
ශ්‍රී ලංකාවේ උද්ධමනය වේගයෙන් ඉහළ ගොස් තිබේ. මෙය මේ වන විට සාමාන්‍ය ප්‍රවෘත්තියකි. ශ්‍රී ලංකාවේ මාල කැඩීමද වේගයෙන් ඉහළ ගොස් තිබේ. මෙයද සාමාන්‍ය ප්‍රවෘත්තියකි. ශ්‍රී ලංකාවේ මාල කැඩීමට අමතරව සෙසු අපරාධ ප්‍රමාණය ද ඉහළ ගොස් තිබේ. මෙයද මේ වන විට සාමාන්‍ය ප්‍රවෘත්තියකි. අපට මේ ප්‍රවෘත්ති සාමාන්‍ය වී ඇත්තේ ඒවා ඒ තරමටම ජන සමාජයේ පතුලට කිඳා බැස ඇති නිසාය. උද්ධමනය නම් තව ටික කාලයක් යන විට දැනට එය පවතින කඳු මුදුනෙන් බිමට බැස සාමාන්‍ය සරල රේඛීය ගමනක් පටන් ගන්නවා ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ අපරාධ සම්බන්ධයෙන් එවැනි පුරෝකථනයක් වීම දුෂ්කර වී තිබේ.
ලංකාවේ අපරාධ හැම අවුරුද්දකම ඉහළ යයි. මෙය 1977 න් පසු හටගත් ප්‍රවණතාවකි. ජාත්‍යන්තර අපරාධ සංඛ්‍යා ලේඛන හා සසඳන විට මේ රටේ අපරාධ ප්‍රමාණය ඉහළ නැති නමුදු රටේ ජනගහනය හා සසඳන විට අපරාධ සංඛ්‍යාව ඉතා ඉහළය. සමහර රාජ්‍යයන් ඉලෙක්ට්‍රොනික් කර්මාන්තයේ ඉදිරියෙන් සිටී. තවත් සමහර රාජ්‍යයන් ඉදිරියෙන් සිටින්නේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය තුළය. ආරක්ෂක අංශ ශ්‍රී ලංකාවේ නැඟී එන අපරාධ රැල්ල කෙරෙහි උනන්දු නොවුණොත් තවත් අවුරුදු කීපයක් ගත වන විට ශ්‍රී ලංකාව අපරාධ කර්මාන්තයේ ප්‍රමුඛ ස්ථානයට පත් රටක් වීමට ඉඩ තිබේ. 1977 න් පසු අපරාධ කල්ලි සංස්කෘතියක් මේ රටේ බිහි විය. මෙය එක් පැත්තකින් ගත්කල ලෝක ප්‍රවණතාවකි. ගෝලීයකරණ සංකල්පය ලෝකය පුරා පැතිර යෑම පටන්ගත් එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී ලෝකයේ හැම දෙයක්ම තත්ත්වයෙන් ඉහළ ගියේය. එසේ තත්වයෙන් ඉහළ ගිය දේවල් අතරට අධ්‍යාපනය, ක්ෂණික ආහාර, පෝෂ්‍යදායක ආහාර, යුද අවි නිෂ්පාදනය යනාදිය දැක්වීමට පුළුවන. ඊට අමතරව හැම රටකම පාහේ අපරාධද ඉහළ ගියේය. එහෙත් ලංකාවේ අපරාධ වර්ධනයට නිදහසට කාරණයක් සේ ඉහත සඳහන් ලෝක තත්ත්වයන්වල වර්ධනය සැලකීමට නොහැකිය. ලෝකයේ අනෙක් රටවල් කොපමණ නරක වුවත් අපේ රට හොඳ රටක් විය යුතුය.
මේ රටේ අපරාධකරුවන් සහ දේශපාලනඥයන් අතර ඇතිවූ සහසම්බන්ධය මේ රටේ ප්‍රචණ්ඩ අපරාධවල වර්ධනයට හේතු විය. අපරාධකරුවන්ගෙන් දේශපාලනඥයන්ද, දේශපාලඥයන්ගෙන් අපර්ධකරුවන්ද යැපෙන්නට පටන්ගන්නේ 1977 න් පසුවය. මේ කියන කාලයේදී අපරාධකරුවන් විසින් දේශපාලඥයන්ට ආරක්ෂාව දීමේ ක්‍රියාවලියක් ඇරඹිණි. එය සාමාන්‍යයෙන් දේශපාලනඥයන්ට ලැබෙන පොලිස් ආරක්ෂාවෙන් එහා ගිය ආරක්ෂාවකි. මේ කාලයේදී ශ්‍රී ලංකාව සංස්කෘතික වශයෙන් මෙතරම් දූෂණය වූ රටක්ව නොපැවති බැවින් දේශපාලනඥයන් කරන කුණු වැඩවලට පොලිසියෙන් ආරක්ෂාව ලබා ගැනීමට බැරිවිය. එම කුණු වැඩවලට ආරක්ෂාව සපයන ලද්දේ දේශපාලනඥයා වටේ සිටි අපරාධකරුවන් විසිනි. මේ අනුව දේශපාලඥයාට අපරාධකරුවන්ගේ ආරක්‍ෂාවත්, අපරාධකරුවන් කරන කුණු වැඩවලට දේශපාලඥයන්ගේ ආරක්ෂාවත් ලැබිණ. කෙසේ වුවද දේශපාලනඥයා යනු ඉතා භායනක ජීවියෙකි. ඔහු හැකි තරම් වැඩගෙන අපරාධකරු අත්හැර දමයි. එවිට සම්පූර්ණයෙන්ම තනිවන අපරාධකරු විරුද්ධකාරයන් අතින් මරණයට පත් වෙයි.
