
ධනවාදයේ පිරමීඩය නමැති සුප්‍රසිද්ධ කාටූන් චිත්‍රයක් 1911 දී ඇමෙරිකන් කාටූන් ශිල්පියකු විසින් අඳින ලදී. මේ වෙනවිට ලෙනින් ගේ එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව බිහිවී නැත. මේ කාටූනයේ පෙන්වන පරිදි පිරමීඩයේ ඉහළින්ම සිටින්නේ රජ පවුලය. ඊට යටින් පූජකයෝත්, රදළයෝත් එක ගොඩේ සිටිති. මේ පන්ති සියල්ලම සිටින්නේ හමුදාවේ හිස මතය. ඊළඟට, රජුටත්, රදළයන්ටත්, පූජකයන්ටත්, හමුදාවටත් ගොටු අල්ලන කොම්ප්‍රදෝරු පන්තිය ඉහත කී කණ්ඩායම් හතර හිස මත තබාගෙන සිටිති. පිරමීඩයේ අන්තිමට සිටින්නෝ නිර්ධන පන්තික ජනතාවය. පෙරකී කණ්ඩායම් පහම නිර්ධන පන්තික සාමාන්‍ය ජනතාවගේ හිස මත සිටගෙන සිටිති.
එක් දවසක නිර්ධන පන්තික ජනතාව තම හිස මත නැග සිටින රජු, පූජක, රදළ, හමුදා, කොම්ප්‍රදෝරු යන පන්ති පහම පෙරළා දමති. මේ පෙරලීම ශූන්‍ය කිරීම සඳහා රජ අණින් යුද හමුදාවත්, පූජක කණ්ඩායමත්, රදළ රැලත්, කොම්ප්‍රදෝරු පිරිසත් සාමාන්‍ය ජනතාවට එරෙහිව නැඟී සිටිති. පන්ති අරගලය පටන් ගන්නේ මෙතැනින්ය. මේ අරගලය අවසානයේදී එක්කෝ රජු ඇතුළු ඔහුට ගොටු අල්ලන පිරිස ජයග්‍රහණය කරති. නැත්නම් ජය හිමිවන්නේ සාමාන්‍ය ජනතාවටය. සාමාන්‍ය ජනතාව තුළ සැබෑ අරගලකරුවෝ වෙනම සිටිති. එසේම පාදඩ පන්තියද වෙනම සිටිති. මේ පාදඩ පන්තිය සියුම් ලෙස ව්‍යච්ඡේදනය කළ විට පහත සඳහන් පින්තූරය දැකගත හැකිය. එම පින්තූරයෙහි සිටින්නෝ හොරුන්ය; මං පහරන්නෝය; ස්ත්‍රී දූෂකයෝය; ළමා අපචාරකයෝය. කිසියම් අරගලයක් සිදුවන අවස්ථාවේදී සැබෑ අරගලකරුවන් අතර සැඟව සිටින පාදඩ රැළ වෙන වෙනම ස්වකීය සාපරාධී මෙහෙයුම් වල යෙදෙති. අරගලය අවසානයේදී පීඩිත පන්තිය හෙවත් ජනතාව ජයග්‍රහණය කර රට සාමකාමී වූ පසු අරගලයේදී සාපරාධි ක්‍රියාවල නිරත වූ සියලුම දෙනාට නඩු අසා දඬුවම් කරනු ලැබේ.
අරගලය යන වචනයට විද්‍යාත්මක තේරුමක් දුන් පළමුවැන්නා කාල් මාක්ස් ය. අරගලයකදී සාපරාධි ක්‍රියාවල නිරත වන පාදඩයන් අත්අඩංගුවට ගෙන නඩු අසා දඬුවම් කිරීමට කාල් මාක්ස් කිසිදු තැනකදී එරෙහිවී නැත. ශිෂ්ටාචාරය මුලදී මනුෂ්‍යයා සම්පූර්ණයෙන්ම ප්‍රාථමික තත්ත්වයක සිටි නිසා පාදඩකම යනු සාමාන්‍ය දෙයකි. එහෙත් ශිෂ්ටාචාරය ඇරඹී අවුරුදු හත් අට දහසක් වන මෙකල පාදඩ පන්තියේ නැඟී සිටීම ඉතාම බියකරු දෙයකි. අපි අපේ නියම මාතෘකාවට බසින්නේ මෙතැන් සිටය.
