අලව්ව - වේරගොඩ බස්රථය නතර වීමෙන් මඟී ජනයා දැඩි අපහසුතාවට | සිළුමිණ

අලව්ව - වේරගොඩ බස්රථය නතර වීමෙන් මඟී ජනයා දැඩි අපහසුතාවට

අලව්ව - වේරගොඩ මාර්ගයේ ගමන් ගන්නා දහස් ගණනක් ජනයා වෙනුවෙන් ලංගම බස් රථයක් ධාවනයට යොදවා තිබුණේ අලව්ව ඩිපෝව මඟිනි. එම බස් රථය මීට මාස කීපයක සිට රියැදුරු සහ කොන්දොස්තර දෙපළගේ විශ්‍රාම යාම නිසා ධාවනය නතර වී ඇත.

බස් රථයෙන් මඟින් අවශ්‍යතා සපුරා ගනිමින් රැකී රක්ෂාවලට ගිය අය මෙන්ම පාසල් දරුවන් ඇතුළු දහස් ගණනක් මඟීන් දැඩි පීඩාවකට පත්ව සිටි. රියැදුරු - කොන්දොස්තර විශ්‍රාම යාමෙන් පසු නතර වූ බස් රථය පිළිබඳව කොතෙක් අලව්ව ඩිපෝව වෙත පැමිණිලි කළත් මේ දක්වා එම බස් රථය ධාවනයේ යෙදවීමට කිසිදු පියවරක් ගෙන නැත.

මෙම බස් රථයේ සේවය කළ දෙපළ විශ්‍රාම ගොස් දැනට වසරකට අධික කාලයක් ගත වී ඇත. මේ දක්වා එම බස්රථය සඳහා රියැදුරු සහ කොන්දොස්තර සේවය සඳහා යෙදවීමට අලව්ව ඩිපෝ නිලධාරින් අපොහොසත් වීම කනගාටුවට කරුණකි.

එම නිසා ඩිපෝ බලධාරින් ඇතුළු වගකිවයුතු පාර්ශ්වවලින් එම බස් රථයෙන් මඟී අවශ්‍යතා සපුරාගත් දහස් ගණනක් දෙනා ඉල්ලා සිටිනුයේ හැකි ඉක්මනින් බස් රථය නැවත ධාවනයට එක්කරන ලෙසටයි. මේ පිළිබඳව වගකිවයුතු බලධාරින්ගේ දෑස් මේ සඳහා යොමුව කඩිනම් පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වේ.

 

 

Comments