කොළො­ම්පුරේ යාචක ජීවිතේ | Page 7 | සිළුමිණ

කොළො­ම්පුරේ යාචක ජීවිතේ

 

ලංකාව පුරාවටම සංචරණ සීමා පනවා ඇතත් අගනුවර පුරා සැරිසරන යාචකයන්්ගෙන් නම් කොළඹට අඩුපාඩුවක් නැත. අව්වට වේළෙමින්, වැස්සට තෙමෙමින් කාගේ හෝ අගුපිලකට වී කිළිටි ඇඳුම් ඇඳ හැමටම අතපාමින් දවස ගත කරති. මෙසේ දිවි ගෙවන යාචකයන් වර්ග දෙකකි. තමන් විසින් එදා වේල සොයා ගැනීමට හුදකලාව සිඟමන් යදින පිරිස හා කිසියම් ව්‍යාපාරිකයකුගේ වුවමනාවට කොමිස් මුදලකට හිඟා කන හිඟන්නන්ය. මේ කිසිම හිඟන්නකු හිඟන්නියක අනුන්ගේ වුවමනාවට සිඟාකන බව පවසන්නේ නැතිමුත් වටපිටාව විපරම් කිරීමේදී ඒ ගැන තතු හෙළි කර ගත හැකිය. සමහර හිඟන්නියන් අනුන්ගේ දරුවන් කුලියට රැගෙන විත් දවසේ ගතමනාව සොයාගෙන දරුවාගේ මවටත් මුදලක් අතමිට මොළවති.

 

දවස තිස්සේම දරුවා නිදිකරවීමට නිදිපෙති කාලක් පොවයි. සමහර හිඟන්නන්ගේ තුවාල කිසිම දාක සුව නොවේ. සුව වුවහොත් ගතමනාව නොලැබෙන බැවිනි. දවසකට කොතරම් හම්බ කළත් ඔවුන් ළඟ පිච්චියක් ඉතුරු නැත. එදිනෙදා කන්න බොන්න වැරදුණත් සිගරට්, බීඩි, මත්පැන්, කුඩු ආදී මත්ද්‍රව්‍ය නම් ඔවුන්ට නැතිවම බැරිය. හැමදාම තුන්වේල කෑම කවුරුන් හෝ ගෙනත් දෙන අතර පොලිස් නිලධාරි මහතුන්, හමුදා නිලධාරීන් සිඟන්නන්ට කෑම වරද්දන්නේ නැත. බොහෝවිට සිඟමන් යදින කාන්තාවන් පවා මත්කුඩුවලට, ගණිකා වෘත්තියට හුරුවී ඇත. හිඟන්නන් නාන්නේ සතියකට වරක් නැත්නම් දින 2, 3ට වරක් පමණි. ඒ පොදු නාන ළිංවලින් හා නොමිලේ නෑමට ලබා දෙන පයිප්ප ජලයෙනි. දිවයිනේ නන් දෙසින් අගනුවර විත් සිඟාකන යාචකයන් ගණන 1000ට ආසන්න වේ. මේ සිඟමනට වැටුණු මේ බොහොමයක් දෙනෙකුගේ ජීවන වෘතාන්තය අතිශය දුක්ඛිතය. විසිහත් වියේ පසුවූවත් වයසට වටා වියපත් පෙනුමක් පෙනෙන දෙමටගොඩ ආර්. ඉංගරාජ් මට හමුවූයේ එල්ෆින්ස්ටන් අසලදීය. කොහෙන්දෝ ලැබුණු බත් පාර්සලයක් කමින් සිටියේය. ඔහු පාසල් ගොස් ඇත්තේ වසර 5කි.

“ගෙවල් දෙමටගොඩ. අම්මයි අක්කයි නංගියි ඉන්නේ. ඒත් මම රෑට කාගෙ හරි අගුපිලක වැටිලා නිදාගන්නවා.“

පිටකොටුව වසා දැමූ මැනින් මාකට් අසල පදික වේදිකාවේ සිටි සී.ආර්. පද්මලතාගේ (59) ගම පොල්ගහවෙලය. මහගෙදර මල්ලිට ලබා දුන්නත් මල්ලි අක්කාව ගෙදරින් දොට්ට දැමූ අතර සැමියා ද තම නංගිව විවාහ කරගත් බව ඇය කියයි. අවුරුදු 18 පුතා වැල්ලම්පිටිය පන්සලකය. රෑට ඇය නිදා ගන්නේද මෙතනය. සතියකට වතාවක් ඇතුල්කෝට්ටේ දියවන්නාවෙන් නොමිලේ නා ගැනීමට පයින්ම යන්නීය. මේ ඇගේ අදහසයි.

