අවුරුදු අසිරිය විඳ ගම්බිම් බලා යන ආගන්තුක කුරුල්ලෝ | සිළුමිණ

අවුරුදු අසිරිය විඳ ගම්බිම් බලා යන ආගන්තුක කුරුල්ලෝ

මාර්තු සහ අප්‍රේල් මාසවල කොහා අපගේ ගෙවත්තට ආගන්තුකයකු නොවීය. බොහෝ කුරුල්ලන්ගේ සුවැඳි සමය (Breeding season) නිසා, කුරුල්ලන් වෙනදාට වඩා ක්‍රියාශීලි වේ.

 

අනේකවිධ වර්ණ සුසංයෝජනයෙන් ඔපවත් වූ පර්යටනික පක්ෂීන් හෙවත් සංක්‍රමණික පක්ෂීන් අප මවුබිමේ සිය සංක්‍රමණික කාලය ගත කරමින් යළිත් සිය මවු රට බලා පියාසර කරන්නට පටන් ගෙන ඇත. අපේ රටේ ස්වභාව සෞන්දර්ය වඩාත් ඔපවත් කරමින් ඊසාන දිග මෝසම් සුළං ප්‍රවාහයේ ඇරඹුමත් සමඟ සංචාරක කුරුල්ලන්ට අපේ රට තාවකාලික නිජ බිමක් බවට පත් වන්නේය. වීසා පහසුකමින් මුක්තව දුරුකතර ගෙවමින් සෑම වසරකම සැප්තැම්බර් මස වන විට අපේ රටේ කුරුලු ගහනයේ වැඩිවීමක් පෙන්නුම් කරන්නේ මේ ආගන්තුකයන් නිසාය. ශීත ඍතුවේදි මෙවැනි පක්ෂි විශේෂ 250 කට ආසන්න ප්‍රමාණයක් සෑම වසරකම ලංකාවට පැමිණෙති.

සංක්‍රමණික පක්ෂීන් ප්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ ලංකාවට පැමිණෙති. බටහිර සයිබීරියාවේ, හිමාලය කඳු වැටියට බටහිරින් සහ වයඹ දෙසින් පැමිණෙන පක්ෂීන් ඉන්දියාවේ මහා ගිරිදුර්ග සහ ගංගා නිම්න ඔස්සේ බටහිර වෙරළ තීරය දීගේ පහළ දකුණු දිග අන්තයේ පිහිටා ඇති කොමරින් තුඩුව කරා පියඹා විත් ලංකාවේ ගල්කිස්ස සහ මන්නාරම අතර ප්‍රදේශයෙන් රට අභ්‍යන්තරයට පිවිසෙති. අවිච්චියා, වල් තාරාවා, දාර කොරවක්කා හා කැස්වටුවා ඒ අතර සුවිශේෂීය. හිමාලය කඳු වැටියට ඔබ්බට වන්නට ව්‍යාප්තව ඇති තිබ්බතය, නැඟෙනහිර සයිබීරියාව සහ මොංගෝලියාව ආදි වූ ප්‍රදේශවල සිට කඳු බාධක පසු කරමින් ගංගා නිම්න හරහා නැඟෙනහිර

වෙරළ තීරයේ දකුණු දෙසට පියාසර කර පෝක් සමුද්‍ර සන්ධිය හරහා යාපනය අර්ධද්වීපයෙන් තවත් පිරිසක් ලංකාවට ඇතුළු වෙති. ඒ අතර පුංචි සිලි වටුවා, රණවටුවා, උල් පෙඳ කැස්වටුවා, වැහිලිහිණියා විශේෂයි. මෙසේ පැමිණෙන පක්ෂීන් යළිත් සිය නිජබිම වෙත පියාසර කරන්නේ මේ මාසවලදීය.

ලංකාවේ කුරුලු විශේෂ 500 ක් දිවි ගෙවන අතර ඉන් විශේෂ 250කට අධික සංඛ්‍යාවක්‌ සංචාරක පක්‌ෂීහු වෙති. මොවුන් අපේ රටේ ගත කරන්නේ මාස හයක් වැනි කෙටි කාලයකි. මේ පක්ෂීන් අපගේ ජෛව විවිධත්වය ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබාදේ.