ගෝඨාභය රාජපක්ෂ එළවීම සඳහා මීට ස්වල්ප කලකට පෙර මේ රටේ ගෝල්ෆේස් පිට්ටනියේදී ආරම්භ කරන ලද නිර්පාක්ෂික සහ නිරාගමික ජන අරගලය තුළ සිටි පාදඩයන්ට දඬුවම් නොකළ යුතු බවට මතයක් ගොඩනඟන පිරිසක් මේ රටේ සිටිති. සැබෑ අරගලකරුවාගේ අරමුණ වූයේ ගෝඨාභය ගෙදර යැවීමය. එහි අතුරු ප්‍රතිඵලයක් වශයෙන් මහින්ද රාජපක්ෂටද අගමැතිකමින් අස්වී ගෙදර යාමට සිදුවිය. මෙම සංසිද්ධි දෙකෙන් පසු ජනාධිපති මන්දිරයට කඩා වැදුණු පාදඩයෝ එම ගොඩනැගිල්ලට විශාල විනාශයක් කළ අතර අදටත් එම ගොඩනැගිල්ල පාවිච්චි කළ නොහැකිය. මේ පාදඩයන්ට දඬුවම් කිරීම ප්‍රජතන්ත්‍රවාදයේම කොටසකි. ජනාධිපති මන්දිරයට පැනගත් එක පාදඩයෙක් ජනාධිපතිගේ කොඩිය ඇඳක් මත එළා පින්තූරයක් ගත්තේය. තව එකෙක් ජනාධිපතිගේ පුටුවේ ඉඳ ගත්තේය. ඊළඟට ඔහු ජනාධිපති මන්දිරය තුළට පැනගෙන සිටි කීප දෙනකුට සංකේතාත්මක ඇමති පදවි ප්‍රදානය කර එම වීඩියෝ සියල්ල අන්තර්ජාලයට මුදා හළේය.
ජනාධිපතිගේ කොඩිය ඇඳක් මත බෙඩ් ෂීට් එකක් ලෙස එළීම හෝ එමඟින් විලි වසා ගැනීම වරදක් වන්නේ කෙසේද යන ප්‍රශ්නය එම සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් පසු, අරගලයේ දෙවැනි කොටසට එකතුව සිටි නිළියක් සහ පණ්ඩිතයන් කිහිපදෙනකු විසින් විමසනු ලැබ තිබේ. මේ පිළිබඳ නෛතික තත්ත්වය මෙසේය; ජනාධිපති මන්දිරය යනු අධි ආරක්‍ෂිත කලාපයක් තුළ පිහිටි රජයට අයත් නේවාසික පරිශ්‍රයකි. නිසි අවසරයක් ලබා නොගෙන එම පරිශ්‍රයට ඇතුළු වීම නීතියෙන් තහනම්ය. කිසියම් කෙනෙක් එම පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී ජනාධිපතිගේ පුටුවේ ඉඳ ගැනීම හෝ එහි තිබෙන නාන තටාකයේ නෑම හෝ ජනාධිපතිගේ කොඩිය ඇඳට එළීම හෝ බලහත්කාරකමක් ලෙසත් රජයේ දේපළ අපහරණය කිරීමක් ලෙසත් සලකනු ලැබේ. ජනාධිපති ඉඳගන්නා පුටුව ඔහු මිරිහානේ පිහිටි සිය පෞද්ගලික නිවසින් ගෙනා පුටුවක් නොවේ. එසේම ජනාධිපතිගේ කොඩිය ජනාධිපති ඇඳුම් මහන ටේලර් සාප්පුවෙන් මස්සවා ගන්නා ලද පෞද්ගලික දේපලක් ද නොවේ. එසේම ජනාධිපති මන්දිරයේ තිබෙන නාන තටාකය ද ගෝඨාභය රාජපක්ෂ ගේ මිරිහානේ පුද්ගලික ඉඩමට අයත් වූවක් ද නොවේ. එබැවින් පෙර කී කටයුතු සියල්ලම රාජ්‍ය දේපළ අපහරණයකි. 1971 අප්‍රේල් කැරැල්ලේදී මෙබන්දක් වී නම් මේ කොටස්වලට සිදුවන්නේ වෙඩි කා මැරෙන්නටය. 1988 / 89 දී මෙබන්දක් වී නම් එකී මංකොල්ලකරුවන්ගේ ආදාහන කටයුතු ප්‍රා සංවිධානයේ අනුග්‍රහයෙන් සිදුවීම ස්ථිරය.