“පෝය දවස්වලට කවුරු හරි කෑම ගෙනත් දෙනවා. අනිත් දවස්වලට පොලිසියෙන් හරි කෑම දෙනවා. වැසිකිළි යන්න වුණාම රු. 20 දීලා යනවා. වතුර බෝතලයක් ගෙනත් තියන් උදේට දත් මැදලා මූණ හෝදනවා. පොලිසියෙන් අපිට බණින්නේ නෑ. වැස්සදාට ඉටිරෙද්දක් දාගෙන පොරෝගෙන නිදා ගන්නවා.“

කරුපයියා ත්‍යාගරාජා (56) ඉන්නේ පීපල්ස් පාක් එක සමීපයේය. ඔහුට දියණියක හා පුතුන් දදෛනකු සිටී. පුතාලා ඔහුට එන්න කීවද යාමට අකමැතිය.

“දන්න අඳුනන අය කෑම ගෙනත් දෙනවා. පොලිසියෙනුත් කෑම දෙනවා. බඩගින්නෙ ඉන්න නම් වෙන්නෙ නෑ. තුන් වේලටම මොනවා හරි කනවා. සංචරණ සීමා කාලෙ කඩවල් වහලා වුණත් කවුරු හරි කෑම ගෙනත් දෙනවා.“

යාචකයකුට කෑම ගෙනත් දුන් 38 හැවිරිදි කේ. ජී. දීපිකා පැවසුවේ යාචකයන්ව රිදීගම යාචක කඳවුරට ගෙනිච්චත් ඇතැමුන්ට හුරුපුරුදු පාරේ ජීවිතය නිසා හොරෙන් පැන එන බවයි.

“කොරෝනා මුලින්ම පටන්ගත්ත දවස්වල කොළඹ යාචකයන්ව රිදීගම අරන් ගියා බස් එකක් පුරවලා. කුඩු බොන අය කන්දකාඩු දැම්මා. එන්න බැරි ලෙඩ්ඩු රිදීගම නැවතුනත් සමහරු පැනලා ආයෙත් එනවා. සමහරු කැමති නෑ. හිර කඳවුරක්ලු; ගහනවලු. ඒත් කන්න බොන්න, ඇඳුම්, බේත් හේත් දෙනවා.“

ටෙක්නිකල් හන්දියේ සිටි 71 හැවිරිදි කිංස්ලි සිල්වාගේ ගම මෝදරය. ඔහු අවිවාහකයෙකි. නංගිලා තිදෙනා නොසලකන නිසා ඔහු මහමඟට වැටී ඇත. හයේ පන්තියට ඉගෙන ගත් අතර කලින් මාකට් එකේ බඩු ඔසවන රැකියාව කළත් සතපහක් අතේ නැත. වරක් රිදීගම කඳවුරට ගෙනිහින් දැම්මත් ඔහු හොරෙන් පැමිණ ඇත. කෑම නොලැබුණහොත් කඩෙන් මිලදී ගෙන කෑම කන බව කියයි. එකම සරමක් හා කමිසක් ඇති ඔහු බේරේ වැවෙන් නාගෙන නැවත අඳින්නේ ද එම ඇඳුම්ම බව කියයි.

“සල්ලි ඉතුරු කළේ නෑ. තුන්වේල කෑවා. අරක්කු බොන්නෙ නෑ. සමාජ ආශ්‍රයක් නෑ. මාව රිදීගම ගෙනිච්චා. ඒක මිහිපිට අපායක්. පොඩ්ඩ බැරිවෙද්දි ගහනවා. කෑම කන්න බෑ. බිම නිදියගන්න වෙන්නේ. ඇතුළට දාලා හිරකරගෙන ඉන්නේ. මෙහෙ නිදහසේ හිටිය අපිට ඒවගෙ ඉන්න බෑ. මම හොරෙන් පැනලා ආවා.“

සුනිල් උස්ගොඩ ආරච්චිගේ (52) මැනින් මාකට් එකේ වැඩ කරගෙන සිටි අතර දැන් රැකියාව නොමැති නිසා හිඟමනට වැටුණු අයෙකි. ලැබෙන කුලී වැඩක් කරන අතර වැස්ස දවසට අඩි 100 පාර අසල සිටින බව කියයි. කෑම බීම දිනපතාම පාහේ කවුරුන් හෝ ගෙනත් දෙන බව ඔහු පවසයි.