“සංචාරක පක්ෂීන් ලංකාවේ මාස 6 ක පමණ කාලයක් රැඳී සිටිනවා. නැවතත් ඔවුන් සිය නිජබිමට යන්නේ ප්‍රජනන කටයුත්ත සඳහා. මේ කාලය තුළ ඔවුන් සිය ශරීරය සකස් කිරීමක් කර ගන්නවා. මාර්තු මාසයේදි ඔවුන් සිය ශරීර බර වැඩි කර ගන්නේ තෙල් ආහාර ගැනීමෙන්. තෙල් වැඩිකර ගැනීමෙන් ඔවුන්ට යළිත් දිගු පියාසර ගමනකට පහසුවක් සපයනවා. අනාවරිත චන්ද්‍රිකා තාක්ෂණය හරහා මොවුගේ ගමන් රටාව අපි නිරන්තරයෙන් සොයා බැලීමක් කරනවා. ඔවුන් කිලෝ මීටර් දහස් ගණනින් එක දිගට පියාඹා යනවා. සමහර තැන්වල කෙටි විවේකයක් ගන්නවා. තමන්ගෙ සිරුරේ මේද සංචිත ඊට පිටුවහලක් සපයනවා. සංචාරක පක්ෂීන් අතරින් වැඩිම දුරක් පියාසර කරන්නේ ආක්ටික් කලාපයේ සිට ඇන්ටාක්ටික් කලාපයට පියාසර කරන Arctic tern පක්ෂියා. ඌ කිලෝමීටර 35,000 ක් දුර පියාසර කරනවා. ලංකාවට වැඩිම දුරකින් පියාසර කර පැමිණෙන්නේ මුහුදු කපුටෝ නම් කුරුලු විශේෂයයි. ඒ කිලෝ මීටර 11,500 ක් දුරක්. ඔවුන් ලංකාවේ මන්නාරම, පුත්තලම හා යාපනය යන ප්‍රදේශවල දැකිය හැකියි. රුසියාවේ උත්තර ද්‍රවයේ සිට පැමිණෙන මෙම පක්ෂීන් යළි මන්නාරමෙන්, චෙන්නායි, ගෝවේ, මහා රාෂ්ඨ්‍ර, ගුජරාට්, ලාහෝර්, කසකස්තාන හරහා රුසියාවට ගමන් කරනවා. ඒ ගමන්නාන්තය දක්වා යාමට ඔවුන්ට දින 30 ක් පමණ ගත වෙනවා“ ඒ කොළඹ විශ්වවිද්‍යාලයයේ පක්ෂි විද්‍යා අංශයේ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්නය.

මහාචාර්ය සම්පත්ට අනුව ලංකාවට අඩුම දුරකින් පැමිණෙන්නේ හිමාල අඩවියේ සිට පැමිණෙන දුඹුරු මැසිමරා හා කාෂ්මීර මැසිමරාය. නැතිනම් අවිච්චියාය. ඒ කිලෝ මීටර 2000-3000 ක දුරකි.

සමහරක් සංචාරක පක්ෂින් ලංකාවට පැමිණෙන්නේ නති තනිය ම ය. නැතිනම් කුඩා කණ්ඩායම් ලෙස එකතු වෙමිනි. ඒ අතර අවිච්චියා ප්‍රධානය. කොළඹ, ගාල්ල සහ මාතර වැනි ප්‍රදේශවලද සිටින මේ අය නැවත යාමේ කාලය පැමිණි විට වටපිට සියලු අවිච්චියන් එකතු කරගෙන කුඩා කණ්ඩායම් සකසා ගනියි. අනතුරුව කොළඹ හරහා ඉන්දියාවේ හිමාලය දක්වා ඔවුහු ගමන් කරති.

මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න පවසන පරිදි ලක්ෂ ගණනින් වූ රංචු වශයෙන්ද සමහරක් පක්ෂීහු සංක්‍රමණය වෙති. Curlew Sandpiper මෙරටට පැමිණෙන්නේ රුසියාවේ උතුරු හා නැ‍ෙඟනහිර සිටය. මොවුන් ලංකාවට පැමිණෙන්නේ ලක්ෂ 5-6 ක් වශයෙනි. Black Tailed Godwit හෙවත් කළු පෙද ගොහොදු විත්තා හා Bar Tailed Godwit හෙවත් වයිර පෙද ගොහොදු විත්තා ලංකාවට රංචු වශයෙන් පැමිණෙන්නේ ආක්ටික් කලාපයේ සිටය. උතුරු දිග රුසියාව, මොංගෝලියාව, යුක්රේනය, චිනය මෙන්ම කසකස්තාන වැනි රටවලින් මෙරටට පැමිණෙන Lesser sandplover වර්ග 30ක් පමණ ලංකාවට සංක්‍රමණය වෙති.

