QR කංචන | සිළුමිණ

QR කංචන

(දේශපාලනය සහ ජනතාව බැලන්ස් කිරීම)

ගත වූ අඳුරු කාලය නපුරු හීනයක කොටසක් හා සමානය. ඒ අඳුර පටන් ගන්නේ කොවිඩ් 19 වසංගතය සමඟිනි. ඉන්පසු විටින් විට අවුරුදු එකහමාරකට කිට්ටු කාලයක් තිස්සේ සහමුලින්ම හෝ තුන්කාලට හෝ බාගෙට හෝ කාලට රට වසා දමන ලදී. ඔහේ ගෙවී ගිය ඒ කාලය තුළදී අතේ සල්ලි තිබෙන එකා සල්ලිවලටත්, ණයට කන එකා ණයටත් ඒ දෙකම නැති එකා නිකන්මත් ජීවත් විය. පුදුමය නම් මෙසේ තුන්වැනියට සඳහන් කරන ලද පිරිසත් අදවන තුරුත් ජීවත් වීමය.

රට විවෘත කිරීමෙන් පසු ආර්ථික ප්‍රශ්න පටන් ගත්තේය. රසායනික පොහොර නැතිව කෝපයට පත් ගොවීහු පාරට පැන රට පෙරළීමට තැත් කළහ. ඉන්පසු පටන් ගන්නේ ගෑස් පෝලිම් හා තෙල් පෝලිම්ය. මේ රටේ ඇතැම් මිනිස්සු රාත්‍රී කාල තුන හතර තෙල් පෝලිම්වල ලැග හිස් අතින් ගෙදර ගියහ. තවත් සමහරු තෙල් පෝලිමේදීම මිය ගියහ. මේ සියල්ල අද වන විට ඉතිරිව ඇත්තේ නපුරු හීනයක අන්තිම හරිය පරිද්දෙනි. අද වනවිට ගෑස් පෝලිම් නැත. තෙල් පෝලිම් ද නැත; අරගලයද නැත. අරගලය පැවති ගෝල්ෆේස් පිට්ටනිය දිහා මුහුදත් මුහුද දිහා පිට්ටනියත් එකිනෙකා දෙස බලා ගනිමින් කාලය ගත වේ. මේ පිට්ටනිය මැදින් අද ගමන් කරන කෙනකුට අරගලය ගැන සිහිවන්නේ නැත. රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන බව පෙනේ. අපි දැනට කන්නේ ණයට වෙන්නට පුළුවනිය. මෙහිදී වැදගත්ම අවශ්‍යතාව වනු ඇත්තේ ණයට නොකා බඩගින්නේ මිය යාම නොව ණයට හෝ කා කෙසේ හෝ ජීවත් වී තමන්ම උපයාගෙන කන තත්ත්වයට රට පත් කිරීමය.

රනිල් වික්‍රමසිංහ ජානාධිපති වූ සැණින් මේ රටේ කොටස් වෙ‍ෙළඳපොළ ඉහළ නැංගේය. ඉන්පසු තෙල් පෝලිම් වියැකී ගියේය. තෙල් මිලද ස්වල්පයක් අඩුවූ අතර එහි ප්‍රතිලාභය ජනතාවට දීමට ප්‍රයිවට් බස්කාරයන් එතරම් කැමැත්තක් දක්වන බවක් නොපෙනේ. දැනට ඇතැම් රෝහල්වල බෙහෙත් හිඟයක් පවතී. ඉදිරි සතිය තුළ එම බෙහෙත් හිඟය අවසන් කිරීම සඳහා සෞඛ්‍ය අමත්‍යයංශයේ නිලධාරීහු ඉන්දියාවට ගොස් බෙහෙත් තොග මිලට ගෙන ඒවා නැවට පටවන තුරු රැකගෙන සිටිති. ජනාධිපතිගේ නියෝගය වන්නේ මේ රටේ බෙහෙත් හිඟය මේ මාසයේම අවසන් කළ යුතු බවය.

