මලක්කා මහ මුහුදේ උපාලි සැඟව යයි | සිළුමිණ

මලක්කා මහ මුහුදේ උපාලි සැඟව යයි

“උපාලි විජයවර්ධනට මැලේසියාවේ හතුරෝ  කවුරුත් හිටියෙ නෑ. ඒ අය උපාලිට කිව්වේ  අපේ කොකෝ රජ්ජුරුවො කියලා”

ලොව ඉහළම ධනවතුන් පාවිච්චි කරන අති නවීන ලියර් ජෙට් ගුවන් යානයෙන් පැය තුනකින් කොළඹ සිට මැලේසියාවට

 

 

උපාලි විජයවර්ධන විශ්වකර්ම මිනිසකුගේ කතාවක්

ඔහු විශ්වකර්ම මිනිසෙකි. දකුණු ලක උපන් හෙතෙම අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ඩෙල්ටා ටොෆියෙන් ඇරඹි ව්‍යාපාර මෝටර් රථ නිෂ්පාදනය දක්වා උපාලි රැගෙන ගියේය. මැලේසියානුවන් චොකලට් රජ්ජුරුවෝ ලෙසද හැඳින්වූයේ ඔහුය. මේ, ඔහුගේ දිවි සැරියෙන් දිය දෝතකි.මෙවර පළ වන්නේ ඒ සංක්ෂිප්ත කතා මාලාවේ

අවසාන කොටසයි. -නන්දසේන සූරියආරච්චි ලියයි

 

ණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ මෙරට ප්‍රධාන පුවත්පත් ආයතන තුනක් තිබුණ ද විවිධ හේතු නිසා දවස ආයතනය සහ ටයිම්ස් ආයතනය වැසී ගිය බව පෙනිණ. එම පාලන කාලයේම මෙතෙක් පෞද්ගලික පුවත්පත් ආයතනයක් වූ ලේක්හවුසිය ද රජයට පවරා ගැනීම නිසා රාජ්‍ය පාක්ෂික තොරතුරු හැරෙන්නට අනෙක් දේශපාලන අංශ ගැන තොරතුරු දැනගැනීමට මහජනයාට තිබූ ඉඩකඩ ද සීමා වී තිබිණ. එම වාතාවරණය තුළින් පොදු මහජනයාට යම් අඩුවක් වී ඇති බව උපාලි කල්පනා කළේය.

 

ජනමාධ්‍ය අංශයෙහි අනෙකුත්, විද්‍යුත් මාධ්‍ය අංශය ද රජයේ මෙහෙයවීම පිට පවත්වාගන යමින් තිබුණි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හැර පෞද්ගලික ස්ථාන කිසිවක් නොතිබූ එකල රූපවාහිනී ආයතනයන් දෙකක් තිබුණද ඒවා ද රාජ්‍ය පාලනය යටතේ පැවතිණ.

ප්‍රථම වරට මෙරට රූපවාහිනී ආයතනයක් ආරම්භ කළේ ශාන් වික්‍රමසිංහගේ පුරෝගාමිත්වයෙන් ස්වාධීන රූපවාහිනී ආයතනය වුව ද එක්සත් ජාතික පක්ෂ රජය එම ආයතනය ද රජයට පවරා ගනු ලැබීය. දෙවනුව ඇති කළ ජාතික රූපවාහිනිය ද රජයේම ප්‍රචාරක ආයතනයක් විය. මෙම පසුබිම තුළ පොදු ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට වූ ඉඩකඩ සීමා විය. උපාලිගේ ඥාති සොහොයුරු රංජිත් විජයවර්ධන විජය ප්‍රකාශන සමාගම අරඹා වාර ප්‍රකාශන කීපයක් එළි දැක්වුව ද ජාතික පුවත්පත් ආයතන කිසිවක් නොතිබීමේ අඩුව වටහාගත් උපාලි අලුත් වැඩකට අත තැබීය.

