අර­ග­ලයේ 2 වැනි ඉනිම | සිළුමිණ

අර­ග­ලයේ 2 වැනි ඉනිම

 ශ්‍රී  ලංකාවට පෘතුගීසි ආක්‍රමණිකයා පැමිණියේ 1505 දී ද නොඑසේ නම් 1506 දී ද? මෙය මතභේදයට තුඩුදුන් කාරණයකි. ඇතැම් පර්යේෂකයන්ගේ මතයට අනුව 1505 දී ලොරෙන්සෝ ද අල්මේදා නැවක නැඟී ලංකාව අහලින් පහළින් යාත්‍රා කරන විට කුණාටුවක් හටගෙන නැව ගාලු වරායට ගසාගෙන ආවේය. එසේ එනවිට නැව අබලන් වී තිබිණ. ගාලු වරායෙන් ගොඩ බට අල්මේදා ගාල්ල පුරා ඇවිද ඊළඟ සැරේදී මේ රට අල්ලා ගනිමි යැයි සිතා නැවත් රෙපෙයාර් කරගෙන ගම රට බලා ගියේය. 1506 දී ආපසු පැමිණි අල්මේදා ශ්‍රී ලංකාව අත්පත් කරගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කළේය. ලොරෙන්සෝද අල්මේදා යනු නැව් කපිතන් කෙනකි; ස්ත්‍රී ධූර්තයෙකි; බේබද්දෙකි. කතෝලික ආගම අදහන බව පෙන්නුවත් ඒ ආගමේ මූලධර්ම කිසිවක් ඔහු තුළ තිබුණේ නැත. මේ රට තුළදී ඔහු ස්වකීය ස්ත්‍රී ධූර්ත භාවයත්, බේබදුකමත් මනාව ක්‍රියාත්මක කළේය.

එතැන් සිට ශ්‍රී ලංකාවේ සිංහල සංස්කෘතියත් පෘතුගීසි සංස්කෘතියත් අතර සංස්කෘතික ගැටුමක් ඇතිවිය. ආචාර්ය සුසන්ත ගුණතිලක විසින් ලියන ලද A Sixteenth century of clash of civilizations : The Portuguese presence in Sri Lanka නමැති කෘතියෙහි මේ සංස්කෘතික ගැටුම ගැන විස්තර කර තිබේ. පසුගියදා මේ රටේ හටගත් ආණ්ඩු විරෝධී අරගලයේ දෙවැනි ඛාණ්ඩය හෙවත් ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ තනතුරු වලින් ඉල්ලා අස්වූ පසු අරගලය යන නම යටතේ හටගත් පිස්සු කෙලියද මෙකී සංස්කෘතික ගැටුමේ ස්වරූපයක් ලෙස දැක්විය හැකිය.

මේ සංස්කෘතික සංදර්ශනය පැවැත්වෙන්නේ ගාලු මුවදොර කේන්ද්‍ර කරගෙනය. එයට ප්‍රමුඛ හේතුවක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ කළ ඉතිහාසගත වරදකි. උද්ඝෝෂකයන්ට සහ විරෝධතාකරුවන්ට ස්වකීය විරෝධය ප්‍රකාශ කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට භූමියක් ගෝඨාභය රාජපක්ෂ විසින් වෙන්කර දෙන ලදී. ගෝල්ෆේස් අරගලය ස්ථානගත වන්නේ මේ බිම්කඩේය.

ගෝඨාභය සහ මහින්ද ඉවත්ව යාමත් සමඟම අරගලයේ සැබෑ පාර්ශ්වකරුවෝ ස්වකීය ගෙවල් බලා නික්ම ගියහ. එහෙත් තුන්වේලම නොමිලේ කෑම කා අරගලයෙන් ජීවත් වීමටත් ප්‍රසිද්ධිය ලබා ගැනීමටත් කල්පනා කළ තවත් පිරිසක් එහි රැඳී තව දුරටත් අරගල කිරීමට වූහ. බලයට පැමිණීම සඳහා ඇති අවස්ථාව දුර්වල වාමාංශික මතවාදී කණ්ඩායම් දෙකක් ද මේ දෙවන අරගලකාරයන් පිටුපස වූහ. එහෙත් ගෝල්ෆේස් අරගලයට ගුටි දී විසුරුවා හරින ලද අවස්ථාවේදී පෙරකී වාමාංශික කණ්ඩායම්වල නායකයන් කිසිවෙක් ගෝල්ෆේස් පිට්ටනියේ හිටියේ නැත. එකකුට බඩේ අමාරුව වැළඳීම නිසා ළඟ පිහිටි තරු පහේ හෝටලයකට යාමට සිදුවී තිබිණ. අනෙකා බොහෝ කලක් ගෙදර නොසිටි නිසාත් ගෙදර නොඒම සම්බන්ධයෙන් බිරිය බැන වදින නිසාත් ගෙදර ගොස් තිබිණ. ඒ අතර නායකයන් නොවන කබ්බන් සමූහය ගුටි කා හිස් ලූ ලූ අත පලා ගියහ.