ඒ අතර තෙල් මිල සමඟ ගැටෙමින් තෙල් පෝලිම් නැති කිරීමේ ජනාධිපති සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා ඛනිජ තෙල් ඇමති කංචන විජේසේකර දක්වන කැපවීම ගැන යමක් ලිවිය යුතුමය. තෙල් හිඟය නැති කිරීමට රාජපක්ෂ ආණ්ඩුව විවිධ දේ කළේය. මුලින්ම ඔවුන් විසින් කරන ලද්දේ ෂෙඩ් එකට එන බවුසරය ඉතා සාධාරණ ලෙස ජනතාවට බෙදාදෙන ලෙස උපදෙස් දීමය. එය එතරම් ඵලදායි නොවන බැවින් පොලිසියෙන් පැමිණ පෝලිමේ සිටි ජනතාවට ටෝකන් බෙදා දී තෙල් බෙදිල්ල ප්‍රති සංවිධානය කිරීමට තැත් කළේය. එයද හරිගියේ නැත. එයට පසු තෙල් ඇමති කංචන විජේසේකර QR code ක්‍රමයක් හෙවත් ඉක්මන් ප්‍රතිචාර ඛේත ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. ඒ සමඟම තෙල් පෝලිම් අතුරුදන් විය. ඇත්තටම රටේ තෙල් හිඟයක් තිබුණා තමයි; එහෙත් හිඟය පිටුපස තිබුණේ වෙනත් කතන්දරයකි. භාණ්ඩයක් හිඟවූ විට පූජනීය ස්ථාන ලෙස තිබෙන කඩ පවා කළු කඩ බවට පත්වෙයි. තෙල් හිඟයේදී ඇතැම් පෙට්‍රල් ෂෙඩ්කාරයෝත්, අතරමැදියෝත්, ඇතැම් නිලධාරීනුත් එකට එක්ව වැඩි මිලට තෙල් අලෙවි කරන්නට පටන් ගත්හ. ඇතැම් තැන්වල පෙට්‍රල් විකුණන ලද්දේ ලීටරය රුපියල් 2,500 බැගිනි. සමහර තැනක එම මිල රුපියල් 3,000 කි. පෙට්‍රල් කළු කඩය පවත්වාගෙන යාම සඳහා ඇතැම් කුඩ්ඩෝ ඇතැම් අතරමැදි නිලධාරීන් සමඟ ගිවිසුම්ගත වූහ.