විවෘත ආර්ථික රටාවක් ක්‍රියාත්මක වීමත් සමඟ දේශීය කර්මාන්ත බිඳ වැටීමෙන් නව සමාජයක් ගොඩනැඟෙමින් පැවතිණ. සිරිමාවෝ බණ්ඩාරනායක රජය ඉතාම ක්‍රමවත්ව මෙරට ආර්ථිකය ගොඩනැඟීමට සකස් කළ ආර්ථික ප්‍රතිපත්ති සුණු විසුණු වී ගොස් තිබිණ. එකී කාල සීමාවේදී මෙරට වෙළෙඳපොළ ජයගන්නට උපාලිට හැකි වූයේ විදේශ විනිමය පාලනය දැඩිව තිබුණද වෙළෙඳ දැනුම තුළින් නව කර්මාන්ත රැසක් නව පාලනය යටතේ ඉටු කරන්නට ඔහුට හැකිවීමෙනි.

නව පුවත්පතක් ආරම්භ කිරීමට ප්‍රථම ඒ පිළිබඳව යම් කිසි නිර්ණායකයකට එළඹීම වඩාත් නිවැරැදි යයි නිගමනය කළ උපාලි බ්‍රිතාන්‍යයේ එවකට සිටි ප්‍රමුඛ පෙළේ ජනමත සමීක්ෂණ කණ්ඩායමක් ගෙන්වා ගෙන රට පුරා සංචාරය කිරීමට ඉඩකඩ සැලැස්වීය. එමඟින් කළ නිරීක්ෂණයේ ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවේ අලුත් පුවත්පතකට ඇති ඉල්ලුම පිටපත් පනස් දහසක් ය යන්නය. කෙසේ වුව ද මේ සීමාව ඉක්මවිය හැකි යයි උපාලිට සිතිණ.

මේ 1981 අප්‍රේල් මාසයයි. උපාලි විජයවර්ධනගෙන් ලැබුණු හදිසි දුරකථන පණිවිඩයක් අනුව මා ඔහු හමුවීමට ගියේ බ්ලූමැන්ඩල් පෙදෙසේ පිහිටි උපාලි සමූහ ආයතනයටයි. “මේක ලොකු බැරෑරුම් කටයුත්තක්, කොහොමවත් තනි කෙනෙකුට කරන්න අමාරු වැඩක්. අනික් එක දෙපොළක ඉඳල කොහොමවත් කරන්න බෑ. අදම පුළුවන්ද ලේක්හවුස් එකෙන් අස්වෙලා අපි ළඟ වැඩට එන්න.”උපාලිගේ ඒ යෝජනාවට මම ඉතිසිතින් කැමැත්ත පළ කෙළෙමි. ඒ වනවිටත් ආනන්ද පේලිමුහන්දිරම් ලේක්හවුසියෙන් මගේ ඉල්ලා අස්වීමේ ලිපිය සකසා තිබිණ. මට සිදුවූයේ එයට අත්සන් කිරීම පමණි. වසර දොළහක් පුරා ලේක්හවුසියේ කිසිදු චෝදනාවක් නොලබා සේවය කළ මා එයින් ඉවත්වීම පිළිබඳ එහි නීති නිලධාරියා මගෙන් ප්‍රශ්න කීපයක් ඇසීය. ඔහු මට ඉති සිතින්ම සුබ පැතීය. මගේ ගමන් බිමන් සඳහා යාමට ඊමට වෙනම වාහනයක් ද ලැබී තිබිණ. කර්තෘ මණ්ඩලය සඳහා සාමාජිකයන් පත් කර ගැනීමේදී ‘සිළුමිණ’ කර්තෘ එඩ්මන්ඩ් රණසිංහගේ සහාය ලැබ හය දෙනකු නම් කෙරිණ. එයට හේතු වූයේ දිවයිනේ ඉහළම අලෙවිය ඇති ඉරිදා පුවත්පත වන ‘සිළුමිණ’ කර්තෘ මණ්ඩලයට සහභාගිව සිටියේ ද හය දෙනකු වීමය.

කවදත් ජ්‍යොතිෂය ගැන දැඩි විශ්වාසයක් තිබූ උපාලි විජයවර්ධන ඔහුගේ අතින්ම හෝමාගම ගලවිලවත්තේ පිහිටි උපාලි මුද්‍රණාලය පණ ගැන්වූයේ 1981 ඔක්තෝබර් මස හතර වැනිදාය.