පසුව ගෝල්ෆේස් පිට්ටනිය පැත්තක කුඩා පැල්පත් කිහිපයක් ඉදිකොට නාමමාත්‍රික අරගල භූමියක් පවත්වාගෙන යන ලදී. උදේට මෙහි සිටින්නේ අඩු ගණනකි. රාත්‍රියේදී මේ අරගල භූමියට නොමිලේ කෑම බෙදන අතර එවිට එතැනට රැස්වන ජනගහනය තුන්සීයක් හෝ හාරසියයකි. මේ අතර තනි කරාඹුව පැළඳි අයද පච්ච කාරයෝද නාස්පුඩුවලින් මෙන්ම කන් දෙකෙන්ද දුම් පිට කරන ජොයින්ට්කාරයෝද සිටියහ. අරගලයක විභවය ගංජාවලින් තක්සේරු කිරීමේ අදහසක් අප තුළ නැත. සටන්කාමී ගායකයකු වූ ජැමෙයිකාවේ බොබ් මාලි ද සූස්ති පප්පෙකි. එසේම බොලිවියාවේ සටන් වැදුණු චේ ගෙවාරා ද ගංජා සුරුට්ටුවක් ඇද්දේය. එහෙත් ලංකාවේ දෙවැනි අරගල රැල්ලේ සිටි අයගෙන් වැඩි දෙනා කළේ ගංජා ගැසීමත් අරක්කු බීමත් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමත් පමණි. ඒ නිසා පොලිසියෙන් ගුටි කෑමට මේ අයට ශුද්ධ වූ අයිතියක් ඇත.

අරගලයේ පළවෙනි කොටසට මෙන්ම දෙවනි කොටසටද බොහෝ සල්ලි ලැබුණේ පිටරටිනි. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණිකයන් මේ රටේ දේශීය සංස්කෘතිය අතුගා දැමීමට තැත් කළා සේ අරගලකාරයෝද එම සල්ලිවලින් කමින් බොමින් අසංස්කෘතිකව හැසිරුණාහ. මෙවැනි අරගලකාරයෙක් ජනාධිපති වී තව කෙනෙක් අගමැති වූයේ නම් ලංකාව කෙලින්ම ඉඩි අමීන්ගේ උගන්ඩාවක් බවට පත්වෙයි. අරගලයෙන් පසු අරලිය ගහ මන්දිරයත්, ජනාධිපති ලේකම් කාර්යාලයත්, ජනාධිපති මන්දිරයත් ආක්‍රමණය කළ ප්‍රචණ්ඩ ත්‍රස්තවාදින් ලෙස හැසිරුණු පිරිස් එම ගොඩනැගිලිවල ඇති බිත්තිවල පහරමින් පුරා වස්තු කොල්ලකමින් විශාල විනාශයක් කළහ. 1557 දී පෘතුගීසි ආක්‍රමණිකයන් කැලණි විහාරය කොල්ලකන ලද්දේත් මේ ආකාරයටමය. තාලිබාන් ආගම්වාදීන් ඇෆ්ගනිස්තානයේ කෞතුකාගාර කොල්ලකන ලද්දේත් ඒවායේ තිබූ බුද්ධ ප්‍රතිමා පොළවේ ගසා බිඳින ලද්දේත් මේ ආකාරයටමය. අරගලයේ පළමු කොටස නිර්පාක්ෂික, නිර්ආගමික පිරිසිදු එකක් වූ නමුත් එහි දෙවන කොටස සහ පසුව ඉතිරි වූ නෂ්ටාවශේෂ ඉතාම සැක සහිත දේවල්ය. මෙයට කලකට පෙර මේ රටේ ආණ්ඩුව පෙරළීම සඳහා රුපියල් කෝටි 65 ක් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකටත් නිවන් මගේ ගේට්ටුව අසල සිටින කිහිපදෙ­‍ෙනකුටත් ලැබුණු බව ප්‍රචාරය විය. අරගලකරුවන් තවමත් යැපෙන්නේ එදා ලැබුණු ඒ සල්ලිවල ඉතිරි කොටසින්දැයි අපට සැක හිතෙන්නේ සහේතුකවය.

 

Comments