එහෙත් මෙකල ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම නිදහස් වරප්‍රසාද භුක්ති විඳින නිසා ජන අරගල වලදී වෙඩි කෑමක් හෝ මැරුම්කෑමක් සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. ඉකුත් වසර පහක පමණ කාලය ජන අරගලයකදී අධිවේගී ජල පහරවල් අරගලකරුවන්ට විදීම, කඳුළු ගෑස් ගැසීම, බැටන් ප්‍රහාර එල්ල කිරීම යනාදියට වැඩි යමක් සිදුවී නැත. ඒ තත්ත්වය වරදවා වටහාගෙන රජයේ දේපළ වලට හානි කළ අපරාධකරුවන්ට දඬුවම් නොකර සිටින ලෙස කිසියම් පිරිසක් කියතොත් එසේ කියන අය සුදුසු වන්නේ ලාඩම් ගසා කරත්තවල බැඳීමටය.
මේ දිනවල ජාතික අරගල මධ්‍යස්ථානය යනුවෙන් කාර්යාලයක් කොළඹ පැත්තේ විවෘත කර තිබේ. පාර්ශ්ව දෙකක් විසින් මේ මධ්‍යස්ථානයට අරමුදල් ද සපයනු ලැබේ. එයින් එක් පාර්ශ්වයක් විදේශික බලවේගයකි. අනෙක් කණ්ඩායම දැනට කාකි ඇඳුම් ඉවත් කර සිවිල් දේශපාලනයට අවතීර්ණ වී සිටින පිරිසකි. 1988/89 දී මෙවැනි මධ්‍යස්ථානයක් විවෘත කළේ නම් පැය 24 ක් තුළ එම මධ්‍යස්ථානය අළුකර දැමීමත් ගොඩනැගිල්ලේ අයිතිකාරයා මරා දැමීමත් සිදුවන්නේය. එහෙත් අද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති බැවින් ඕනෑම දෙයක් කිරීමට සිවිල් වැසියන්ට වරප්‍රසාද ලැබී ඇත. එහෙත් මේ අයිතිවාසිකම් ප්‍රයෝජනයට ගනිමින් වැඩේ අලකර නොගන්නා ලෙස අපි මංකොල්ලකාරයන්ගෙන් ඉල්ලමු.