මේ අවුරුද්දේ පළමු මාස හතර තුළ මිනිසුන් දෙසීයක් ඝාතනය කෙරුණු බවත් සොරකම් දහසක් වූ බවත් වාර්තා වී තිබේ. 2021 දී මාස 12 ක කාලයක් තුළ මිනීමැරුම් 522 ක් ද සොරකම් 2,263 ක් ද ගෙවල් බිඳුම් 6,813 ක් ද සිදු වී තිබිණ. ඊට අමතරව හරක් හොරකම්ද විශාල වශයෙන් ඇතිව තිබිණ. 2021 අපරාධ වර්ධන වේගය හා සලකා බැලීමේදී මේ අවුරුද්ද අපරාධවලින් කප් ගහන අවුරුද්දක් බවට පත් වීමට ඉඩ තිබේ. එම කප් එක උදුරා ගැනීම ආරක්ෂක අංශවල වගකීමය.
මිනිසුන් හොරකම් කරන්නේ නැති බැරිකමට බවට මතයක් පවතී. විටෙක එය සත්‍යයකි. එහෙත් නැති බැරිකමට නොව පුරුද්දට හොරකම් කරන ප්‍රජාවක්ද මේ රටේ සිටිති. එම චෞර ප්‍රජාව උද්ධමනය තිබුණත් හොරකම් කරයි. උද්ධමනය නැතත් හොරකම් කරති. 1970 දී මේ රටේ උද්ධමන ප්‍රශ්නයක් තිබුණේ නැත. එසේ කියා මිනිසුන් හොරකම් කිරීමෙන් වැළකී සිටියේද නැත. සාමකාමීව තිබූ මේ රට පසුගිය ශතවර්ෂයේ මුල් වතාවට ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්නේ 1971 කැරැල්ලෙනි. එහෙත් අද පවතින මිනී මැරුම්, වෙඩි තැබීම්, ඇසිඩ් ගැසීම් යනාදිය හා සංසන්දනය කර බලන විට 1971 කැරැල්ල යනු ළදරු පාසලක දරුවන් විසින් අඹරන ලද ලණු කැරැල්ලකි. මේ කියමන වැරැදියට වටහා නොගත යුතුය.
අප කියන්නේ 1971 කැරැල්ල මතවාදී වශයෙන් ඉහළ තැනක තිබුණද සංග්‍රාමික වශයෙන් ළදරු තත්ත්වයක සිටි බවය. එක්දහස් නවසිය අසූ ගණන්වල ඇරඹි වර්ගවාදී යුද්ධය ඊට වඩා බොහෝ භයානකය. 1988, 89 භීෂණය ඉතාම ප්‍රචණ්ඩ තත්ත්වයකි. මෙවැනි භීෂණයක් හටගත් විට රටේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වේ. 1988, 89 අවුරුදුවල සිදු වූයේ භීෂණයට භීෂණයෙන්ම උත්තර බැඳීමය. මේ උත්තර ඉතා බරපතළ වූ බැවින් තරුණ තරුණියන්ගේ මළ මිනී ගංගාවල පාවෙන්නට විය. පාරවල් අයිනේ තරුණ සිරුරු දැවෙන්නට විය. කඳ කොළඹත් හිස නුවරත් තිබෙන මළ මිනී හමු වෙන්නට විය. මේ සියල්ලම සාපරාධී රාජයක අත්තිවාරම් ගල් බවට පත් විය. නිරන්තරයෙන් අත්දැකීම් ලැබීමට හුරුපුරුදු වූ කල්හි භීෂණය දෛනික ජීවිතයේ කොටසක් බවට පත් වෙයි. බත් කෑම, ගමනක් යෑම, වැසිකිළියට යාම, මිනිහකු මැරීම යන සියල්ල සාමාන්‍ය තත්ත්වයන් බවට පත් වෙයි.
මෙවිට නිර්මාණය වන්නේ කුණු වූ මානසික මට්ටමකි. කුණු ගොඩේ සිටින පණුවාට කුණු ගොඩ ගැන ගණනක් නැත. නිතර අපරාධ අහන දකින එකාට ඒවායේ ගාණක්ද නැත. කෙසේ වුවද රටක් තුළ අපරාධකරුවන් බෝවීම කිසිසේත්ම සාමාන්‍ය දෙයක් ලෙස දැකිය යුතු නොවේ. එය ඉතා දැඩි සහ නරක තත්ත්වයක් ලෙස සලකා උපරිම පියවර ගැනීම රාජ්‍යයේ වගකීමය.