අලුයමින්ම පුවත්පතේ එළිදැක්වීම සිදුවූ අතර එහි පිටපතක් රැගෙන නිවසට පැමිණියත් පැයක් තුළදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් දුරකථන ඇමතුම් කීපයක්ම ලැබිණ. ඒ පුවත්පත ඒ වනවිටත් මැතිනියගේ නිවසට ලැබී නොතිබීම නිසාය. එක දිගට මුද්‍රණය වන්නට වූ දිවයින ඉරිදා සංග්‍රහය එදින සන්ධ්‍යාව වනතුරු පිටපත් දෙලක්ෂ පනස් දහසක් ඉක්මවා ගොස් තිබිණ.

ඒ වනවිට දිවයින ඉරිදා සංග්‍රහය පමණක් සතිපතා මුද්‍රණය වන නවීනතම මුද්‍රණ ශිල්ප ක්‍රම අනුගමනය කළ එකම පුවත්පත වූයෙන් පළ කරන ලිපිවල ප්‍රමාණය ද පිටු ප්‍රමාණය මෙන් කීප ගුණයකින් වැඩි විය. 1982 පෙබරවාරි 4 වැනිදා දිනපතා දිවයින පුවත්පත ආරම්භ විය. මේ පුවත්පත් දෙකෙන්ම පැවැති එක්සත් ජාතික පක්ෂ රජයේ නොපනත්කම්වල ඇති දෝෂ දර්ශන මහජනතාව හමුවේ ඉදිරිපත් කළ හැකි විය.

බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ විපක්ෂයේ අභ්‍යන්තර වියවුල් හේතුවෙන් මහජනතාව තුළ ජනමතයක් ගොඩනැඟීමට ශක්තියක් විපක්ෂයට නොවූයෙන් මෙහිදී විපක්ෂයේ භූමිකාවේ සියලු වගකීම් දිවයින කර්තෘ මණ්ඩලයටම පැවරිණ. වසර ගණනාවක් ප්‍රජා අයිතිය අහිමිව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට දිවයින පුවත්පත නිසා නව ජනමතයක් වර්ධනය වන්නට පටන් ගනී.

රජයට පවරාගත් ලේක්හවුස් කර්තෘ මණ්ඩලයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා වූ ධර්මසිරි ජයකොඩි දිනමිණ පුවත්පතේ ආරම්භය සිටම අවසානය දක්වා විග්‍රහ කළේ ජේ.ආර්. ජයවර්ධන මහතා සතු සුවිශේෂ ගති ලක්ෂණයි. එතෙක් ඔහුගෙන් මහජනයාට සිදු කළ අහිතකර සිද්ධි කිසිවක් සඳහන් නොවිණ.

මගේ මතකයේ හැටියට මේ සිදුවීම වූයේ 1982 වසරේ අග භාගයේ විය යුතුය. සාම්ප්‍රදායිකව අප රටේ අයවැය ලේඛනය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරනුයේ නොවැම්බර් මාසයේය. “මේ අවුරුද්දේ අය වැයක් නෑ” යන උධෘතය යටතේ මා නමින් දිවයින පුවත්පතේ ප්‍රධාන පුවත පළවීය. එවකට අමාත්‍ය ධූරයක් දැරූ කොලොන්නාව ආසන මන්ත්‍රීවරයා වු වීරසිංහ මල්ලිමාරච්චිගෙන් මට දුරකථන ඇමතුමක් ලැබිණ. එහි සඳහන් වූයේ, හැකි ඉක්මනින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ නිවසට ගොස් ඔහු හමුවන ලෙස ය. මම බියට පත්වුණෙමි. එයට හේතුව ජේ.ආර්. ගේ කියුම් කෙරුම් හොඳින් දැන සිටි හෙයිනි. මම මේ බව උපාලි විජයවර්ධනට දැනුම් දුනිමි. “බය නැතිව ගිහින් ජේ.ආර්. හමුවන්න. ආපු හැටියෙම සිද්ධ වුණේ මොකක්ද කියල මට කියන්න” උපාලිගේ පිළිතුර එයයි.

