
සාහිත්‍යය යනු කට වහරින් අත් අකුරට ගෙනා සම්ප්‍රදායකි. මුලින් ම තිබුණේ සංවාදගත සාහිත්‍යයකි. මීට අවුරුදු 7000 ට පෙර ඔස්ට්‍රේලියාවේ සාම්ප්‍රදායික ආදීවාසි පළාතක පිහිටි Tower Hill නමැති ගිනි කන්ද පුපුරා ගියේය. ඒ කාලයේදී සීමිත වචන සංඛ්‍යාවක් සිය වාග් මාලාව ලෙස පාවිචිචි කළ ප්‍රාථමික ජනතාවක් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් විය. මේ මිනිස්සු ගිනි කන්ද පිපිරූ ආකාරය කතන්දරයක් සේ ගළපා කියන්නට පටන් ගත්හ. ඒ දක්වා ඒ කතාව මුඛ පරම්පරාගතව පැමිණියේය. පන්සිය පනස් ජාතකය පිළිබඳ කතාවත් මෙසේමය. එයද මුඛ පරම්පරාගතව පැමිණ අවසානයේදී ග්‍රන්ථාරූඪ වූවකි.
ලෝක ඉතිහාසය පිළිබඳ කතාවද මේ තරමටම දිගය. මිනිස්සු මෙයට අවුරුදු හාර පන්දහසකට පෙර ඊජිප්තුවේ සිදුවූ දේවල් මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආහ. අන්තිමේදී කට වචන පරම්පරාව අක්ෂර කලාව සමඟ එක්වීමෙන් සාහිත්‍ය බිහි විය. ශිෂ්ටාචාරය පෝෂණය කරන ලද්දේ සාහිත්‍ය විසිනි. සාහිත්‍ය නැතුවාට කවුරුත් මැරෙන්නේ නැත. එහෙත් සාහිත්‍ය නැති වූ කලට ශිෂ්ටාචාරයට අවනත වී සිටින සියලු ජනයා අර්ධ මළ මිනී බවට පත්වන්නේය.
ඉහත සඳහන් පූර්විකාව අප විසින් යොදන ලද්දේ දැනට එළඹ තිබෙන සාහිත්‍ය මාසය නිමිත්තෙනි. මෙයට අවුරුදු පනහකට පෙර ශ්‍රී ලංකාවේ මුද්‍රිත සාහිත්‍ය එහි මස්තකයට සම්ප්‍රාප්ත විය. එම එවරස්ට් කන්ද නැඟීම පිණිස පියදාස සිරිසේනගේ සිට මාර්ටින් වික්‍රමසිංහ දක්වා වූ සිංහල ලේඛකයන් සමූහයක් බෙහෙවින් වෙහෙස මහන්සි වූ බව සඳහන් කළ යුතුය. මේ රටේ සිංහල නවකතා කලාව ආරම්භයේදී, වික්ටෝරියානු සම්ප්‍රදායට අයත් වූ වැදගත් සිංහල පවුල්වල ගැහැනු ළමයින්ට සිංහල පොත් කියවීම තහනම් කර තිබුණි. ඔවුන්ට කියවීමට ලැබුණේ ඉංග්‍රීසි බයිබලයත් විලියම් වර්ඩ්ස්වර්ත් හෝ බයිරන් සාමිවරයා ලියූ ඉංග්‍රීසි කවි කිහිපයකුත් පමණි.
මේ රටේ තරුණ පරම්පරාව පසුගිය ශත වර්ෂය මුලදී පියදාස සිරිසේනගේ වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොසලින් නමැති නවකතාව කියවීමට පටන්ගත් කල්හි මවුපියෝ දරුවන්ට විරුද්ධව යුද ප්‍රකාශ කළහ. මධ්‍යකාලීන යුගයේ සිට නූතන යුගයට පිවිසෙමින් සිටි එකී දෙමාපිය සංහතිය විශ්වාස කළේ සිංහලෙන් ලියන පත පොත කිසිදු සභ්‍යත්වයක් නැති වනචර ලියවිලි ලෙසය. ඒ නිසා සිය දූ දරුවන් ඉංග්‍රීසි සාහිත්‍ය කෘති වෙත නැඹුරු කිරීම එකී දෙමාපිය සංහතියේ පරමාර්ථය සහ අභිලාෂය විය. ඉංග්‍රීසි උගත් ස්වකීය දරුවන් කියවන ඉංග්‍රීසි පොත්වල ඇති කුණුහරුප ගැන ඒ මවුපියන්ට වැටහීමක් තිබුණේ නැත. මේ රටේ සාහිත්‍ය ඉතා පැරණිය. තුන්වන හෝ හතරවන සියවසේ ලියන ලද උසස් භාෂා ගුණයක් ඇති ග්‍රන්ථයක් ලෙස දීපවංශය හඳුනාගෙන තිබේ. 1980 දක්වා මේ රටේ ජනතාව පෝෂණය වුණේ සිංහල සාහිත්‍යයෙනි. විශ්ව සාහිත්‍ය හොඳ නමුත් ඊට පන්දම් ඇල්ලීම වෙනුවට එය පරිශීලනය කරමින් සිංහල සාහිත්‍ය ද ප්‍රචලිත කිරීම අප සියලු දෙනාගේ වගකීමය.