“තේවතුර, කෑම බීම නම් නෝනලා, මහත්තේලා හොඳ වාහනවලින් ඇවිත් ගෙනත් දෙනවා. හෝටල් තියන අයත් කෑම හදලා ගේනවා. කුඩු ගහන අය අල්ලන්න වේල්ල වීදිය පොලිසියෙන් එනවා. මගේ ගෙවල් අලුත් පාලම ළඟ. බැඳලා නෑ. බෝගහ ඉදිරිපිට ඉන්නේ.“

අසූවිය සපිරුණු දික්වැල්ලේ සුමනා එදිරිසිංහ මට හමුවූයේ ගුණසිංහපුරය ආසන්නයේ කඩපෙළක පදික වේදිකාවේදීය. කිසිදා පාසල් නොගිය ඇගේ ඇඳුම්වල දැලි කුණු වැකිලාය. හැම හිඟන්නන් හිඟන්නියන්ගේම පාහේ ඇඳුම් ගින්නට දැම්මත් පිච්චෙන්නේ නැති තරම් කිළිටිය. මේ ඇගේ හඬයි.

“මම මෙහෙ ආවේ අවුරුද්දකට කලින්. මල්ලිගෙ නෝනා කොසුවලින් ගහනවා. දවස් තුනකට සැරයක් නානවා. මෙහෙ කවුරුත් හිරිහැර කරන් නෑ. පව් ආච්චි වයසයි කියලා කෑම බීම දෙනවා. දවල්ට ඇවිදින්න ගියාම සල්ලි කීයක් හරි ලැබෙනවා. සමහරු රු. 100 දෙනවා. කෑම නැති දාට කඩෙන් කනවා. මැරුණොත් රජයෙන් හරි පාරේ යන අය හරි වලදායිනේ.“

පාරේ ජීවත්වන අසරණ යාචකයන්ට ඉඳහිට හෝ කෑම පාර්සල් සාදා බෙදා දීමට සමහර පිරිස් පුරුදුව සිටිති. මාළිගාවත්ත ලක්හිරු සෙවණ දුම්රිය නිවාස යෝජනා ක්‍රමයේ පදංචි නිශාන්ත ජයලත් ප්‍රේමතිලක, තාරකා තිළිණ යුවල ත්‍රිවිලරයෙන් කෑම ගෙනත් හිඟන්නන්ට ලබා දුන්නේ නිශාන්තගේ උපන් දිනය වෙනුවෙනි. කොච්චිකඩේ සිට wp A.A.S. 9987 ත්‍රිවිලරයෙන් සුරේෂ් කුමාර (37) මහතා ද ගෙදර පිසූ කෑම පැකට් 150 පමණ යාචකයන්ට බෙදා දුණි. මෑකරල්, පරිප්පු හා මාළු එහි තිබෙන බව ඔහු පැවසීය.

අසූවියේ පසුවන තිලකරත්න ආරච්චිගේ පියදාස (80) සිළුමිණට පැවසුවේ මෙවැන්නකි.

“මම පාදුක්කේ මාකට් එකේ වැඩ කළා. බැඳලා නෑ. මාකට් එක කැඩුවට පස්සේ ඉන්න තැනක් නෑ. පේමන්ට් එකට වැටුණා. අපිව රිදීගමටත් ගෙනිච්චා. එක් හොද්දක් එක්ක බත් දෙනවා. බිම නිදා ගන්නේ. දවස් 3 වරක් නාන්නේ. එක ඇඳුමක් දෙනවා. මම ආපහු ආවා. කොරෝනා කාලේ ගෙනිච්චේ. ඇඳුම් තිබුණා. නින්ද ගිහින් ඉද්දි කුඩුකාරයෝ හොරෙන් ගෙනිහින්. කෑම බීම කොහොම හරි ලැබෙනවා. පොලිසියෙනුත් කෑම තේ වතුර දෙනවා.“

ගම්පොළ රාජා ප්‍රභාකරන් (48) හා හංවැල්ලේ කපිල හෙට්ටිආරච්චි (47) ආහාර ගනිමින් සිටින අතරතුර පැවසුවේ නාට්ටාමි රැකියාව කරන අතරතුර කාගෙන් හෝ ලැබෙන කෑම පැකට් එකකින් කුස පුරවගනිමින් පේමන්ට් එකේ නිදාගන්නා බවයි. පොලිසියෙන් පවා කෑම ලබාදෙන බවත් ඇතැමුන් කෑම 2, 3 ලබාගෙන විකුණන බවත්ය. ඒ නිසා කෑම බෙදන වෙලාවට ඒ අසල නොහිටියොත් කෑම නොලැබෙන බව පවසයි.