ඉඳහිට වෝර්ඩ් පෙදෙසේ ජේ.ආර්. ගේ මන්දිරය දැක ඇති මම එහි ගියෙමි. ඒ දිවයින කාර්යාලයේ වාහනයකිනි. ජේ.ආර්. හිටියේ ඔහුගේ කාර්යාලය තුළ අමුත්තකු සමඟ කථා කරමිනි. මඳ වේලාවකින් ජේ.ආර්. සමඟ ඔහුගේ කාර්යාලයේ බාබර් සාප්පු දොරින් එළියට පැමිණි ජේ.ආර්. මා අසලින් ම ඉඳ ගත්තේ ය. “අර , එළියට ගිය මහත්තය අඳුනන්නෙ නැද්ද? ඒ තමයි උපාලි විජයවර්ධන එක්ක තරහෙන් ඉන්න රොනී ද මෙල් මහත්තයා.”

කඹුරුපිටියේ රුහුණු උදාන වැඩසටහනේදී රොනී ද මෙල්ගේ සහ උපාලි කණ්ඩායම් දෙක අතර වූ ගැටුමකින් අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදා ගැනීමට ඔවුන් සමඟ කථා කරන්නට හිරගෙදරට පවා ගොඩවූ මම, ජේ.ආර්.ගේ මේ කියමනින් ඔහු සතු කපටි දේශපාලන දර්ශනය තේරුම් ගතිමි. ජේ.ආර්. විවිධ දේ ගැන මා සමඟ කථා කළේය. “මම හිතා ඉන්නවා බණ්ඩාරනායක මැතිනියට ප්‍රජා අයිතිය දෙන්න” වරෙක ඔහු කීය. විවිධ වැල්වටාරම් කථාවලට කල්වේලා ගත කළ ජේ.ආර්. අවසානයේදී මේ වසරේ අය වැය නොපවත්වන බව ප්‍රකාශ කළේ කවුදැයි එක එල්ලේ ම ප්‍රශ්නයක් මතු කළේය. විවිධ අන්දමේ අය අපේ කාර්යාලයට පැමිණෙන හෙයින් රටේ දේශපාලනය ගැන කථා කරන නිසා එම පුවත පළ කළ බවක් කීවා මිස කිසිසේත්ම උපාලි විජයවර්ධනගේ නම එයට සම්බන්ධ කර නොගැනීමට වග බලා ගතිමි.

වෝර්ඩ් පෙදෙස අසලින් බොරැල්ල පැත්තට ගිය විට රොස්මීඩ් පෙදෙසට යාම ඉතා පහසු වුවත් ඇස් වාට්ටුව හන්දිය පැත්තෙන් රවුමක් ගසා මම මැතිනිය හමුවීමට ගියෙමි. ජේ.ආර්. ගේ නිවසට ගොස් කළ කථිකාව මුල සිට අග දක්වා ඇයට කීවෙමි. එතුමිය පුදුම වී ඒ සියල්ල අසා සිටියාය. “හැබැයි බලාගෙන ඔය මනුස්සය කියන දේවල් විශ්වාස කරන්න එපා” ඇය කීවේ එපමණකි. පසු දිනක “බණ්ඩාරනායක මැතිනියට යළි ඉක්මනින් ප්‍රජා අයිතිය ලැබෙන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි”යනුවෙන් මම පුවතක් පළ කළෙමි. ඊට පසු දිනම පුවත්පත්වල ජේ.ආර්. රැස්වීමකදී කළ ප්‍රකාශයක් සඳහන් විය. එහි සඳහන් වූයේ “බණ්ඩාරනායක මැතිනියට යළි ප්‍රජා අයිතිය ලැබෙන බවට දිවයින පත්තරේ කෙනෙක් ලියා තිබුණා. මම බණ්ඩාරනායක මැතිනියට කියනවා එයාගෙන්ම ප්‍රජා අයිතිය ඉල්ල ගන්න කියලා.”

