
එංගලන්තයේ පළවන ‘ද ගාර්ඩියන්‘ පුවත්පත පසුගියදා ලංකාවේ ක්‍රියාත්වක වූ රාජ්‍ය නොවන සංවිධානයක් කළ ක්‍රියාවක් ගැන අපූරු ආන්දෝලනාත්මක ලිපියක් පළ කර තිබිණි. එකී දීර්ඝ ලිපිය ඔස්සේ ලංකාවේ දරුවන්ට වූ අසාධාරණයක් ගැන අනාවරණය කළ එම පුවත අන්තර්ජාතික ප්‍රජාව කැලඹුවේය. ලෝකයේ විශාලතම පුණ්‍ය ආයතනයක් වන බව කියන ‘ප්ලෑන් ඉන්ටනැෂනල්‘ ආයතනය හදිසියේ ශ්‍රී ලංකාවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ඔවුහු දැඩි ලෙස සිය අප්‍රසාදය පළ කිරීමත් සමඟ නිදා වුන් අය ඇහැරිණි. ඒ අනුව ප්ලෑන් ඉන්ටර්නැෂනල් වෙත ආධාර කළ ලොව වටා වෙසෙන පරිත්‍යාගශීලීන් නොමඟ යැවීම සම්බන්ධයෙන් කළ විශේෂ අනාවරණයේදී මෙකී රාජ්‍ය නොවන සංවිධානය වෙත සිය අප්‍රසාදය පළ විණි.
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ සමාජයේ හොඳ මෙන්ම නරක ප්‍රතිචාර තිබේ. ඕනෑ ම දෙයක් සම්බන්ධයෙන් එය එසේ ය. රාජ්‍ය නොවන සංවිධානත්, ඒවායේ ක්‍රියාකාරීත්වයත් පිළිබඳ තිබෙන මේ විවේචනය, රාජ්‍ය මට්ටමිනුත්, විශේෂයෙන් වාමාංශික දේශපාලනයේත්, මාධ්‍ය ලෝකයේත්, සමාජ මාධ්‍යයේත් නිරන්තරව දැකිය හැකි තත්ත්වයකි. එහෙත් විවේචකයන් ගොඩට එක් වන්නට කලින් රාජ්‍ය නොවන සංවිධාන යනු කුමක්දැයි නිවැරදිව වටහා ගත යුතුව ඇත. රාජ්‍ය නොවන සංවිධාන හා රාජ්‍ය ආධාරක වැඩසටහන් කියා දෙවර්ගයක් ඕනෑ ම රටක තිබේ. සාමාන්‍යයෙන් දියුණු යැයි සම්මත බටහිර රටවල තමන්ගේ ම රාජ්‍යයට අයත් ආධාරක මුදල් තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ us Aid අරමුදල, ඔස්ට්‍රේලියාවේ Aus Aid අරමුදල, බ්‍රිතාන්‍යයේ UK Aid, කොරියාවේ KOICA, ජපානයේ JAICA, නෝර්වේ රාජ්‍යයේ NORAD,කැනඩාවේ CIDA,ස්වීඩනයේ SIDA, ජර්මනියේ GIZ වැනි අරමුදල් ඒ සඳහා උදාහරණ වේ. මේවා රාජ්‍ය නොවන සංවිධාන යනුවෙන් හැඳින්වීම සාධාරණ නොවේ. මේ අරමුදල් තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල ක්‍රියාත්මක දේශීය රාජ්‍ය නොවන සංවිධානවලට උදව් කරයි. ඒවා රටවල් දෙකක් අතර ද්වී පාර්ශ්වීය ආධාර වැඩසටහන් නොවේ. මේ නිසාම මේ රාජ්‍ය අරමුදල් මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන් රාජ්‍ය නොවන සංවිධාන ලෙසින් සැලකීම නිවැරදි නොවේ. මේ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයවත්, එහි විශේෂිත ආයතන වන UNDP, ILO, UNICEF, UNIDO, UNFP, WHO, WFP වැනි කිසිම ආයතනයක් රාජ්‍ය නොවන සංවිධාන කාණ්ඩයට ඇතුළත් වන්නේ නැත. එසේම ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ආසියානු සංවර්ධන බැංකුව ද රාජ්‍ය නොවන සංවිධාන නොවේ. ඒවා මූලික වශයෙන් සංකල්පීය ලෙස නිර්දේශපාලනික ය.