පාරිභෝගිකයකුට තෙල් අවශ්‍ය වූ විට කිසියම් නිලධාරියෙක් තෙල් සපයන බවට ආරංචියක් ලැබෙයි. පාරිභෝගිකයා එම නිලධාරියාට කතා කළ විට ඔහු කියන්නේ කොතැනකවත් පෙට්‍රල් නැති බවත් හැබැයි එක මිනිහකු ළඟ ලීටරය රුපියල් තුන්දහස බැගින් පෙට්‍රල් ඇති බවත්ය. එසේම එම මිලට තෙල් නොගන්නා ලෙස නිලධාරියා විසින්ම පාරිභෝගිකයාට අවවාද කරනු ලැබේ. එහෙත් රුපියල් තුන්දහසට නොව පන්දහසට වුව පෙට්‍රල් ගැනීමට තමන් සූදානම් බව පාරිභෝගිකයා කියයි. එකල්හි පෙරකී නිලධාරියා ලොකු අකමැත්තක් පෙන්වමින් කිසියම් පුද්ගලයකුගේ දුරකතන අංකයක් පාරිභෝගිකයාට ලබා දෙයි. මේ “කිසියම් තැනැත්තා” කුඩ්ඩෙකි. රාලහාමිගේ තෙල් තොග ඔහු සතුව තිබේ. පාරිභෝගිකයාට ඇත්තේ කුඩ්ඩා හමුවී මුදල් ගෙවා තෙල් ලබා ගැනීමයි. මෙහිදී එක තෙල් ලීටරයකින් රාළහාමිට රුපියල් 2,500කුත් කුඩ්ඩාට රුපියල් 500 කුත් බැගින් ලැබෙයි. මේ අතර කුඩ්ඩාද ස්වකීය නිර්මාණශීලී මොළය මෙහෙයවා රාලහාමිගේ තෙල් තොගය දෙගුණයක් කරගෙන ගානක් කැපීමට වැඩපිළිවෙළක් යොදයි. මෙහිදී ඔහු පතන්නේ තිනර්වල පිහිටය. කිසිදු ප්‍රමිතියකට නැති ලාබ තිනර් තොගයක් සොයා ගන්නා කුඩ්ඩා ඒවා රාලහාමිගේ තෙල් තොගය සමඟ කලවම් කර එම තෙල් තොගය දෙගුණ කරයි. මෙයින් පසු රාලහාමිගේ තෙල් තොගය නිමවීමෙන් අනතුරුවද කුඩ්ඩාට දිගටම තෙල් සප්ලයි එක දිය හැකිය. සමහර රා තැබෑරුම්වලද මේ ආකාරයේ කටයුත්තක් සිදුවෙයි. එනම් රා මුදලාලි උදේට ස්වභාවික රා ලීටර් 50 ක් තැබෑරුමට ගෙනෙයි. මේ රා ලීටර් 50 න් උදේ සිට රෑ වනතුරුම රා කඩේ පවත්වාගෙන යාමට ඔහුට පුළුවන. ඔහුගේ ගෝලයෝ මේ රා ලීටර් 50 ට වතුර ලීටර් 450 ක් ද යීස්ට් හා සීනි ද සුදු පැහැති වර්ණකයක්ද එකතු කර කෘත්‍රිම රා නිපදවයි. එවිට රා ලීටර් 50 ලීටර් 500 ක් වන බැවින් මුදලාලිට ගොඩයාමට පිළිවන. නූතන ඉන්ධන කර්මාන්තයේ තිබූ මේ මගඩිය පිටු දැකීම සඳහා කංචන විජේසේකර QR code එක නමැති මුවහත් කඩුව පාවිච්චි කළේය. අද තවදුරටත් බ්ලැක් මාර්කට් ඉන්ධන මේ රටේ නැත.

ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයකු වූද 1971 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුවේ විත්තිකාරයකු වූ ද කැරලිකාර සහ ප්‍රචණ්ඩ දේශපාලනඥයකු වූද මහින්ද විජේසේකරගේ පුත්‍රයා වූ කංචන විජේසේකර ජනාධිපති ගෝඨාභය යටතේ මෙන්ම ජනධිපති රනිල් වික්‍රමසිංහ යටතේද තෙල් ඇමතිකම කරන්නේ වැඩේ බැලන්ස් කරගැනීමට ඇති හැකියාව නිසාය. තෙල් තොග තිබෙනවා නම් ඔහු ඒ බව ප්‍රකාශ කරයි. තෙල් නැත්නම් ඔහු ඒ බවත් ප්‍රකාශ කරයි. ඊළඟට තෙල් එන දවසත් කියයි. එවිට පාරිභෝගිකයාට සිය ජීවිතය යම් ප්‍රමාණයකට හෝ කළමනාකරණය කරගත හැකිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුගමනය කරන්නේද මේ හා සමාන තියරියකි. ඔහු තියෙන දේ තියෙන බව කියන අතර නැති දේ නැති බව ද කියයි. මෙය දේශපාලනික වශයෙන් කෙටි කාලීන අවාසියක් ඇති කරන නමුදු දිගුකාලීනව වාසිදායකය. ස්වකීය ක්‍රියා කලාපය මඟින් ජනයා තුළ විශ්වාසයක් තහවුරු කිරීමට ඇති දේ ඇති සැටියෙන්ම කියන දේශපාලනඥයන්ට පුළුවන. මෙවැනි දේශපාලන සංස්කෘතියක ප්‍රවර්ධනය මේ රටට අත්‍යවශ්‍යය. රටේ දියුණුව පටන් ගන්නේ එතැනිනි.

Comments