විවිධාකාර බලවේග දිවයින පුවත්පතට විරුද්ධව එල්ලවන්න විය. වරෙක රජය විසින් පුවත්පත් ආයතනයට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කරන ලදී. එයට හේතු වූයේ අගමැතිවරයාට එරෙහිව බණ්ඩාරනායක මැතිනිය රත්මලානේ පැවැති ජනරැලියකදී කළ ප්‍රකාශයකි. මේ මඟින් රුපියල් තිස් දහසක වන්දියක් ඉල්ලා නඩු කටයුත්තකින් ආරම්භ කෙරිණ. උපාලි ආයතනය වෙනුවෙන් ඒ සඳහා පෙනී සිටියේ අතිදක්ෂ නීතිඥයකු වූ රොමේෂ් ද සිල්වා ය. ‍ඔහුට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා ආයතනය මඟින් මා වෙත මසක කාලයක් නිවාඩු දෙනු ලැබී ය. බලපිටිය ප්‍රදේශය, බණ්ඩාරවෙල ප්‍රදේශය ඇතුළු විවිධ ස්ථානයන්හි ගිය ගමන් බිමන්වලදී එක්වූ තොරතුරු ප්‍රශ්න තිහක් යටතේ ඉදිරිපත් කෙරිණ.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ජනාධිපති අරමුදලින් ගනුදෙනු ගෙවා උපාලි ආයතනය නිදහස් කෙරිණ. මෙබඳු බාධක රාශියක් උපාලි විජයවර්ධනගේ වසර දෙකක පමණ පුවත්පතට මූලිකත්වය දී කටයුතු කිරීමේදී විඳින්නට වූ කරදරවලින් දැඩිසේ සිත් වේදනාවට පත්වන්නට විය. තම මව උපන් කඹුරුපිටිය ප්‍රදේශයේ ජනතාවට කරන්ට ගිය උපරිම සේවාව අතරමග නතර විය. මේ සියල්ලටම මූලික වූයේ බලලෝභී දේශපාලනය මෙරටින් කිසි දිනක ඉවත්ව නොයන බව වැටහුණු පරම සත්‍යයක් විය. කුඩා කාලයේ සිටම ඔහු ආසා කළේ, අමුතු දෙයක් සිදු කොට ඒ දෙස බලා ප්‍රීතිමත් වීමට කුඩා දරුවකු දක්වන ආශාව මඟින් දැඩි වින්දනයක් ලැබීමටය. සාධාරණව උපයාගත් ධනයෙන් ඔහු උපරිම ප්‍රයෝජනයක් ලද මිනිසෙකි.

වෙළෙඳ ලෝකය මුළුමනින්ම ජයගෙන සිටි උපාලි තම පෞද්ගලික විදේශ ගමන් සඳහා අතිනවීන ලියර් ජෙට් ගුවන් යානයක් රැගෙන විත් තිබිණ. අක්කර දහ හතර දහසක් පුරා පැතිර තිබුණු මැලේසියා කොකෝ වගාව ඵල දරමින් තිබිණ. ක්‍රමයෙන් ඉතා ඉහළ ඉල්ලුමක් ඇති කැන්ඩෝස් චොක්ලට් සඳහා ආසියාකරය යුරෝපය තුළින් ලැබුණ ඉල්ලුමට නිතර නිතර ගමන් යා යුතු වූයෙන් පැය තුනක් වැනි කෙටි කාලයකින් කොළඹ සිට මැලේසියාවට යාමට ඔහුට අවශ්‍යව තිබිණ.

අධිවේගී මෙබඳු ලියර් ජෙට් යානා පාවිච්චියට ගැනුණේ ලොව ඉහළම ධනවතුන් විසිනි. උපාලිට අවශ්‍ය වූයේ තම ධනවත්කම ප්‍රදර්ශනය කිරීමක් නොව ව්‍යාපාර අංශයේ තමාගේ ගතවන එක් මිනිත්තුවක් තුළින් වුවද යම්කිසි කටයුත්තක නිරතවීමටය.

ගුවන් නියමුවකු ලෙසින් බලපත්‍රයක් ලබා සිටි උපාලි එකල මෙරට මුදලින් රුපියල් දෙකෝටියක් වියදම් කොට නියමු පාලකයාට අමතරව පිටිපස බඳ කොටසෙහි තවත් පාලක යන්ත්‍රයක් එක් කළේය. නියමුවාට විවේක අවශ්‍ය නම් පිටුපස සිටින්නාට ද ගුවන් යානය පාලනය කිරීමට මෙමඟින් හැකි විය.

