුවතිනි. අන්තිමේදී වරදකාරී ශිෂ්‍යාවන් පිරිස සති තුනක පන්ති තහනමකට පමණක් ලක් වූහ. මීට අමතරව නවක වදය නිසා ජීවිත විනාශ කරගත් දහස් ගණනක් දෙනා ලංකාවේ සිටිති. ඒ සියල්ල නොකියූ කතන්දර ය.

නවක වද සිද්ධීන් රාශියක් පසුගිය සතිවල වාර්තා විය. නවක ශිෂ්‍යාවන්ට වද දීමේ සිට යට ඇඳුම් ඇඳීම තහනම් කිරීම, අන් අයගේ ඉඳුල් අත් ලෙව කෑමට සැලැස්වීම, ලිංගික හිංසනය යනාදිය මේ දිනවල සිදු වෙමින් පවතී. මේවාට විරුද්ධව නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින්ම සංවිධානය වනු ලැබිය යුතු බව අපගේ වැටහීමය. නවක වධකයන් දෙතුන් දෙනකුට මතක හිටින පාඩමක් දිය හැකි නම් ඔවුන් නවක වදය දීමට තබා ඉගෙන ගැනීමටවත් විශ්වවිද්‍යාල තුළට නොඑන බව විශ්වාසය.

 

Comments