කොටහේනේ නිශාන්ත පුෂ්පලාල් කෝදාගොඩ (52) අවිවාහකයෙකි. සහෝදරයන් නොසලකන නිසා හිඟමනට වැටුණු බවත් කෑම හැමදාම නොලැබෙන බවත් කීය. දින කීපයකට වරක් ගුණසිංහපුරයේ බාල්දි ළිඳෙන් නාන බවත් පැවසීය. ලෙඩක් දුකක් හැදුනොත් ඉස්පිරිතාලේ යනවා. කොරෝනාවට කලින් නම් සල්ලි කෑම ලැබුණා. දැන් අඩුපාඩුයි.“

හිතුවක්කාර විවාහයක් නිසා මහමඟට වැටුණු ධනවත් පවුලක එම්.එච්. රමණීට (62) කවුරුත් කියන්නේ ඩිස්කෝ හිඟන්නා කියාය. ඒ ඇය හොඳට අඳින පලඳින නිසාය. ඇයට දීග තලග ගිය ලොකු දූ පුතුන් ඇති අතර ඔවුන් ඇය ගැන බලයි. ඇය රෑට නිදියන්නේ පිටකොටුව මිහිඳු මාවත අසල පේමන්ට් එකේය. මේ ඇගේ හඬයි.

“නාවල බේකරිය මගේ තාත්තගේ. ගෙදරින් එපා කියපු කෙනෙක් එක්ක ගිහින් පළවෙනි ළමයා බඩට දීලා පැනලා ගිය මනුස්සයා ආවේ අවුරුදු 16ට පස්සේ. දෙවෙනි දරුවා බඩට දීලා ගෙදර වැඩට ආපු මුස්ලිම් ගෑනු කෙනෙක් එක්ක ගියා. මගේ මනුස්සයා දැන් මුස්ලිම්. රට පුරා ගෑනුන්ට ළමයි 38ක් ඉන්නවා ඔහුගෙන්. දෙවෙනි පාර ටයිම් කීපර් කෙනෙක් මාව එක්ක ගිහින් තව දරුවෙක් ඉන්නවා. මම රිදීගමත් හිටියා. මිහිපිට අපායක්. රාබු උයලා දෙන්නේ පොතු නොඇරයි. සියඹලා කෝටුවලින් ගහනවා. දිමිගොටු ඇඟට දානවා. එහේ අවුරුදු 8ක් ඉඳලා මෙහේ ආවේ. ළමයි මට සලකනවා. සල්ලි, ඇඳුම්, කන්නත් ගෙනත් දෙනවා. ඒත් මම මෙහේ ඉන්නවා. සිකුරාදාට හිඟන්නන්ගේ පඩි දවස කියලා කියන්නේ. ඒත් මම ඩිස්කෝ හිඟන්නා නිසා මට මුදල් ලැබෙන්නේ අඩුවෙන්.

මරදාන එල්ෆින්ස්ටන් අසල ගුවන් පාලමේ පහළ සිටින ඒ.ආර්. කුලසේන (53) දෙමටගොඩ හා ඒ. අබ්දුල් කලීම් (60) අක්කරපත්තුව. එතනට පැමිණියේ දැන් වසර 2ට පමණ පෙරය. කෑම බීම නම් දිනපතා ලැබෙන බවත් මුදල් ලැබෙන්නේ අඩුවෙන් බවත් පවසති. සතියකට වරක් මරියකඩේ පයිප්පෙන් නාගන්න ලැබෙන බවත්, එක කෑම පාර්සලයක් ලැබුණත් දෙන්නා බෙදාගෙන කන බවත් කීය. අබ්දුල් කලීම්ගේ පුතා ඉඳහිට රු. 500 - 1000ක් දෙන බවත් ඔහු කොළඹ පදිංචිව සිටින බවත් පැවසීය.

සංසාර කරුමය නිසා හෝ නූගත්කම, පිළිවෙළක් නැති ජීවිතය නිසා හෝ සිඟමනට වැටුණු මේ මිනිසුන්ට වඩා ධනවත් නිවෙස්වල සුරතලයට ඇති කරන සතුන් සුවපහසු ජීවිත ගත කරන බව නොරහසකි.

 සටහන සහ සේයාරූ

Comments