සිය උපන් දිනයට දින තුනකට පෙර උපාලි මැලේසියාවට ගියේ අවසන් වරටය. පිටත් වන දිනට පෙරදින ගුවන් යානය සේවා කටයුතු සඳහා යැවූ උපාලි යළි කොළඹ බලා ඒම සඳහා ගුවන් යානයට නගින සේවා ස්ථානයේදී කිසියම් පාපතරයකු ගුවන් යානයට බෝම්බයක් සවිකර තිබූ බව නොදැන සිටියේය. නිමේෂයක් ගතවත්ම ආනන්ද පේලිමුහන්දිරම්, උපාලි, මැලේසියාවේ තම නියෝජිත රත්නම් ඇතුළු කාර්ය මණ්ඩලය සහිත ගුවන් යානය මලක්කා සමුද්‍රයට පතිත වී විනාශයට පත්විය.

පසු දා පාන්දර අටට පමණ දිවයින පුවත්පත් කාර්යාලයට මා ගිය විට දුරකථනය නොකඩවා නාද විය. “මොනවද උපාලි ගැන අලුත් ආරංචි?” ඒ ඇසුවේ අනුර බණ්ඩාරනායක ය. මම අන්දමන්ද විමි. දීමට පිළිතුරක් නැත. උපාලි සමූහ ආයතනයේ උපාලිගේ පෞද්ගලික ලේකම් ඇල්ස්ටන් වීරසිංහ මේසයේ හිස ගසාගෙන හඬා වැටෙමින් සිටියේය. මම වහාම උපාලිගේ නිවෙස වෙත ගියෙමි. ජාත්‍යන්තර ඇමතුම් ගන්නා දුරකථන දෙකක කණ්ඩායම් දෙකක් විවිධ තොරතුරු රැස් කරමින් සිටියහ. පසෙක කඳුළු පුරවාගත් දෙනතින් කල්පනා කරමින් සිටියේ ඥාති සහෝදර රංජිත් විජයවර්ධනය. කිසිවකුට කර කියා ගත දෙයක් නොවිණ.

උපාලිගේ සොහොයුරිය අනෝජා මා සමඟ පිටත් වූයේ නුගේගොඩ විජේරාම හන්දිය අසල සිටි සුප්‍රසිද්ධ ජ්‍යෝතිෂඥයකු වූ ඩැනියල් ගමආරිය හමුවීමටය. ඔහු ඇය විසින් දෙන ලද බුලත් අතේ එක් බුලත් කොළයක් රැගෙන කනපිට හරවා මොහොතක් කල්පනා කළේ ය. “ඇයි මේ මැරිච්ච කට්ටියක් ගැන අහන්න ආවෙ” ඔහු ඇසී ය. අනෝජා මහ හඬින් පළාතම දෙවනත් කළාය.

මේ වනවිට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඒමන් කාරියකරවන විනාඩියෙන් විනාඩියට ගුවන් විදුලි පුවත් ප්‍රකාශයක් අරඹා තිබිණ. ගුවන් විදුලියේ අලුත් තොරතුරු දැනගන්නට මිනිසුන් මහමඟ පොදිකමින් සිටියහ.

ගාමිණී දිසානායක ඇමැතිවරයා තමාගේ පෞද්ගලික ආරක්ෂක සේනාංකය උපාලි විජයවර්ධන ගේ නිවස වටකොට රඳවා සිටියේය. මේ සිද්ධිය නිසා රජය හදිසි තීරණයක් ගෙන එවක ආරක්ෂක ඇමැතිව සිටි ලලිත් ඇතුළත්මුදලි එහි යැවීය. ඔහු එදා හවසම යළි පැමිණ විශේෂ පුවත් සාකච්ඡාවක් පැවැත්වීය.

“උපාලි විජයවර්ධනට මැලේසියාවේ හතුරෝ කවුරුත් හිටියෙ නෑ. ඒ අය උපාලිට කියන්නෙ අපේ කොකෝ රජ්ජුරුවො කියලා”එදින පළවූ රොයිටර් වාර්තාවක දැක්වුණේ මලක්කා මහ මුහුදේ හයදෙනකුගේ සිරුරු දක්නට ලැබුණු බවයි. තවත් විනාඩි කීපයකදී එය නිවැරැදි වාර්තාවක් බව රොයිටර් ආයතනය ම සඳහන් කළේය.

නිමි.

Comments