අන්තර්ජාලයේ සම්ප්‍රාප්තියත් සමඟම අලුත් පරම්පරාව පොත් කියවීම අත්හැර ඇති බව පෙනේ. ඒ වෙනුවට කුණුහරුප සහ මඩ සහිත වෙබ් සයිට් පරිශීලනය කිරීමත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පල්හෑලි හුවමාරු කරගැනීමත් ඉතා සරල වින්දනයක් උදෙසා ටික් ටොක් කිරීමත් බහුල ලෙස සිදුවන අයුරු දැකිය හැකිය. සිංහල සාහිත්‍ය ප්‍රතිසංවිධානය කිරීම මේ සාහිත්‍ය මාසය තුළ අරඹන ලෙස මේ රටේ ප්‍රගතිශීලී ජනතාවගෙන් අපි ඉල්ලමු. ශ්‍රී ලංකාවේ බහු ජනයාගේ භාෂාව සිංහලය. ඒ බසින් කියවීම සඳහා පත පොත නොතිබුණොත් සිංහල මනස ඉබේටම අසිංහල වන බව අප කියන්නේ ජාතිවාදය පැතිරවීමට නොව ඇත්ත කතාව එය නිසාය.
1977 න් පසු විවෘත ආර්ථිකය සහ ගෝලීයකරණය නමැති සාධකය මෙරටට පැමිණීමෙන් පසු මිනිසුන්ගේ ජන මනස ක්‍රමයෙන් බටහිර සංස්කෘතියට ආසක්ත වීමට පටන් ගත්තේය. එකී විවෘත ආර්ථිකය තුළ දේශීය දේ බැහැර කිරීමත් විදේශීය දේ වැලඳ ගැනීමත් ඉතා වේගයෙන් සිදුවනු දක්නා ලදී. ශාස්ත්‍රීය ගීත සහ හරවත් සරල ගීතවල තැනට බයිලා සහ වෙනත් ලාබ පාරිභෝගික බඩු පැමිණියේය. වෙනදා සිංහල පොත පතට නැඹුරු වූ තරුණ කැල අත ජේම්ස් හැඩ්ලි චේස් හෝ ලුඩ්ලම් විසින් ලියන ලද ඉංග්‍රීසි පොත් තිබිණ. තවකෙක් අත තිබුනේ මාරියෝ ෆූසෝ (Mario Puzo) විසින් ලියවුනු ගෝඩ් ෆාදර් පොතයි. එහෙත් මේ කියන පොත් අතේ දරා සිටි තරුණයන්ගෙන් 99% ටවත් ඒවා කියවා තේරුම් ගැනීමට පුළුවන් දැනුමක් තිබුණේ නැත. ඒ නිසා එම පොත් නිත්‍ය වශයෙන්ම ස්වකීය බටහිර සංස්කෘතික අනන්‍යතාව බැලන්ස් කරගැනීම සඳහා තරුණයන් විසින් අතේ බරට ගෙනගිය පොත් බවට පත්විය.
1970 ට පෙර සිටි නාගරික පරම්පරාවේ සැලකිය යුතු කොටසක් ඉංග්‍රීසි පොත් මෙන්ම සිංහල පොත්ද කියවා ඒවා අවශෝෂණය කරගැනීමට හැකියාවක් තිබූ අය වෙති. එහෙත් 77 න් පසු පහළ වූ පරම්පරාව ඊට වඩා වෙනස් විය. මෙහිදීද විශේෂ ලක්ෂණයක් දක්නා ලදී. එනම් ආණ්ඩුවේ බටහිර ළැදි සංස්කෘතික ප්‍රවේශයට සිංහල සාහිත්‍ය වඳ කිරීමට බැරි වීමය. 1977 න් පසුවද හොඳ සිංහල පොත් විශාල වශයෙන් බිහිවිය. එසේ බිහිවන සාහිත්‍ය මුලින්ම කා දමන ලද කාවා වූයේ චිත්‍ර කතා පත්තරයයි. ඊළඟට අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය විසින් සාහිත්‍ය කා දමන ලදී.
සාහිත්‍ය ගොඩනැඟීමේ ජාතික අවශ්‍යතාව මේ වනවිට දැඩි ලෙස නැඟෙමින් පවතී. මනුෂ්‍යාගේ බඩ මෙන්ම මනසද පෝෂණය කළ යුතුය. එසේ නොවන තැන බිහිවන්නේ හිස් ජාතියකි.