“වසරකට මිලියන 10 ක් පමණ අපේ රටට මෙවැනි පක්ෂීහු සංක්‍රමණය වෙනවා. සමහරක් පක්ෂීන් පැමිණෙන්නේ අපේ මුහුදු සීමාවට පමණයි. නිරිත දිග මෝසම් කාලයට අපේ මුහුදු සිමාවට කෑම සොයා ගෙන පැමිණෙන Shearwater හා petrel නම් කුරුලු විශේෂ අපේ ධීවරයන් හඳුන්වන්නේ කෙලවල්ලෝ බස්සෝ නමින්. මුහුද යටින් රංචු වශයෙන් මාළු පිහිනද්දි ඔවුන්ගෙන් ගිලිහෙන කුඩා මාළු කෑමට ඊට සමගාමීව මේ කුරුල්ලෝ මාළු රංචුවට උඩින් රංචු වශයෙන් ඒ දිසාවට පියාසර කරනවා. මේ කුරුලු රංචු අනුව ධිවරයන් මාළු ඉන්නා ඉසවු තීරණය කරනවා....“මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න පවසයි.

මාර්තු සහ අප්‍රේල් මාසවල කොහා අපගේ ගෙවත්තට ආගන්තුකයකු නොවීය. බොහෝ කුරුල්ලන්ගේ සුවැදී සාමය (Breeding season) නිසා, කුරුල්ලන් වෙනදාට වඩා ක්‍රියාශීලි වේ. අලුත් අවුරුදු මාසයේ දී අප අවට කුරුල්ලන් නරඹා ඔවුන් පිළිබඳ ගණනයක් කිරීම අරමුණු කරගනිමින් කොළඹ විශ්වවිද්‍යාලහි සිට ක්‍රියාත්මක ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය (Field Ornithology Group of Sri Lanka - FOGSL) විසින් 'අවුරුදු කුරුලු නැරඹුම" නමින් පුරවැසි විද්‍යා වැඩසටහනක් (Citizen Science Project) සංවිධානය කර තිබේ.

“අප්‍රේල් මාසය නෑ හිතවතුන් මුණගැසීමට වෙනත් ප්‍රදේශවලට ද ගමන් කරන කාලයක්. ඒ වගේම පාසැල් නිවාඩුවක් ද ලැබෙනවා. කුරුල්ලෝ ගැන මේ කාලයේ හදාරන්න ගෙවත්ත කදිම ස්ථානයක්. යම් කාලයකදී කුරුල්ලන් නරඹා, කුරුල්ලන් රටා කී දෙනකු දුටුවා දැයි සටහන් කර ගන්න. මේ දත්ත මින් පසු www.ebird.org නම් වූ වෙබ් අඩවියෙහි මේ දත්ත සටහන් කර ඉන්පසු ABC2022 වෙත share කරන්න. මෙහිදී ඔබ හොඳින් හඳුනා ගන්නා කුරුල්ලන් පමණක් සටහන් කරන්නට උත්සාහ ගන්න.

මේ පිළිබඳ වැඩි විස්තර මෙම වෙබ් අඩවියෙන් ද ලබා ගත හැකි යි. https://fogsl.cmb.ac.lk/abc2022/කෙළින්ම eBird වෙත දත්ත ඇතුළු කිරීමට අපහසුතාවක් ඇතොත්, ඔබ දුටු කුරුල්ලන් පිළිබඳ විස්තර, පහත දැක්වෙන පරිදි වගුවක සටහන් කර [email protected] විද්යුත් තැපෑල වෙත එවන්න“ ඒ කුරුල්ලන් ගැන වැඩදුර අධ්‍යනය යෙදෙන ක්ෂේත්‍ර පර්යේෂණ අධ්‍යන කවයේ අවුරුදු bird සංවිධානයේ සංවිධායක මාලක රොද්‍රිගෝය.

 

Comments