1971 කැරැල්ල අප දන්නා කාලයේ සිදුවූ සුවිශාල ජන අරගලයකි. මේ අරගලයට සම්බන්ධ වූ පිරිස අත ප්‍රාථමික ගිනි අවිද තිබුණි. ජවිපෙ ප්‍රථම කැරැල්ල වූ 1971 අප්‍රේල් 05 කැරැල්ල මර්ධනය කිරීමේදී සමගි පෙරමුණ ආණ්ඩුව අතින් ඝාතනයට ලක්වූ කැරලිකරුවන් ගේ සංඛ්‍යාව 5,000කට ආසන්නය. එවකට ආණ්ඩුව විසින් ප්‍රකාශ කළ දත්ත අනුව ඝාතනයට ලක්වූ කැරලිකරුවන් සංඛ්‍යාව 1,200ක් පමණ වේ. එසේම 1971 කැරැල්ලේදී අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපන කඳවුරු 11 රඳවා සිටි කැරලිකරුවන් ගේ සංඛ්‍යාව 17,953කි. 1971 අරගලයෙන් පසු පරීක්ෂණ සභා කොමිසන් 4ක් මගින් 1971 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුව ඇතුළු පරික්ෂණ 140ක් පවත්වන ලදී. එහිදී චෝදනා ලැබූ චූදිතයන් සංඛ්‍යාව 3,908කි. පුනරුත්ථාපනය කර සමාජයට යොමු කළ සංඛ්‍යාව 16,853කි. සෙසු අයට අත්හිටවූ සිරදඬුවම්, බරපතල සිරදඬුවම් සහ ජීවිතාන්තය තෙක් සිර දඬුවම් ආදී වශයෙන් සිරදඬුවම් නියම විය. අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභා පනත 1977 ඔක්තෝබර් 01 අහෝසි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විජේවීර ඇතුළු සිරදඬුවම් විදිමින් සිටි සියළු දෙනා 1977 නොවැම්බර් 02 එජාප ආණ්ඩුව මගින් නිදහස් කරන ලදී.
ජවිපෙ 2වැනි කැරැල්ල 1986 ඇරඹී 1990 අවසන් වූ අතර එහිදී ඝාතනයට ලක්වූ හෝ අතුරුදහන් වූ පිරිස මානව හිමිකම් සංවිධාන වාර්තාවන්ට අනුව 67,652කි. රජයේ නිල නොවන වාර්තාවන්ට අනුව ඝාතනයට හෝ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813කි. මින් 6,661ක් ජවිපෙ කැරලිකරුවන් අතින් ඝාතනයට ලක්වූ අතර ජවිපෙ විරෝධි කණ්ඩායමක් වූ ප්‍රා සංවිධානය මගින් ඝාතනය කරන ලද සංඛ්‍යාව 1,222කි. සෙසු සියලු දෙනා ඝාතනයට පත්වූයේ අතුරු හමුදා කණ්ඩායම් වන කළු බළල්ලු, ස්‍රා, උකුස්සෝ, රාජාලියෝ, කහ බළල්ලු, කොළ කොටි, රතු මකරු, මාපිලා, ගෝනුස්සා, නී, කේෂර සිංහයෝ, ලේ මාපිල්ලු සහ කළු කොටි වැනි සංවිධානයන් ගෙනි.ජවිපෙ 2වැනි කැරැල්ලේදී අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනයට යොමුකළ කැරලිකරුවන් සංඛ්‍යාව 11,658කි. උපාධිධාරීන් සහ සරසවි සිසුන් අති බහුතරයම වාගේ අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතනයට ලක්වීම නිසා මෙම පුනරුත්ථාපනයට ලක්වූ අය අඩුවීම හේතුවන්නට ඇත. කැරැල්ලේ පරාජයෙන් පසු බරපතළ චෝදනා ඇති කැරලිකරුවන් 1,987කට විරුද්ධව සුදුසු පරිදි කටයුතු කිරීමට ජයලත් කමිටුව මගින් නීතිපතිවරයාට 1990 නොවැම්බර් මස දැනුම් දෙන ලදී. ඒ අනුව බරපතළ චෝදනා ඇති කැරලිකරුවන් 937කට විරුද්ධව නඩු පැවරීමට 1993 ජනවාරි තීරණය කළේය. පසුව නඩු පැවරීමට 1993 මාර්තු මස තීරණය කරනු ලැබුවේ එයින්ද කැරලිකරුවන් 198කට පමණි. නීතිය ක්‍රියාත්මක වන්නේ ඒ විදිහටය. නීතියට විරුද්ධ වීම විශාල ගොන්කමකි.