රාජ්‍ය නොවන සංවිධානවල අරමුණ මීට වඩා වෙනස් ය. බැලූ බැල්මට ඒවා ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ය. එහෙත් බොහෝවිට ඒවායෙහි සැඟවුණු න්‍යාය පත්‍ර තිබේ. එබැවින් ඒ සැඟවුණු අරමුණු වටහා ගැන්ම හා ඒවාට අවශ්‍ය නියාමන කිරීම රජයේ වගකීමයි. ඕනෑ ම රාජ්‍ය නොවන සංවිධානයක් රටක් ඇතුළත වැඩ කිරීමේදී ඒ රටේ නීතිමය ක්‍රමවේදයට යටත් වන අතර, තම තමන්ට ඕනෑ දේවල් කිරීමට හෝ තමන්ට ඕනෑ වෙලාවක කටයුතු අවසන් කර පිට ව යෑමට ඉඩකඩ නැත. වසර 40 කට ආසන්න කාලයක් තිස්සේ මෙරට විවිධ ක්‍රියාකාරකම් හි නිරත වූ ප්ලෑන් ඉන්ටර්නැෂනල් ආයතනයේ හදිසි ඉවත් වීම ගැන කතා කළ යුතුව ඇත්තේ මේ පසුබිමේ සිට ය. ඔවුහු ප්‍රතිලාභී දරුවන් සහ පවුල් දස දහසකට ආසන්න ප්‍රමාණයක් සමඟ මහනුවර, බදුල්ල, මොනරාගල, හම්බන්තොට, කුරුණෑගල, මුලතිව් යන දිස්ත්‍රික්කවල කලක් තිස්සේ කටයුතු කරමින් සිටියේ ය. ඔවුන් සමඟ ප්‍රජා මූල සංවිධාන සිය ගණනක් කටයුතු කළේ ය. 2019 ඔවුන් හදිසියේ ඉවත් වීමට තීරණය කිරීමත් සමඟ මේ සියල්ල අඩාළ වීම පුදුමයක් නොවේ. ද ගාර්ඩියන් පුවත්පත මේ පිළිබඳ අනාවරණය කළේ දරුවන් දහස් ගණනක් දැඩි අපහසුතාවට පත්වූ පසුබිමේ ය. රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය මේ ඉවත්ව යාමේදී සලකා බැලුවේ ආයතනයේ සේවකයන්ට අවශ්‍ය වන්දි ගෙවීම් සිදු කළා ද යන කාරණාව පමණක් ය යන්න පුවත්පතේ චෝදනාවයි. මෙවැනි අවස්ථාවක ප්‍රතිලාභී පවුල්, ඉලක්ක කණ්ඩායම් සහ සංවර්ධන පාර්ශ්වකරුවන් වෙත සාධාරණය ඉටු කිරීමේ වගකීමක් ද ‘ප්ලෑන් ඉන්ටර්නැෂනල්‘ ආයතනයට තිබුණු බවත් මේ පිළිබඳ ව රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ද තම වගකීම නිසි ලෙස ඉටු නොකළ බවත් චෝදනා අතර වේ.
ප්ලෑන් ඉන්ටර්නැෂනල් සංවිධානය පවසන්නේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ‘සැලකිය යුතු වර්ධනය‘ සහ එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශක ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන දියුණුවක් ශ්‍රී ලංකාව ලබා තිබීම හේතුවෙන් ඔවුන් මෙරටින් ඉවත් ව යන බවයි. 2019 එසේ ප්‍රකාශ කරන ඔවුන් 2020 ළමා අනුග්‍රාහකත්වය සඳහා රුපියල් මිලියන 8649ක් හෙවත් ස්ටර්ලින් පවුම් 310ක් සිය අනුග්‍රාහකයන් වෙතින් එකතු කර තිබීම ගැටලු සහගත ය. එහි හිටපු සේවකයන් පවසන්නේ පුණ්‍යායතනය කඩිනමින් ඉවත්වීමට සැබෑ හේතුව ඉහළ යන පිරිවැය සහ අභ්‍යන්තර ගැටුම් බවයි. ප්ලෑන් ඉන්ටර්නැෂනල් ආයතනය පිටවීමේදී සලකා බැලූ “බහුවිධ සාධක” වලින් එකක් පිරිවැය බව ඔවුන් ද පිළිගෙන තිබුණි. “රට තුළ සාර්ථකව ක්‍රියාත්මක වීමේ අඛණ්ඩ ශක්‍යතාව” පිළිබඳව ගැඹුරු තක්සේරුවක් සිදු කර ඇති බවත්, ආරක්ෂාව සහ වෙනත් සාධක හේතුවෙන් පිරිවැය ඉහළ යන බවත් එහි සඳහන් විය. මෙහෙයුම් පටන් ගැනීමට මෙන්ම අවසන් කිරීමට ද රාජ්‍ය නොවන සංවිධානවලට අයිතියක් ඇති නමුත් ඒවා කළ යුතු වන්නේ සදාචාරාත්මකව හා වගකීමෙන් යුතුව ය. ඔවුන් කෙරෙහි විශ්වාසය තබන්නවුන්ගේ සිත් නොරිදෙන පරිදි ය.
තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානවල අරමුදල් සම්පාදනය කර ගන්නා ආකාරයත්, ඒවායේ දායකත්ව මූල පිළිබඳවත් වඩා වැඩි අවධානයක් යොමු කිරීම යුගයේ අවශ්‍යතාවකි. බොහෝවිට අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන වර්තමානය වන විට තම රටවල භාණ්ඩාගාරයෙන් ලැබෙන අරමුදල් කෙරේ වැඩි අවධානයක් යොමු කරමින් සිටී. අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානවල මේ නැඹුරුව මඟින් තම මවු රටවල ආණ්ඩුවල දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වීම නොවැළැක්විය හැකි කරුණක් බවට පත්වේ. ඒ නිසාම තුන්වන ලෝකයේ යම් රටක රාජ්‍ය පාලනය හා එකඟ නොවුණු යුරෝපා රටක හෝ ඇමරිකානු රජයේ අරමුදල් මත ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයකට නොවැළැක්විය හැකි ලෙසින් අදාළ රටවල් තුළ තම මවු රටවල දේශපාලන න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමට සිදුවී ඇත. ඒ අනුව රාජ්‍ය නොවන සංවිධාන තවදුරටත්, ස්වාධීන, නිර්දේශපාලනික හෝ ආගමික නැඹුරුවක් නැති සංවිධාන වන්නේ ය යන රාජ්‍ය නොවන සංවිධානයක මූලික මූලධර්මය උල්ලංඝනය කර ඇත. බොහෝවිට සිදුවන මේ ක්‍රියාවලිය නිසා ජනතාවට සේවය කරන රාජ්‍ය නොවන සංවිධාන පවා අපහසුතාවට පත්වෙති. ප්ලෑන් ඉන්ටර්නැෂනල් සංවිධානය නිසා අපහසුතාවට පත් දරුවන් වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න අන්තර්ජාතික අවධානයට ලක්වෙන්නේ මේ පසුබිමේ ය.
රාජ්‍ය නොවන සංවිධානයකට අප රටේ නිදහසේ කටයුතු කිරීමට ඇති ඉඩ කඩ සම්බන්ධයෙන් විවාදයක් නැත. එහෙත්, එම නිදහස ඔවුන් අවභාවිත කරන්නේ නම්, තම සීමාව ඉක්මවා රටේ ප්‍රජාතන්ත්‍රීය බවට අභියෝග කරන්නේ නම්, එවැනි සංවිධානයකට තවදුරටත් අප රටේ ක්‍රියාත්මක වීමට ඉඩ දිය යුතු ද යන්න තීරණය කිරීම රජයේ වගකීමකි. තමන් විසින්ම සකසා ගත් ක්‍රමවේදයකට හෝ දේශීය විදේශීය වශයෙන් පිළිගන්නා නියාමනයකට මෙකී සංවිධාන ගරු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ඒවායේ ක්‍රියාකාරීත්වයේ දිග පළල හා අදාළ පාර්ශ්වකරුවන්ගේ සුබ සාධනය මෙන් ම අගතීන්ද එහිදී පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්ය කරුණකි.
කැමති විටෙක ශ්‍රී ලංකාවට එන්නටත්, අරමුදල් එ්කරාශී කරන්නටත් අකැමැති වූ වහා පිටව යන්නටත් රාජ්‍ය නොවන සංවිධාන සැරසෙන්නේ නම් ඊට අවැසි නියාමනය සැකසීම රජයේ හා අදාළ පාර්ශවවල වගකීමකි.